බඳවා ගැනීම බඳින තරම් පරිස්සමින්….


බඳවා ගත යුත්තේ පළල් ලෝක දැක්මක් ඇති උදවිය ය. පටු පසුගාමී මිනිසුන් නොවේ. එයින් අදහස් කරන්නේ කිසියම් කදවුරකට බැඳී එහි මතවාදය දේව භාෂිතය සේ අදහන මිනිසුන්ගෙන් ආරක්ෂා විය යුතු බව ය. ඔවුන් වෙනස් කළ නොහේ. ඔවුන්ගේ මතවාදය යම්තමින් හෝ අර්බුදයකට පත් කරවන දෙයකට ඔවුහු කන් නොදෙති. ඒ නිසා ම කිසිවක් අලුතින් ඉගෙනීම ඔවුහු ප්‍රතික්ෂේප කරති. බඳවා ගත යුත්තේ විවෘත මිනිසුන් ය. යමක් දෙස එකකට වැඩි කෝණයන්ගෙන් බැලිය හැකි මිනිසුන් ය. තමන්ගේම මතයක් ඇතත් එය අන්ධව නොඅදහන මිනිසුන් ය. එවැනි මිනිසුන් ඉගෙනීමට විවෘත ය. නව අදහස්වලට විවෘත ය. සෙසු අයගේ අදහස්වලට ද ඒවාට එකග නොවෙන විට පවා ගරු කරන්නෝ ය. එවන් අය සමග වැඩ පහසු ය. කණ්ඩායම් හැදීම පහසු ය.

බඳවා ගත යුත්තේ දක්ෂ මිනිසුන් ය. යමක් ඉක්මණින් තේරුම් ගත හැකි මිනිසුන් ය. යමක් දෙස විචාරයෙන් බැලිය හැකි මිනිසුන් ය. බුද්ධිමත් මිනිසුන් ය. එහෙත් බුද්ධිය මැණිම සම්බන්ධයෙන් අධ්‍යාපන සහතික යොදා ගත යුත්තේ පරිස්සමිනි. ගණිතය තර්ක ශාස්ත්‍රය යන විෂයයන් සම්බන්ධයෙන් දක්ෂතා ඇති කෙනෙකු මේ හැකියාව, විශේෂයෙන් න්‍යායික දක්ෂතාවය සම්බන්ධයෙන්, එක්තරා දුරකට පෙන්වයි. සෙසු විෂයන් පිළිබඳ ප්‍රතිඵල සම්බන්ධයෙන් නම් එය එසේම යැයි කිව නොහැකි ය. IQ පරීක්ෂණය මේ සදහා භාවිතා කෙරෙන ප්‍රචලිත ක්‍රමයකි. මීට අමතරව රචනා හා comprehension යන දෙඅංශයෙන් දක්වන දක්ෂතාවයන් ගැන ද අවධානය යොමු කෙරේ. මිනිසුන් කර ඇති වැඩ දෙස බැලීම න්‍යායික නොවන වෙනත්දක්ෂතා අඳුනාගත හැකි වඩා හොද ක්‍රමයකි.

බඳවා ගත යුත්තේ ගැලපෙන ආචාර ධර්ම පද්ධතියක් සහිත මිනිසුන් ය. ආයතනයේ වටිනාකම් හා හර පද්ධතිය සමග පෑහෙන මිනිසුන් ය.

බඳවා ගත යුත්තේ ස්වයංව අභිප්‍රේරණය වන මිනිසුන් ය. බාහිර අභිප්‍රේරණයක් නැතිවත් ඉගෙනීමට, නව දේ කිරීමට, අභියෝග බාර ගැනීමට, අවදානම් දැරීමට, සොයා බැලීමට, විවිධ අත්දැකීම් ලැබීමට කැමති මිනිසුන් ය.

බඳවා ගත යුත්තේ සුභවාදී මිනිසුන්ව ය. සතුටින් සිටින මිනිසුන් ය. සිනාසිය හැකි මිනිසුන් ය. සෙසු අය ද හිනැස්සිය හැකි මිනිසුන් ය. තමන්ටම හිනහවිය හැකි මිනිසුන් ය.

බඳවා ගත යුත්තේ ධෛර්යයවන්ත මිනිසුන් ය. පහසුවෙන් යමක් අත් නොහරින මිනිසුන් ය. නොහැකිලෙන මිනිසුන් ය. බාධක මැද්දේ ඉදිරියට යෑම සතුටක් කර ගත් මිනිසුන් ය.

(මොරටු සරසවියේ ඉංජිනේරු ශිල්පය හැදෑරූ මා දන්නා තරුණයෙකුට ඇමරිකාවේ කානර්ගීමෙලන් යන සුප්‍රසිද්ධ සරසවියෙන් ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වයක් පිරිනැමුවේ ඔහුට සිය අවසන් වසරේ ප්‍රතිඵල ලැබෙන්නත් කලින් ය. එයට එක් හේතුවක් වූයේ ඔහු විසින් වසර දෙකක් තිස්සේ ඔබ්සර්වර් පත්තරයේ ටෙක්නො පිටුව ලියා තිබීම ය. වසර දෙකක් තිස්සේ සතියකට එක බැගින් තාක්ෂණය ගැන පිටුවක් ලිවීම තුළ ඔහු තමන් ඉහත ගුණාංග සහිත බව පෙන්වා තිබුනේ ය. ඔහුට ප්‍රතිඵල ලැබුනු විට දැනගන්නට ලැබුනේ දෙවැනි පන්තියේ සාමාර්ථයක් පමණක් හිමිව තිබූ බව ය. එහෙත් එය හෝ ශිෂ්‍යත්වය දිනා ගැනීමට අවශ්‍යව නොතිබුනේ ය.)

අන් අයගේ උදව් නැතිව වුව ඉදිරියට යා හැකි එහෙත් අවශ්‍ය තැනක අන් අයගේ උදව් ලබා ගැනීමට පසුබට නොවන මිනිසුන් ය. එසේ උදව්ලබා ගෙන ඇති මිනිසුන් ය. එසේ උදව් ලබා ගත හැකි මිනිසුන් ය.

බඳවා ගත යුත්තේ වෙනත් මිනිසුන්ට සංවේදී මිනිසුන් ය. සමහරු සංවේදී මුදල්වලට ය. තව සමහරු භෞතික දේ වලට ය. තවත් සමහරුන්ගේ සංවේදී කම ලේ නෑයින්ගෙන් හිතුවතුන්ගෙන් මිතුරන්ගෙන් අවසන් වේ. එවැනි මිනිසුන් පාරිභෝගික සත්කාරයට යොමු කිරීම අපහසු ය. එවැනි මිනිසුන්ට කණ්ඩායමක වැඩ කිරීම අමාරු ය. එසේ වුවද පමණට වඩා සංවේදී මිනිසුන් ද ආයතනයකට දරා ගැනීමට අපහසුවන අවස්ථා තිබේ. විශේෂයෙන් සමහර තනතුරු සදහා මෙය වඩාත්ම බලපාන්නේ ය. ඕනෑවට වඩා මිනිසුන්ට සංවේදී කළමනාකරුවෙකු මිනිසුන්ට දඩුවම් දිය යුතු අවස්ථාවකදී පවා එසේ නොකර පැකිලිය හැකි ය.

මේ ගුණාංග යම් කෙනෙකු සිය වෘත්තීය ජීවිතයේ කිසියම් ආකාරයකින් යම් කාර්යයක් නිම කිරීම ඔස්සේ ප්‍රකට කර තිබේ නම් එවැන්නෙක් බඳවා ගැනීම ගැන බොහෝ දුරට සිතන්නට ඇවැසි නොවේ.

එහෙත් කිසියම් කෙනෙකු එවැන්නක් යම් වැඩකින් ප්‍රකට කර නැත්නම් එවැන්නෙකු ගැන බොහෝ සෙයින් විමසිලිමත් විය යුතුව තිබේ. ඔවුන්ට කිසියම් කාර්යයක් පවරා ඔවුන් එය කරන්නේ කෙසේදැයි විමසිලිමත් වීමෙන් එවැනි අය ගැන තීන්දු ගැනීම ඉතිරිව ඇති එක් විකල්පයකි. වෙනත් රටවල නම් assessment centers හරහා මෙවැනි විමසීම් සිදු කෙරේ (මා වැඩකරන දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානය එවැනි මධ්‍යස්ථානයක් ලෙස කටයුතු ආරම්භ කර ඇත). ලංකාවේ තවත් එවැනි ආයතන තිබේ නම් ඒවා ගැන තොරතුරු පල කිරීමට මේ බ්ලොග් අඩවිය විවෘත ය. බොරු කාරයන් පසුපසට කර සැබෑ වැඩ කාරයන් මතු කර ගැනීමට ආයතනවලට හැකි වන දාක රටම දියුණු වනු ඇත්තේ ය.

කසාද බැදිම වගේම බදවා ගැනීමත් පරිස්සමෙන්


“ලංකාවේ කසාද බැදිල්ලයි ආයතනයකට බැදිල්ලයි දෙකම එකයි. ඒ නිසා බදවා ගැනීම පරිස්සමෙන්“. මේ විමසිය යුතු කතාවකි.

ආයතනයකට කෙනෙක් බදවා ගත් පසු ඔහු හෝ ඇය ඉවත් කිරීම අපහසු ය. නීතියෙන් නැතත් ඉදිරිපත් වන සමාජමය හේතු නිසා එය අපහසු ය. හරියට කසාද බැන්දහම වගේ ය. බදින එකට වඩා අමාරු දුක්විදින්නට වුනොත් එය ලිහන එක ය. ආයතනයකදී නම් අස්කරන එක ය. ඒ නිසාම බැදීම වගේම බදවා ගැනීම ද පරිස්සමෙන් කළ යුතු ය.

අපේ බදවා ගැනීම්වල දී ඉස්සරහට එන්නේ සහතික ය. ඒ අතරින් අධ්‍යාපන සහතික විශේෂ ය. ප්‍රශ්නය ඇත්තේ සහතික තිබුනාට වැඩ බැරි වීම ය.

ඊලගට එන්නේ චරිත සහතික ය. බොහෝ විට එය ලියන්නේ ද අයිතිකාරයාම ය. කියවා බැලුවහම සෝවාන් නොවී ඇත්තේ පුදුමයකට ය. චරිතය ඒ තරම් හොද ය. ඒ වුනාට කෙරුවාව ඒ අහළකවත් නැත.

තෙවනුව සම්මුඛ පරීක්ෂණයේ දී දකින්නට ලැබෙන චර්යාව ය. වැඩ බැරි අයට කතාව පුලුවන් ය. කතාව බැරි අයට වැඩ පුලුවන් ද කියා දැන ගැනීමේ ක්‍රමයක් නැත. වඩාත් විස්මයජනක එහිදී දෙන පොරොන්දු ය. ඒවා බැලුවහම නොගෙන ඉන්නට බැරි ය. හොදම ගරිල්ලා මාකටින් දැක ගත හැක්කේ තමන්ගේ කථිකත්වය මනාව ප්‍රදර්ශනය කරන මේ සම්මුඛ පරීක්ෂණයේදී ය.

එහෙත් සියල්ල අවසන් වන්නේ නොසිතූ ලෙසට ය. ඒ මුලදී දකින දෙවගන පසු කලෙක රකුසියක් වනු පෙන්වන හීනයකිනි. ඒ මුලදී දකින සාන්තුවරයා අවි දරන දාමරිකයෙකු බවට පෙරලෙන සිහිනයකිනි. මේ නිසා බදවා ගැනීම මානව සම්පත් කළමනාකරුට නපුරු සිහිනයක් බව නොකිව මනා ය.

මෙයින් මිදිය හැකි එක් මගක් වනුයේ අතීත පැටිකිරිය විමසීම ය. අම්මා මුත්තා ගැන නොව පරණ ආයතනවල වැඩ කළ හැටි ගැන විමසීම ය. ඒ ද අපහසු වැඩකි.

එක් ආයතනයක වැඩ කළ නොහැකි වූ කෙනෙකු වෙනත් ආයතනයක හොදින් වැඩ කළ හැකි බැවිනි. ඒ මුල් ආයතනයේ වැඩ කරන වටපිටාවක් නොතිබීමත් දෙවැනි ආයතනයේ එවැන්නක් තිබීමත් නිසා ය. ඒ නිසා මේ ක්‍රමය හරහා හොද වැඩ කාරයින් අසු නොවන්නට පුලුවන. එක් කළමනාකරුවෙකු නරක යැයි බැහැර කරන්නෙක් වෙනත් කළමනාකරුවෙකු අගනා වස්තුවක් සේ ද සැළකිය හැකි බැවිනි.

නිර්දේශය දීමේ දී එය බොහෝවිට අවංක එකක් නොවීමේ ඉඩ ඊට අමතර වශයෙන් තිබේ. සමහරු තමන් යටතේ වැඩ කරන කෙනෙකුගේ නරක කියන්නේ නැත. ඒ අනුකම්පාවට ය. තවත් අය හොද කියන්නේ නැත. ඒ ඉරිසියාවට ය. මිතුරෙකු නම් කියන්නේ එකකි. හතුරෙකු නම් කියන්නේ එකකි. ඒ නිසා මේ විමසීමෙන් ද ලොකු ඵලක් නොලැබේ.

බදින කොට නම් කේන්දරය වත් බලන්නට පුලුවන. මෙහිදී එය නොබලන්නේ ඇයිදැයි කුකුසකි. කේන්දරේ බලලාත් කසාදයන් අර්බුදයන්ට යන නිසා එයින් වැඩක් නැතැයි සිතා ඒ අදහස මානව සම්පත් කළමනාකරුවන් විසින් අත්හැරියා වන්නට පුලුවන.

මෙසේ අසරණ වන මානව සම්පත් කළමනාකරුට කාගේ සරණ ද? ඔබට මේ ගැන අදහසක් තිබේ නම් ලියන්නට මේ ආරාධනාවකි. ඔබ නොලිව්වත් මගේ උත්තරයක් සමග ඊළග සතියේ ඔබ මුණ ගැසෙන්නට අපේක්ෂා කරමි.

කළමනාකරණය කුමට ද කාට ද? එහි දිග පළල මොනවා ද?


අපට ඇති සම්පත් ප්‍රමාණය සීමිත නම් ද අපට කළ යුතුව ඇති වැඩ ප්‍රමාණය අසීමිත නම් ද එතැන කළමනාකරණයට නිමිත්තක් තිබේ. එවැනි අභියෝගයන්ට මුහුණ දෙන කවරෙකුට වුව ද කළමනාකරණය වැදගත් ය.

ඒ නිසාම එහි උරුමය හා බලපෑම ඇත්තේ කරපටි කාර මැනේජර් පැලැන්තියට පමණක් නොවේ. ඉහත අභියෝගයට මුහුණ දෙන හැමට ය. ඒ හැමට එයින් ඵල  ලැබිය හැකි ය.

අසීමිත වැඩ අතරින් කවර ඒවාට ප්‍රමුඛත්වය ලැබිය යුතු ද එසේ තෝරාගත් වැඩ වඩාත්කාර්යක්ෂම සිදුකළ හැක්කේ කෙසේ ද යන්නට කළමනාකරණ මූලධර්මයන්ගෙන් උදව් පදව් ලැබිය හැකි ය.

තබා ඉණිමගක් බිත්තියට

නැගුනෙමි හණිකට

නැගගොස් බැලූවිට දුටුවේ

ඉණිමග තබා තිබූ බව වැරදි බිත්තියකට

බොහෝ ආයතනවල ඉණිමං තබා ඉක්මණින් නගිනු පෙනේ. එහෙත් ඔවුන් ආයාසයක් දරා නැග ඇත්තේ වැරදි බිත්තියකට ය. කාර්යක්ෂමතාවය ලගා කර ගෙන ඇතත් ඔවුන් සඵල නැත.

සමහරු හරි බිත්තියට ඉණිමග තබතත් නගින්නට අමුඩ බදිනවා විනා නගින්නේ නම් නැත. නැග්ගත් ඉබි ගමනෙනි. සඵලත්වය නිවැරදිව අපේක්ෂා කරතත් කාර්යක්ෂමතාවය නැත්තේ ය. එසේත් නැත්නම් ඒ මද ය.

සඵලත්වයත් කාර්යක්ෂමතාවයත් දෙකම ලගා කර ගත හැකි තැන කළමනාකරණය නිසි ලෙස සිදුවුනා වෙයි.

ඒ නිසා හරි දේ කිරීමත් කරන දේ හරියට කිරීමත් දෙකම එකතු වූ තැනක නිසි කළමනාකරණය සිදු වෙයි.