පෝලිම් කළමනාකරණය


පෝලිමක් නැතිව වැඩක් කර ගන්නට හැකි නම් එය වඩාත් හොද ය. එහෙත් හදිසියේ හෝ ඇතිවන පෝලිමකින් තොරව සේවා සැළසීමට සැළසුම් කිරීම හැම විටම නොහැකි ය. ඒ සදහා දැරිය යුතු පිරිවැය ලැබෙන ප්‍රතිලාභයට වඩා සමහරවිට වැඩි විය හැකි ය. යම් පිරිවැයක් දරන්නේ නම් එය අවසානයේ පාරිභෝගිකයාට මාරුකිරිමට සිදුවන නිසාම ඒ පැත්තෙන් ද එය නුසුදුසු ය.

ඒ නිසාම ඇතිවිය හැකි පෝලිම් කළමනාකරණය කිරීමේ වගකීම ආයතනයන් විසින් බාර ගත යුතුව තිබේ. ඒ දැනුම අප සතුව තිබේ ද?

පෝලිමක ඉන්නා කෙනෙකුගේ අපේක්ෂා කීපයක් වෙයි. එකක් පැමිණි පිළිවෙලටවත් අවම වශයෙන් සේවය ලබා ගැනීමේ හැකියාව සහතික කර ඇතැයි යන්න ය. ඒ සදහා පරිගණකය යොදාගෙන නිකුත් කරන තුණ්ඩුවල උදව්ව ලබාගත් ආයතන ගණනාවක් ඇත. වඩාත් පෘතුළව එය දකින්නට ලැබෙන එක් තැනක් ටෙලිකොම් කාර්යාලයන් ය. ඒ නැතත් පැමිණි පිළිවෙලට අංකයක් දීම හා අංක අනුපිළිවෙලින් කැදවීමට ද වැඩි වියදමක් නැතිව කළ හැකි ය.

දෙවැන්න දිග පෝලිමක සිට ගෙන සිට අවසානයේ ලේඛනයක අඩුපාඩු ඇතැයි නැතිනම් ඡයා පිටපතක් අවශ්‍ය යැයි නැතිනම් වෙනත් ලියවිල්ලක් නැතැයි කියා අසන්නට ලැබීමෙන් නිදහස ය. ඒ සදහා පෝලිම වෙත පැමින පෝලිමේ සිටින්නන් සියලු ලියකියවිලිවලින් සම්පූර්ණ දැයි පරීක්ෂා කිරීමට ආයතනයේ කෙනෙකු කවුන්ටරයේ සේවය කරන කෙනෙකුට වඩා පහළ මට්ටමේ සේවකයෙකු වුව යෙදවීම අපහසු නැත. එයින් කවුන්ටරය ලගදී සිදුවන අනවශ්‍ය පමාවීම් ද වළක්වා ගත හැකි ය.

තෙවැන්න සූදානම් නැති කවුන්ටරයකින් මාරු කාසි සදහා නැගෙන අතොරක් නැති අඩ හැරයෙන් හා කාලපාලුවෙන් නිදහස ය. ඒ සදහා කළ යුත්තේ ප්‍රමාණවත් මාරු කාසි බැංකුවකින් ලබාගෙන තිබීම හා නියමිත මුදල මාරුවලින් සූදානම් කර ගනු පිණිස අවශ්‍ය තොරතුරු ප්‍රමාණවත් ලෙස ප්‍රදර්ශනය කර තැබීම ය.

සිව්වැන්න අවම වේලාවකින් සේවය සැළසිය හැකි ලෙස තාක්ෂණය හා කළමනාකරණය සකස් කිරීම මගින් කවුන්ටරය වෙත පැමිණෙන්නන් සම්බන්ධයෙන් ඉක්මනින් අදාළ කටයුතු කර පෝලිම ඉක්මණින් ඉදිරියට ඇදීයාමේ අපේක්ෂාව ය. එක් දත්තයක් ඉදිරිපත් කිරීම මගින් ඉතිරි දත්ත සියල්ල පරිගණක දර්ශනතලයක් මත ප්‍රක්ෂේපනය වන ඒ නිසා ම යම් අලුත් වෙනසක් සිදුව තිබේ දැයි පරීක්ෂා කිරීමෙන් සෑහිමකට පත්විය හැකි ලෙස සකස්ව ඇති ක්‍රමයක් ස්ථාප්තිත කිරිම ය. එවිට කළ යුතු වන්නේ අදාල වෙනස්කම් පමණක් සිදුකර ඉක්මණින් සේවය ලබා දීමට හැකි වීම ය.

පෝලිම් නැත්නම් හොද ය. පෝලිමක් ඇති තැනක වුව එය කලමනාකරණය කිරීමට සමත් වේ නම් එයත් හොද ය.

පාරිභෝගික සත්කාරය වින්දෙමි! Customer is the King; නොදෝකින්!


පාරිභෝගික සත්කාරය අතින් ලංකාව ඉන්නේ බොහෝ පහළ මට්ටමක ය. Customer is the King; නොදෝකින්!

පහුගිය දිනක මම දුම්සහතිකය ලබා ගැනීමට බත්තරමුල්ලේ ඉකෝටෙස්ට් මධ්‍යස්ථානය වෙත ගියෙමි. වාහන කීපයක්ම පෝලිමේ තිබුනු අතර එක පෝලිමක් වෙනුවට අමුතු සක්කයන් ගසා පෝලිම් කීපයක් ඒ වනවිටත් සැදී තිබිණි. පෝලිම පැත්තකින් තිබියදී ලොරියක් පැමිණ සහතිකය ලබා ගෙන ගිය අතර මට පසුව පැමිණි ත්‍රීවීලර් දෙකක් ද මෝටර් සයිකලයක් ද සහතික ලද්දේ ය. කලින් පැමිණි අය කවුරු දැයි අදුනාගැනීමට කිසිදු වැඩ පිළිවෙලක් නොතිබූ අතර ඉඩ අතරින් රිංගා ගත හැකි පුංචි වාහන සිය පුංචි කමින් ඉහළ වාසියක් ලබනු පෙනිනි. අතරින් පතර පෝලිමේ වාහන ද ගනු ලැබී ය. සහනයකට තිබුනේ ඒ අවස්ථාව හෝ ලබා දීමට එහි පරීක්ෂකවරයා කාරුණික වීම ය (පරීක්ෂකවරයාගේ හැසිරීම අනුව පෙනුනේ ඔහු පුංචි මිනිසුන්ට සළකන කෙනෙක් බව ය).

ඊළග කඩ ඉම තිබුනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ය. ඒ දුම් සහතිකය ද පාවිච්චියට ගෙන අදායම් බලපත්‍රය ලබා ගැනීමේ ය.

එහි යන විට 12 55 වී තිබිණි. කවුන්ටර තුනක් තිබුනේ වී නමුදු එක දු කවුන්ටරයකවත් නිලධාරියෙක් දක්නට ලැබුනේ නැත. ඒ වෙනුවට කෑම විවේකය සදහා කවුන්ටර වසා ඇති බව දැක්වෙන දැන්වීම් පුවරුවක් නම් තිබුනේ ය.

අසළ සිටි පිළිගැනීමේ නිලධාරිනියගෙන් විමසූ කල ඇය කීවේ 1 30 කවුන්ටර විවෘත කරනු ඇති බව ය.

ඒ වනවිටත් එම සේවයම ලබා ගනු පිණිස පැමිණ සිටි මිනිසුන් අසල තිබූ පුටු කීපයක වාඩිවී සිටි අතර මම ද හිස්ව තිබූ පුටුවක වාඩි ගත්තෙමි. ටික වෙලාවක් යනවිට මිනිසුන් 30 ක් පමණ එකතු වූ අතර කවුන්ටර විවෘත කිරීමෙන් පසු සිදුවිය හැකි කාලගෝට්ටිය ගැන ලතවෙමින් ඉතිරි මිනිත්තු තිහ ද ගෙවා දැම්මෙමි. පැමිණි පිළිවෙලට අංකයක් ලබා දීමේ ඉඩකඩ ඒ අසලම සිටි පිළිගැනීමේ නිලධාරිනියට පවරන්නට හැකි ව තිබියදී එසේ නොකළේ ඇයි ද යන්න ද ඒ සිටිනා අතර මගේ හිතට වද දුන්නේ ය.

කෑම පැය අවසන් වී නිලධාරිනියන් දෙපළක් පැමිණි අතර මුලින් පැමිණි පාරිභෝගිකයන් පැත්තකට විසිවෙද්දී ඉක්මන් වූ අය පෝලිමේ මුලට පැමිණ සිටිනු දුටුවෙමි. ඒ ගැන දොස් කියන්නේ කාට ද? ආයතනයට එල්ල නොවේ නම් ඊළගට ඒ අප අපට මය.

පෝලිමට එකතුවෙමින්ම මේ සියල්ල නරඹන අතරතුර මට සිතුනේ නිලධාරීනියන් දෙපළම එක වෙලාවක කෑම කන්නට යන්නේ මන් ද යන්න ය.

කළ යුතු බොහෝ දේ මේ තැන් දෙකෙන් එකද තැනකවත් කර තිබුනේ නැත. එකක් පුද්ගලික අංශයේ ය. අනික රාජ්‍ය අංශයේ ය.

කලින් පැමිණෙන තැනැත්තාට කලින් සේවය ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සැපයීම තම වගකීම යයි ආයතන දෙකෙන් එකක්වත් කල්පනා කර තිබුනේ නැත.

සියල්ල අපේ හයිය හා කැමැත්ත අනුව විසදන්නට ඉඩ දී තමන්ගේ වෙලාව ඇති පමණ ගෙන කර ගෙන යන මේ රාජකාරිය තුළ ඇත්තේ කිනම් පාරිභෝගික සත්කාරයක් ද යන්න මට අපැහැදිලි ය.

කලින් පැමිණි තැනැත්තා හදුනා ගැනීමත් ඔහුට ඇයට මුලින් සේවය සපයා දීමේ වගකීම තමන් ට ඇතැයි යන්න තේරුම්ගැනීමත් පාරිභෝගික සත්කාරයට අවශ්‍ය ය. විශේෂයෙන් කල දුටු කල වල ඉහගන්නට හදන ජාතියක් ඉන්නා රටක එය වඩාත් අවශ්‍ය ය.

ඒ දැනුම පුද්ගලික අංශයට මෙන් ම රාජ්‍ය අංශයට ද නැතැයි මගේ අත්දැකීම මට කීවේ ය. මට පැටලුනා නොවේද? ඒ දැනුම රාජ්‍ය අංශයට මෙන්ම පුද්ගලික අංශයට ද නැතැයි යනුවෙන් එය වෙනස් විය යුතු නොවේ ද? කස්ටරමර් ඉස් ද කිංන්ග් කියා ලොකුවටම කියන්නේ එම අංශය බැවිනි.