ඇක්ටින් හා ජීවත්වීම


ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ. මේ අප අසා පුරුදු කියමනකි.

ජීවත්වන්නේ එක විදිහකට ය. ඒත් රටට පෙන්නන්නේ ඊට සපුරාම වෙනස් විදිහකි. වෙනත් විදිහකට කියන්නේ නම් කරන්නේම ඇක්ටින් ය.

අප කොයි කවුරුත් මේ රඟපෑම කරන බව ඇත්ත ය. එහෙත් මේ දෙක අතර පරතරය විශාල වූ විට ඇති වන ප්‍රතිඵල දරුණු ය. පරතරය විශාල වූ විට අමාරුවේ වැටෙන්නේ අපේ රඟපෑම් බලන එයින් මුලාවෙන ප්‍රේක්ෂකයන් පමණක් නොවේ. එසේ රඟ පාන අපමත් ඉන් අමාරුවේ වැටේ.

මේ දෙක අතර විශාල පරතරයක් ඇති බව දකින ප්‍රේක්ෂකයා තුළ අප ගැන ඇතිවන කළකිරීම එසේ අප අමාරුවේ වැටීමට තුඩු දෙන එක් හේතුවකි.

රගපාන අප අමාරුවේ වැටෙන අනෙත් හේතුව වන්නේ එක් වටපිටාවක රගන රංගනයට වඩා වෙනස් රංගනයක් ඊළග වටපිටාවේ රගපෑමට අපට බොහෝ විට සිදුවීම ය. මේ භූමිකා වෙනස සමහරවිට පැටලිලි ඇති කරන්නේ ය. සෞම්‍ය මුහුණක් ප්‍රදර්ශනය කළ යුතු තැනක මේ නිසා රෞද්‍ර මුහුණක් ඇති විය හැක්කේ ය. ඒ සම්බන්ධයෙන් වන වඩාත්ම භයානක ගැටළුව නම් එක් නිශ්චිත චරිතයක් ඒ තුළ සංවර්ධනය නොවීම ය.

රගපෑමේ වැඩිම පාඩුව ඇත්තේ ඒ අවසානයට කී කාරණයේ ය.

එක තැනක කිපෙන භූමිකාවක් ඇති රංගනයකට ඊළග තැන සෞම්‍ය වන්නට නොහැකි වීමට ඉඩ තිබෙන බව අපි කීවෙමු. එහෙත් වඩාත් භයානක කාරණය එය නොවේ. රගන භුමිකාව තුළ නොව චරිතය තුළ සෞම්‍ය බව ගොඩ නැගීමට මේ රංගනයන් බාධා පමුණුවන නිසා ය.

අපේ හැසිරීම දෙයාකාර ය. ඉන් මුල් ආකාරය ප්‍රතික්‍රියා (reactive) ස්වරූපය ගනී. එහි දී අපේ හැසිරීම පාලනය වන්නේ සවිඥානයෙන් නොවේ. අවිඥානයෙනි. ප්‍රතික්‍රියාව ක්ෂණික ය.

අනෙත් ආකාරය ප්‍රතිචාරයක (response) ස්වරූපය ගනී. එහි දී අප ප්‍රතිචාරය දක්වන්නේ හිතා බලා කිරා මැන බැලීමෙන් ද පසුව ය. එය සවිඥානක ය.

ප්‍රතික්‍රියාව (reaction) එන්නේ අප ගොඩ නගා ගෙන ඇති චරිතයෙනි. ඉක්මණින් පරල වී යකා නටන මිනිසුන් ඒ ගැන පසුව පසුතැවිලි වෙනු ඔබ දැක ඇත. ඒ ඔවුන් හැසිරී ඇත්තේ ප්‍රතික්‍රියාවක ස්වරූපයෙන් වීම නිසා ය. අවිඥානකව නිසා ය.

(එකකට එකක් පසුව එන කරදර නිසාත් යම් කෙනෙකුගේ එකට පසුව එකක් දක්නට ලැබෙන අතිශය තකතිරු තීරණ සමුදායක් නිසාත් කෙනෙකු ඉවසා ඉවසා බැරිම තැන කිපෙන්නට පුලුවන. එය චරිත ලක්ෂණයකට වඩා මුහුණ දෙන අවස්ථාවන් කරණ කොට ඇති වන්නකි. අප මේ කතාකරන්නේ එවැනි අතිශය කලාතුරකින් කෙනෙකුට සිදුවිය හැකි පරල වීමක් ගැන නොවේ. එවැනි දිගින් දිගට සිදුවන කෝප ගැන්වීම් අභියස දීත් උපෙක්ෂාවෙන් සිටින මිනිසුන් ද නැතිවා නොවේ.)

ප්‍රතික්‍රියාවේ ස්වරූපය සාධනීය මට්ටමකින් පවත්වාගෙන යෑමට පමණක් නොව ප්‍රතික්‍රියා කරනු වෙනුවට ප්‍රතිචාර දැක්වීමට ද හැකි වන්නේ අප ගොඩ නගා ගෙන ඇති චරිතය ප්‍රබල වෙතොත් ය.

ඇක්ටින් කරන අයට නැත්තේත් ඒක ය.

ඇක්ටින් කරන්නට අමතක ව හිටි හැටියේ තමන්ගේ සැබෑ ස්වරූපය ඔවුන් විසින් මතු කරනු ලබන්නේ ය.

කෙනෙකු ගැන ඔබ තීරණයකට බැසිය යුත්තේ ඔහු හෝ ඇය ඔබ ගැන දක්වන ලෙන්ගතු කමෙන් නොවේ. ඔහු හෝ ඇය පොදුවේ ඇසුරු කරන අය සම්බන්ධයෙන් දක්වන හැසිරීමෙන් ය.

එසේ නොකරන අය ඇක්ටින්වලට හසුව අමාරුවේ වැටීමට නියමිත ය.

ඔබ කරන්නේ ඇක්ටින් නම් ඔබට ඔබේ චරිතය ගොඩ නගා ගැනීමට ඉන් බාධා ඇතිවන්නේ ය. නොසිතූ මොහොතක ඔබේ ඇක්ටින් පාට් එක සැගව ගොස් යකා මාක් එක මතුවන්නට එයින් ඉඩක් ලැබෙන්නේ ය. එය අවසන් වන්නේ නැවත නැගිටිය නොහැකි ලෙස ඔබ බිම වැටීමෙනි.

ඒ නිසා ඇක්ටින් කරන්නන් අනුන් අමාරුවේ දානවා පමණක් නොවේ. ඔවුහු තමන්ව ද අමාරුවේ හෙළන්නෝ ය.

Advertisements

ප්‍රතිවිරුද්ධ දිසාවට වැඩ කරන අපේ මනස නොහොත් අකමැත්ත කැමැත්ත කිරීම


අප කැමති අයට උදව් කිරීමට අපි නොපැකිලෙන්නෙමු. හේතුව පැහැදිලි ය. එහෙත් ඒ තරමටම පැහැදිලි නැති දෙයක් ද අපට සිදු වේ. ඒ එහි ප්‍රතිවිරුද්ධ දෙයයි. ඒ අප උදව් කරන අයට අප තුළ කැමැත්තක් ඇති වීම ය.

මේ බව ලෝකයට මුලින්ම කීවේ බෙන්ජමින් ෆ්රූන්ක්ලින් ය. ඔහු සමග නොහොදව සිටි කෙනෙකුගෙන් බොහෝ බැගෑපත් වී කුඩා උදව්වක් ගෙන ඔහු තමන්ගේ මිතුරෙකු බවට පත් කර ගැනීමට බෙන්ජමින්ට හැකි විය.

මෙසේ අප මනස එක් පැත්තකට නොව දෙපැත්තටම වැඩ කරන්නේ මනසේ ආතතිය ඉහිල් කර ගැනීම සඳහා ය. අමනාප වී සිටින කෙනෙකුට උදව්වක් කිරීමට මනසට අපහසු ය. ඉදින් උදව්වක් කරන්නේ නම් අමනාපය තවදුරටත් තබා ගැනීමට ඊට බැරි ය.

අප දන්නා තවත් දෙයක් නම් අපේ මනස විසින් චර්යාව සකසන බව ය. එහෙත් මෙහි ප්‍රතිවිරුද්ධ දෙය ද ඒ තරමටම නැත්නම් ඊටත් වඩා සත්‍ය ය. එනම් අපේ චර්යාව විසින් අපේ මනස සකස් කරන බව ය.

අප සන්සුන්ව ඇවිදින්නට මෙන්ම සන්සුන්ව කතා කරන්නට පුරුදු වන්නේ නම් මනස ඉබේම සන්සුන් කර ගත හැකි ය.

අප යමක් අකමැත්තෙන් වුව කරන්නේ නම් ටික කලකින් එයට අප තුළ කැමැත්තක් ඇති වනුයේ ඒ අනුව ය. ව්‍යායාම ආරම්භ කරන කෙනෙකුට දින 21 ක් එක දිගට අමාරුවෙන් වුව එවැන්නක යෙදෙන ලෙස උපදෙස් ලැබෙන්නේ මේ නිසා ය.

අප දිගින් දිගට කරන දෙයකට අකමැති වීමට අපට අපහසු ය. එසේ කළ හොත් මනසට ඇතිවන්නේ ආතතියකි. මනස එය එක් විදිහකට බැරිනම් අනෙත් විදිහකට ඉහිල් කර ගැනීමට මගක් සොයයි.

බලාහාත්කාරය කලක දී ස්වයං විනයක් හදන්නේ එසේ ය. පාසලට වේවැල් කෝටු නාරන් සියඹලා අතු ආවේ ඒ අනුව ය. කල්වේලා ඇතිව පාසල් ඒමට එය උපකාරී විය. ටික කලකින් කෝටුවේ අනුහසක් නැතිවම පාසලට කල් වේලා ඇතිව පැමිණීමට අපට හුරු විය.

කෝටුව දෙස වෛරයෙන් බැලූ අය ද පසු කලෙක වැඩිවියට පත්ව ඒ දෙස දයාබරිත බැල්මක් හෙලන්නේ ඒ නිසා ය.

අකමැත්ත කැමැත්ත බවට පෙරලීම කළමනාකරුවෙකුට නිරන්තරයෙන් මුහුණ දෙන්නට සිදුවන අභියෝගයකි. අප ඉහත සඳහන් කළ නියාම දෙකම ඊට අවශ්‍ය න්‍යායාත්මක පදනම සපයයි.

අපේ මනස වැඩ කරන හැටි අප තේරුම් ගත් විට අපට අප වටා සිටින මිනිසුන් කෙරෙහි තීරණාත්මක බලපෑමක් එල්ල කළ හැකි ය. එපමණක් නොවේ. බාහිර බලපෑම්වලට යටත් නොවී සිටීමටත් එයින් අපට අනුපමේය ශක්තියක් ලැබේ.

කළමනාකරුවන් මනෝ විද්‍යාව උගත යුතු යැයි අප වරින් වර නැවත නැවතත් මතක් කරන්නේ ඒ නිසා ය.

කළමනාකරණය පොත පතින් උගත යුතු විද්‍යාවක් ද අභ්‍යාසයෙන් ප්‍රගුණ කළ යුතු කලාවක් ද?


කළමනාකරණය ප්‍රගුණ කළ යුතු කලාවක් යැයි ද ඒ නිසා එය පොත පතින් හෝ පාඨමාලාවකින් උගත ගත නොහැකි යයි ද ප්‍රබල මතයක් සමාජය තුළ වෙයි.

එය එකම වෙලාවක ඇත්ත ද බොරු ද වෙයි.

ඇත්ත වන්නේ කළමනාකරණයේදී බොහෝ අඥාතයන් තිබියදී තීරණ ගැනීමට සිදුවන නිසාම එහැම පිටින්ම තාර්කික මනසකින් හෝ කිසියම් සූත්‍රයකට අනුව හෝ එය කළ නොහැකි නිසා ය. එසේ කළ නොහැකි දේ පාඨමාලාවකින් හැදෑරිය නොහැකි ය. එය ජීවන අත්දැකීම්වලින් වැරදි කිරීම තුළින් අභ්‍යාසයෙන් ඉගෙන ගත යුතු වෙයි.

එය බොරුවන්නේ මිනිස් හැසිරීම් ද සමාජ හැසිරීම් ද භෞතික දේ තරමට නොවූවත් එක්තරා දුරකට පුරෝකතකයන් කළ හැකි ලෙස සංවිධිත දැනුමක් බවට සමාජ විද්‍යාඥයින් හා මනෝ විද්‍යාඥයින් විසින් පත් කර ඇති නිසා ය. ඒ නිසාම ඒ සංවිධිත දැනුමෙන් මග පෙන්වනු ලැබීමෙන් වඩා යහපත් වඩා දියුණු මැදිහත් වීමක් කළමනාකරුවන්ට කළ හැකි නිසා ය.

එසේවුව ද සාමාන්‍යකරණය කරන ලද දේ පවා යම් පරාසයක යම් යම් තත්වයන් යටතේ වෙනස් ලෙස ක්‍රියාකළ හැකිවීමේ ඉඩ නිසා ම කළමනාකරණය කල් ඇතිව කරන ලද දෘඩ සැළසුමක් ඔස්සේම ගෙන යා නොහැකි වන අතර බොහෝ හැඩ ගැසීම් හා සංශෝධන සහිතව මෙහෙවිය යුතු ය.

මෙයින් කියන්නේ කළමනාකරණය විද්‍යාවක් ලෙස මුළුමනින්ම සැළකිය නොහැකි වුව ද ඊට අදාළ නීතිරීති වෙනම හැදෑරිය හැකි බව ය. ඒවා යොදාගැනීමේ දී භෞතික විද්‍යාෙව් දී මෙන් කෙළින්ම යොදා ගැනීමට බැරි තරමට සංකීර්ණ වන මුත් ඒවායින් යම් මග පෙන්වීමක් ගත හැකි බව ය. ගත යුතු බව ය.

ඒ මග පෙන්වීමට එහෙම පිටින්ම නතු නොවී විකාශය වන ක්‍රියාවලිය දෙස විපරමින් බලමින් අවශ්‍ය වෙනස්කම් සිදුකළ යුතු බව ය. මුල් සැළැස්මෙන් වෙනස් කළ යුතු තැන ඒ සදහා මැදිහත් විය යුතු බව ය.

විද්‍යාව හැදෑරූ බොහෝ දෙනෙකු මේ අවිනිශ්චිතතාවය ඉවසන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය ගණිතමය සමීකරණවලින් ලබා ගත හැකි උත්තර ය. එවැන්නක් කළමනාකරණය හැදැරිමෙන් නොලැබෙන කල ඔවුන් කළමනාකරණය විද්‍යාවක් නොවේ යැයි බැහැර කරමින් තමන්ගේ පරිඥානයේ (common sense) සහය පමණක් ගනිති. ඒ පරිඥානය එතරම් පළල් නොවූ එකක් වූ කල ආයතනවලට දෙවියන්ගේ පිහිට ය. ඒ මදිවාට ඒ පරිඥානය තුළ ඇත්තේ සූත්‍රගත කරන ලද දැනුමක් වූ කල හා ඒ සූත්‍ර කෙනෙකුගේ පෞද්ගලික අත්දැකීම් මත පමණක් පදනම් වූ විට එයින් සැපයෙන මගපෙන්වීම සමහර විට අනර්ථකාරී විය හැකි ය.

දක්ෂ කළමනාකරුවෝ කළමනාකරණය විද්‍යාවක් ලෙස හදාරන්නට උනන්දුවන අතර ඉන් ඔබ්බට ද ගොස් එහි සීමා පිරිසිද දැන සිය පරිඥානයන් ඊට එක් කර වඩාත් සාර්ථක තීරණ ගනිති.

කළමනාකරණයේ විද්‍යාත්මක පදනම ශරීර කූඩුවක ඇටසැකිල්ල මෙනි. එහි කලාවේ දායකත්වය ඒ ඇට සැකිල්ල වටා ඇති ලේමස් මෙනි.

පොතේ හැටියට කළමනාකරණය කරන්නන්ටත් පොත විසිකොට ඊට ගරහමින් කළමනාකරණය කරන්නන්ටත් සිදු වන්නේ එක්කෝ ඇටසැකිල්ලක් වීමට ය. නැතිනම් මස් වැදැල්ලක් වීමට ය. ඔවුන්ට කිසිදා ශරීරයක් නම් විය නොහැක්කේ ය.