ඇක්ටින් හා ජීවත්වීම


ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ. මේ අප අසා පුරුදු කියමනකි.

ජීවත්වන්නේ එක විදිහකට ය. ඒත් රටට පෙන්නන්නේ ඊට සපුරාම වෙනස් විදිහකි. වෙනත් විදිහකට කියන්නේ නම් කරන්නේම ඇක්ටින් ය.

අප කොයි කවුරුත් මේ රඟපෑම කරන බව ඇත්ත ය. එහෙත් මේ දෙක අතර පරතරය විශාල වූ විට ඇති වන ප්‍රතිඵල දරුණු ය. පරතරය විශාල වූ විට අමාරුවේ වැටෙන්නේ අපේ රඟපෑම් බලන එයින් මුලාවෙන ප්‍රේක්ෂකයන් පමණක් නොවේ. එසේ රඟ පාන අපමත් ඉන් අමාරුවේ වැටේ.

මේ දෙක අතර විශාල පරතරයක් ඇති බව දකින ප්‍රේක්ෂකයා තුළ අප ගැන ඇතිවන කළකිරීම එසේ අප අමාරුවේ වැටීමට තුඩු දෙන එක් හේතුවකි.

රගපාන අප අමාරුවේ වැටෙන අනෙත් හේතුව වන්නේ එක් වටපිටාවක රගන රංගනයට වඩා වෙනස් රංගනයක් ඊළග වටපිටාවේ රගපෑමට අපට බොහෝ විට සිදුවීම ය. මේ භූමිකා වෙනස සමහරවිට පැටලිලි ඇති කරන්නේ ය. සෞම්‍ය මුහුණක් ප්‍රදර්ශනය කළ යුතු තැනක මේ නිසා රෞද්‍ර මුහුණක් ඇති විය හැක්කේ ය. ඒ සම්බන්ධයෙන් වන වඩාත්ම භයානක ගැටළුව නම් එක් නිශ්චිත චරිතයක් ඒ තුළ සංවර්ධනය නොවීම ය.

රගපෑමේ වැඩිම පාඩුව ඇත්තේ ඒ අවසානයට කී කාරණයේ ය.

එක තැනක කිපෙන භූමිකාවක් ඇති රංගනයකට ඊළග තැන සෞම්‍ය වන්නට නොහැකි වීමට ඉඩ තිබෙන බව අපි කීවෙමු. එහෙත් වඩාත් භයානක කාරණය එය නොවේ. රගන භුමිකාව තුළ නොව චරිතය තුළ සෞම්‍ය බව ගොඩ නැගීමට මේ රංගනයන් බාධා පමුණුවන නිසා ය.

අපේ හැසිරීම දෙයාකාර ය. ඉන් මුල් ආකාරය ප්‍රතික්‍රියා (reactive) ස්වරූපය ගනී. එහි දී අපේ හැසිරීම පාලනය වන්නේ සවිඥානයෙන් නොවේ. අවිඥානයෙනි. ප්‍රතික්‍රියාව ක්ෂණික ය.

අනෙත් ආකාරය ප්‍රතිචාරයක (response) ස්වරූපය ගනී. එහි දී අප ප්‍රතිචාරය දක්වන්නේ හිතා බලා කිරා මැන බැලීමෙන් ද පසුව ය. එය සවිඥානක ය.

ප්‍රතික්‍රියාව (reaction) එන්නේ අප ගොඩ නගා ගෙන ඇති චරිතයෙනි. ඉක්මණින් පරල වී යකා නටන මිනිසුන් ඒ ගැන පසුව පසුතැවිලි වෙනු ඔබ දැක ඇත. ඒ ඔවුන් හැසිරී ඇත්තේ ප්‍රතික්‍රියාවක ස්වරූපයෙන් වීම නිසා ය. අවිඥානකව නිසා ය.

(එකකට එකක් පසුව එන කරදර නිසාත් යම් කෙනෙකුගේ එකට පසුව එකක් දක්නට ලැබෙන අතිශය තකතිරු තීරණ සමුදායක් නිසාත් කෙනෙකු ඉවසා ඉවසා බැරිම තැන කිපෙන්නට පුලුවන. එය චරිත ලක්ෂණයකට වඩා මුහුණ දෙන අවස්ථාවන් කරණ කොට ඇති වන්නකි. අප මේ කතාකරන්නේ එවැනි අතිශය කලාතුරකින් කෙනෙකුට සිදුවිය හැකි පරල වීමක් ගැන නොවේ. එවැනි දිගින් දිගට සිදුවන කෝප ගැන්වීම් අභියස දීත් උපෙක්ෂාවෙන් සිටින මිනිසුන් ද නැතිවා නොවේ.)

ප්‍රතික්‍රියාවේ ස්වරූපය සාධනීය මට්ටමකින් පවත්වාගෙන යෑමට පමණක් නොව ප්‍රතික්‍රියා කරනු වෙනුවට ප්‍රතිචාර දැක්වීමට ද හැකි වන්නේ අප ගොඩ නගා ගෙන ඇති චරිතය ප්‍රබල වෙතොත් ය.

ඇක්ටින් කරන අයට නැත්තේත් ඒක ය.

ඇක්ටින් කරන්නට අමතක ව හිටි හැටියේ තමන්ගේ සැබෑ ස්වරූපය ඔවුන් විසින් මතු කරනු ලබන්නේ ය.

කෙනෙකු ගැන ඔබ තීරණයකට බැසිය යුත්තේ ඔහු හෝ ඇය ඔබ ගැන දක්වන ලෙන්ගතු කමෙන් නොවේ. ඔහු හෝ ඇය පොදුවේ ඇසුරු කරන අය සම්බන්ධයෙන් දක්වන හැසිරීමෙන් ය.

එසේ නොකරන අය ඇක්ටින්වලට හසුව අමාරුවේ වැටීමට නියමිත ය.

ඔබ කරන්නේ ඇක්ටින් නම් ඔබට ඔබේ චරිතය ගොඩ නගා ගැනීමට ඉන් බාධා ඇතිවන්නේ ය. නොසිතූ මොහොතක ඔබේ ඇක්ටින් පාට් එක සැගව ගොස් යකා මාක් එක මතුවන්නට එයින් ඉඩක් ලැබෙන්නේ ය. එය අවසන් වන්නේ නැවත නැගිටිය නොහැකි ලෙස ඔබ බිම වැටීමෙනි.

ඒ නිසා ඇක්ටින් කරන්නන් අනුන් අමාරුවේ දානවා පමණක් නොවේ. ඔවුහු තමන්ව ද අමාරුවේ හෙළන්නෝ ය.

Advertisements

කළමනාකරණ බණ


මේ රටේ තරම් බණ අහන මිනිසුන් ඉන්නා රටක් නැත. හාමුදුරුවන් දෙසන බණට අමතරව කළමනාකරුවන්ගේ බණට ද සවන් දීමට ආයතනවල සේවකයින්ට සිදුව තිබේ.

බණ කොතෙක් කීව ද කියන අය මිස පිළිපදින අය අඩු ය.

ඒ නිසාම කළමනාකරුවන් බණ කියන්නට උත්සහ නොකළ යුතු ය. ඒ වෙනුවට හරි දේ කරන මිනිසුන්ට හැමටම පෙනෙන සේ ප්‍රතිලාභ දීමත් වැරදි දේ කරන අයට මුලින් රහසේ කරන අවවාද වලින් පටන් ගෙන අනතුරු ඇගවීම් හරහා ගොස් අවසානයේ ප්‍රසිද්ධියේ දඩුවම් කිරීමත් කළ යුතු ය.

හරි වැරැද්ද මේ යැයි දක්වනවාට වඩා හරි දේට ප්‍රතිලාභ දීමත් වැරදි දේට දඩුවම් දීමත් හරි වැරදි තේරුම් බේරුම් කර ගැනීමට මිනිසුන්ට උදව් වෙයි.

එහෙත් අවාසනාවකට සිදුවන්නේ හරි දේ මේ යැයි ප්‍රකාශ කරන උදවියම ඒ හරි දේ කරන උදවියට අනුබලයක් නොදීම ය. අනුග්‍රහයක් නොදැක්වීම ය. අගය කිරීමක් නොකිරීම ය. ඒ වෙනුවට සමහර විටක ඔවුන්ට හරහට හිටීම ය. වෙනත් ආකාරයකින් පොලු දමා අධෛර්යයට පත් කිරීම ය.

වැරදි දේ කරන අයට දඩුවම් දීමට මැලිවීම ය. ලෝකෙට පේන්න බැණ අඩ ගසා එහෙත් දඩුවම් නොකර නිහඩ වීම ය.

කාර්යය මණ්ඩල රැස්වීමේ දී තමන්ගේ වැඩ කටයුතු සාර්ථක කරගැනීමට අතහිත දුන් තමන්ට අලුත් අදහස් ලබා දුන් ආයතනයේ අභිවෘද්ධියට දායකත්වයක් ලබා දුන් මිනිසුන් අගය කරන්නේ නම් කණ්ඩායම් හැගීම ඇති කරනු වස් බණ කිරීමට කළමනාකරුට සිදු නොවේ. ආයතනයේ වැඩි දියුණුවට අදහස් පළ කළ කෙනෙකුගේ අදහසක් අවඥාවට ලක්කරන කළමනාකරුවෙකු දිනකට පැය තුන බැගින් බණ කිව්වේ වුව ද කණ්ඩායම් හැගීම නම් ඔහුට බිහි කළ නොහැක්කේ ය.

වචනයට වඩා ක්‍රියාව සන්නිවේදනයේ දී ප්‍රබල ය. අවවාදයට වඩා ආදර්ශය උතුම් යයි කියන්නේ ද ඒ නිසාම ය. කළමනාකරණ භූමිකා රගන උදවිය කියන බණ අසන විට වචනයට වඩා ක්‍රියාවේ වැදගත්කම ද අවවාදයට වඩා ආදර්ශයේ උතුම් බව ද බොහෝ විට අප අසා ඇතත් නැවත නැවතත් මතු කර දැක්විය යුතු යැයි සිතුනි. ඒ ඇගිල්ලෙන් ඇන තමන් දක්වා කිවුවොත් මිස යමක් තමන්ට ආදේශ කර ගන්නට බොහෝ දෙනා අසමත් බැවිනි.