සමහර දේ දැඩිව අල්ලා ගන්නට තැත් කරන තරමට ලිස්සා යෑමට වැඩි ඉඩක් ඇත්තේ ය


තෙත සබන් කැබැල්ලක් දැඩිව ඇල්ලූ විට සිදුවන්නේ එය අතින් ලිස්සා යෑම ය. ලිස්සන මතුපිටක යන වාහනයක් නවත්වන්නට තිරිංග යොදන කෙනෙකුට සිදුවන්නේ වාහනය පාලනය කර ගැනීම තවදුරටත් අසීරුවීම ය.

දරුවෙකුට දැඩී සීමා පනවා හදන පියෙකුට සිදුවන්නේ ඔහු ගෙදරින් පැන යනු දැකීමට ය. බිරින්දෑට අඩම්තේට්ට්ම් කර පාලනය කරන සැමියෙකුට සිදුවන්නේ තමන්ගේ පාලනයෙන් එහෙම පිටින්ම මිදී යන බිරින්දෑ කෙනෙකු දැක ගැනීමට ය.

පොල් මිල ඉහළ ගිය විට බොහෝ ආණ්ඩු කරනුයේ පොල් අපනයනයට තහංචි පැමිණවීම ය. ඒ හරහා පොල් මිල පහල බැස්සීමට කටයුතු කිරීම ය. එයින් සිදුවන්නේ පොල් වැවිලි කරුවන් අධෛර්යමත් වී පොල් ඉඩම් කට්ටි කඩා විකිණීමට කටයුතු කිරීම ය. පොල් ඉඩමට කරන ආයෝජන නවතා දැමීම ය. වෙනත් භෝගයක් වවන්නට තීරණය කිරීම ය. තාවකාලිකව මිල ඉහළ ගිය පොල් සදාකාලයට මිල ඉහළ යන්නේ එවැනි ක්‍රියා නිසා ය. කළ යුතුව තිබුනේ පොල් වවන්නන්ට තව තවත් උදව් කිරීම වුව කළේ ඔවුන්ට ලද අවස්ථාව ද අවුරා දැමීම ය. පොල් මිල පහල  දැමීමට කළ වැඩම පොල් මිල ඉහල යාමට තුඩු දෙන්නේ එසේ ය.

සිතු දේ නොම වෙන නොසිතු දෙයම වන මේ කලබැගෑනිය ඇති කරගන්නේ අපට ඇති දැඩි වුවමනාව විසින්ම ය.

දැඩිව අල්ලා ගන්නේ ආදරය නිසා ය. සතුට රැක ගනු සදහා ය. එහිදී අහිමි වී යන්නේත් අප දැඩිව අල්ලා ගන්නට හදන දෙය ය. නැතිවන්නේ ම සතුට ය. ඉහල යන්නේ ම පහල දමන්නට දැගලූ පොල් මිලම ය.

අපට ස්වභාවික නියාමයන්ට එරෙහිව යා නොහැකි ය. අපට කළ හැක්කේ ඒවා පරිස්සමින් පාවිච්චියට ගැනීම පමණකි. යමකට ඇති දැඩි ඇලීම නිසාම මේ සත්‍යය අපට මග හැරෙයි. එවිට අප ඇල්ම කරන දෑම අපෙන් ගිලිහී යයි.

මිනිසුන් ස්වභාවයෙන්ම ආර්ථමාර්ථකාමී ය. අපට එය වෙනස් කළ නොහැකි ය. ඔවුන්ට දොස් කීමෙන් පලක් නොවේ. අපට කළ හැක්කේ ඒ සත්‍යය තේරුම්ගෙන ඒ මත පිහිටා මිනිසුන් සංවිධානය කිරීම ය. ආර්ථමාර්ථය වටා සංවිධානය කිරීම ය.

එහිදී ඔවුන්ගේ පටු ආර්ථමාර්ථකාමය (narrow self-interest) වෙනුවට හැකි නම් ඔවුන්ගේ බුද්ධිමත් ආර්ථමාර්ථකාමිත්වයට (enlightened self-interest) ආමන්ත්‍රණය කිරීම ය.

පොල් අපනයනයට තහංචි දැමීම නොව එයින් ලැබෙන මුදල් පොල් ඉඩමේ වැඩි දුර වර්ධනය වෙනුවෙන් යොදවන්නට ඔවුන් පෙළඹවීම ය. අද නැතත් හෙට පොල් මිල අඩුවනු ඇත්තේ එසේ ය. දරුවාට තහංචි දමනවා වෙනුවට ඔහුට සමාජය ගැන දැනුවත් වීමට ඉඩ සලස්වා දීම ය. ඔහු බලාත්මක කිරීම ය. බිරිදට අඩම්තේට්ටම් කිරීම පැත්තකට දා ආදරය කිරීමට ඉදිරිපත් වීම ය. ඇය තුළ තමන් ගැන සෙනෙහසක් ඇති කරලීමට පියවර ගැනීම ය.

වුවමනාව තිබුනාට මදි ය. දැනුම ද අවශ්‍ය යැයි කියන්නේ ඒ නිසා ය. බොහෝ කළමනාකරුවන් තම වුවමනාවන් ඉටු කරගන්නට වලි කන මුත් එසේ කර ගත හැක්කේ කෙසේදැයි දන්නේ නැත. මිනිසුන් කළමනාකරණයට common sense ඉක්මවන දැනුමක් වුවමනා ය.

කළමනාකරුවන් සමාජවිද්‍යාව ද මනෝ විද්‍යාව ද ඉගෙන ගත යුත්තේ මේ නිසා ය. සමාජය හා මනස වැඩ කරන හැටි දැනගත් විට ඒ නියාමයන්ට විරුද්ධව නොයා ඒවා තමන්ට අවශ්‍ය දේ ලබා ගැනීමට භාවිතා කළ හැක්කේ ය.

Advertisements

ප්‍රශ්නය අප වීජ ගණිතය ඉගෙන තිබීම ය


වීජ ගණිතයේ ස්වායත්ත විචල්‍ය කියා එකකුත් පරායත්ත විචල්‍ය කියා එකකුත් තිබෙයි. ස්වායත්ත විචල්‍යය වෙනස් වුනාම පරායත්ත විචල්‍යය ද වෙනස් වෙයි.

වීජ ගණිතයේ වගේ ඉතාම සරල රේඛීය සම්බන්ධයක් විදිහට අපේ ජිවිතයත් තිබේ නම් සියල්ල පහසු ය. අපේ අවාසනාවට ජීවිතය වීජගණිතය තරම් සරල නැත.

මා වෙනස් වන විට මගේ බිරිද වෙනස් වෙයි. එහෙත් වීජ ගණිතයේ මෙන් එය එතැනින් අවසන් වෙන්නේ නැත. ඇය වෙනස් වුනහම මා නිකම් සිටින්නේ නැත. නැවත මම ද වෙනස් වෙමි. එවිට බිරිද නැවතත් වෙනස් වෙයි. මෙය චක්‍රාකාර ය. කෙළවරක් නැති ය.

ආයතනයක කළමනාකරණය හා වෘත්තීය සමිති අතර ගනුදෙනුව ද ඊට සමාන ය. කළමනාකරණය වෙනස් වුනහම වෘත්තීය සමිතිය වෙනස් වෙයි. ඊට අනුව කළමනාකරණය නැවත වෙනස් වෙයි. වෙනස වෙනසකට ද එය තවත් වෙනසකට ද බල පායි. ටික කලක් යන විට ආරම්භය සිදු වුනේ කෙසේ දැයි අමතකව ගොස් ය. වෙනස නොනැවතී වෙනස් වෙමින් ඉදිරියට යයි. අවසානයේ කුඩා ප්‍රශ්නයක් දළු ලා ගිය සටනකට පරිවර්ථනය වී අවසන් වීමට ද පුළුවන. (ආරම්භය සාධනීය වූයේ නම් කාලයත් සමග අලුත් ආකාරයේ සහයෝගීතාවයකට ද එය පරිවර්ථනය වන්නට පුළුවන).

මේ ගමන අගාධයකට දෙපාර්ශවයම තල්ලු කරන්නේ නම් එය කණගාටුදායක ය. එහෙත් බලාපොරොත්තු අත් හැර ගත යුතු නැත. එය වෙනස් කළ හැකි නිසා ය. ඒ අනෙකාගේ වෙනසට ප්‍රතිචාරයක් ලෙස වෙනස් වන්නේ නැතිව එහෙම පිටින්ම වෙනස් වීමෙනි. අනෙකා අපේක්ෂා නොකළ ආකාරයට වෙනස් වීමෙනි. අතීතය එහැම පිටින්ම අමතක කොට නිදහස්ව අනාගතය දෙස බැලීමෙනි. ඉරි ඇද බලි කුරුටු ඇද කිලිටව ගිය කොළය ඉවත දමා හිස් සුදු කොළයක් අතට ගැනීමෙනි.

දන්න ඉංග්‍රීසියෙන් කියන්නේ නම් reactive වීම නවතා proactive වීමෙනි.

අවාසනාවට proactive කියන වචනයට සිංහල වචනයක් මධුර ශබ්ද කෝෂයේ නැත. එයින් එහි වැදගත් කම අඩු නොවේ.

අතීතයෙන් බැහැරව අලුතින් හිතන්නට ඉගෙන ගන්නා මිනිස්සු තමන් කර දා ඉන්නා උරචක්‍රමාලාවෙන් නිදහස් වෙති. මේ තුළ පැරණි කරුණු මත පදනම් වූ තර්කයට තැනක් නැත. තැන ඇත්තේ අලුතින් ඇති කර ගත යුතු විශ්වාසයට ය. ඒ සදහා අවශ්‍ය නිර්මාණශීලී මනසකි. තර්කයට කොටු කර ගත නොහැකි නිර්මාණශීලි මනසකි.

මේ සටහන ලියන්නට මා යොමු කළේ උතුරු පළාත් ප්‍රධාන ඇමතිවරයාගේ දිවුරුම් දින කතාව කි. ඒ නිසාම එහි යොමුව පහත දැක්වේ.

දේශපාලන කදවුරු පැත්තක තබා ඒ දෙස අප ඉහත දැක්වූ තර්කනය ඔස්සේ බැලුවොත් ඉගෙනීමට බොහෝ දේ ඇතැයි මම සිතමි.

https://www.colombotelegraph.com/index.php/i-took-oaths-a-little-while-ago/

ප්‍රධාන ඇමතිවරයාගේ මේ කතාව පිළිබදව නොව ඒ මත පදනම්ව අප ගොඩ නැගූ සංවාදාත්මක මූලධර්මය සංවාදයට බදුන් වෙතැයි සිතමු.

එක් පැත්තකින් නොසිතූ ප්‍රතිචාරයක් ලැබී තිබේ. අනිත් පැත්ත එය පාවිච්චියට ගත්තොත් අලුත් මාවතක් රටට විවෘත වනු ඇත්තේ ය. ඒ අරගලයේ මාවත නොව සංහිදියාවේ මාවත ය.