එන්ජින් කීයක් තල්ලු ස්ටාර්ට් ද?


සමහරුන්ට පිටතින් තල්ලුවක් නැතිවම බොහෝ දේ කරන්නට පුලුවන. ඔවුන් ඇතුළතින් අභිප්‍රේරණය ලබන අය ය. තවත් සමහරු සෙළවෙන්නේත් පිටතින් තල්ලුවක් ආවොත් පමණ ය.

මුල් වර්ගයේ අයට (intrinsically motivated) ආයතනයක් තුළ සැකසිය යුත්තේ ඉඩකඩ ය. දෙවැනි වර්ගයේ අයට (extrinsically motivated) ඉඩකඩ සළසා දීම පමණක් සෑහෙන්නේ නැත. ඔවුන්ට තල්ලුවක් මග පෙන්වීමක් මතක් කිරීමක් පෙළඹවීමක් අවශ්‍ය ය.

පළමු වර්ගයට අයත් පුද්ගලයන්ට තල්ලුව වැඩ කරන්නේ නොපිටට ය. එවැන්නෙක් එයින් අධෛර්මත් වෙයි. හැකිළෙයි. දෙවැනි වර්ගයට අයත් පුද්ගලයන්ට ඉඩ හසර ලබා දීම වැඩ කරන්නේ ද හරහට ය. එවැන්නෙකු එයින් අනාථ වෙයි. හසරක් නැතිව අතරමං වෙයි.

මේ දෙගණයටම නොවැටෙන්නාවූ පිරිසක් ද සිටිති. ඔවුන් තමන් විහින් නැගිටින්නේ ද නැත. තල්ලුවකට ප්‍රතිචාර දක්වන්නේ ද නොරිස්සුමක් තරහක් කෝපයක් ඇතිව ය.

වරෙක ආත්තම්මා කෙනෙක් නැගිටීමට කම්මැලි කරමින් සිටි දරුවෙකුට පාන්දර නැගිටීමේ අනුහස ගැන කතාවක් කීවේ ය. උදෑසනම අවදිවන කුරුල්ලාට පණුවන් ලැබෙන බව එහි ගැබ්වුන පණිවුඩයයි. කතාව අවසානයේ දරුවා තවත් ඇදේ ගුලිවෙන ගමන් කීවේ හොද වැඩේ පණුවට උදේම නැගිට්ටට කියා ය.

නායකයෙකුට කළමනාකරුවෙකුට ඇති අභියෝගය නම් එක් එක් පුද්ගලයා වැටෙන්නේ කුමන කාණ්ඩයට ද යන්න සොයා ගැනීම ය.

තෙවැනි වර්ගයට අයත් පිරිසක් සිටීම නිසා අභියෝගය තවත් බරපතල වී තිබේ. සරලව විසදිය හැකි ප්‍රශ්නයක් ඔවුන්ගේ පැවැත්ම විසින් වඩාත් ව්‍යාකූල කර තිබේ.

ඇතුළතින් අභිප්‍රේරණය ලබන්නෙක් නායකයෙකු විසින් මේ තෙවැනි වර්ගයට අයත් එකකු ලෙස වරදවා තේරුම් ගැනීමට ඉඩ තිබෙන අතර සමහර විට ඒ නිසාම නායකත්වයේ මැදිහත් වීම නුරුස්සන්නට පිළිවන.

මිනිසුන් සම්බන්ධයෙන් ලේබල් ඇලවීමට පෙර තරමක් සාවධානයෙන් නිරීක්ෂණය කිරීම අවශ්‍ය වන්නේ ඒ නිසා ය.

තෙවැනි වර්ගයට අයත් පුද්ගලයන්ට ආයතනයක් ඇතුළත ඉඩක් තැබිය යුතු නැත. ඔවුන් ආයතනයට බරක්ම වන හෙයිනි. එහෙත් පළමු වර්ගයට අයත් පුද්ගලයෙකු තෙවැනි වර්ගයට දමා ආයතනයෙන් බැහැර යෑමට පෙළඹෙන ලෙස කටයුතු කළොත් පාඩුව ආයතනයටම ය. ආයතනයක වැඩි බරක් කරට ගෙන කටයුතු කරන්නේ ඔවුන් වන හෙයිනි. නායකයාගේ බරින් වැඩි කොටසක් තමන් වෙතට පවරා ගන්නේ ද ඔවුන්ම වන හෙයිනි.

Advertisements

මා ගැන වගකිව යුත්තේ කවු ද? මම ද!


BPZ64ZPමා නිවැරදි ය. යම් වැරැද්දක් මා තුළ ඇතොත් ඒ අනුන් නිසා ය. වග කිව යුත්තේ මා හදා වැඩු මගේ දෙමාපියන් ගුරුවරුන් යහළුවන් හා පොදු සමාජය ය. එහෙමත් නැත්නම් ඒ වැරැද්ද සඳහා පදනම් වූ වතාවරණය ය. වටපිටාව ය. ඒ සඳහා මට පෙළඹවීම් කළ දහසක් කරුණු කාරණා ය. මා ගැහුවා නම් ගැහුවේ අනිකා ඔරවපු නිසා ය. නැතිනම් කොළොප්පම් කළ නිසා ය. සෙම කිපී මා අසනීපව සිටි නිසා ය. පිත ඇවිස්සී මා දුර්වලව සිටි නිසා ය.

බැලුවහම සාධාරණ තර්කයන් ය. එහෙත් පුංචි ප්‍රශ්නයක් ඉතිරි වේ. මේ චින්තනය මට නිවැරදි වීමට කිසිදු ඉඩක් නොතබයි.

මෙහි අනෙත් අන්තය නම් සියල්ල සිදුවන්නේ මගේම වැරැද්දෙන් යැයි සිතීම ය. අන් අයෙක් වැරැද්දක් කළේ මගේ දුර්වලකම නිසා ය. මම නිසි පරිදි කටයුතු නොකළ නිසා ය. ඒ වතාවරණය හා වටපිටාව මා විසින් ඉල්ලා ගත් නිසා ය (උදාහරණයක් ලෙස මා දූෂණය කරන ලද්දේ කොට ගවුමක් ඇඳ සිටි නිසා ය). මා එයට විහින් අැතුළු වී තිබේ. ඒ මොකුත් නැතත් එය මගේ කරුමය හෝ අවාසනාවම විය හැකි ය.

බැලුවහම ඒවා ද සාධාරණ තර්කයන් ය. එහෙත් පුංචි ප්‍රශ්නයක් ඉතිරි වේ. මේ චින්තනයෙන් අවසානයේ ඉතිරි වන්නේ තමන් පිළිබඳ විශ්වාසය අහිමි කරගත් හීන මානයකින් පෙළෙන ශරීර කුඩුවකි. එය සෑම දෙයින්ම අයින් වීමට, ඉවත් වීමට, මග හැර යාමට එම ශරීර කූඩුව පොළඹවයි. මා තවදුරටත් අකර්ණම්‍ය කරවයි. අසරණ කරවයි. ආත්ම විශ්වාසය බිංදුවටම බස්සවයි.

වෙනස් මාවත් ඔස්සේ වුව ද අන්ත දෙකම මා ගෙන යන්නේ එකම තැනකට ය.නරක තැනකට ය. අයහපත් තැනකට ය.

සාර්ථකත්වයක් ලැබූ විට එයට හේතුව තමා ලෙස පමණක් දැකීමටත් අසාර්ථක වූ විට ඊට හේතුව පරිසරය හෝ වතාවරණය ලෙස දැකීමටත් කටයුතු කරන මිනිසුන්ට වෙනත් මිනිසුන්ට නැති සවියක් ද තිබේ. ඒ නොබිඳ ගත් ආත්ම විශ්වාසය යි. ඒ නිසාම ඔවුහු දෙවැනි කී අය මෙන් නොව දිගින් දිගටම අභියෝග බාර ගනිති. වැරදි කරති. ඒවා ගැන නොතැවෙති. ඒ නිසාම ඔවුන් ක්‍රියාශීලී ය. උද්යොගීමත් ය.

සාර්ථකත්වයක් ලැබූ විට එය වටපිටාවටත් අසාර්ථක වූ විට එහි වගකීම තමන්ටත් පවරා ගන්නා දෙවැනි ගණයට අයත් අය ඒ නිසාම වැරැද්දක් වූ විට ඊට ඇති තමන්ගේ දායකත්වය සොයන්නට පෙළඹේ. ඒ නිසාම ඒ වැරදි හදාගන්නට ඔවුන්ට වැඩි ඉඩක් ලැබේ. ඒ නිසාම ඔවුන් සංවර්ධනය වේ. ඔවුන් හැම විටම අලුත් දෙයක් වඩා දියුණු කරන ලද දෙයක් කරන්නට උනන්දු වේ.

වෙනස් මාවත් දෙකක් ඔස්සේ වුව ද ඔවුන් දෙගොල්ලන්ම යන්නේ එකම තැනකට ය. හොඳ තැනකට ය. යහපත් තැනකට ය.

එහෙම බැලූවිට අන්ත දෙකේම යහපත් යමක් ද අයහපත් යමක් ද තිබේ. මේ දෙකේම යහපත් දේ ගෙන අයහපත් දේ ඉවත දැමිය හැකි නම් අප ගොඩ ය.

යම් සිද්ධියක ප්‍රතිඵලය සම්බන්ධයෙන් බොහෝවිට තමාත් වතාවරණයත් යන දෙකම බලපාන්නේ ය. ඒ එක එකක බලපෑමේ තරම හොඳින් තේරුම් බේරුම් කර ගැනීමට කළමනාකරුවෙකුට හැකි විය යුතු ය. තරාදියේ දෙපැත්ත තුලනය කර ගැනීමට ඔහුට / ඇයට හැකි විය යුතු ය. ආත්ම විශ්වාසය පළුදු නොකොට උගන්නට ද එවිට කළමනාකරුවෙකුට හැකි වනු ඇත්තේ ය.