ජන්මෙට වඩා ලොකු ‘පල’පුරුද්ද ද? නැතිනම් ඇත්තටම ලොකු ජන්මය ද?


experience

බොහෝ ආයතන රැකියා සදහා පලපුරුද්ද ඉල්ලා සිටියි. හේතුව පැහැදිලි ය. එවැනි අය පුහුණුවක් නැතිවම වැඩට දැමිය හැකි ය. වැරදි සිදුවනු ඇත්තේ අඩුවෙනි. එය ද ආයතනයට වාසි ය.

පලපුරුද්ද ඇති කෙනෙකුට අත්දැකීම් වැඩි ය. විවිධ අවස්ථාවන්ටවලට මුහුණ දී ඇති නිසා ඔවුන් තුළ සහජ බුද්ධිය මුවහත්ව තිබේ. ඒ අත්දැකීම් අනුසාරයෙන් ඔවුන්ට විසදුමකට ඒමට පහසුවක් ඇතිවෙයි.

පොත්වල ඇත්තේ දැනුමය. කරුණු සංඛ්‍යාලේඛනවලින් පිරුණු දැනුම ය. විභාගවලදී පරීක්ෂාවට ලක්වන්නේ මේ දැනුම ය. ඒ දැනුම රැකියාවකදී උදව්වට එන්නේ අල්ප වශයෙනි. ඒ නිසාම ඒ දැනුමට වැඩි වටිනාකමක් පළපුරුද්දට ලැබේ.

සමාන ආයතනයක වැඩ කර ඇත්නම් ඒ ආයතනයේ යහපුරුදුද සමහරවිට තාක්ෂණය ද ඒ සමග නව ආයතනයට ලැබේ. එය ද පළපුරුද්දට වටිනාකමක් එක් කරයි.

යම් ආයතනය කෙනෙක් කාලයක් වැඩ කර ඇත්නම් එයින්ම ඔහු ගැන යම් අදහසක් ඇති කර ගත හැකි ය. ඊට අමතර වශයෙන් ඒ ආයතනයෙන් ඔහු ගැන තොරතුරු කෙළින්ම හෝ වක්‍රව විමසා සිටිය හැකි ය. මේ තොරතුරුවල විශ්වාසනීයත්වය ප්‍රශ්නකාරී විය හැකි වුව ද මුකුත්ම දැන නොගන්නවාට වඩා තරමක් විකෘති වුව ද යම් දැනීමක් ලැබීම ප්‍රයෝජනවත් ලෙස සැළකේ.

ආයතනයක වැඩ කරන කෙනෙකුට විවිධ අභියෝගයන්ට මුහුණ දීමට සිදුවේ. ඒ හැම එකකින්ම කෙනෙක් වඩාත් ශක්තිමත් වේ. ඒ නිසාම ඔහුගේ ඔරොත්තු දීමේ හැකියාව දීර ගුණය තීව්‍ර වෙයි. එවැනි කෙනෙකු කුඩා කාරණාවලදී සැලෙන්නේ නැත. එක විදිහකට බැරි නම් තව විදිහකට උත්සහ කර බැලීමේ කලාව ඔහු /ඇය දැනටමත් ඉගෙන ගෙන තිබේ.

පළපුරුද්දේ මෙවැනි යහගුණ බොහෝ තිබුන ද එහි නිශේධනාත්මක පැත්තක් ද තිබේ.

ඔවුන් දැනටමත් හරි දේ පමණක් නොව පැරණි ආයතන ඇසුරෙන් වැරදි දේ ද ඉගෙන ගෙන තිබේ. ඔවුන්ගේ ආකල්ප ඒ ආයතන මගින් දැනටමත් සකස් කර තිබේ. ඒ ආකල්ප නිශේධනාත්මක විය හැකි ය. සකස් කළ හැක්කේ අමු මැටි පිඩකි. මේවා අමු මැටි නොවේ. දැනටමත් පදම් වී ඇති මැටි ය.

ඒ නිසාම සමහර ආයතන කැමති අලුත් අය බදවා ගැනීමට ය. මුල සිටම තම ආයතනයේ ආචාර ධර්මයන්ට අනුව හැඩ ගැසුනු සේවක මඩුල්ලක් ගොඩ නැගීම ඔවුන්ගේ අපේක්ෂාව ය.

ඉතාම දැඩි පුහුණු ක්‍රමවේදයන්ට යටත්කොට ඔවුන් නැවත සකස් කිරීම එවැනි ආයතන තමන්ගේ වගකීමක් හැටියට බාර ගනී.

බොහෝ විට මෙසේ කරන්නේ දියුණු ආයතන ය. පුරෝගාමී ආයතන ය. අනුන්ගෙන් ඉගෙන ගැනීමට දෙයක් නැති තරමට පිරිපුන් ආයතන ය. පුහුණුව සදහා ආයෝජනය කළ හැකි ආර්ථික වශයෙන් ශක්තිමත් ආයතන ය.

ඔවුන් රැකියා සදහා පළපුරුද්ද ඉල්ලන්නේ නැත. විභාග සහතික මත ද එපමණටම රැදෙන්නේ නැත. එහෙත් රැකියා අපේක්ෂකයින් බුද්ධි පරීක්ෂණයන්ට පමණක් නොව ආකල්ප පරීක්ෂණයන්ට ද ලක් කිරීමට ඔවුහු කටයුතු කරති. එක් සම්මුඛ පරීක්ෂණයකින් නොනවතින ඔවුහු වට ගණනාවක මුණ ගැසීම්වලදී අපේක්ෂකයන් අගැයීමට ලක් කරති. ඔවුන් පරීක්ෂා කරන්නේ අපේක්ෂකයන්ගේ විභවයන් ය. ශාක්‍යතාවයන් ය. හැකියාවන් ය. ආකල්පයන් ය. දැක්ම ය.

ඔවුන්ට වැදගත් අපේක්ෂකයන්ගේ අතීතය නොව ඔවුන්ගේ අනාගතය ය. ඔවුහු එය සකස් කිරීමේ වගකීම ද ඒ සමගම බාර ගනිති. ඒ ශාක්‍යතාවය විමසීමෙන් පසු ය. ඒ නිසා ඔවුන්ට රැකියා අපේක්ෂකයන්ගේ පළපුරුද්ද අදාළ නොවන්නේ ය.

මෙයින් අපට පෙනී යන්නේ මේ ප්‍රවේශ දෙකම වාසි අවාසිවලින් යුක්ත බව ය. දෙවැන්න අනුගමනය කළ හැක්කේ ශක්තිමත් ආයතනයන්ට බව ය.

එක් විධික්‍රමයක් නැතිව දෙකම අනුගමනය කිරීමෙන් ආයතනයකට ලාභ ලැබිය හැකි බව ය. සමහර වෘත්තීන් සම්බන්ධයෙන් එකක් අනිකට වඩා ප්‍රයෝජනවත් විය හැකි බව ය.

එහෙත් අප අත්දැක ඇති දෙය නම් බොහෝ ආයතන තමන්ගේ පුරුදු බදවා ගැනීමේ ක්‍රමයට කොටුව මෙයින් එකක් පමණක් අනුගමනය කිරීමට යොමුව තිබීම ය.

Advertisements

අපව කරකවා අත හරින අපේ පාසල


අපේ පාසල් අධ්‍යාපනය වැඩිමනත් වෙන් කොට තිබෙන්නේ අප “සිතිය යුත්තේ ‍මොනවාද?“ යැයි අපට දැන්වීමට ය. දැනුම කප්පරක් මිටි බැද ඇති පොත්පත් කොන්ද කුදු වනතෙක් දරා ගෙන පාසල් යන අපට “සිතන්නේ කෙසේ ද?“ යන්න බැරිවෙලාවත් එහිදී කියා දෙන්නේ නැත.

සත්‍යය සොයා ගන්නා හැටි නොව හොයාගත් සත්‍යය මේ යැයි අපට එහිදී දැනුම් දෙනු ලැබේ.

අවාසනාවකට පාසලෙන් එලියට යන විට උගත් අකුරු හා ගණන් ශාස්ත්‍රය හැරුණු විට මෙසේ ලද සෙසු දැනුම පිළුණු වෙලා ය. ඉගෙන ගත් සත්‍යය බොරු වෙලා ය.

දැනුමෙන් පිරිලා නිසාම ඒවා පරම සත්‍යය ලෙස අදහන්නට කියා දී ඇති නිසාම අලුත් දැනුමක් ලද විට ඒ දෙස බලන්නටවත් අපට සිත් දෙන්නේ නැත.

පිරුණු බදුනකට වත් කරන ජලයට ඒ තුළ ඉඩක් නැත. එකතු කරන දේ පිටට ගලා යනවා පමණ ය.

අලුත් දැනුම පරීක්ෂාවට ලක් කිරී‍මේ මෙවලම් අප සතුව නැත. ඒ නිසා අප සතු දැනුම පිළුණු වූවාට අමතරව නැවුම් දැනුම එකතු කර ගැනී‍මේ හැකියාව ද අපට නැත.

ඒ නිසාම අලුත් දැනුමට පස්ස හරවන අපට පරම්පරා ගණනකට පෙර මිනිහා දැන සිටි දැනුම මුලිච්චි වන්නේ ය. එයින් කළ හැක්කේ කොපුවක් ගුහාවක් නැතිනම් කට්ටක් හදා ගෙන සෙසු ලෝකයෙන් වෙන් වීම පමණ ය.

විධිමත් අධ්‍යාපන ක්‍රමය වැඩකට නැති වැටුප් ශ්‍රමිකයන් බිහි කරන්නේ එලෙස ය.

ඒ නිසාම කළමනාකරුවන්ට ඔවුන් නැවත හැඩ ගස්වා ගැනීමට සිදු වේ. එහෙත් බොහෝ කළමනාකරුවන් ද එවැනි වූ අය නිසාම ඔවුන්ට ඒ ගැන නිනව්වක් නැත.

අප අද මුහුණ පා තිබෙන අර්බුදය ඒක ය.

මේ ගැන අප ඉංග්‍රීසියෙන් ලියූ ලිපියක් ඔබට පහත යොමුව ඔස්සේ කියවිය හැකි ය. මේ ඉංජිනේරු ආයතනයේ ඊ පුවත්පත ය.

http://ieslslen.blogspot.com/2013/04/changing-paradigm-from-what-to-think-to.html

බඳවා ගැනීම බඳින තරම් පරිස්සමින්….


බඳවා ගත යුත්තේ පළල් ලෝක දැක්මක් ඇති උදවිය ය. පටු පසුගාමී මිනිසුන් නොවේ. එයින් අදහස් කරන්නේ කිසියම් කදවුරකට බැඳී එහි මතවාදය දේව භාෂිතය සේ අදහන මිනිසුන්ගෙන් ආරක්ෂා විය යුතු බව ය. ඔවුන් වෙනස් කළ නොහේ. ඔවුන්ගේ මතවාදය යම්තමින් හෝ අර්බුදයකට පත් කරවන දෙයකට ඔවුහු කන් නොදෙති. ඒ නිසා ම කිසිවක් අලුතින් ඉගෙනීම ඔවුහු ප්‍රතික්ෂේප කරති. බඳවා ගත යුත්තේ විවෘත මිනිසුන් ය. යමක් දෙස එකකට වැඩි කෝණයන්ගෙන් බැලිය හැකි මිනිසුන් ය. තමන්ගේම මතයක් ඇතත් එය අන්ධව නොඅදහන මිනිසුන් ය. එවැනි මිනිසුන් ඉගෙනීමට විවෘත ය. නව අදහස්වලට විවෘත ය. සෙසු අයගේ අදහස්වලට ද ඒවාට එකග නොවෙන විට පවා ගරු කරන්නෝ ය. එවන් අය සමග වැඩ පහසු ය. කණ්ඩායම් හැදීම පහසු ය.

බඳවා ගත යුත්තේ දක්ෂ මිනිසුන් ය. යමක් ඉක්මණින් තේරුම් ගත හැකි මිනිසුන් ය. යමක් දෙස විචාරයෙන් බැලිය හැකි මිනිසුන් ය. බුද්ධිමත් මිනිසුන් ය. එහෙත් බුද්ධිය මැණිම සම්බන්ධයෙන් අධ්‍යාපන සහතික යොදා ගත යුත්තේ පරිස්සමිනි. ගණිතය තර්ක ශාස්ත්‍රය යන විෂයයන් සම්බන්ධයෙන් දක්ෂතා ඇති කෙනෙකු මේ හැකියාව, විශේෂයෙන් න්‍යායික දක්ෂතාවය සම්බන්ධයෙන්, එක්තරා දුරකට පෙන්වයි. සෙසු විෂයන් පිළිබඳ ප්‍රතිඵල සම්බන්ධයෙන් නම් එය එසේම යැයි කිව නොහැකි ය. IQ පරීක්ෂණය මේ සදහා භාවිතා කෙරෙන ප්‍රචලිත ක්‍රමයකි. මීට අමතරව රචනා හා comprehension යන දෙඅංශයෙන් දක්වන දක්ෂතාවයන් ගැන ද අවධානය යොමු කෙරේ. මිනිසුන් කර ඇති වැඩ දෙස බැලීම න්‍යායික නොවන වෙනත්දක්ෂතා අඳුනාගත හැකි වඩා හොද ක්‍රමයකි.

බඳවා ගත යුත්තේ ගැලපෙන ආචාර ධර්ම පද්ධතියක් සහිත මිනිසුන් ය. ආයතනයේ වටිනාකම් හා හර පද්ධතිය සමග පෑහෙන මිනිසුන් ය.

බඳවා ගත යුත්තේ ස්වයංව අභිප්‍රේරණය වන මිනිසුන් ය. බාහිර අභිප්‍රේරණයක් නැතිවත් ඉගෙනීමට, නව දේ කිරීමට, අභියෝග බාර ගැනීමට, අවදානම් දැරීමට, සොයා බැලීමට, විවිධ අත්දැකීම් ලැබීමට කැමති මිනිසුන් ය.

බඳවා ගත යුත්තේ සුභවාදී මිනිසුන්ව ය. සතුටින් සිටින මිනිසුන් ය. සිනාසිය හැකි මිනිසුන් ය. සෙසු අය ද හිනැස්සිය හැකි මිනිසුන් ය. තමන්ටම හිනහවිය හැකි මිනිසුන් ය.

බඳවා ගත යුත්තේ ධෛර්යයවන්ත මිනිසුන් ය. පහසුවෙන් යමක් අත් නොහරින මිනිසුන් ය. නොහැකිලෙන මිනිසුන් ය. බාධක මැද්දේ ඉදිරියට යෑම සතුටක් කර ගත් මිනිසුන් ය.

(මොරටු සරසවියේ ඉංජිනේරු ශිල්පය හැදෑරූ මා දන්නා තරුණයෙකුට ඇමරිකාවේ කානර්ගීමෙලන් යන සුප්‍රසිද්ධ සරසවියෙන් ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වයක් පිරිනැමුවේ ඔහුට සිය අවසන් වසරේ ප්‍රතිඵල ලැබෙන්නත් කලින් ය. එයට එක් හේතුවක් වූයේ ඔහු විසින් වසර දෙකක් තිස්සේ ඔබ්සර්වර් පත්තරයේ ටෙක්නො පිටුව ලියා තිබීම ය. වසර දෙකක් තිස්සේ සතියකට එක බැගින් තාක්ෂණය ගැන පිටුවක් ලිවීම තුළ ඔහු තමන් ඉහත ගුණාංග සහිත බව පෙන්වා තිබුනේ ය. ඔහුට ප්‍රතිඵල ලැබුනු විට දැනගන්නට ලැබුනේ දෙවැනි පන්තියේ සාමාර්ථයක් පමණක් හිමිව තිබූ බව ය. එහෙත් එය හෝ ශිෂ්‍යත්වය දිනා ගැනීමට අවශ්‍යව නොතිබුනේ ය.)

අන් අයගේ උදව් නැතිව වුව ඉදිරියට යා හැකි එහෙත් අවශ්‍ය තැනක අන් අයගේ උදව් ලබා ගැනීමට පසුබට නොවන මිනිසුන් ය. එසේ උදව්ලබා ගෙන ඇති මිනිසුන් ය. එසේ උදව් ලබා ගත හැකි මිනිසුන් ය.

බඳවා ගත යුත්තේ වෙනත් මිනිසුන්ට සංවේදී මිනිසුන් ය. සමහරු සංවේදී මුදල්වලට ය. තව සමහරු භෞතික දේ වලට ය. තවත් සමහරුන්ගේ සංවේදී කම ලේ නෑයින්ගෙන් හිතුවතුන්ගෙන් මිතුරන්ගෙන් අවසන් වේ. එවැනි මිනිසුන් පාරිභෝගික සත්කාරයට යොමු කිරීම අපහසු ය. එවැනි මිනිසුන්ට කණ්ඩායමක වැඩ කිරීම අමාරු ය. එසේ වුවද පමණට වඩා සංවේදී මිනිසුන් ද ආයතනයකට දරා ගැනීමට අපහසුවන අවස්ථා තිබේ. විශේෂයෙන් සමහර තනතුරු සදහා මෙය වඩාත්ම බලපාන්නේ ය. ඕනෑවට වඩා මිනිසුන්ට සංවේදී කළමනාකරුවෙකු මිනිසුන්ට දඩුවම් දිය යුතු අවස්ථාවකදී පවා එසේ නොකර පැකිලිය හැකි ය.

මේ ගුණාංග යම් කෙනෙකු සිය වෘත්තීය ජීවිතයේ කිසියම් ආකාරයකින් යම් කාර්යයක් නිම කිරීම ඔස්සේ ප්‍රකට කර තිබේ නම් එවැන්නෙක් බඳවා ගැනීම ගැන බොහෝ දුරට සිතන්නට ඇවැසි නොවේ.

එහෙත් කිසියම් කෙනෙකු එවැන්නක් යම් වැඩකින් ප්‍රකට කර නැත්නම් එවැන්නෙකු ගැන බොහෝ සෙයින් විමසිලිමත් විය යුතුව තිබේ. ඔවුන්ට කිසියම් කාර්යයක් පවරා ඔවුන් එය කරන්නේ කෙසේදැයි විමසිලිමත් වීමෙන් එවැනි අය ගැන තීන්දු ගැනීම ඉතිරිව ඇති එක් විකල්පයකි. වෙනත් රටවල නම් assessment centers හරහා මෙවැනි විමසීම් සිදු කෙරේ (මා වැඩකරන දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානය එවැනි මධ්‍යස්ථානයක් ලෙස කටයුතු ආරම්භ කර ඇත). ලංකාවේ තවත් එවැනි ආයතන තිබේ නම් ඒවා ගැන තොරතුරු පල කිරීමට මේ බ්ලොග් අඩවිය විවෘත ය. බොරු කාරයන් පසුපසට කර සැබෑ වැඩ කාරයන් මතු කර ගැනීමට ආයතනවලට හැකි වන දාක රටම දියුණු වනු ඇත්තේ ය.