ප්‍රතිවිරුද්ධ දිසාවට වැඩ කරන අපේ මනස නොහොත් අකමැත්ත කැමැත්ත කිරීම


අප කැමති අයට උදව් කිරීමට අපි නොපැකිලෙන්නෙමු. හේතුව පැහැදිලි ය. එහෙත් ඒ තරමටම පැහැදිලි නැති දෙයක් ද අපට සිදු වේ. ඒ එහි ප්‍රතිවිරුද්ධ දෙයයි. ඒ අප උදව් කරන අයට අප තුළ කැමැත්තක් ඇති වීම ය.

මේ බව ලෝකයට මුලින්ම කීවේ බෙන්ජමින් ෆ්රූන්ක්ලින් ය. ඔහු සමග නොහොදව සිටි කෙනෙකුගෙන් බොහෝ බැගෑපත් වී කුඩා උදව්වක් ගෙන ඔහු තමන්ගේ මිතුරෙකු බවට පත් කර ගැනීමට බෙන්ජමින්ට හැකි විය.

මෙසේ අප මනස එක් පැත්තකට නොව දෙපැත්තටම වැඩ කරන්නේ මනසේ ආතතිය ඉහිල් කර ගැනීම සඳහා ය. අමනාප වී සිටින කෙනෙකුට උදව්වක් කිරීමට මනසට අපහසු ය. ඉදින් උදව්වක් කරන්නේ නම් අමනාපය තවදුරටත් තබා ගැනීමට ඊට බැරි ය.

අප දන්නා තවත් දෙයක් නම් අපේ මනස විසින් චර්යාව සකසන බව ය. එහෙත් මෙහි ප්‍රතිවිරුද්ධ දෙය ද ඒ තරමටම නැත්නම් ඊටත් වඩා සත්‍ය ය. එනම් අපේ චර්යාව විසින් අපේ මනස සකස් කරන බව ය.

අප සන්සුන්ව ඇවිදින්නට මෙන්ම සන්සුන්ව කතා කරන්නට පුරුදු වන්නේ නම් මනස ඉබේම සන්සුන් කර ගත හැකි ය.

අප යමක් අකමැත්තෙන් වුව කරන්නේ නම් ටික කලකින් එයට අප තුළ කැමැත්තක් ඇති වනුයේ ඒ අනුව ය. ව්‍යායාම ආරම්භ කරන කෙනෙකුට දින 21 ක් එක දිගට අමාරුවෙන් වුව එවැන්නක යෙදෙන ලෙස උපදෙස් ලැබෙන්නේ මේ නිසා ය.

අප දිගින් දිගට කරන දෙයකට අකමැති වීමට අපට අපහසු ය. එසේ කළ හොත් මනසට ඇතිවන්නේ ආතතියකි. මනස එය එක් විදිහකට බැරිනම් අනෙත් විදිහකට ඉහිල් කර ගැනීමට මගක් සොයයි.

බලාහාත්කාරය කලක දී ස්වයං විනයක් හදන්නේ එසේ ය. පාසලට වේවැල් කෝටු නාරන් සියඹලා අතු ආවේ ඒ අනුව ය. කල්වේලා ඇතිව පාසල් ඒමට එය උපකාරී විය. ටික කලකින් කෝටුවේ අනුහසක් නැතිවම පාසලට කල් වේලා ඇතිව පැමිණීමට අපට හුරු විය.

කෝටුව දෙස වෛරයෙන් බැලූ අය ද පසු කලෙක වැඩිවියට පත්ව ඒ දෙස දයාබරිත බැල්මක් හෙලන්නේ ඒ නිසා ය.

අකමැත්ත කැමැත්ත බවට පෙරලීම කළමනාකරුවෙකුට නිරන්තරයෙන් මුහුණ දෙන්නට සිදුවන අභියෝගයකි. අප ඉහත සඳහන් කළ නියාම දෙකම ඊට අවශ්‍ය න්‍යායාත්මක පදනම සපයයි.

අපේ මනස වැඩ කරන හැටි අප තේරුම් ගත් විට අපට අප වටා සිටින මිනිසුන් කෙරෙහි තීරණාත්මක බලපෑමක් එල්ල කළ හැකි ය. එපමණක් නොවේ. බාහිර බලපෑම්වලට යටත් නොවී සිටීමටත් එයින් අපට අනුපමේය ශක්තියක් ලැබේ.

කළමනාකරුවන් මනෝ විද්‍යාව උගත යුතු යැයි අප වරින් වර නැවත නැවතත් මතක් කරන්නේ ඒ නිසා ය.