අලුත්ගම බේරුවල අර්බුදය – චක්‍රය කරකනවා ද? ඉන් මිදෙනවා ද?


දැන් ගිනි ගෙන අවසාන ය. බිලි ගෙන අවසාන ය.

මුලින් ඇති වුනේ පුංචි විරසකයකි. දැන් එය විශාල අර්බුදයක් බවට පෙරලිලා ය. මුලින් ඇති වුන ගැටළුව පුද්ගලයින් අතර ය. දැන් එය ජාතීන් අතරට පැතිර ගොසින් ය.

හරියට කළමනාකරණය නොකළොත් එය නුදුරේදී රටම ගිලගනු ඇත්තේ ය.

මෙයට වගකිව යුතු වන්නේ කවුද? ඔබ ඒ ප්‍රශ්නය අසන්නේ කාගෙන් ද යන්න අනුව ඔබට උත්තර ලැබෙනු ඇත්තේ ය.

ඔබ එය බොදුබල සේනාවෙන් අසන්න. ඔවුන් කියනු ඇත්තේ එයට වගකිව යුත්තේ මුස්ලිම් අන්තවාදීන් බව ය. ඔබ ගුටි කෑ මුස්ලිම් ජාතිකයෙකුගෙන් අසන්න. බොහෝවිට ඔහු කියනු ඇත්තේ අලුත්ගම රැස්වීම සංවිධානය කළ බොදුබල සේනාව බව ය.

ඊළගට ඔබ දැන් කළ යුත්තේ කුමක් දැයි අසන්න. ඔබ ඒ ප්‍රශ්නය අසන්නේ කාගෙන් ද යන්න අනුව නැවතත් ඔබට උත්තර ලැබෙනු ඇත්තේ ය.

ඔබ එය බොදුබල සේනාවෙන් අසන්න. ඔවුන් කියනු ඇත්තේ අන්තවාදී මුස්ලිම් මිනිසුන්ට දඩුවම් කළ යුතු බව ය. පොලීසිය එසේ නොකරන නිසා ජනතාවට එසේ කරන්නට සිදු වූ බව ය. ඔබ ගුටි කෑ මුස්ලිම් ජාතිකයෙකුගෙන් අසන්න. බොහෝවිට ඔහු කියනු ඇත්තේ අලුත්ගම රැස්වීම සංවිධානය කිරීමෙන් ටවුමට ගිනි තැබූ බොදුබල සේනාවට දඩුවම් කළ යුතු බව ය. මෙතෙක් ඔවුන්ට නිදහසේ කටයුතු කිරීමට ඉඩ දීම ගැන ඔවුන් ආණ්ඩුවට ද බණිනු ඇත්තේ ය. ආණ්ඩුව කිසිවක් කරන්නේ නැත්නම් ඒ වගකීම ද තමන්ට පවරා ගැනීමට සිදුවනු ඇතැයි ඔවුන් කියන්නට ද පුලුවන. එලිපිට නැතත් තම තමන්ටවත් කියාගන්නට පුලුවන. පුදුමය එසේ නොකියවුනොත් ය.

මේ සිදුවන්නේ බුද්ධිමය සංවාදයක් නම් නොවේ. වැඩිපුර ඇත්තේ පරල වූ හැගීම් ය. එයින් මෙහෙයවෙන සංවාදයක් ය.

බුද්ධියෙන් මැදිහත් වන කෙනෙක් කියන්නේ වෛරයෙන් වෛරය නොසන්සිදෙන බව ය. මෛත්‍රීයෙන් වෛරය ජයගත යුතු බව ය. කැරකෙන චක්‍රය නැවතෙනු ඇත්තේ එවැනි මැදිහත් වීමකිනි.

එහෙත් හැගීම් කතා කරනේනේ වෙනත් භාෂාවකිනි. ඒ භාෂාව අසනු ඇත්තේ ගැහැව්වහම ගහන්නේ නැතිව භාවනා කරන්න ද කියා ය. ඒ අත වනන්නේ කැරකෙන චක්‍රය දිගින් දිගට කරකවන්නට ය.

ගැටුම් කළමනාකරණය කිරීමට හදවතට නොහැක්කේ ඒ නිසා ය. ඒ සඳහා බුද්ධිමය මැදිහත් වීමක් අවශ්‍ය ඒ නිසා ය. හැගීම් වලින් නොඇවිස්සිනු සන්සුන් මනසක් අවශ්‍ය ඒ නිසා ය.

නැතහොත් සිදුවන්නේ විෂම චක්‍රය දිගින් දිගට විනාශය ගෙන දෙමින් කැරකීම ය. එයින් ගැලවීමට එයින් එලියට ආ යුතු ය.

මෛත්‍රීයේ හස්තය දිගු කිරීමට කවුරුන් හෝ මුල් විය යුතු ය. එහි වැඩි වගකීම ඇත්තේ වඩාත් ශක්තිමත්, වඩාත් බලය ඇති, වඩාත් පිරිස ඇති, වඩාත් බුද්ධිය ඇති කණ්ඩායමට ය.

බොහෝ විට වන්නේ දෙගොල්ලන්ම තමන් ප්‍රමාණවත් ලෙස ශක්තිමත් නැතැයි යන සැකයෙන් හා හීනමානයෙන් පෙලීම නිසා ඒ මෛත්‍රීයේ හස්තය දිගු කිරීමට ඉක්මන් නොවීම ය. එවිට සිදුවන්නේ චක්‍රය වඩ වඩා වේගයෙන් කැරකෙන්නට පටන් ගැනීම ය. එය විසල් විනාශයකින් මිසක අවසන් විය නොහැකි ලෙස කැරකෙන්නට පටන් ගැනීම ය.

දැන් මේ සිදුවෙමින් තිබෙන්නේ එය නොවේ ද?

Advertisements

බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ මරණය – කළමනාකරණ ඇසකින් විමසුමට


ප්‍රශ්නයක් දෙස බැලිය යුත්තේ කෙසේ දැයි සාකච්ඡා කරන්නට අපට මේ මරණය නිමිත්තක් කර ගත හැකි ය. නැතිනම් වන්නේ මේ මරණය නිරපරාදේ වූ තවත් මරණයකට සීමා වීම පමණ ය.

ගව ඝාතනය නතර කරන ලෙස ඉල්ලා උන්වහන්සේ සිය සිරුරට ගිනි තබා ගෙන තිබේ.

ගව ඝාතනය හොද ද? නැත් ද? අපට ඇසිය හැකි එක් ප්‍රශ්නයකි. හොද නොහොද යනු කාලයත් සමග වෙනස් වන එපමණක් නොව රටින් රටට ද වෙනස් වන සංකල්පයකි. එක් කලෙක වහල් වෙළදාම සාමාන්‍ය දෙයක් වූ අතර එකල ලෝක වාසීන් විසින් (වහලුන් ද ඇතුළත්ව) එය වැරැද්දක් හැටියට සැළකුනේ නැත.

මේ ප්‍රශ්නයට උත්තර හොයන අයට තවත් ප්‍රශ්නයක් මුණ ගැසේ. වැරදි ගව ඝාතනය පමණක් ද? එළුවන් ඝාතනය හරි ද?

කිසිම සතෙක් ඝාතනය නොකරන්නේ නම් හොද ය. මේ, ඒ සදහා යන මාවතේ මුල් පියවර ය. ඒ අපට ලැබෙන පිළිතුරු ය.

සත්ව ඝාතනයෙන් තොරව අපට මානව වර්ගයා ලෙස පැවැත්මක් වේ ද? වී ගොවියා වී ගොවිතැන රැක ගැනීම සදහා කෙතෙක් නම් සතුන් මරන්නේ ද? එළවලු පමණක් අනුභව කරන්නන් මේ සත්ව ඝාතනයන්ට උල් පන්දම් නොදෙන්නෝද? කුරුළු උණ වැළදුන කුකුළන් ලක්ෂ ගණනින් ඝාතනය කර මානව වර්ගයා ඒ භයානක වසංගතයෙන් බේරාගැනීමත් පාපයක් ද?

සියලු සතුන්ගේ ජීවිත බේරාගත හැක්කේ මාංශ භක්ෂික සතුන් ද තුරන් කිරීමෙනි. අප සතුන් නොමැරුවාට මාංශ භක්ෂීක සතුන් වෙන සතුන් දඩයම් කිරීම අපට නතර කළ නොහැකි නිසාවෙනි.

ඒ අවසානයක් නැති ප්‍රශ්නයට උත්තර දීම නවතා අපට මේ ප්‍රශ්නයට වෙනත් ලෙසකට ප්‍රවේශ විය හැකි දැයි බලමු.

ගව ඝාතනය නතර කිරිම ප්‍රායෝගික ද? නැත් ද?

එය කලින් ප්‍රශ්නය මෙන් නොව උත්තර සෙවිය හැකි ප්‍රශ්නයකි. ලංකාවේ බොහෝ පෙදෙස්වල ගව පට්ටි අයිතිකරුවෝ සිටිති. ඒ අයගේ පවුල් දිවි ගෙවන්නේ එළදෙනුන්ගෙන් කිරි ලබා ගනිමින් ඊට සමාන්තරව ගවයින් මසට විකිණිමෙනි. බැරි වෙලාවත් ගවයන් විකිණිය නොහැකි වන්නේ නම් ගවයන් හැදීමට ඇති අභිප්‍රේරණය අහෝසි වේ. එවිට එළදෙනුන් පමණක් ඉතිරි කර ගවයින් අයාලේ යන්නට හැරියොත් සිදුවන ව්‍යාසනය කොතෙක් වේ ද? මී හරක් මෙන් නොව එළ හරක් මිනිස් වාසයේ ජීවත් වෙන සත්ව කොට්ඨාෂයකි. එක් පැත්තකින් මිනිසුන්ට ජිවනෝපායක් අහිමිවන අතර සතුන්ට ඉන් රැකවරණය අහිමි වේ.

ගණිකා වෘත්තීය අප රටේ නීතියෙන් තහනම් ය. එහෙත් ලංකාවේ ගණිකාවන් 40,000 ක් පමණ සිටිතැයි සමීක්ෂණයකින් හෙලිවී තිබේ. මත්පැන් නිශ්පාදනය සදහා අවසර ඇත්තේ බලපත් ලාභීන්ට පමණකි. එහෙත් ලංකාවේ හොර අරක්කු හා කසිප්පු නිශ්පාදනය ගම් මට්ටමේ අතිශයින් ජයට කෙරෙන සිදුවන ස්වයං රැකියාවකි. හැම ගමකම වෙල් යායකම කැළෑ ගොන්නකම පාහේ කසිප්පු පෙරන බව නොදන්නේ කවු ද? ඒවා අනුව කල්පනා කරද්දී කැළෑවට ගාල් වෙන මේ හරකුන් මස් කරන්නට නීතියෙන් අවසරයක් නැතිව කටයුතු සිදු නොවේ යයි කිව හැක්කේ කාට ද?

ස්වභාව ධර්මයේ ස්වයං පාලනයක් සිදු වේ. ගව ජනගහණය වැඩි වුවහොත් ඔවුන් ඊළගට මිය යන්නේ කන්න නැතිව ය. වෙනත් බෝවෙන රෝගයන්ට ගොදුරු වෙලා ය. එය මේ තත්වයට වඩා සුන්දර ද?

හරි වැරැද්ද විවාදාත්මක වූ ද, ප්‍රායෝගිකත්වය ප්‍රශ්න කාරී වූ ද, මේ වෑයම තුළ තිබෙන ඊළග අවුල කුමක් ද? මේ විදිහට විවිධ ඉල්ලීම් ඉල්ලමින් මිනිසුන් සිය දිවි නසා ගන්නට සැළසුනොත් සිදු විය හැක්කේ කුමක් ද? මෙයින් දෙන ආදර්ශය හොද ද?

පිහියක් දික් කර මංකොල්ල කෑමත් යමක් නොදුන්නොත් තමන් දිවි නසා ගන්නා බව කීමත් අතර අහස පොළොව මෙන් දුරස්ථභාවයක් ඇති බව ඇත්ත ය. එහෙත් ඒ දෙක අතර යම් සමානත්වයක් ද ඇත. ඒ බලහාත්කාරයයි.

හැගීම්වලට වහල් නොවී මෙසේ විචාරශීලීව එළැඹි සිහියෙන් ප්‍රශ්නයක් දෙස බැලීමට අපට හැකි නම් මෙවැනි නිරාපරාදේ මරණ වළක්වා ගත හැකි ය. ජීවිත පූජාවක් කළ යුත්තේ එයින් යම් සුගතියක් අත් වේ නම් පමණ ය. මේ ඉල්ලීම තුළ එවැනි සුගතියක් ඇති කළ නොහැකි බව ගැඹුරින් විමසන්නෙකුට පෙනෙනු ඇත.

මෙවැනි ප්‍රශ්න සමාජයේ පළල් සංවාදයන්ට බදුන් විය යුතු ප්‍රශ්න මිසක කෙනෙකුගේ දෙදෙනෙකුගේ ආවේගයට අනුව උත්තර සෙවිය යුතු ප්‍රශ්න නොවේ. මේ සම්බන්ධයෙන් වන කතිකා ලාභ ජනප්‍රියතාවය සොයන මැදිහත් වීම් ලෙස මිසක විචාර බුද්ධියෙන් යුතුව කරන මැදිහත් වීම් ලෙස සැළකිය නොහැකි ය.

කළමනාකරුවන් හැටියට ප්‍රශ්නයක් ආවේගශීලි මට්ටමට පහළින් තබා ගැනීම හැම විටම වඩා ප්‍රබුද්ධ තීරණයකට ඒමට අපට උපකාරීවන බව සිහිකට යුතු ය.