පැටලිලා ඇති – නායකයා හා නායකත්වය


නායකයා කියූ විට අත්‍යවශයෙන්ම පුද්ගලයෙකු අදහස් වේ. එපමණක් නොවේ. එයින් එක් තනි පුද්ගලයෙකු අදහස් වේ. නායකත්වය යන යෙදුම ඊට වඩා බොහෝ සෙයින් ව්‍යාකූල ය. විටෙක එය යෙදෙන්නේ එක් පුද්ගලයෙකුගේ මෙහෙයවීමේ කුසලතාවය දක්වන්නට ය. උදාහරණයක් ලෙස මෙසේ කියනු අපට දක්නට ලැබේ.

සරත්ගේ නායකත්වය කණ්ඩායමේ ජයග්‍රහණයට හේතු විය.

එවිට අපට සරත්ගෙන් ඔබ්බෙහි කිසිම දෙයක් නැතැයි හැගේ.

තවත් විටෙක එයින් අදහස් කරන්නේ තනි පුද්ගලයෙකු අතික්‍රමණය කරන සංකල්පයකි. එවිට කියවෙන්නේ පුද්ගලයන් කීප දෙනෙකු අතර බෙදාගත් භූමිකාවක් විය හැකි ය. තවත් පියවරක් ඉදිරියට ද තැබිය හැකි ය. එවිට පුද්ගල කණ්ඩායමක් ද අතික්‍රමණය කරන්නක් බවට එය පත් වේ. උදාහරණයක් ලෙස මෙසේ කියනු අපට ඇසේ.

ධර්මයම නායකත්වයේ ලා සළකන්න.

ඊට සමාන තවත් ප්‍රකාශනයක් වනුයේ ප්‍රතිපත්ති – එසේ නැතිනම් සාරධර්ම – එසේත් නැතිනම් හර පද්ධතිය – නායකත්වයේ ලා සළකන්න යන්න ය.

මා කැමති දෙවැනි අර්ථ නිරූපණයට ය.

නායකයාට ප්‍රතිපත්ති සාරධර්ම (ප්‍රකාශිත හර පද්ධතිය) රකින බවට වග බලාගැනීමේ වගකීම ඇතත් ඔහුට හෝ ඇයට පවා ඒවා ඉක්මවන්නට බැරි බවක් එයින් ඇගවෙන නිසා ය.

නායකයාගේ කාර්යය එවිට අයිතිකරුගේ කාර්යය නොව භාරකරුගේ කාර්යය වෙයි.

ඊට අමතරව ඔහුට සාරධර්ම හෝ ප්‍රතිපත්ති කණ්ඩායම සමග එක්ව වරින් වර විමසීමේ කාර්යය ද උරුම වේ. කිසිම ප්‍රතිපත්තියක් සාරධර්මයක් සර්ව කාලීන විය නොහැකි බැවිනි.

එහෙත් ජන කැමැත්ත ලැබෙතොත් මිස ඒවා වෙනස් කිරීමට නායකයාටවත් නොහැකි විය යුතු අතර ඒවා ඥානවන්තව විමසුමට යොමුකිරීමේ වගකීම පමණක් නායකයා විසින් දැරිය යුතු වෙයි. ඒ නිසාම භාරකරුගේ කාර්යයට අමතරව මේ විමසුම් ක්‍රියාවලියේ ඔහුට හෝ ඇයට පහසුකම් සපයන්නාගේ කාර්යය භාරය ද උරුම වේ.

නායකත්වය වරප්‍රසාදයක් ලෙස නොව වගකීමක් ලෙස දැරීමට නායකයාට සිදු වේ. ඒ නිසාම එය පිරිසකගේ සහභාගිත්වයෙන් ද ඊටත් වඩා පළල් පිරිසකගෛ් අනුමැතියට යටත්ව ද ඉසිලීමට නායකයාට සිදු වේ.

එවැනි නායකත්වයක් අද යුගයට වඩාත් උචිත වනවාට අමතරව වඩාත් තිරසාර ද වෙයි.

නායකයෙකුට වඩා නායකත්වයක් අවශ්‍ය යැයි මට හැගෙන්නේ ඒ නිසා ය. දෙවැන්නට මා වඩාත් කැමැත්තේ ඒ නිසා ය.