පාරිභෝගික සත්කාරය කරනු බැරි ඇයි? ප්‍රශ්නයට උත්තරය දන්සැලකින් ලැබේ.


පහුගිය පොසොන් පෝයට තිබුණු දන්සැලක පෝලිමක් කළමනාකරණය කිරීමේ වගකීම බාරගත් අපේ මිතුරෙක් අපට කී කතාව මෙසේ ය. පෝලිමේ සිටි සෙනගට ඉක්මණින් දන්සැල වෙතට පැමිණිය හැකි පරිද්දෙන් නැගිටින්නට සූදානම් වන අයෙකුගේ තැන ගැනීමට ඔහු විසින් පෝලිමේ ඊලගට එන තැනැත්තා බැගින් කැදවනු ලැබ තිබිණි. ඒ  නිසා පෝලිම ඉක්මණින් අවම මට්ටමකට ගෙන ඒමට ඔහුට හැකි විය. මේ දුටු දන්සැල් සංවිධාකයෙක් ඔහුගේ ඇගට ගොඩ වී තිබුනේ ය. තමුසෙ හරි මිනිහෙක් නෙ ඕයි. ඔහොම ඇතුළට ගත්තහම එලියෙ පේන්න පෝලිමක් නැතිවෙනවනෙ. පාර පොඩ්ඩක් බ්ලොක් වෙන්න වගේ පෝලිම තිබුනොත් විතරයි දන්සැල නැගල යනව කියල දැනෙන්නෙ. දැන් තමුසෙ මේ කරන වැඩෙන් දන්සැලට හරි නැ ඕයි. පොඩ්ඩක් කලබල නැතිව හෙමිහිට ගන්නව. එක පාරක් ගත්ත මිනිස්සු කාල ඉවරවෙනකම් ආයි එහෙම අලුතින් ගන්නෑ.

වැඩේ නරක නෑ නේද? දන්සැල ජනප්‍රිය කරන්න වැඩි වෙලාවක් පෝලිමේ ගත කිරීම! පිනට කන්න ආව නම් දන්සැලට නම්බුවකුත් දීල යන එකේ වැරැද්දක් බොහෝ දෙනෙකු නොදකින්නට වුව පුලුවන. මේ ලංකාව නිසා ය.

දන්සැලේ විතරක් නොව බොහෝ ආයතනවල සේවා සපයන්නන් ද සිතන්නේ ඔවුනට වැදගත් කමක් ලැබෙන්නේ ඔවුන්ගේ සේවා ලාභීන්ගේ වැඩ පහසු කළොත් නොව ඒවා අමාරු කළොත් බව ය.

වැදගත්කම ලැබෙන්නේ ඒවා සැහැල්ලු කළොත් නොවේ. ඒවා ඉහිලිය නොහැකි තරමට බර කළොත් ය. එයින් කියවෙන්නේ කලින් නොයවා සේවාලාභීන් ටිකක් රස්තියාදු කළ යුතු බවය. පුලුවන් නම් පොල්ලක් දමා වැඩේ බකල් කළ යුතු බව ය. වැඩය අදින් අවසන් නොකර නැවත හෙටත් එන ලෙසට ද වග බලා ගත යුතු බව ය. දුරකථනයෙන් කරන්නට පුලුවන් වැඩේට ආයතනයට පැමිණ කරන්නට වැඩ සැළැස්වුවොත් බව ය. ටිකක් වැඩියෙන් ඇවිද්දුවොත් බව ය. නහය කෙළින් නාල්ලා වටයකින් කරකවා ඇල්ලීමට සැළැස්වීමෙන් බව ය. සරසවියට ඇතුළුවන නවකයෙකුට මෙන්ම තරමක වදයක් දී සේවාව ලබා දිය යුතු බව ය. පර පීඩනයම සතුට සළසන බව ය.

සේවාලාභියා හැම විටම නිවැරදි යැයි කියන්නේ කව්ද? බොහෝ දෙනා හැසිරෙන්නේ සේවාලාභියා විසින් උසාවි නියෝගයක් හරහා තමන් නිවැරදි යයි ඔප්පු කළොත් මිස හැමට විටම ඔහු වැරදිය යන මතයේ පිහිටා ය.

අපේ ආයතනවල බොහෝ දෙනෙකුට පාරිභෝගික සත්කාරය බැරි මේ නිසා ය.