ඇක්ටින් හා ජීවත්වීම


ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ. මේ අප අසා පුරුදු කියමනකි.

ජීවත්වන්නේ එක විදිහකට ය. ඒත් රටට පෙන්නන්නේ ඊට සපුරාම වෙනස් විදිහකි. වෙනත් විදිහකට කියන්නේ නම් කරන්නේම ඇක්ටින් ය.

අප කොයි කවුරුත් මේ රඟපෑම කරන බව ඇත්ත ය. එහෙත් මේ දෙක අතර පරතරය විශාල වූ විට ඇති වන ප්‍රතිඵල දරුණු ය. පරතරය විශාල වූ විට අමාරුවේ වැටෙන්නේ අපේ රඟපෑම් බලන එයින් මුලාවෙන ප්‍රේක්ෂකයන් පමණක් නොවේ. එසේ රඟ පාන අපමත් ඉන් අමාරුවේ වැටේ.

මේ දෙක අතර විශාල පරතරයක් ඇති බව දකින ප්‍රේක්ෂකයා තුළ අප ගැන ඇතිවන කළකිරීම එසේ අප අමාරුවේ වැටීමට තුඩු දෙන එක් හේතුවකි.

රගපාන අප අමාරුවේ වැටෙන අනෙත් හේතුව වන්නේ එක් වටපිටාවක රගන රංගනයට වඩා වෙනස් රංගනයක් ඊළග වටපිටාවේ රගපෑමට අපට බොහෝ විට සිදුවීම ය. මේ භූමිකා වෙනස සමහරවිට පැටලිලි ඇති කරන්නේ ය. සෞම්‍ය මුහුණක් ප්‍රදර්ශනය කළ යුතු තැනක මේ නිසා රෞද්‍ර මුහුණක් ඇති විය හැක්කේ ය. ඒ සම්බන්ධයෙන් වන වඩාත්ම භයානක ගැටළුව නම් එක් නිශ්චිත චරිතයක් ඒ තුළ සංවර්ධනය නොවීම ය.

රගපෑමේ වැඩිම පාඩුව ඇත්තේ ඒ අවසානයට කී කාරණයේ ය.

එක තැනක කිපෙන භූමිකාවක් ඇති රංගනයකට ඊළග තැන සෞම්‍ය වන්නට නොහැකි වීමට ඉඩ තිබෙන බව අපි කීවෙමු. එහෙත් වඩාත් භයානක කාරණය එය නොවේ. රගන භුමිකාව තුළ නොව චරිතය තුළ සෞම්‍ය බව ගොඩ නැගීමට මේ රංගනයන් බාධා පමුණුවන නිසා ය.

අපේ හැසිරීම දෙයාකාර ය. ඉන් මුල් ආකාරය ප්‍රතික්‍රියා (reactive) ස්වරූපය ගනී. එහි දී අපේ හැසිරීම පාලනය වන්නේ සවිඥානයෙන් නොවේ. අවිඥානයෙනි. ප්‍රතික්‍රියාව ක්ෂණික ය.

අනෙත් ආකාරය ප්‍රතිචාරයක (response) ස්වරූපය ගනී. එහි දී අප ප්‍රතිචාරය දක්වන්නේ හිතා බලා කිරා මැන බැලීමෙන් ද පසුව ය. එය සවිඥානක ය.

ප්‍රතික්‍රියාව (reaction) එන්නේ අප ගොඩ නගා ගෙන ඇති චරිතයෙනි. ඉක්මණින් පරල වී යකා නටන මිනිසුන් ඒ ගැන පසුව පසුතැවිලි වෙනු ඔබ දැක ඇත. ඒ ඔවුන් හැසිරී ඇත්තේ ප්‍රතික්‍රියාවක ස්වරූපයෙන් වීම නිසා ය. අවිඥානකව නිසා ය.

(එකකට එකක් පසුව එන කරදර නිසාත් යම් කෙනෙකුගේ එකට පසුව එකක් දක්නට ලැබෙන අතිශය තකතිරු තීරණ සමුදායක් නිසාත් කෙනෙකු ඉවසා ඉවසා බැරිම තැන කිපෙන්නට පුලුවන. එය චරිත ලක්ෂණයකට වඩා මුහුණ දෙන අවස්ථාවන් කරණ කොට ඇති වන්නකි. අප මේ කතාකරන්නේ එවැනි අතිශය කලාතුරකින් කෙනෙකුට සිදුවිය හැකි පරල වීමක් ගැන නොවේ. එවැනි දිගින් දිගට සිදුවන කෝප ගැන්වීම් අභියස දීත් උපෙක්ෂාවෙන් සිටින මිනිසුන් ද නැතිවා නොවේ.)

ප්‍රතික්‍රියාවේ ස්වරූපය සාධනීය මට්ටමකින් පවත්වාගෙන යෑමට පමණක් නොව ප්‍රතික්‍රියා කරනු වෙනුවට ප්‍රතිචාර දැක්වීමට ද හැකි වන්නේ අප ගොඩ නගා ගෙන ඇති චරිතය ප්‍රබල වෙතොත් ය.

ඇක්ටින් කරන අයට නැත්තේත් ඒක ය.

ඇක්ටින් කරන්නට අමතක ව හිටි හැටියේ තමන්ගේ සැබෑ ස්වරූපය ඔවුන් විසින් මතු කරනු ලබන්නේ ය.

කෙනෙකු ගැන ඔබ තීරණයකට බැසිය යුත්තේ ඔහු හෝ ඇය ඔබ ගැන දක්වන ලෙන්ගතු කමෙන් නොවේ. ඔහු හෝ ඇය පොදුවේ ඇසුරු කරන අය සම්බන්ධයෙන් දක්වන හැසිරීමෙන් ය.

එසේ නොකරන අය ඇක්ටින්වලට හසුව අමාරුවේ වැටීමට නියමිත ය.

ඔබ කරන්නේ ඇක්ටින් නම් ඔබට ඔබේ චරිතය ගොඩ නගා ගැනීමට ඉන් බාධා ඇතිවන්නේ ය. නොසිතූ මොහොතක ඔබේ ඇක්ටින් පාට් එක සැගව ගොස් යකා මාක් එක මතුවන්නට එයින් ඉඩක් ලැබෙන්නේ ය. එය අවසන් වන්නේ නැවත නැගිටිය නොහැකි ලෙස ඔබ බිම වැටීමෙනි.

ඒ නිසා ඇක්ටින් කරන්නන් අනුන් අමාරුවේ දානවා පමණක් නොවේ. ඔවුහු තමන්ව ද අමාරුවේ හෙළන්නෝ ය.

Advertisements

කියන කොට එහෙමයි, කරන කොට මෙහෙමයි!


සන්නිවේදනය කී පමණින් අපේ මනසට එන්නේ වචන ය. වචනවලින් තොර සන්නිවේදනයක් ඇතැයි යන්න පිළිගැනීමට පවා බොහෝ දෙනෙකුට තරමක් දුරට සිතන්නට සිදුවේ.

මෙයට එක් හේතුවක් නම් අපේ පාසල් අධ්‍යාපනය තුළ වචන සිංහාසනාරූඩ කර තිබිම ය. වචන නැති අධ්‍යාපනයක් අපට සිතා ගැනීමට බැරි ය. ගුරුවරයා කීවේ වචන ය. ලීවේ වචන ය. අපට කියන්නට කීවේ වචන ය. අපට ලියන්නට කීවේ වචන ය. විභාගයේදී පරීක්ෂාවට ගත්තේ වචන ය. වචනවලින් තොර යමක් පාසැලේ තිබුනේ නම් අප ඒවාට කීවේ බාහිර ක්‍රියාකාරකම් කියා ය. ඒවා අධ්‍යාපනයේ ප්‍රධාන ධාරාවට සම්බන්ධ වූයේ නැත. ඒවා භාවිත වුනේ අධ්‍යාපනය සදහා නොවේ. පාසැලේ නම බැබලවීම සදහා ය.

දෙමාපියන් පවා ආදර්ශයට වඩා උතුම් කොට සැළකුවේ අවවාද ය. ඒ තුළ තිබුනේ වචන ය. තමන් ද සැක කළ විශ්වාස නොකළ වචන ය.

පන්සලේ හාමුදුරුවන් බෞද්ධයන් යහමග යවන්නට තැත් කළේ බණ කීමෙනි. ඒ ද වචන හරහා ය. පන්සිල් රැකීමට වඩා පන්සිල් ගැනීම උතුම් විය. පන්සිල් රැකීම ක්‍රියාවක් වන විට පන්සිල් ගැනීම වචන උච්චාරණයක් විය. ලතාවකට පන්සිල් කීවේ නම් බොහෝ දෙනෙකුට එය සෑහුනේ ය. බෞද්ධයෙක් වීම සදහා තිසරණ සහිත පන්සිල් සමාදම් වීම සෑහුනේ ය. බුදුන් සරණ යනවා යයි පොරොන්දු වුනු බෞද්ධයෙකුට ඊලග මොහොතේ පල්ලියට ගල් ගැසීමට අත ඔසවන්නට හිරිකිතයක් නැතිවුනේ ඒ නිසා ය. දාන ගෙදරක මත්පැන් කට ගා ගත් අය සුරාමේරය මජ්ජපමා කීමට හරිබරි ගැසුනේ ඒ නිසා ය.

දෙවියන්ට යාඥා කිරීමෙන් කිතුණුවෝ ද සැනසුනෝ ය. දෙවියන් හා එක්විය හැක්කේ තමන්ගේ ක්‍රියාවෙන් බව පෙන්වූ ජේසුස්ගේ ජීවිත ආදර්ශය බොහෝ කිතුණුවෝඅමතක කළෝය. ඔවුන් දෙවියන් හා එක්වුනේ වචනයෙන් පමණ ය. ඒ ගීථිකා කට පාඩමෙන් කීම හරහා ය.

ක්‍රියාවෙන් සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී නොවුනත් අපේ රට නාමයෙන් එනම් වචනයෙන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයක්ම වූයේ ය.

දේශපාලනඥයන් පවා අපට සංග්‍රහ කළේ වචනයෙනි. දේශපාලන වේදිකාවේ දී පමණක් නොව මැතිවරණ සමයේ වර්ණවත් පෝස්ටර්වල ද ප්‍රකාශනවල ද තිබුනේ වචන ය. ඒවායේ ශබ්ද රසයට වැඩි යමක් නොතිබුනේ ය.

වේදිකාවේ පමණක් නොව රිදී තිරයේ ද නළුවන් අඩුවෙන්ම කළේ රග පෑම ය. වැඩිපුර කළේ දෙබස් කීම ය.

ආයතන ඇතුළේ දී ඇතැම් ආයතන ප්‍රධානීන් ද වැඩිපුර කැමති සිය කාර්ය මණ්ඩලයට දේශනා පැවැත්වීමට ය. එහෙත් අවාසනාවකට මේ රැස්වීම්වල ආයතන ප්‍රධානීන් දෙසන බණ බොහෝ විටක අවකාශයට අධෝවාතයකින් තරම්වත් ප්‍රයෝජනයක් එකතු කරන්නේ නැත. එයට හේතුව ආයතනයේ කාර්ය මණ්ඩලය වෙන කවරෙකුටත් වඩා හොදින් කතාව පිටුපස ඇති ප්‍රධානියාගේ ක්‍රියාව ගැන අවබෝධයකින් සිටින නිසා ය.

වචන ලාභ ය. වචනවලට ඒ නිසා පහසුවෙන් බොරුවේ ස්වරූපය ගත හැකි ය. වරක් වචනයට රැවටුන මිනිසෙක් නැවත ඒ වචනම ඒ කියන්නාගේ මුවින් පිටවෙන කල විශ්වාස කරන්නේ නැත. බුද්ධිමත් මිනිසෙක් ක්‍රියාවෙන් සනාථ වන තුරු කවරෙකුගේ වුව කිසිදු වචනයක් විශ්වාස කරන්නේ නැත.

ඒ නිසා වඩාත් වැදගත් වන්නේ අඩුවෙන් කතා කර වැඩියෙන් වැඩ කර ඒ හරහා මිනිසුන් ඒත්තු ගැන්වීම ය. බොරුවෙන් තොර රටක් ගොඩ නැගිය හැක්කේ ක්‍රියාවෙන් සන්නිවේදනයේ යෙදීම හරහා ය. අප ආයතන තුළ ගොඩ නැගිය යුත්තේ ක්‍රියාවෙන් කෙරෙන සන්නිවේදනය අගයන සංස්කෘතියකි.

සන්නිවේදනයේ දී වචනවලට ඇති භූමිකාව අවතක්සේරු කිරීමක් මෙයින් අපේක්ෂා නොකෙරේ. යමක් අපට පැහැදිලි කළ හැක්කේ වචන හරහා ය. මේ බ්ලොග් සටහන ලිවීමේදී ද මා භාවිතා කළේ වචන ය.

ඒත් යමක් ඒත්තු ගැන්වීමට නම් ඒ වචන ක්‍රියාවට නැගිය යුතු ය. වචනය ආරම්භයකට හොද ය. එහෙත් එයින් අවසානය ලගා කර ගත නොහැකි ය. එය කළ හැක්කේ ක්‍රියාවකිනි.

කළමනාකරණ උපදෙස් දෙන ගැමිවහර – පිරුළු හරහා කළමනාකරණයට පිවිසුමක්


ප්‍රස්ථා පිරුළු විමසන්නේ නම් ඒ හැම එකකම කළමනාකරණ පාඩමක් ඇති බව පෙනී යයි.

  • රන් බිජු ගන්න කිකිළිගෙ බඩ පැළුවා වගෙයි

සාධාරණ අයකිරීමක් කර සේවා සපයමින් දිගුකාලීනව පාරිභෝගිකයන් තමන් වෙත රදවා ගන්නවා වෙනුවට ඉතා නොවටිනා මිලක් ඉදිරිපක් කරමින් මුලින් මුණ ගැසෙන ගනුදෙනු කරුවන් තලා පෙලා වංචාකාරී ලෙස මුදල් උපයන අය කරන්නේ සෙමින් ක්‍රමයෙන් වර්ධනය කරගත යුතු ව්‍යාපාරයක් ඉක්මන් ලාභය අපේක්ෂාවෙන් මිනිසුන්ට එපා කරවීම ය.

  • ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගෙයි

යම් වැඩක් වැරදියට කිරීමෙන් හෝ නොකර සිටීමෙන් බරපතල අර්බුදයක් ඇති වුනු පසු කර කියා ගන්නට විදිහක් නැතිව ලතවෙන අවස්ථාවක් එයින් නිරූපනය වෙයි. ක්‍රියාවකට පෙර නිසි ලෙස යමක් සැළසුම් කිරීමේ අවශ්‍යතාවය එයින් අවධාරණය කෙරේ. එසේ අවධාරණය කරන්නේ සැළසුම් නොකරන්නන් පත්වන කණගාටුදායක තත්වය දෙස සෝපහාසයෙන් බැලීමෙනි.

  • දීකිරට බලල්ලුත් සාක්කිලු

අවස්ථාවාදී මිනිසුන් උපහාසයට ලක් කළ ගැමියා කියන්නේ ඒ සාක්කිය අපක්ෂපාත නොවන බවත් ඒ නිසාම බැහැර කළ යුතු බවත් ය. කළමනාකරුවෙකුට තීරණ ගැනීම සදහා මිනිසුන් විමසීමේ දී මේ පිරුළ මතක තබා ගැනීම ඒ නිසා වැදගත් ය. වැදගත් විරුද්ධවීම හෝ පක්ෂවීම නොවේ. එසේ වීම පිටුපස ඇති තර්කයයි. කළමනාකරු සිය තීරණයන් ගැනීමේදී විමසිය යුත්තේ සාක්කිය පමණක් නොවේ. ඒ සාක්කියට තුඩුදුන් වටපිටාව ය. එය සාක්කිය ගැන තක්සේරුවක් ඇති කර ගැනීමට වැදගත් ය. තීරණ ගැනීමේ දී වැදගත් ය.

  • කපන්න බැරි අත ඉඹිනව වගෙයි

මේ ද මිනිසුන්ගේ ක්‍රියාකාරිත්වය පමණක් නොව ඒ පිටුපස ඇති හේතුව ද සොයා බැලීමේ වැදගත් කම කියන පිරුළකි. ඉඹීන බව එකකි. කපන්න බැරි නිසා ඉඹීම තවත් එකකි. ඒ වෙනස තේරුම් ගැනීම කළමනාකරණයේ දී අත්‍යවශ්‍ය කරුණකි.

සටහන දික්වන නිසා සියල්ල විමසන්නට බැරිය. එහෙත් හැම පිරුළකින්ම උගන්වන පාඩම ගැන නිසි අවධානය යොදන්නේ නම් කළමනාකරණය සාර්ථකව කළ හැකි ඉගෙනුම් බොහෝමයක් මේ පිරුළු තුළින් ලබා ගත හැකි බව පමණක් ලියා සටහන අවසන් කරමි.