කළ ගුණ (අතීතය) නොසළකා යහපාලනය (අනාගතය) පැතීම


අවසන් වූ ජනපතිවරණය තරම් අපේක්ෂකයින් වියදම් කළ මැතිවරණයක් තිබුනේ නැත. එයිනුත් පැරදුනු අපේක්ෂකයා වියදම් කළ ප්‍රමාණය අතිශයින් විශාල ය. මුලින්ම කට්අවුට් වැසි වැස්සේ ය. ඊළගට තොරතෝංචියක් නැති ගුවන්විදුලි හා රූපවාහිනී දැන්වීම් දොරෙ ගලා ගියේ ය. රැස්වීමක් තිබුනේ කොතැන ද ලංකාවේ නන් දෙස තිබූ ලංගම බස් එතැනට එක් රැස් වුනේ ය. වියලි ආහාර ද්‍රව්‍යවලට අමතරව කෑම පැකට් බත් දන්සැල් අරක්කු හා මත වැනි කාබී අහවර කරන දේ ද ඊටත් අමතරව බිත්ති ඔරලෝසු අතේ බදින ඔරලෝසු ටී ෂර්ට් කැප් තොප්පි මෝටර් සයිකල් ඈ කී නොකී ස්ථාවර භාණ්ඩද වලින් ජන්දදායකයන්ට අඩුවක් නැතිවම සංග්‍රහ කෙරුනේ ය. ඇත්තටම ඒවා සියල්ල බෙදා හැරීමටවත් හරි හමන් වෙලාවක් තිබුනේ නැත.

සංවර්ධනය ද යහපාලනය ද යන මාතෘකාව අවසානය වන විට වෙනස් වී තිබුනේ ය. අවසානයේ වැඩිපුරම නැගුණු ප්‍රශ්නය වූයේ කළගුණ සැළකීම ද යහපාලනය ද යන්න ය. ඊට අමතරව දන්න යකා ද නොදන්නා දෙවියා ද යන ප්‍රශ්නය ද ඉතිරි වුනේ ය.

අවසාන ප්‍රශ්න දෙකම අපේ ජන විඥානය හා සම්බන්ධ ප්‍රශ්නයන් ය.

කළ ගුණ සැළකීම අපේ ප්‍රබල ආචාර ධර්මයක් ය. බුදුන්ට බුදු වීමට සෙවන දුන් බෝ ගස බෝධීන් වහන්සේ කෙනෙක්ව හැම පන්සලකටම සෙවන සැලසුවේ කළ ගුණ දක්වන්නට බුදුන් සත් සතියෙන් එහැම පිටින්ම එකක් වෙන් කළ බව අපට හැම විටම මතක් කරමිනි.

සංවර්ධනය හා යහපාලනය යන දෙකටම වඩා කළ ගුණ සැළකීම ජනතාවට සමීප කාරණයකි. (මෛත්‍රීට ඡන්දය දුන් අය පවා මහින්ද ජනපති මන්දිරයෙන් සමුගෙන යන විට කඳුළු සැලුවේ ඒ නිසා ය. පැරදුනේ වුව ද ගම්මු මැදමුලනට එක්ව තනි රැක්කේ ද ඒ නිසා ය. එසේ කරන ලද්දේ මහින්දට ලගින්ම හිටි ඔහු යන යන තැන ගිය සජින් වාස්ලා දුටුගැමුණුලා පමණක් නොව දුමින්දලා ද පිටුපාන්නට පටන් ගෙන සිටිය දී ය.)

දන්නා යකා නොදන්නා දෙවියාට වඩා හොඳ යැයි කියන දෙවැන්න ද ප්‍රබල උවදෙසක් ගෙන එන්නකි. විශේෂයෙන් අවදානම් දරන්නට අකමැති ඊට නුහුරු ජාතියක් හැටියට අප ජීවත්වන බව එය අපට පසක් කර දෙන්නේ ය.

අපට නුහුරු යහපාලනයකට වඩා කොටියාගෙන් බේරී ජීවත්වන්නට පුලුවන් වටපිටාවක් තිබීම වැඩි වුවමනා එපාකම් නැති අපට සැනසිලි දායක පණිවුඩයකි.

දකුණේ ගම ආශ්‍රිතව මහින්දට ලැබුණු ඡන්ද මේ ජනපතිවරණ සටන් පාඨ දෙකේ ප්‍රතිඵලයන් ය. ඒ සටන් පාඨ දෙකම ගමේ ජන විඥානයට ආමත්ත්‍රණය කළේ ය.

එහෙත් මේ සටන් පාඨ නගරයට ලොකු බලපෑමක් කළේ නැත. එය වෙනත් සිංහල නොවන වෙනත් ජාතිකයන්ට හෝ බෞද්ධ නොවන වෙනත් ආගමිකයන්ට ද බලපෑමක් කළේ නැත.

ඔරලෝසුව ලබා ගත් ගමේ මිනිසා ඊට කළගුණ සැළකුවේ ය. ඒ යුද්ධය දිනා දුන්නාට අමතර වශයෙනි. එහෙත් ඔරලෝසුව ලබා ගත් නගරයේ මිනිසා එය අල්ලසක් ලෙස සැළකුවාට අමතරව යුද්ධය සදාකාලිකව විකුණාගෙන කෑමට අයිතියක් නැතැයි සිතුවේ ය.

මීට අමතරව සටන් පාඨයක් අනවශ්‍ය ජන විඥානමය ක්‍රියාකාරිත්වයක් ද අපට දැක ගත හැකි විය. ඒ අපේ කම ය.

දකුණු පළාත අපේ කම සළකා ගමේ මිනිහාට දෙන විට පොළොන්නරුව ද ඒ විදිහටම ක්‍රියා කළේ ය. ගැමියාගේ හැටි එහෙම ය. ඵල අයිති ගමේ වවුලන්ට ය. පිට උන්ට නොවේ ය.

ආසනය කියන විට ප්‍රතිඵල කිව හැකි තරමේ විභේදනයක් අපට දකින්නට ලැබෙන්නේ මේ හේතු සියල්ල නිසා ය.

මේ සියල්ල කළමනාකරණය පිළිබඳ බ්ලොග් පිටුවකට ඇතුළු වුයේ මෙවර ජනපතිවරණය ප්‍රතිපත්ති ගැටුමකට වඩා මාකටින් කැම්පේන් දෙකක ගැටුමක් එසේත් නැත්නම් තවත් අලෙවිකරණ සංසිද්ධියක් වූ බව කියන්නට ය.

මාකට් ෂෙයා එක හදාගන්නට එකිනෙකට වෙනස් ප්‍රතිරූප දෙකක් නිර්මාණය වී තිබුණු අතර මාකට් ෂෙයා එක ඒ අනුව බෙදුනු බව කියන්නට ය. ඔබේ භාණ්ඩ අලෙවි කරන්නේ ගමට ද නගරයට ද යන්න ගැන දැන ඒවා අලෙවි කළ යුතු බව කියන්නට ය.

කළමනාකරුවෙකුට ඉගෙන ගත හැක්කේ පොතපතින් පමණක් නොවේ. තමා අවට සිදුවන දෑ දෙස විමසුම් බැල්මක් හෙලීමෙන් ද ඔහුට උගත හැකි ය.

Advertisements

මස් රාත්තලම ඉල්ලා සිටින රජයේ විගණන ෂයිලොක්ලා!


ෂයිලොක්ට මස් රාත්තලම ඕනෑ විය. අපේ රටේ නිලතල හොබවන බොහෝ දෙනෙක් ෂයිලොක්ලා ය. ඔවුහු ද මස් රාත්තලම ඉල්ලා සිටිති.

එක්තරා අමාත්‍යංශයකින් නිකුත් කරන ලද චෙක්පතක් ගැනීම සඳහා යන කෙනෙක් ආයතනයේ සීල් එක ද ගෙනා යුතු ය. ඒ සීල් එක වවුචරයේ සටහන් නොකර චෙක් එක නිකුත් කරන්නේ නැත. චෙක්පත ලියුම රැගෙන එන නම් සඳහන් තැනැත්තාට බාර දෙන ලෙස උපදෙස් සහිත ආයතනයේ නිල ලිපියක් ඉදිරිපත් කළ ද ඔවුන් එය පිළිගන්නේ නැත. එය වවුචරයට අමුණන්නේ නම් සීල් එකෙන් කරන කාරියම එයින් කෙරෙන්නේ ය. ඒ වුනාට ඔවුහු ඉන් සෑහීමකට පත් නොවෙති.

මේ සියල්ල අවශ්‍ය වන්නේ කුමකට ද? වෙනත් කෙනෙක් අතට චෙක්පත පත්වීම වළක්වන්නට ය.

නැත. මෝඩ විගණන නිලධාරියෙකුගෙන් බේරීමට ය. ප්‍රශ්න කළ විට අසන්නට ලැබෙන්නේ ඒ උත්තරයයි. එතකොට සිදුවන්නේ ෂයිලොක් නැතිවීම නොව ෂයිලොක් විගණන නිලධාරියාට මාරු වීම ය. මෙසේ ෂයිලොක් ලා බිහිවීමට හේතුව කුමක් ද?

හේතුව හොයන්නට තරම් වටින්නේ ය. එක හේතුවක් නම් මෝඩකම ය. අනෙක උද්ධච්ඡ කම ය. උන් නිවුන් සොහොයුරන් ය.

ෂයිලොක්ලා තුරන් කළ හැකි නම් අපේ ජීවිත මීට වඩා පහසු වන්නේ ය.

විගණන නිලධාරීන්ට මුලින්ම ඉගැන්විය යුත්තේ නිහතමානිත්වය හා සංවේදීත්වයයි. විගණනය ආ යුත්තේ ඊළගට ය.

විගණන නිලධාරීන් ගැන කීවේ අදාළ සිද්ධිය නිසා ය. ඇත්තටම ඒ අනුපිළිවෙළ අදාළ වන්නේ විගණන නිලධාරීන්ට පමණක් නොවේ. බලය දරන සැමට ය. නිලය දරන සැමට ය.

එසේ වූ දිනක නීතිය තඩි බෑමට පොල්ලක් වෙනුවට ආරක්ෂාවට කුල්ලක් වනවා ඇත. කරුමය නම් මිනිසුන් ආරක්ෂාවට මුවා වීම සළකන්නේ බයගුළු කමක් ලෙස වීම ය. ඊට ප්‍රතිපක්ෂව තඩිබෑමට නොබියව ඉදිරියට යෑම සළකන්නේ නිර්භීත කමක් ලෙස ද වීම ය. ඒ නිසාම සියල්ල නැවත අර්ථ විවරණය කළ යුතු ව තිබේ. විශේෂයෙන් වීරකම කුමක් දැයි නැවතත් නිර්වචනය කළ යුතුව තිබේ. ෂයිලොක්ලා කවුදැයි රටට හඳුන්වා දිය යුතුව තිබේ.

ආගම! – කළමනාකරුගේ අස්ථානය?


ආගම, එය කවරක් හෝ වේවා, අපේ ජීවිතවලට ඇති කර ඇති බලපෑම අතිමහත් ය. ඒ නිසාම ආයතනයක කළමනාකාරිත්වයට එයින් වෙන්ව ජීවත්වීමට හෝ එය නැතැයි සිතා වැඩ කිරීමට හැකියාවක් නැත. විශේෂයෙන් අලුතින් ආගමික පුබුදුවක් දකින්නට ලැබෙන අප වැනි රටක එය තවත් අමාරු ය.

ඒ නිසාම ආගම සම්බන්ධයෙන් කළමනාකරණයේ ස්ථාවරය කුමක් විය යුතු දැයි යන්න ගැන නිශ්චය අදහසක් කළමනාකරුවන් විසින් ඇති කර ගත යුතු ය. එවිට යම් ආගමික කටයුත්තක් සම්බන්ධයෙන් වන ඉල්ලීමක් ගැන කුමක් කළ යුතු දැයි දහ අතේ කල්පනා කරමින් ලතැවීමට සිදු නොවේ.

හැම ආගමකින්ම අපේක්ෂා කළේ යහපතක් බව ඇත්ත ය. එහෙත් ඒවා දේශනා කරන්නේ එකිනෙකට වෙනස් මාවත් ය. ඒ නිසා එකක් අල්ලා ගත් විට අනෙක්වා අත හරින්නට සිදු වේ. ආයතනයක් විසින් අල්ලා ගත යුත්තේ කුමන ආගම ද? කුමක් අල්ලා ගත්ත ද එවිට අනික්වා අත හැරෙන නිසාම ආයතනය අමාරුවේ වැටේ. හැම දෙනාටම මෙය වැටහෙන්නේ නැත.

ඒ නිසා ආයතන ප්‍රධානියා, විශේෂයෙන් ඔහු බහුතරයගේ ආගම වන බුද්ධාගම අදහන කෙනෙකු නම්, තමන්ගේ ආගම ආයතනය තුළ ඉදිරියට ගැනීමට කටයුතු කරන්නට පුළුවන. එහි වැරැද්දක් පවා ඔහු නොදකින්නට පුලුවන.

යම් ආයතනයක් බුද්ධාගමේ චර්යාවන්ට මෙසේ මුල් තැන දෙන විට බුද්ධාගමේ සංකේත පමණක් ප්‍රදර්ශනය කරන විට ඒ ආයතනයට එන වෙනත් ආගම් අදහන හෝ ආගම් නොඅදහන ගනුදෙනුකරුවන්ට එය තමන්ගේ ආයතනයක් ලෙස නොහැගේ. එහෙත් බෞද්ධයන්ට එයින් අමතර ඇතුළත් කමක් ඇති විය හැකි ය. රටේ වැඩි දෙනෙක් බෞද්ධයින් බැවින් අන් අයගේ හැගීම ගැන තැකීමක් නැතිවාට කමක් නැත යන්න බොහෝ කළමනාකරුවන්ගේ මතය වී තිබේ.

ප්‍රශ්නය වඩාත් ව්‍යාකූල වන්නේ වෙනත් ආගමිකයෙකු හෝ නිර්ආගමිකයෙකු ආයතනයේ ප්‍රධානියා වූ විට ය. ඔහුට හෝ ඇයට අකමැත්තෙන් පැරණි සම්ප්‍රදාය ගෙන යන්නට සිදු වේ.

ආගම සමහර මිනිසුන් භාවිතා කරන්නේ තමන්ගේ සමාජ බලය වර්ධනය කර ගැනීමට ය. ආයතන ඇතුළේ ද මෙය සිදු වේ. ආගම වඩාත් ඉස්මත්තට ගෙන එන්නට සමහර විට දගලන්නේම ආයතනයේ ඉන්නා අතිශය වංචාකාරයා වීමේ ඉඩකඩ බැහැර කළ නොහැකි ය.

ආගමික කටයුතුවලට ඉඩක් විවර කළ විට එයට සීමා පනවන්නට ද අපහසු වේ.

විශේෂයෙන් වෙනත් ආගමිකයෙකු ආයතන ප්‍රධානියා වූ විට ඔහු හෝ අැය පාලනය කිරීමේ උපක්‍රමයක් ලෙස ද බහුතරයට ආගම භාවිතා කළ හැකි ය.

සමහර ආගමික ඉගැන්වීම් ආයතනයේ කටයුතු සමග ගැටෙන අවස්ථා තිබිය හැකි ය. උදාහණයක් ලෙස ධීවර කර්මාන්තයේ නියැලෙන ආයතනයක මුඛ්‍ය කාර්යයම බුද්ධාගමේ ඉගැන්වීම් හා ගැටෙන බව අපි දනිමු.

මේ සියළු කාරණා නිසා ආගම හා ආයතන අතර දීගය ආයතනයට පමණක් නොව ආගමට ද යහපතක් සලසන්නේ නැත. ආගම ඇදහීම එක් එක් පුද්ගලයාගේ පෞද්ගලික කටයුත්තක් විනා ආයතනයේ කටයුත්තක් නොවන බවට ආයතනයේ අගැයීම් පද්ධතියට ඇතුළු කළ විට බොහෝ ප්‍රශ්න විසඳේ. උදෑසනින් ආරම්භ කර රාත්‍රියේ අවසන් කරන විටත් ආගම මෙනෙහි කිරීමට සැදී පැහැදී සිටින මාධ්‍ය සම්බාරයක් ඇති රටක ඒ ටික නැවත වතාවක් ආයතනයක් තුළ කිරීමෙන් අමතර අගයක් එකතු වන්නේ නැත. ඒ බව තෝරා බේරා ගතහොත් ආයතනයේ වැඩ කටයුතු අනවශ්‍ය ව්‍යාකූලත්වයක් සංකීර්ණත්වයක් නැතිව පහසුවෙන් කර ගෙන යා හැකි ය.

පහළ අය ලවා ඉහළ අය අගැයීම- 360 අගැයීම – ලංකාවේ පුළුවන් ද?


මිනුමක් හෝ අඩු වශයෙන් වෙනත් ආකාරයක අගැයීමක් හෝ නැත්නම් යමක් පවතින්නේ නැතැයි කියමනක් තිබේ. උදාහරණයකින් කතා කරන්නේ නම් උෂ්ණත්වය මැනිය නොහැකි නම්, එයට යම් අයුරකින් අගයක් දිය නොහැකි නම්, උෂ්ණත්වය යනුවෙන් යමක් නොපවතින බව එයින් අදහස් කෙරේ.

කාර්යය සාධනය මනින්නේ නැත්නම් එය අගයන්නේ නැත්නම් කාර්යය සාධනයක් පවතින්නේ නැත. කාර්යය සාධනය මනින්නේ නැති, එයට අගයක් නැති, තැන්වල අකාර්යක්ෂමතාවය රජයන්නේ එහෙමට කාර්යය සාධනයක් එවැනි තැන්වල සිදු නොවන බැවිනි.

පෙබරවාරි 7 දා අප ආයතනයේ (දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයේ) පැවති වීඩියෝ සම්මන්ත්‍රණයක දී දකුණු කොරියාවේ හිටපු අධ්‍යාපන ඇමති මහාචාර්ය ලී කියා සිටියේ ගුරුවරුන්ගේ කාර්යය සාධනය අගයන්නට නව ක්‍රමයක් කොරියාව විසින් දැනට දශකයකට පෙර හඳුන්වා දුන් බවත් එයින් පසු කාර්යය සාධනයේ විශාල ප්‍රගතියක් දක්නට ලැබුණු බවත් ය. එයින් පෙනී යන්නේ ද කාර්යය සාධනය ඇතිවීමට නම් එය මැනිය යුතු බව ය. එයට අගයක් ලැබිය යුතු බව ය. අඩු වශයෙන් අගය කළ යුතු බව ය.

ගුරුවරුන්ගේ කාර්යය සාධනය මැනීමට කොරියාව විසින් හඳුන්වා දුන් එම ක්‍රමය අනුව කාර්යය සාධනය මැනීමට එම ගුරුවරයා උගන්වන සිසුහු, ඔවුන්ගේ දෙමාපියෝ හා අනිකුත් ගුරුවරු ද හවුල් වෙති.

ප්‍රශ්නයේ ඇත්තේ මැනීමේ නොව මිම්මේ ය. මෙයට ගුරුවරු කී දෙනෙකුගේ අනුමැතිය ලැබේ ද? ලංකාවේ එවැන්නක් පැවැත්වීමට පුළුවන් වෙයි ද? සාකච්ඡාවේ දී මතු වුණු මුල්ම ප්‍රශ්නය එයයි. ඒ අනුසාරයෙන් ප්‍රශ්න තුනක් දේශකයාට ඉදිරිපත් විය.

1. මේ සම්බන්ධයෙන් ගුරුවරුන්ගේ විරුද්ධත්වයක් ඇති වූයේ නැද්ද?
2. එසේ වී නම් විරුද්ධත්වයේ පදනම කුමක් විණි ද?
3. එය ජය ගත්තේ කෙසේ ද?

උත්තර මෙසේ ය.
1. ඒ සඳහා විශාල විරුද්ධත්වයක් ඇති විය
2. හයේ පන්තියේ කුඩා දරුවන්ට එවැනි අගැයීමක් කළ හැකි ද වැනි ප්‍රශ්න ඉදිරිපත් විය
3. කාර්යය සාධන අගැයීම ගුරුවරුන්ගේ වැටුප් හෝ උසස්වීම් නිර්ණය කිරීමේ දී සාධකයක් ලෙස නොගන්නා බවට සහතික වීමෙන් විරුද්ධත්වය මෙල්ල කර ගත හැකි විය

ඒ උත්තර තුන දුන් පසු හිටපු අධ්‍යාපන ඇමතිවරයා කීවේ හයේ පන්තියේ ළමුන්ගේ අගැයීම සහෝදර ගුරු මණ්ඩලේ අගැයීමට බොහෝ සෙයින් සමාන වූ අතර වැටුප් සමග සම්බන්ධ නොවුව ද ඒ අගැයීම ගුරුවරුන්ට සංවේදී වීමට විශාල පෙළඹවීමක් ඇති කළ බව ය.

පාසලේ දී පමණක් නොව සරසවියේ ද වැඩ පොළ හා කාර්යාල වල ද මේ ක්‍රමය අත්හදා බැලීමෙන් සාර්ථක ප්‍රතිඵල නෙලා ගත හැකි බව මා වැඩ කළ ආයතනවල එවැනි ක්‍රම අත්හදා බැලීම් වලින්ම මම දනිමි.

එය ඕනෑම රටක ඕනෑම ආයතනයක කළ හැකි ය. අවශ්‍ය වන්නේ අභියෝග ජය ගැනීමට අවශ්‍ය ධෛර්යය හා බිය නැතිකමත්, නායකයෙකු හැටියට අනිත් බොහෝ ආකාරයෙන් මිනිසුන් අතර පිළිගැනීමක් තිබීමත් පමණි.

ඊයේ අවසන් ගමන් ගිය නෙල්සන් මැන්ඩෙලා


Mandela-quote-braveryසරල අව්‍යාජ සිනහවකින් යුත් ඒ සුන්දර මිනිසා දකුණු අප්‍රිකාව වර්ණ භේදයෙන් ගලවා ගැනීමට වසර 27 ක් සිර බත් කෑවේ ය. තමන් හිර භාරයේ රදවා සිටි අයට සමාව දුන්නේ ය. තමන් හිර භාරයේ රඳවා සිටි සුදු පාලකයා වන ක්ලාර්ක් සමග එක්ව හිරේ රැඳී සිටිය දී ම සුදු කළු භේදයෙන් තොර රටකට පදනම දැමීමෙන් නොනැවතී ඔහු සමග එක්ව නොබෙල් සාම තාග්‍යය ද බෙදා ගැනීමට එක වේදිකාවකට, තම පිලේම අන්තවාදීන්ගේ විරෝධය මැද්දේ, ගොඩ වුනේ ය. සුදු කළු භේදය තමන්ගේ පැවැත්ම සඳහා භාවිතා කිරීමෙන් වැළකුණේ ය.වරදකාරිය වූ තම බිරිඳට දඩුවම් දිය යුතු බව විශ්වාස කළේ ය. ඒ අනුව කටයුතු කළේ ය. බලයේ රැදෙන්නට අවසර තිබියදී බලය අත් හැරියේ ය.

ඒ සියල්ල පරිත්‍යාගයන් ය.

වඩා වැදගත් දේ වෙනුවෙන් කරන ලද ‘කුඩා‘ පරිතාග්‍යයන් ය. ඒ ඔහුගේ කෝණයෙන් බැලූ විට ය. අපට නම් ඒවා ලොකු පරිතාග්‍යයන් ය. හිතන්නට වත් බැරි පරිතාග්‍යයන් ය.

කුඩා දෙයක් පවා පරිත්‍යාග කරන්නට අසමත් අප පුංචි මිනිසුන් වන විට ඔහු දැවැන්තයෙකු වන්නේ ඒ නිසා ය.

දෙන්නේ නැතිව ගන්නට බැරි ය. ඔහු වර්ණ භේද වාදය ජය ගත්තේ ය. ඒ සඳහා ජිවිතයේ හොදම කොටස දුන්නේ ය.

විශ්වාස කරන්නේ නැතිව දිගු කාලීන සම්බන්ධයක් ගොඩ නැගිය නොහැකි ය. ඔහු සුදු කළු සමගිය ඇති කර නව රටකට අඩිතාලම දැමී ය. ඒ සදහා හේ කල්ලන් ද ඒ පමණටම සුද්දන් ද දායක වනු ඇතැයි තරයේ විශ්වාස කළේ ය.

අනුන්ට සමාව දීමත් තමන් සම්බන්ධයෙන් දැඩි බවක් රදවා ගැනීමත් නොකර අනභිබවනය කළ නොහැකි බලවේගයක් තැනිය නොහැකි ය. ඔහු ඒ බලවේගය ගොඩ නැගුවේ ය. ඒ සදහා සුද්දන්ට සමාව දී තම බිරින්දෑට දඩුවම් දුන්නේ ය.

අතීතය තුළ එරෙන්නේ නැතිව අනාගතය දෙස බලන්නට ඔහුට තිබූ හැකියාව සාදු ගුණයෙන් තොරව ඇති කර ගැනීම අමාරු ය.

ඔහු සරල ය. සුන්දර ය. හාස්‍යයට ලැදි ය. මෛත්‍රීෙයන් යුක්ත ය.ඒ ලක්ෂණ වලින් තොරව දැවැන්ත යමක් ඇති කළ නොහැකි ය.

පාරේ ඇති කටවුට් වලට වඩා ප්‍රබල වන්නා වූ සුළගින් ගලවා ලිය නොහැකි තාර ගා විකෘති කළ නොහැකි ප්‍රතිරූපයක් මිනිස් හදවත් තුළ ගොඩ නගන්නට ඔහුට හැකි වන්නේ ඒ නිසා ය.

එක රටක මිනිසුන් නොව ලොව නන් දෙස මිනිසුන් ගේ හදවත් වලට කතා කිරීමට ඔහු ශක්තිය ලබන්නේ ඒ නිසා ය.

ඔහු වන්දනා මාන කරන අපට ඔහුගෙන් කාලක් අනුගමනය කරන්නට ශක්තිය ලැබේ නම්?

එසේ ලැබේවා යයි පතමු.

සංස්කෘතිය හා සම්ප්‍රදාය ගැන කළමනාකරුගේ දැක්ම කවරක් විය යුතු ද?


මිනිස්සු මුලින්ම ගස් ගල් වලට වැන්ද. හිරුට සදුට වැන්ද. වැස්ස වලාහක දෙවියන් වැස්ස ගේනවයි කියල හිතුව. නියගෙන් පොළොව වේලිලා යනකොට වැස්ස වලාහක දෙවියන්ට කන්නලව් කළා.

ආදි මුතුන් මිත්තො මළගිය අය විශේෂයෙන් ජීවත්ව සිටිය දි වීර වැඩ කරපු අය දෙවියන් බවට පත්වෙන බව විශ්වාස කළා. මින්නේරිය වැව කරපු මහසෙන් රජතුමාත් දෙවියෙක් හැටියට අදටත් පොළොන්නරුව පැත්තේ බොහෝ මිනිසුන් විශ්වාස කරනව. ඒ විතරක් නෙවෙයි මේ දෙවියන්ට පුජෝපහාර පවත්වන්නත් මිනිස්සු කටයුතු කරනව.

මේ විශ්වාස මිනිසුන්ට හයියක් ලබා දෙනව. ඒවායෙ ඇත්ත නැත්ත හොයන්න හදන්නෙ නගරෙ ඉන්න පණ්ඩිතයො. ගම්වල මිනිසුන් ඇතත් නැතත් කියල හෝ ඒ කටයුතුවල බොහොම භක්තියෙන් යෙදෙනව.

මේ පූජා මිනිසුන්ට එකතු වෙන්න ඒවගේම තමන්ගෙම නිර්මාණ එලි දක්වන්න හොද අවස්ථාත් වෙනව. තොවිලයක් පවිලයක් කරන තැනක අපූරු ගොක් කොළ නිර්මාණ දකින්න ලැබෙනව වෙස් මුහුණු දකින්න ලැබෙනව. තොවිලෙ ඇතුලෙ යාන් හෑලිත් තියෙනව. ඒව මිනිසුන්ට විනෝදයත් ගේනව. පෙම්වත්තුන්ටත් මේ දවස් එකතු වෙන්න මුකුළු කරන්න කියාපු දවස්.

අලුත් සහල් මංගල්ලෙ දාට මිනිස්සු අලුත් ඇදුම් ඇදල කැවිලි පෙවිලි හදාගෙන ඒකට සහභාගි වෙන්න එනව. ගමේම අය එකට එකතු වෙනව මේ දවස්වල අරෝවක් තිබුන නං තරහ මරහ තිබුණ නම් ඒවා මිනිස්සු අමතක කරනව. එහෙම බැලුවහම මේවයින් සිද්ධවෙන අතුරු වාසි බොහෝමයි.

සමහරුන්ගෙ මනාපෙ තියෙන්නෙ මේව හැමදාටම තියා ගන්න.

ඒත් අලුත් ලෝකෙ වෙනස්කමුත් වෙනව. මීහරක් වෙනුවට ට්‍රැක්ටර් ආපුවහම, මිනිස්සු කරපු වැඩ කරන්න සුනාමි හා භූතයො ආපුවහම, වී වෙනුවට අතුරු බෝග වවන්න පෙළඹවීම් ඇතිවුනහම, සෙල් ෆෝන් එක හරහා ක්‍රිකට් විස්තර අහන්න ගත්තහම මිනිසුන්ට තියෙන අභියෝග වෙනස් වෙනව. ඒත් එක්කම මේ පැරණි විශ්වාස එක්ක කරන ගනුදෙනුව අඩු වෙන්න ඉඩ තියෙනව.

මේව රැක ගන්න ඕන අයට ඒ වෙනුවෙන් අමතර මහන්සියක් එතකොට ගන්න සිද්ධ වෙනව. සමහර විට රූපවාහිනියෙ කමත වගේ වැඩසටහනකට පෙන්නන්න විතරක් මේ ඉතුරු වෙන දවසක් එන්නත් බැරි නෑ.

විශ්වාස සමහරක් බිද වැටෙනව. අලුත් විශ්වාස මතුවෙනව. වැස්ස වලාහක දෙවියන්ට යාඥාකරපු මිනිස්සු කාලගුණ වාර්ථාව බලන්න උත්සුක වෙනව. ඒ කොහොම වුනත් සමහර තැන්වල මේ විශ්වාස රැකිලා තියේවි. හැමදාටම නෙවි.

ගස් ගල් වදින මිනිසුන් දැන් නෑ වගේ, හිරු ට සදු ට වදින මිනිසුන් දැන් අඩු වෙලා වගේ, ඉස්සරහට තව තවත් දේ වෙනස් වේවි. සදාකාලික වෙන්නෙ වෙනස විතරයි කියල කතාවකුත් තියෙනවනෙ.<

ඉහළ උපුටා දක්වා ඇත්තේ මා විසින් වෙනත් අරමුණක් සදහා ලියන ලද රචනාවකින් කොටසකි. මා එය මේ බ්ලොග් අඩවියට රැගෙන ආවේ කළමනාකරුවන්ට මුහුණ දීමට සිදුවන එක් කාරණයක් ගැන විවරණයකට ප්‍රවේශයක් වශයෙනි.

කළමනාකරුවෙක් සංස්කෘතිකයේ සම්ප්‍රදායේ තියෙන සාධනීය දේවල් භාවිතයට ගත යුතු බව එයින් හැගෙනු ඇත්තේ ය. එහෙත් එය කළ යුත්තේ ප්‍රවේශමෙනි.

සම්ප්‍රදාය හා සංස්කෘතිය හැමවිටම සාධනීය නැත. සමහර විශ්වාසයන් මිනිසුන්ට වින කරන බවට ගත හැකි උදාහරණ බොහෝ ය.

සම්ප්‍රදාය සම්බන්ධයෙන් රේඛාව අැඳිය යුත්තේ කවර තැනකින් ද යන්න නිශ්චය කිරීම කල්පනාවෙන් කළ යුතු ය. විශ්වාසයන්හි තාවකාලික බව හා නිශේධනීය/ සාධනීය ලක්ෂණ සැළකිල්ලට ගෙන ප්‍රවේශමෙන් කළ යුතු ය.

සංස්කෘතිය හා සම්ප්‍රදායන් එක් ප්‍රජාවකට සුවිශේෂී නිසාම එක් සම්ප්‍රදායක් තෝරාගැනීමෙන් පිරිසක් අපට ආකර්ෂණය කර ගන්නවා සේම ඒ ප්‍රජාවට අයත් නොවන පිරිසක් ඒ සමගම අපට මග හැරෙන බව ද අප විසින් සිහිතබා ගත යුතු ව තිබේ.

බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ මරණය – කළමනාකරණ ඇසකින් විමසුමට


ප්‍රශ්නයක් දෙස බැලිය යුත්තේ කෙසේ දැයි සාකච්ඡා කරන්නට අපට මේ මරණය නිමිත්තක් කර ගත හැකි ය. නැතිනම් වන්නේ මේ මරණය නිරපරාදේ වූ තවත් මරණයකට සීමා වීම පමණ ය.

ගව ඝාතනය නතර කරන ලෙස ඉල්ලා උන්වහන්සේ සිය සිරුරට ගිනි තබා ගෙන තිබේ.

ගව ඝාතනය හොද ද? නැත් ද? අපට ඇසිය හැකි එක් ප්‍රශ්නයකි. හොද නොහොද යනු කාලයත් සමග වෙනස් වන එපමණක් නොව රටින් රටට ද වෙනස් වන සංකල්පයකි. එක් කලෙක වහල් වෙළදාම සාමාන්‍ය දෙයක් වූ අතර එකල ලෝක වාසීන් විසින් (වහලුන් ද ඇතුළත්ව) එය වැරැද්දක් හැටියට සැළකුනේ නැත.

මේ ප්‍රශ්නයට උත්තර හොයන අයට තවත් ප්‍රශ්නයක් මුණ ගැසේ. වැරදි ගව ඝාතනය පමණක් ද? එළුවන් ඝාතනය හරි ද?

කිසිම සතෙක් ඝාතනය නොකරන්නේ නම් හොද ය. මේ, ඒ සදහා යන මාවතේ මුල් පියවර ය. ඒ අපට ලැබෙන පිළිතුරු ය.

සත්ව ඝාතනයෙන් තොරව අපට මානව වර්ගයා ලෙස පැවැත්මක් වේ ද? වී ගොවියා වී ගොවිතැන රැක ගැනීම සදහා කෙතෙක් නම් සතුන් මරන්නේ ද? එළවලු පමණක් අනුභව කරන්නන් මේ සත්ව ඝාතනයන්ට උල් පන්දම් නොදෙන්නෝද? කුරුළු උණ වැළදුන කුකුළන් ලක්ෂ ගණනින් ඝාතනය කර මානව වර්ගයා ඒ භයානක වසංගතයෙන් බේරාගැනීමත් පාපයක් ද?

සියලු සතුන්ගේ ජීවිත බේරාගත හැක්කේ මාංශ භක්ෂික සතුන් ද තුරන් කිරීමෙනි. අප සතුන් නොමැරුවාට මාංශ භක්ෂීක සතුන් වෙන සතුන් දඩයම් කිරීම අපට නතර කළ නොහැකි නිසාවෙනි.

ඒ අවසානයක් නැති ප්‍රශ්නයට උත්තර දීම නවතා අපට මේ ප්‍රශ්නයට වෙනත් ලෙසකට ප්‍රවේශ විය හැකි දැයි බලමු.

ගව ඝාතනය නතර කිරිම ප්‍රායෝගික ද? නැත් ද?

එය කලින් ප්‍රශ්නය මෙන් නොව උත්තර සෙවිය හැකි ප්‍රශ්නයකි. ලංකාවේ බොහෝ පෙදෙස්වල ගව පට්ටි අයිතිකරුවෝ සිටිති. ඒ අයගේ පවුල් දිවි ගෙවන්නේ එළදෙනුන්ගෙන් කිරි ලබා ගනිමින් ඊට සමාන්තරව ගවයින් මසට විකිණිමෙනි. බැරි වෙලාවත් ගවයන් විකිණිය නොහැකි වන්නේ නම් ගවයන් හැදීමට ඇති අභිප්‍රේරණය අහෝසි වේ. එවිට එළදෙනුන් පමණක් ඉතිරි කර ගවයින් අයාලේ යන්නට හැරියොත් සිදුවන ව්‍යාසනය කොතෙක් වේ ද? මී හරක් මෙන් නොව එළ හරක් මිනිස් වාසයේ ජීවත් වෙන සත්ව කොට්ඨාෂයකි. එක් පැත්තකින් මිනිසුන්ට ජිවනෝපායක් අහිමිවන අතර සතුන්ට ඉන් රැකවරණය අහිමි වේ.

ගණිකා වෘත්තීය අප රටේ නීතියෙන් තහනම් ය. එහෙත් ලංකාවේ ගණිකාවන් 40,000 ක් පමණ සිටිතැයි සමීක්ෂණයකින් හෙලිවී තිබේ. මත්පැන් නිශ්පාදනය සදහා අවසර ඇත්තේ බලපත් ලාභීන්ට පමණකි. එහෙත් ලංකාවේ හොර අරක්කු හා කසිප්පු නිශ්පාදනය ගම් මට්ටමේ අතිශයින් ජයට කෙරෙන සිදුවන ස්වයං රැකියාවකි. හැම ගමකම වෙල් යායකම කැළෑ ගොන්නකම පාහේ කසිප්පු පෙරන බව නොදන්නේ කවු ද? ඒවා අනුව කල්පනා කරද්දී කැළෑවට ගාල් වෙන මේ හරකුන් මස් කරන්නට නීතියෙන් අවසරයක් නැතිව කටයුතු සිදු නොවේ යයි කිව හැක්කේ කාට ද?

ස්වභාව ධර්මයේ ස්වයං පාලනයක් සිදු වේ. ගව ජනගහණය වැඩි වුවහොත් ඔවුන් ඊළගට මිය යන්නේ කන්න නැතිව ය. වෙනත් බෝවෙන රෝගයන්ට ගොදුරු වෙලා ය. එය මේ තත්වයට වඩා සුන්දර ද?

හරි වැරැද්ද විවාදාත්මක වූ ද, ප්‍රායෝගිකත්වය ප්‍රශ්න කාරී වූ ද, මේ වෑයම තුළ තිබෙන ඊළග අවුල කුමක් ද? මේ විදිහට විවිධ ඉල්ලීම් ඉල්ලමින් මිනිසුන් සිය දිවි නසා ගන්නට සැළසුනොත් සිදු විය හැක්කේ කුමක් ද? මෙයින් දෙන ආදර්ශය හොද ද?

පිහියක් දික් කර මංකොල්ල කෑමත් යමක් නොදුන්නොත් තමන් දිවි නසා ගන්නා බව කීමත් අතර අහස පොළොව මෙන් දුරස්ථභාවයක් ඇති බව ඇත්ත ය. එහෙත් ඒ දෙක අතර යම් සමානත්වයක් ද ඇත. ඒ බලහාත්කාරයයි.

හැගීම්වලට වහල් නොවී මෙසේ විචාරශීලීව එළැඹි සිහියෙන් ප්‍රශ්නයක් දෙස බැලීමට අපට හැකි නම් මෙවැනි නිරාපරාදේ මරණ වළක්වා ගත හැකි ය. ජීවිත පූජාවක් කළ යුත්තේ එයින් යම් සුගතියක් අත් වේ නම් පමණ ය. මේ ඉල්ලීම තුළ එවැනි සුගතියක් ඇති කළ නොහැකි බව ගැඹුරින් විමසන්නෙකුට පෙනෙනු ඇත.

මෙවැනි ප්‍රශ්න සමාජයේ පළල් සංවාදයන්ට බදුන් විය යුතු ප්‍රශ්න මිසක කෙනෙකුගේ දෙදෙනෙකුගේ ආවේගයට අනුව උත්තර සෙවිය යුතු ප්‍රශ්න නොවේ. මේ සම්බන්ධයෙන් වන කතිකා ලාභ ජනප්‍රියතාවය සොයන මැදිහත් වීම් ලෙස මිසක විචාර බුද්ධියෙන් යුතුව කරන මැදිහත් වීම් ලෙස සැළකිය නොහැකි ය.

කළමනාකරුවන් හැටියට ප්‍රශ්නයක් ආවේගශීලි මට්ටමට පහළින් තබා ගැනීම හැම විටම වඩා ප්‍රබුද්ධ තීරණයකට ඒමට අපට උපකාරීවන බව සිහිකට යුතු ය.