කියන කොට එහෙමයි, කරන කොට මෙහෙමයි!


සන්නිවේදනය කී පමණින් අපේ මනසට එන්නේ වචන ය. වචනවලින් තොර සන්නිවේදනයක් ඇතැයි යන්න පිළිගැනීමට පවා බොහෝ දෙනෙකුට තරමක් දුරට සිතන්නට සිදුවේ.

මෙයට එක් හේතුවක් නම් අපේ පාසල් අධ්‍යාපනය තුළ වචන සිංහාසනාරූඩ කර තිබිම ය. වචන නැති අධ්‍යාපනයක් අපට සිතා ගැනීමට බැරි ය. ගුරුවරයා කීවේ වචන ය. ලීවේ වචන ය. අපට කියන්නට කීවේ වචන ය. අපට ලියන්නට කීවේ වචන ය. විභාගයේදී පරීක්ෂාවට ගත්තේ වචන ය. වචනවලින් තොර යමක් පාසැලේ තිබුනේ නම් අප ඒවාට කීවේ බාහිර ක්‍රියාකාරකම් කියා ය. ඒවා අධ්‍යාපනයේ ප්‍රධාන ධාරාවට සම්බන්ධ වූයේ නැත. ඒවා භාවිත වුනේ අධ්‍යාපනය සදහා නොවේ. පාසැලේ නම බැබලවීම සදහා ය.

දෙමාපියන් පවා ආදර්ශයට වඩා උතුම් කොට සැළකුවේ අවවාද ය. ඒ තුළ තිබුනේ වචන ය. තමන් ද සැක කළ විශ්වාස නොකළ වචන ය.

පන්සලේ හාමුදුරුවන් බෞද්ධයන් යහමග යවන්නට තැත් කළේ බණ කීමෙනි. ඒ ද වචන හරහා ය. පන්සිල් රැකීමට වඩා පන්සිල් ගැනීම උතුම් විය. පන්සිල් රැකීම ක්‍රියාවක් වන විට පන්සිල් ගැනීම වචන උච්චාරණයක් විය. ලතාවකට පන්සිල් කීවේ නම් බොහෝ දෙනෙකුට එය සෑහුනේ ය. බෞද්ධයෙක් වීම සදහා තිසරණ සහිත පන්සිල් සමාදම් වීම සෑහුනේ ය. බුදුන් සරණ යනවා යයි පොරොන්දු වුනු බෞද්ධයෙකුට ඊලග මොහොතේ පල්ලියට ගල් ගැසීමට අත ඔසවන්නට හිරිකිතයක් නැතිවුනේ ඒ නිසා ය. දාන ගෙදරක මත්පැන් කට ගා ගත් අය සුරාමේරය මජ්ජපමා කීමට හරිබරි ගැසුනේ ඒ නිසා ය.

දෙවියන්ට යාඥා කිරීමෙන් කිතුණුවෝ ද සැනසුනෝ ය. දෙවියන් හා එක්විය හැක්කේ තමන්ගේ ක්‍රියාවෙන් බව පෙන්වූ ජේසුස්ගේ ජීවිත ආදර්ශය බොහෝ කිතුණුවෝඅමතක කළෝය. ඔවුන් දෙවියන් හා එක්වුනේ වචනයෙන් පමණ ය. ඒ ගීථිකා කට පාඩමෙන් කීම හරහා ය.

ක්‍රියාවෙන් සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී නොවුනත් අපේ රට නාමයෙන් එනම් වචනයෙන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයක්ම වූයේ ය.

දේශපාලනඥයන් පවා අපට සංග්‍රහ කළේ වචනයෙනි. දේශපාලන වේදිකාවේ දී පමණක් නොව මැතිවරණ සමයේ වර්ණවත් පෝස්ටර්වල ද ප්‍රකාශනවල ද තිබුනේ වචන ය. ඒවායේ ශබ්ද රසයට වැඩි යමක් නොතිබුනේ ය.

වේදිකාවේ පමණක් නොව රිදී තිරයේ ද නළුවන් අඩුවෙන්ම කළේ රග පෑම ය. වැඩිපුර කළේ දෙබස් කීම ය.

ආයතන ඇතුළේ දී ඇතැම් ආයතන ප්‍රධානීන් ද වැඩිපුර කැමති සිය කාර්ය මණ්ඩලයට දේශනා පැවැත්වීමට ය. එහෙත් අවාසනාවකට මේ රැස්වීම්වල ආයතන ප්‍රධානීන් දෙසන බණ බොහෝ විටක අවකාශයට අධෝවාතයකින් තරම්වත් ප්‍රයෝජනයක් එකතු කරන්නේ නැත. එයට හේතුව ආයතනයේ කාර්ය මණ්ඩලය වෙන කවරෙකුටත් වඩා හොදින් කතාව පිටුපස ඇති ප්‍රධානියාගේ ක්‍රියාව ගැන අවබෝධයකින් සිටින නිසා ය.

වචන ලාභ ය. වචනවලට ඒ නිසා පහසුවෙන් බොරුවේ ස්වරූපය ගත හැකි ය. වරක් වචනයට රැවටුන මිනිසෙක් නැවත ඒ වචනම ඒ කියන්නාගේ මුවින් පිටවෙන කල විශ්වාස කරන්නේ නැත. බුද්ධිමත් මිනිසෙක් ක්‍රියාවෙන් සනාථ වන තුරු කවරෙකුගේ වුව කිසිදු වචනයක් විශ්වාස කරන්නේ නැත.

ඒ නිසා වඩාත් වැදගත් වන්නේ අඩුවෙන් කතා කර වැඩියෙන් වැඩ කර ඒ හරහා මිනිසුන් ඒත්තු ගැන්වීම ය. බොරුවෙන් තොර රටක් ගොඩ නැගිය හැක්කේ ක්‍රියාවෙන් සන්නිවේදනයේ යෙදීම හරහා ය. අප ආයතන තුළ ගොඩ නැගිය යුත්තේ ක්‍රියාවෙන් කෙරෙන සන්නිවේදනය අගයන සංස්කෘතියකි.

සන්නිවේදනයේ දී වචනවලට ඇති භූමිකාව අවතක්සේරු කිරීමක් මෙයින් අපේක්ෂා නොකෙරේ. යමක් අපට පැහැදිලි කළ හැක්කේ වචන හරහා ය. මේ බ්ලොග් සටහන ලිවීමේදී ද මා භාවිතා කළේ වචන ය.

ඒත් යමක් ඒත්තු ගැන්වීමට නම් ඒ වචන ක්‍රියාවට නැගිය යුතු ය. වචනය ආරම්භයකට හොද ය. එහෙත් එයින් අවසානය ලගා කර ගත නොහැකි ය. එය කළ හැක්කේ ක්‍රියාවකිනි.

Advertisements

මෝඩකම සමහර විට නුවනක්කාරකමක් විය හැකි ය – අප ඊට දී ඇති නම වාසනාව ය


දක්ෂතාවය හා ආත්ම ධෛර්යය තිබේ නම් බොහෝ දේ අපට කළ හැකි ය.

ආරම්භ කළ යමක් සාර්ථක වෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී නතර කර දමන්නේ ආත්ම ධෛර්යය නොමැති කම නිසා ය.

සාර්ථක වෙන බව දන්නවා නම් නතර කරන කෙනෙක් නැත. ඒ නිසා ඉහත කියමන ප්‍රවේසමෙන් කියවිය යුතු ය.

යමක් දිගින් දිගට එකම නිශේධනීය ප්‍රතිඵල පෙන්වද්දීත් එය එලෙසම කර ගෙන යෑම නුවණක්කාර නැත. දක්ෂ මිනිසුන් එකම දේ ප්‍රතිඵලයක් නැතිව තිබෙද්දී ඔහේ දිගටම කරගෙන යන්නේ නැත.

වෙනත් විදිහකට කියනවා නම් ආත්ම ධෛර්යය ඇති මෝඩයා දිගින් දිගට වරදිද්දීත් උත්සහ දැරීම අත් හරින්නේ නැත.

එහෙත් වාසනාව මේ මෝඩයාට පිහිට වන්නට ඉඩ තිබේ. එය මැණික් නැතැයි අත්හැර දමන ලද පතලෙන් ඊළග අඩියේ මැණිකක් ලැබීම වැනි ය.

අනෙත් අතට ප්‍රතිඵල නොපෙන්වන නිසා එකම දේ කිරීම අත් හරින වෙනත් විකල්ප මාර්ග උරගා බලන තැනැත්තාට වෙනත් පහසු මගක් මුණ ගැසිය හැකි ය. එය දිගින් දිගට ඒ වැඩේම කර ගෙන යන්නාට මුණ නොගැසෙන විකල්පයකි. වාසනාව එනතෙක් බලා සිටියා නම් මුණ නොගැසෙන විකල්පයකි. එය දක්ෂකමෙන් ලබා ගත යුත්තකි.

වාසනාව සැළසුම් කළ හැක්කක් නොවේ. එය හුදු අහම්බයක් විය හැකි ය. ඒ ගැන විශ්වාසය තැබිම ඒ නිසා තරමක මෝඩ වැඩකි.

එහෙත් ඒ ගැන විශ්වාසය නැතිව ආත්ම ධෛර්ය ලගා කර ගැනීම පහසු නැත. සාර්ථකත්වය පෙනි පෙනී අත හැර ගිය බොහෝ දෙනෙකුට මේ විශ්වාසය තිබී නැත.

ආත්ම ධෛර්යය මිනිසුන්ට අවශ්‍ය ගුණයක් ලෙස දැක්වූවද එය රැක ගැනීමට කිසියම් මෝඩ කමක් තිබීම ද ඒ සදහා අවශ්‍ය ය.

මෙයින් පෙනෙන්නේ ලෝකය සරල නොවන බව ය. එහි සුන්දරත්වය රැදී ඇත්තේ ද මේ අවිනිශ්චිත විසදන්නට අපහසු සූත්‍රගත කරන්නට අමාරු සංකීර්ණත්වය තුළ ය.

සමහර අවස්ථාවලදී මෝඩ වීම හොද වන්නේ මේ අවිනිශ්චිභාවය නිසා ම ය. එයට අප දී ඇති නම වාසනාව ය.

නායකයෙකු විසින් රැක ගත යුතු ප්‍රධානම වස්තුව


තරුණියකට රැක ගත යුතු ප්‍රධානම වස්තුව හැටියට සැළකුණේ කුමරි බඹසර ය. එහෙත් බොහෝ රටවල අද එය එපමණටම සැළකිල්ලට භාජනයවන බවක් පෙනෙන්නේ නැත. එහෙත් රට කුමක් වුව ද නායකයෙකු විසින් රැකගත යුතු වස්තුවක් තිබේ. එය රැක ගත නොහැකි වූ කල නායකයාගේ පිරිහීම ඇරඹේ.

ඒ වස්තුව නම් විශ්වාසයයි. කරනවා යයි කියන දෙය කිරීම මගින් ඇතිකරන විශ්වාසය යි. නොකරනවා යයි කියන දෙය නොකිරීමෙන් ඇති කරන විශ්වාසයයි.

විශ්වාසය අඹුසැමියන් අතර ඇති වැදගත් ම පදනම වන්නේ යම්සේ ද එය නායකයා හා අනුගාමිකයා අතර ඇති බැදීමට ද වැදගත්ම පදනම සපයන්නේ ය.

කරනවා යැයි කියන දෙය සැමවිටම කිරීමට නුපුළුවන් වීමට ඉඩ තිබේ. එවන් විටෙක ඒ ගැන සමාව අයැදීමත් එසේ වූයේ මන්දැයි පැහැදිලි කිරීමත් අවශ්‍ය ය.

එහෙත් සමහර අවස්ථාවල සිදුවන්නේ කරනවා යැයි කී දෙය නොකර එය කළ බවට ඇගවෙන සපථ කිරිම් වලින් සංග්‍රහ කිරීම ය.

කරනවා යැයි කී දෙය නොකර එය කළේ යැයි කීමෙන් විශ්වාසය පළුදු වනවා පමණක් නොවේ. නොමග යැවීම ගැන තරහක් ද අනුගාමිකයන් තුළ පහල වේ. කෙනෙකුට යම් කෙනෙකු තමන් ගොනාට ඇන්දේව්වේ යැයි ඇති වන හැගීම ගෙන එන්නේ සුලුපටු තරහක් නොවේ.

නොකරනවා යැයි කී දේ කරන නායකයෝ තමන් එසේ නොකළ බවට සපථ කරනා විට ද අනුගාමිකයන්ට ඇතිවන්නේ ඒ හැගීම ය.

ඒ නිසාම වඩා සුදුසු විදිහ නම් නොකරනවා යැයි කී දේ කරන්නට වූ විට ඒ ගැන ද සමාව අයැද ඊට හේතු වූ කාරණා ද ඉදිරිපත් කිරිම ය.

අනුගාමිකයින් එවැනි සංග්‍රහයකට සුදුසු යැයි බොහෝ නායකයින් කල්පනා කරන්නේ නැත. ඔවුන් විශ්වාස කරන්නේ මිනිසුන් සතුව ඇති කෙටි මතකය නිසා සියල්ල අමතකව ගොස් තමන්ගේ පැරණි ප්‍රතිරූපය නැවත ගොඩ නැගිය හැකි දවස ඉක්මණින් උදාවන බව ය. රටක නායකයින්ට මෙන් බිල්බෝඩ් කටඅවුට් නැතිවුනාට ආයතනවල නායකයෝ ද තම ප්‍රතිරූපය මෙසේ නැවත ගොඩ නැගිය හැකිය යන විශ්වාසයෙන් එවැනි විශ්වාසය කඩ කිරීම් අඩුවක් නැතිව හිරිකිතයක් නැතිව කරති. එහෙම රටවලට පමණක් නොව ආයතනවලට ද අත් කර ගත හැකි ලොකු ප්‍රගතියක් නැත.

කටුගෙයි ඇති රන් කඩුවක් නැතිවීමකට වඩා රටේ නායකයා පිළිබද විශ්වාසය නැතිවීම රටකට බලපාන්නේ ය. ඒ පමණටම ආයතන සතු වටිනා දේපලක් නැතිවීමට වඩා නායකයා පිළිබද විශ්වාසය නැතිවීම ආයතනයකට බලපාන්නේ ය.

සංඥාවෙන් අදහස් වන්නේ සංඥාවට ප්‍රතිවිරුද්ධය දෙය නම්


ලංකාවේ පාරක ගමන් කරන ඔබට හිටි හැටියේ පාරේ සායම් කර සකස් කර ඇති ඊතලයට විරුද්ධ දිසාවට ගමන් කරන්නට සිදු වුනු වාර බොහෝමයක් ඇති බව මට විශ්වාස ය. නිදහස් චතුරශ්‍රය අවට ඔබ පහුගිය දිනයක වාහනයක් ධාවනය කර ඇත්නම් තවත් ඒ ගැන කියන්නට වුවමනා වන්නේ නැත. මේ සටහන එම පාරේ ගමන් කිරීමෙන් පසු ඇති වූ ආතතිය සමහන් කරනු පිණිස ලීව ද මෙයින් කළමනාකරණයේ වැදගත් පැති කඩක් නිරාකරණය කිරීමට හැකි වීම ගැන සතුටු වෙමි.

කළමනාකරණයේ දී සන්නිවේදනය වැදගත් ස්ථානයක් ගන්නා ක්‍රියාවලියකි. පිරිසක් එක්ව වැඩක් කිරීමේදී ගැටුම් ඇති නොකර ගෙන යම් සම්මුතියකට අනුව වැඩ කිරීමට සන්නිවේදනය මහෝපකාරී වේ.

පාරක ඊතල ගසා ඇත්තේ ඒ දිසාවට ගමන් කරනු පිණිස මග පෙන්වන්නට ය. ඒ ඊතල එසේම තිබියදී ගමනේ දිසාව වෙනස් කළ විට සිදුවන්නේ මනස තුළ ගැටුමක් නිර්මාණය වීම ය. එහි අවසන් ඵලය ඊතලයකට හිමි වටිනාකම අහිමිවීම ය. ඊතලය ගැනත් එයින් ගෙනෙන සන්නිවේදනය ගැනත් විශ්වාසයක් නැති වීම ය.

සංඥාවෙන් අදහස් කරන දෙයට ප්‍රතිවිරුද්ධය දෙය ක්‍රියාත්මක වේ නම් එයින් හෑල්ලුවට ලක්වන්නේ ඒ සංඥාව පමණක් නොවේ. ඒ සංඥා නිකුත් කරන ආයතනයේ මුලු සංඥා පද්ධතියම ය.

ආයතනයක් තුළ වුව ද තත්වය එසේ මය. සන්නිවේදනය බිද වැටුනු ආයතනයක් තුළ ඉතිරි වන දේ අල්ප ය. රටකට පවා ඉන් මිදිය නොහැකි ය.

මිනිසුන් සංඥා පද්ධතිය මගහැර ඊට පිටුපා ගොස් සියල්ල කටින් අසා දැන ගන්නට සිතන්නේ එහෙම වෙලාවට ය. ඒ නිසා පාරේ අප කාටත් දැක ගත හැකිව තිබෙන මේ අර්බුදය අපේ ආයතන වැඩි දියුණු කර ගැනීමට යොදා ගැනීමෙන් අපට යම් ඉගෙනුමක් ගත හැකි ය. එයින් අප තුළ මාර්ග සංඥා පද්ධතිය ඇති කරන ආතතිය තුනී කර ගැනීමට පුලුවන.

මාර්ග සංඥා පද්ධතිය විහිලුවට ලක් කර තිබීම ගැන අදාළ බලධාරීන්ට මැසිවිලි නගනවාට වඩා එයින් ඉගෙන අපටවත් හැදෙන්නට හැකි නම් එය ද යහපත් ය.

හැම කලු වළාවකම රිදී රේඛාවක් ඇතැයි කියන්නේ මේ නිසා විය යුතු ය.