මා ගැන වගකිව යුත්තේ කවු ද? මම ද!


BPZ64ZPමා නිවැරදි ය. යම් වැරැද්දක් මා තුළ ඇතොත් ඒ අනුන් නිසා ය. වග කිව යුත්තේ මා හදා වැඩු මගේ දෙමාපියන් ගුරුවරුන් යහළුවන් හා පොදු සමාජය ය. එහෙමත් නැත්නම් ඒ වැරැද්ද සඳහා පදනම් වූ වතාවරණය ය. වටපිටාව ය. ඒ සඳහා මට පෙළඹවීම් කළ දහසක් කරුණු කාරණා ය. මා ගැහුවා නම් ගැහුවේ අනිකා ඔරවපු නිසා ය. නැතිනම් කොළොප්පම් කළ නිසා ය. සෙම කිපී මා අසනීපව සිටි නිසා ය. පිත ඇවිස්සී මා දුර්වලව සිටි නිසා ය.

බැලුවහම සාධාරණ තර්කයන් ය. එහෙත් පුංචි ප්‍රශ්නයක් ඉතිරි වේ. මේ චින්තනය මට නිවැරදි වීමට කිසිදු ඉඩක් නොතබයි.

මෙහි අනෙත් අන්තය නම් සියල්ල සිදුවන්නේ මගේම වැරැද්දෙන් යැයි සිතීම ය. අන් අයෙක් වැරැද්දක් කළේ මගේ දුර්වලකම නිසා ය. මම නිසි පරිදි කටයුතු නොකළ නිසා ය. ඒ වතාවරණය හා වටපිටාව මා විසින් ඉල්ලා ගත් නිසා ය (උදාහරණයක් ලෙස මා දූෂණය කරන ලද්දේ කොට ගවුමක් ඇඳ සිටි නිසා ය). මා එයට විහින් අැතුළු වී තිබේ. ඒ මොකුත් නැතත් එය මගේ කරුමය හෝ අවාසනාවම විය හැකි ය.

බැලුවහම ඒවා ද සාධාරණ තර්කයන් ය. එහෙත් පුංචි ප්‍රශ්නයක් ඉතිරි වේ. මේ චින්තනයෙන් අවසානයේ ඉතිරි වන්නේ තමන් පිළිබඳ විශ්වාසය අහිමි කරගත් හීන මානයකින් පෙළෙන ශරීර කුඩුවකි. එය සෑම දෙයින්ම අයින් වීමට, ඉවත් වීමට, මග හැර යාමට එම ශරීර කූඩුව පොළඹවයි. මා තවදුරටත් අකර්ණම්‍ය කරවයි. අසරණ කරවයි. ආත්ම විශ්වාසය බිංදුවටම බස්සවයි.

වෙනස් මාවත් ඔස්සේ වුව ද අන්ත දෙකම මා ගෙන යන්නේ එකම තැනකට ය.නරක තැනකට ය. අයහපත් තැනකට ය.

සාර්ථකත්වයක් ලැබූ විට එයට හේතුව තමා ලෙස පමණක් දැකීමටත් අසාර්ථක වූ විට ඊට හේතුව පරිසරය හෝ වතාවරණය ලෙස දැකීමටත් කටයුතු කරන මිනිසුන්ට වෙනත් මිනිසුන්ට නැති සවියක් ද තිබේ. ඒ නොබිඳ ගත් ආත්ම විශ්වාසය යි. ඒ නිසාම ඔවුහු දෙවැනි කී අය මෙන් නොව දිගින් දිගටම අභියෝග බාර ගනිති. වැරදි කරති. ඒවා ගැන නොතැවෙති. ඒ නිසාම ඔවුන් ක්‍රියාශීලී ය. උද්යොගීමත් ය.

සාර්ථකත්වයක් ලැබූ විට එය වටපිටාවටත් අසාර්ථක වූ විට එහි වගකීම තමන්ටත් පවරා ගන්නා දෙවැනි ගණයට අයත් අය ඒ නිසාම වැරැද්දක් වූ විට ඊට ඇති තමන්ගේ දායකත්වය සොයන්නට පෙළඹේ. ඒ නිසාම ඒ වැරදි හදාගන්නට ඔවුන්ට වැඩි ඉඩක් ලැබේ. ඒ නිසාම ඔවුන් සංවර්ධනය වේ. ඔවුන් හැම විටම අලුත් දෙයක් වඩා දියුණු කරන ලද දෙයක් කරන්නට උනන්දු වේ.

වෙනස් මාවත් දෙකක් ඔස්සේ වුව ද ඔවුන් දෙගොල්ලන්ම යන්නේ එකම තැනකට ය. හොඳ තැනකට ය. යහපත් තැනකට ය.

එහෙම බැලූවිට අන්ත දෙකේම යහපත් යමක් ද අයහපත් යමක් ද තිබේ. මේ දෙකේම යහපත් දේ ගෙන අයහපත් දේ ඉවත දැමිය හැකි නම් අප ගොඩ ය.

යම් සිද්ධියක ප්‍රතිඵලය සම්බන්ධයෙන් බොහෝවිට තමාත් වතාවරණයත් යන දෙකම බලපාන්නේ ය. ඒ එක එකක බලපෑමේ තරම හොඳින් තේරුම් බේරුම් කර ගැනීමට කළමනාකරුවෙකුට හැකි විය යුතු ය. තරාදියේ දෙපැත්ත තුලනය කර ගැනීමට ඔහුට / ඇයට හැකි විය යුතු ය. ආත්ම විශ්වාසය පළුදු නොකොට උගන්නට ද එවිට කළමනාකරුවෙකුට හැකි වනු ඇත්තේ ය.

Advertisements

විශ්වාසය හා සැකය


ආත්ම විශ්වාසය නැති කෙනෙකුට කළ හැකි දේ අල්ප ය. අන් අය ගැන විශ්වාස නොකරන කෙනෙකුට ද කළ හැකි දේ අල්ප ය. එවැනි අයට සිදුවන්නේ කුඩා වැඩ කරමින් තනිව ජීවත්වීමට ය. අප ගැනත් සෙසු අය ගැනත් විශ්වාස කිරීම ඒ අනුව අපට ඉදිරියට යාමට අත්‍යවශ්‍ය මූලිකම අවශ්‍යතාවයකි.

අප අතරින් කී දෙනෙකුට ආත්ම විශ්වාසය තිබේ ද? පහත වීඩියෝව නැරඹීමෙන් ඒ ගැන අදහසක් ඔබට ගත හැකි ය.

http://www.youtube.com/watch?v=zVaknBrb-fQ

ඉහත වීඩියෝවට සමාන පරීක්ෂණයක් ගණිතමය සමීකරණයක් ඇසුරෙන් ද කර ඇත්තේ ය. පර්යේෂකයා මේ සමීකරණ දී උත්තරය සොයන්නැයි පන්තියක සිසුන් හට කියා ඇත. ඊට පසු පන්තියේ තමන් ඇටවූ කීප දෙනෙකුගෙන් ඒ ගණිතමය සමීකරණයට කලින් කියන ලද වැරදි උත්තරයක් ලබා ගෙන ඒ ප්‍රශ්නය පන්තියේ වෙනත් කෙනෙකුගෙන් ඇසූ විට ඔහු මදක් පැකිල  එහෙත් දී තිබුනේ කලින් වැඩි දෙනා දුන් වැරදි උත්තරයම ය.

ඔහුට නිවැරදි උත්තරය කියා ඔහුට එය නොලැබුනේ දැයි ඇසූ විට ඔහු කීවේ ඔහුට ද ඒ උත්තරය ලැබී තිබුනු බවත් කීප දෙනෙක්ම එකම උත්තරයක් (එය වැරදි වුව ද) දුන් නිසා තමන්ට වැරදෙන්නට ඇතැයි සිතා ඒ උත්තරයම තමනුත් දුන් බව ය.

එයින් පෙනෙන්නේ අප අපේ තීරණයන් ගැන ඇත්ත වශයෙන්ම සැකයකින් පසුවන බව ය.

එසේ සැක කිරීම හරි ද වැරදි ද?

ජර්මනියේ හිට්ලර් ගෙන ගිය ව්‍යාපාරය ගැන මුලින් සැක කළ බොහෝ අය ද වෙනත් බොහෝ දෙනෙක් ඊට අනුගත වනු දැකීමෙන් පසු සැක කිරීම අත් හැර දැමූ හ. මුළු ලොවට විනාශයක් කැද වූයේ එසේ සැක කිරීමට ජර්මන් ජනතාවට නුපුළුවන් වූ බැවිනි.

සැක කිරීමට අවසර නැති තැනක මා නම් රැදෙන්නේ නැත.

සැකය පහළ වන්නේ සැක කළ යුතුම තැන්වල ය. එවැනි විටක කළ යුත්තේ නැවත පිළිවිස විශ්වාසය පිරික්සීම ය. එවිට එය එක්කෝ තහවුරු කර ගත හැකි ය. නැතිනම් ඉවත දැමිය හැකි ය. එසේ නොකොට අන්ධ විශ්වාසයෙන් මුල් තීන්දුවේ ඇලී සිටීමටවත් මුල් තීන්දුව කිසිදු පිරික්සීමකින් තොරව වැඩි දෙනාගේ මතය අනුව යමින් එක පැහැරින් බැහැර කිරීමටවත් කටයුතු නොකළ යුතු ය.

හිතේ කෙළවරක සැකය රදවා ගෙන සිටිය යුතු වුව ද විශ්වාසය ද ඒ සමගම කෙනෙකුට තිබිය යුතු ය. මට පවතින දේ වෙනස් කළ හැකිය යන විශ්වාසය නොතිබුනේ නම් මා මේ බ්ලොග් අඩවියට අත ගසන්නේ නැත. පොත් ලියන්නේ නැත. බ්ලොග් අඩවිය ජනප්‍රිය නොවෙන්නටත් පොත් නොවිකිනෙන්නටත් ඉඩ ඇති බැවිනි. එහෙත් මට මා ගැනත් මේ රටේ ඉගෙන ගන්නට කැමති මිනිසුන් සිටින්නේය යන්න ගැනත් විශ්වාසයක් තිබුනේ ය. මා මේ ගමන මෙතෙක් ආවේ ඒ විශ්වාසයට පින්සිදු වන්නට ය. මා ගැනත් මේ රටේ මිනිසුන් ගැනත් මේ සම්බන්ධයෙන් මට සැකයක් නොතිබුනේ යැයි අදහස් නොවේ. මගේ තීරණය කීප වතාවක් මට නැවත නැවතත් විවරණය කිරීමට සිදු වූ වාර තිබුනේ ය.

විශ්වාසය හා සැකය එක ලෙස තුරුල් කර ගත යුතු ය. ඒ දෙක කාසියක දෙපැත්ත ලෙස ගත යුතු ය. ඒ දෙක නිසි පරිදි කළමනාකරණය කර ගත හැකි කළමනාකරුවන් දිනුම් ය. අද නැතත් හෙට ඔවුන් දිනුම් ය.

අනෙත් අය අද නැතත් හෙට පරදිනු ඇත්තේ ය.

අතීත අවතාරවලින් මෙහෙයවන කළමනාකරුවන්


මියගිය පැරණි අතීතය අදට වඩා හොද යැයි සිතන කළමනාකරුවෝ ඒ අතීත ශ්‍රී විභූතිය නැවත සිය ආයතන තුළට ගෙන ඒම මගින් වඩා සාධනීය ප්‍රතිඵල අයත් කර ගත හැකි යයි සිතති. ඒ සදහා ඒ පැරණි ක්‍රියාමාර්ගම – ඉවත් කළ පැරණි පිළිවෙත්ම- නැවතත් පණ ගන්වනු සමහර ආයතනවල දී දැකිය හැකි ය.

උදාහරණයක් ලෙස මුද්දර හරහා රජයට ආදායම් එකතු කළ කාලයක් තිබිණි. එයින් ඇතිවන අකාර්යක්ෂමතාවය ද අපහසුව ද සළකා එය ඉවත්කරන්නට පසු කලෙක රජය තීරණය කළේ ය. එහෙත් ඒ අත්හැර දමන ලද පිළිවෙත නැවතත් ගෙනෙන ලද්දේ ය.

මේ යටතේ රු 5 ක මුද්දරයක් ඇලවූ ලියුමක් මට මහජන පුස්තකාලයෙන් ලැබිණි. එයින් කියා තිබුනේ මා විසින් බාර දෙන පොත්වලට ගෙවීම් කටයුතු එකලසක් කරනු පිණිස මහජන පුස්තකාලයට පැමිණ රු 5 ක මුද්දරයක් උඩ අත්සන තබා යා යුතු බව ය. ඒ ලියුම සදහා රු 5 මුද්දරයට අමතරව ලියුම් කවරයක් ඒ 4 කඩදාසියක් යොදා ගෙන තිබුන අතර ලියුම ටයිප් කර අදාළ ලේඛනවල සටහන් කිරීමට අමතර වෙහෙසක් කාලයක් ගෙන තිබුනේ ය. ලියුම් බෙදන කාර්යාලවලට වැඩි වැඩක් ද එයින් ලැබෙන්නට ඇත.

මේ සදහා මට ද පිරිවැයක් ඇත්තේ ය. මගේ රාජකාරියේ හැටියට මට මේ සදහා බස් රථයක යා නොහැකි ය. එහෙත් මට මුදලක් ලැබෙන නිසා මෝටර් රථයට මා වැය කළ පෙට්‍රල් ප්‍රමාණය සාධාරණ යයි මොහොතකට සිතුවත් ඒ සදහා රටට වියදම් කරන්නට වෙන විදේශ විනිමය හා පරිසරයට වෙන හානිය ගණන් බැලිය යුතු ය.

හැම ආයතනයක්ම සිතන්නේ අපට කළ යුතුව ඇත්තේ ඒ ආයතනයට සම්බන්ධ වැඩ පමණක්ය කියා ය. ඒ නිසා දරුවාගේ පාසලේ සිට සබදකම් පවත්වන හැම ආයතනයක්ම අපගෙන් බොහෝ රාජකාරි බලාපොරොත්තු වේ. මේ සියල්ලට නිවාඩු දමන්නට ගියොත් නිවාඩු ඉම්පෝට් කරන්නට සිදුවේ. ඒ නිසා දැන් මේ වැඩේට යායුත්තේ කාර්යාලයේ වෙලාවෙන් කොටසක් හොරා ගෙන ය. එවිට සිදුවන්නේ මා මුණ ගැසීමට එන බොහෝ දෙනෙකු රස්තියාදු වීම ය.

රු 5 ක් ආණ්ඩුවට ලබා ගැනීමට ගන්නා වෙහෙස මහන්සිය හා ඉන් ඇතිකරන නාස්තිය ගැන හිතන විට මේ පැරණි පිළිවෙත නැවත හදුන්වාදුන් අයගේ මොළය පරීක්ෂා කළ යුතු යැයි නොසිතේ ද? පසු කලෙක මේ මුද්දර වැඩ පිළිවෙලට නැවත සංශෝධනයක් ගෙනෙන ලද්දේ වුව ද එය මුලුමනින් ඉවත් කර නැත.

එක් කලෙක වලංගු වූ දෑ ඊළග වකවානුවේද ඒ ආකාරයටම වලංගු වේ යැයි සිතීම නිසා ආයතන අර්බුදයන්ට ගිය විට ඒ තේරුම් ගැනීමට සමහර විට පමා වූවා වැඩි වන්නට පුලුවන.

ඒ වනවිට මියගිය අවතාර ලෙස නැවත පනගන්වනු ලැබූ පිළිවෙත් හා ක්‍රියාමාර්ග ජීවත්වන මිනිසුන්ට වින කැට හමාර ය.

අතීතය යනු වෙනත් සන්දර්භයකි. වත්මන සන්දර්භය හමුවේ ඒ පැරණි පිළිවෙත්ම අනුගමනය කරන්නට යෑමෙන් අතීතයේ ලබාගත් ප්‍රතිඵලයම ලැබෙන්නේ අතිශය කලාතුරකිනි. එය පරිගණක හා අන්තර්ජාලවලින් සමන්විත ලෝකයට දිසාපාමොක් ඇදුරෙකු හදුන්වා දෙන්නට හදන උත්සහය සේ ය.

තීරණ ගැනීමේ ස්ථාන අරක් ගෙන සිටින කළමනාකරුවන් මේ බව වටහා ගන්නේ නම් රටේ පමණක් නොව ආයතනවල ද ඵලදායකත්වය බොහෝ සෙයින් වැඩි කළ හැක්කේ ය.

ප්‍රශ්නයකට උත්තර තමා දන්නා අතීතයෙන් සෙවීම පහසු ය. එහෙත් එයින් ලැබෙන උත්තරය උත්තරයක් නොවන්නට ඉඩ තිබේ. ඒ වෙනුවට අලුත් ප්‍රශ්න ගණනාවක් එයින් ඇති කරනු ඇත්තේ ය. කළමනාකරුවන්ට පරිකල්පන ශක්තියක් තිබිය යුතු යැයි කියන්නේ ඒ නිසා ය. බොහෝ විධිමත් අධ්‍යාපන ආයතන තමන් ගොඩනගන සිසුන්ගේ මනස තුළ එහෙව් එකක් හදන්නට කිසිදු උත්සහයක් ගන්නේ නැත. ඒ නිසාම පරිකල්පන ශක්තිය සහිත කළමනාකරුවන් විධිමත් අධ්‍යාපන සහතික ලාභීන් අතරින් සොයා ගැනීම අමාරු ය.