අපව කරකවා අත හරින අපේ පාසල


අපේ පාසල් අධ්‍යාපනය වැඩිමනත් වෙන් කොට තිබෙන්නේ අප “සිතිය යුත්තේ ‍මොනවාද?“ යැයි අපට දැන්වීමට ය. දැනුම කප්පරක් මිටි බැද ඇති පොත්පත් කොන්ද කුදු වනතෙක් දරා ගෙන පාසල් යන අපට “සිතන්නේ කෙසේ ද?“ යන්න බැරිවෙලාවත් එහිදී කියා දෙන්නේ නැත.

සත්‍යය සොයා ගන්නා හැටි නොව හොයාගත් සත්‍යය මේ යැයි අපට එහිදී දැනුම් දෙනු ලැබේ.

අවාසනාවකට පාසලෙන් එලියට යන විට උගත් අකුරු හා ගණන් ශාස්ත්‍රය හැරුණු විට මෙසේ ලද සෙසු දැනුම පිළුණු වෙලා ය. ඉගෙන ගත් සත්‍යය බොරු වෙලා ය.

දැනුමෙන් පිරිලා නිසාම ඒවා පරම සත්‍යය ලෙස අදහන්නට කියා දී ඇති නිසාම අලුත් දැනුමක් ලද විට ඒ දෙස බලන්නටවත් අපට සිත් දෙන්නේ නැත.

පිරුණු බදුනකට වත් කරන ජලයට ඒ තුළ ඉඩක් නැත. එකතු කරන දේ පිටට ගලා යනවා පමණ ය.

අලුත් දැනුම පරීක්ෂාවට ලක් කිරී‍මේ මෙවලම් අප සතුව නැත. ඒ නිසා අප සතු දැනුම පිළුණු වූවාට අමතරව නැවුම් දැනුම එකතු කර ගැනී‍මේ හැකියාව ද අපට නැත.

ඒ නිසාම අලුත් දැනුමට පස්ස හරවන අපට පරම්පරා ගණනකට පෙර මිනිහා දැන සිටි දැනුම මුලිච්චි වන්නේ ය. එයින් කළ හැක්කේ කොපුවක් ගුහාවක් නැතිනම් කට්ටක් හදා ගෙන සෙසු ලෝකයෙන් වෙන් වීම පමණ ය.

විධිමත් අධ්‍යාපන ක්‍රමය වැඩකට නැති වැටුප් ශ්‍රමිකයන් බිහි කරන්නේ එලෙස ය.

ඒ නිසාම කළමනාකරුවන්ට ඔවුන් නැවත හැඩ ගස්වා ගැනීමට සිදු වේ. එහෙත් බොහෝ කළමනාකරුවන් ද එවැනි වූ අය නිසාම ඔවුන්ට ඒ ගැන නිනව්වක් නැත.

අප අද මුහුණ පා තිබෙන අර්බුදය ඒක ය.

මේ ගැන අප ඉංග්‍රීසියෙන් ලියූ ලිපියක් ඔබට පහත යොමුව ඔස්සේ කියවිය හැකි ය. මේ ඉංජිනේරු ආයතනයේ ඊ පුවත්පත ය.

http://ieslslen.blogspot.com/2013/04/changing-paradigm-from-what-to-think-to.html

නැවත නොබැලුවොත් සිතු දේ නොම වේ නොසිතු දේම වේ


ස්ථානය යුනිටි ප්ලාසා ගොඩනැගිල්ල ය. එහි හය වෙනි මහලට අලුත් වැඩියා කිරීම සදහා කොම්පියුටරයක් ගෙන යෑම අපේක්ෂාවෙන් සෝපානයක් එන තෙක් බලා සිටින කෙනෙකි. සෝපානයට ඔහු ගොඩ වදින්නට ලෑස්ති වන විටම ඒ ඇතුළේ පහසුවට වාඩි ගත් සෝපානය බාර කාන්තාවගෙන් ඔහුට දැන්වීමක් ලැබුනේ එම සෝපාන මිනිසුන් ගෙන යෑමට මිසක බඩු ගෙන යෑමට තිබෙන එකක් නොවන බව ය. ඊළග සෝපානය එන තෙක් රැදී සිට එයින් යන ලෙස අමතර උපදෙස් ද ඇය විසින් ඒ තැනැත්තාට ලබා දෙන ලද්දේ ය.

මිනිසුන් පමණක් යන සෝපානය ඉඩ හසර ඇති එකකි. ඒ වෙලාවේ එහි යෑමට සිටියේ මා පමණකි. ඔහු රැගෙන යෑමට නොහැකි ඇයි දැයි මම ඇය විමසුවෙමි. බඩු ගෙන යන අයට වෙනම සෝපානයක් ඇති හෙයින් මෙහි ඔහුට යෑමට ඉඩදිය නොහැකි යැයි ඇය කියා සිටියා ය.

ඒ කතාව ඇත්ත ය. මම නිහඩ වීමි. ඒ මගේ මුවිනි. එහෙත් මනස තුළ දෙබස දිගටම කෙරිණි. මේ එහි දිග හැරුමයි.

එතැන සෝපාන තුනක් තිබේ. දෙකක් මිනිසුන් වෙනුවෙනි. එකක් බඩු ගෙන යෑමට ය. මේ බෙදීම තර්කාණුකූලය. එය ඇති කරන්නට ඇත්තේ මිනිසුන්ට පහසු වනු පිණිස ය.

තමන්ගේ අතින් පරිගණයක් දරා සිටින කෙනෙකු හරියට බෑග් එකක් කර දරා සිටින කෙනෙකු වැනි ය. විශේෂයෙන් මිනිසුන් අඩු වෙලාවක එවැන්නෙකු මිනිසුන් පමණක් යන සෝපානයේ ගෙන යෑම අපරාදයක් නොවේ.

නීතිය දමා ඇත්තේ මිනිසුන්ගේ පහසුව පිණිස ය. එහෙත් එය ක්‍රියාත්මක වන්නේ මිනිසුන්ට හිරිහැර පිණිස ය.

මෙහි වරද කාගේ ද?

එක්කෝ මේ බාරව සිටින ලදට ලතෙත් බවක් නැත්තේ ය. හදවතක් නැත්තේ ය. නැතිනම් ඉඩ ඇති සෝපානයකට ගොඩ වෙන්නට උත්සහ කළ අර තැනැත්තා වළකන්නේ නැත. මගේ උපකල්පනය නම් ඒ සෝපානයට මුලදී මිසක මැදදී එකතුවන ජනතාව අල්ප ය.

නැතිනම් ඇයට මොළයක් නැත්තේ ය. සමහර විට ඒ දෙකම නැතිවා වෙන්නට ද පුලුවන.

ඒ දෙකම තිබුන ද ඇගේ වැඩ අධීක්ෂකයාට ඒ දෙකම නැති නිසා ඇගේ හදවතත් මොළයත් ඇය විසින්ම අක්‍රීය කරන්නට තීරණය කළා වෙන්නට පුලුවන.

එහෙත් ඒ සියල්ලට වඩා මතුව පෙනෙන කාරණය නම් ජනයාගේ පහසුව වෙනුවෙන් යොදා ඇති මේ යාන්ත්‍රණය ජනයාට හිරිහැරයක් බවට පත්ව ඇති බව සොයන්නට කෙනෙක් නැති බව ය. ඒ බව කිසිවෙකුත් නොදන්නා බව ය.

යමක් ඇති කළ අරමුණම ඒ ඇති කළ දෙයින්ම පරාජය වීම කෙතරම් අභාග්‍යක් ද? එවැනි දේ ගැන සුපරීක්ෂාකාරී වීමට කළමනාකරුවන් වඩාත් අවධානය යොමු කළ යුතු ය.

නැවත නොබැලුවොත් සිතු දේ නොමවේ නොසිතු දේම වේ.