අනුකම්පාව හා සහකම්පාව


කළමනාකරුවෙකු තමන්ගේ කණ්ඩායමේ සමාජිකයන් කෙරෙහි තමන්ගේ සගයන් කෙරෙහි අනුකම්පාව දැක්විය යුතු ද?

අනුකම්පා කිරීමේ දී අප අනෙකාගේ මට්ටමට වැටෙන්නට සූදානම් නැත. අප ඉහළ රැඳෙනා අතර පහළ ඉන්න අනෙකා වෙනුවෙන් යමක් විසිකරන්නට පමණක් එවිට අපි ඉදිරිපත් වන්නෙමු. ඈත සිට අත දෙන්නට පමණක් ඉදිරිපත් වන්නෙමු.

අප අනුකම්පාව වෙනුවට සහකම්පාව පළ කරන්නේ නම් අප අනෙකාගේ තත්වයට මනෝභාවයට වැටීමට සූදානම් ය. ඔහු/ඇය සමග ඔහුගේ ඇයගේ දුක වේදනාව අපේක්ෂාභංගත්වය බෙදා ගැනීමට සූදානම් ය. එම මනෝභාවයන් විඳ ගැනීමට එ්වා තේරුම් ගැනීමට ඒ හරහා ඔහුට ඇයට ශක්තියක් වීමට අප සූදානම් ය.

අනුකම්පා කිරීමේ දී අප කරන්නේ ඔහු හෝ ඇයට තමන්ගේ මනෝභාවයෙන් මිදීමට බල කිරීම ය. නියෝග දීම ය. සහකම්පාව දැක්වීමේ දී අප ඒ වෙනුවට එම මනෝභාවය ඒ අයුරින් පිළිගැනීමට සූදානම් ය.

අනුකම්පා කිරීමේදී අප කරන්නේ අප සිටින තැන සිට අත දිගු කිරීම බව අපි කීවෙමු.

සහකම්පාවේදී අප කරන්නේ ඔහු/ඇය ඉන්නා තැනට ගොස් කර වටට අතක් දමා ගෙන් ඔහු හෝ ඇය සමග නැගී සිටිම ය.

අනුකම්පාව අනුකම්පාව ලබන්නා තුළ වඩාත් පරාජිත හැගීමක් ඇති කරයි. සහකම්පාව ඔහු හෝ ඇය තුළ ශක්තියක් ඇති කරයි.

අනුකම්පාව දක්වන්නා කියනු ඇත්තේ ඕවා ඔහොම තමයි ඔයාට විතර ද ඔය වගේ ඒවා ලෝකෙ හැමෝටම වෙනව. හිතන්න ඔයින් ගියා ඇති කියල. නොලැබුන දේ ගැන හිතන්න එපා. අමාරුවකින් ගැලවුනා කියල හිතන්න.

සහකම්පාව දක්වන්නා කියනු ඇත්තේ මට ඔයාගෙ වේදනාව හැගීම තේරෙනව. ඒක ස්වභාවිකයි. මට වුනානම් මට කොහොම වෙයි ද කියල හිතාගන්න බැහැ. අපි අලුතින් ජීවිතේ දිහා බලමු.

(සමහර විට ඔහු එක ද වචනයක් හෝ නොකියා ඒ වෙනුවට ඔහුට හෝ ඇයට ශරීර ස්පර්ශයෙන් ප්‍රතිචාර දක්වන්නට පුලුවන. නිශ්ශබ්දතාවයෙන් ප්‍රතිචාර දක්වන්නට පුලුවන. සහකම්පනය බොහෝ විට වචනයෙන් තොර ය.)

බැලූ බැල්මට ඉහත දැක්වූ ප්‍රකාශ දෙක අතර විසල් වෙනසක් නැත. බැලු බැල්මට දෙකින් ම අපේක්ෂා කරන්නේ ද එකකි. ඒ දුකට පීඩාවට පත් තැනැත්තාට උදව් කිරීම ය. සහය වීම ය. එහෙත් ලබන්නාගේ හිතේ ඇතිවන මනෝභාවය අහසට පොළොව තරම් වෙනස් ය.

පළමුවැන්න පීඩාවට පත් තැනැත්තා

    වෙනුවෙන්

උපකාරයකට ඉදිරිපත් වීමකි. දෙවැන්න පීඩාවට පත් තැනැත්තා

    සමග

ඔහු/ඇයගේ දුක හා හැගීම බෙදා හදා ගැනීමකි.

එකක් කේන්තියත් අනෙක සැනසීමත් ගෙනෙන්නේ ය. එකක් වේදනාව වැඩි කරන්නේ ය. අනෙක වේදනාව සමනය කරන්නේ ය. එකක් තමන් ගැන හීනමානයක් ඇති කරන්නේ ය. අනෙක තමන් සුරක්ෂිතය යන හැගීම ඇති කරන්නේ ය.

ඊළග අවස්ථාවේ ඔබෙ හිතවතෙකු කරදරයක වැටුනු කල අනුකම්පාව වෙනුවට සහකම්පාව දැක්වීමට මතක තබා ගන්න. නැතිනම් ඔබ කරන්නේ ගහෙන් වැටුන මිනිහාට අනින්නට ගොනෙකු මෙහෙයවීම ය.

Advertisements

තනතුරක ගෞරවය රැකීමේ වගකීම ඇත්තේ කාට ද?


ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාට සෙසු අයගේ ගෞරවය හිමි නොවන්නේ නම් ඊට වග කිව යුත්තේ කවුද? එම තනතුර දරන්නා ද නැතිනම් ආයතනයේ සෙසු අය ද?

බොහෝ දෙනෙකු කියනු ඇත්තේ එහි වගකීම දැරිය යුත්තේ තනතුර දරන්නා බව ය.

කෙසේ වුව ද ඒ උත්තරය දෙන අය පවා අන් අයට ද ඊට වගකීමක් ඇතැයි හිත යටින් වත් විශ්වාස කරති. එයට හේතුව අප කුඩා කල සිටම අපේ දෙමාපියන්ට, වැඩිහිටියන්ට, ගුරුවරුන්ට ගෞරව කිරීමට පුරුදුව ඇති බැවිනි. එසේ නොකරන්නෙකු හොඳ හැදියාවක් ඇත්තෙකු යැයි බොහෝ දෙනෙක් නොසිතති.

එය තවත් විස්තර කළොත් එයින් අදහස් කරන්නේ හොඳටෝම බී රෑ හතර ගාතෙන් ගෙදර විත් සියල්ලන්ට බැණ අඩ ගහන මිනිහෙකු වුව ද ඔහු තාත්තා නිසා ඔහුගේ දරුවන්ගේ ගෞරවය ඔහුට ලැබිය යුතු බව ය. ගෞරවය පුද්ගලයාට නොව තනතුරකට ගැට ගැසිය යුතු බව ය. ඒ නිසාම දෙමාපියන්ට පමණක් නොව ගුරුවරුන්ට ද භික්ෂුන් ඇතුළු ආගමික පූජකයන්ට ද සමාජ බලයක් ලැබී තිබේ.

ඒ බලය ලංකාවේ ආයතන තුළ කළමනාකරුවන්ට ද එලෙසම ලැබේ. එම බලයට අභියෝග නොකර පිළිගැනීම හැදියාවේ ලක්ෂණයක් ලෙස සම්මත වී තිබේ.

හැම දෙනෙක්ම මේ සංස්කෘතික දායාදය හිස් මුදුණින් පිළිගන්නට සූදානම් නැත. එවැනි කෙනෙක් මේ සමාජ බලයට අභියෝග කරන්නට ඉඩ තිබේ. එවිට ප්‍රතිචාරය සමහර විට මුලින්ම එන්නේ අභියෝග කළ තනතුර දරන්නාගෙන් ද නොවේ. සමාජයෙනි.

ඒ සමාජ බලය ද ඇතිව තනතුර දරන්නා සිය ගෞරවය නැවත පිහිටුවා ගැනීමට තනතුරේ බලය ද යොදා කටයුතු කරන්නට ඉදිරිපත් වේ. එසේ නොකරන කෙනෙකු දුර්වල පෞර්ෂත්වයක් ඇති කෙනෙකු ලෙස සමාජය සලකනු ඇති නිසාම එසේ කිරීමට ඔහුට සමාජ පීඩනයක් ද එල්ල වේ.

පදමට වෙරි වී පිස්සු කෙළිනා තාත්තා දරුවෙකුගෙන් එන අභියෝගයට දරුවාට අමානුශික පහර දීමකින් පිළිතුරු දුන්නාට පවා සමාජයෙන් විරෝධයක් නොනැගේ. බීම අනුමත නොකරන අය පවා ඒ උත්තරය ඉදිරියේ තාත්තාගේ පැත්ත ගැනීමට නොපැකිළේ.

තනතුරේ ගෞරවය ආරක්ෂා කිරීමේ වගකීම කළමනාකරුවාත් දැරිය යුත්තේ එලෙස ද?

තනතුරේ ගෞරවය ආරක්ෂා කිරීමට ඇති අනෙත් විකල්පය නම් තනතුරට ඔබින ලෙස තනතුර දරන්නා හැසිරීම ය. භික්ෂුවක් නම් භික්ෂුවකට ඔබින විදිහට හැසිරීම ය. එහෙත් ඒ අමාරු කාර්යය කරනු වෙනුවට බොහෝ දෙනා කරනුයේ තනතුරේ බලය යොදා ගෙන ගෞරවය බලෙන් ස්ථාපනය කර ගැනීමට තැත් කිරීම ය.

ආයතනයේ බහුතරය ද කෙක්කෙන් හෝ කොක්කෙන් මේ ගෞරවය ස්ථාපනය කර ගැනීම වැරැද්දක් ලෙස දකින්නේ නැත. ඔවුන් වැරැද්දක් ලෙස දකින්නේ එසේ නොකර සිටීම ගැන ය. එයට ද හේතුවක් තිබේ. ප්‍රධානියාට ගරු සරුවක් නැති තැන සෙසු අයට ද එය ඉබේම අහිමි වෙන බැවිනි.

මේ නිසාම ලංකාවේ ආයතනයක තනතුරට ගෞරවය බද්ධ කොට තිබේ යැයි කිව හැකි ය. ගරු කටයුතු තනතුරු තිබෙන අතර ගරු කටයුතු පුද්ගලයෝ එපමණට නැත. එහෙත් තනතුරේ අනුහසින් ඔවුන් ගරු කොට සැලකේ.

මෙය ඔලුවෙන් සිටවිය යුතු කාලය දැන් පැමිණ තිබේ. තනතුරු කිසිවක් ගරු හෝ නිගරු නැති බවටත් ඕනෑම තනතුරක කටයුතු නිසි ලෙස කරන්නාට තනතුර නොසළකා ගෞරවය හිමි වන බවටත් අප වග බලා ගත යුතු ය. ඒ අර්ථයෙන් තනතුරේ ගෞරවය රැකීමේ වගකීම තනතුර දරන්නාට පමණක් හිමි වේ. ඒ තනතුරේ බලය භාවිතා කොට නොවේ. තමන්ගේ කුසලතා හා කැපවීම භාවිතා කොට ගෙන ය.

එවන් වෙනසක් ඇති වුව හොත් නම් ලංකාව ආශ්චර්යක් කිරීම අපහසු වන එකක් නැත.

ආයතනවල ඉන්නා අයිය මලෝ හා අක්ක නගෝ


සරසවියේ අප උගන්නා කාලයේ අපට වඩා වසර කීපයක් ජේෂ්ඨ අයටත් අපට වඩා වසර කීපයක් කනිෂ්ඨ අයටත් මචං කියා අමතන පුරුද්දක් අපට තිබුණි. පාසල තුළ පවා තත්වය බොහෝ දුරට එසේ විය.

එහෙත් දැන් මේ ආයතන දෙකේම ජේෂ්ඨයන් අමතනු ලබන්නේ අයියා හෝ අක්කා යන ගෞරව නාමයෙනි. එතකොට ඉතිරිවන අය ඉබේම මල්ලිලා හා නංගිලා වෙයි.

මේ ආමන්ත්‍රණ රටාව දැන් බොහෝ ආයතනවල ද දැක ගත හැකි ය.

බැලූ බැල්මට මේ අලුත් විදිහ යහපත් ය. යම් බැදීමක් වගකීමක් ඒ හරහා ඇතිවන නිසා ය. පවුලක තිබෙන සම්බන්ධය එයින් ඇගවෙන නිසා ය. එහෙත් ව්‍යවහාරයේදී මේ බැදීමට යටින් පුංචි පරතරයක් පවත්වා ගෙන යාමේ වුවමනාවක් ද යටහත් පහත් භාවයක අපේක්ෂාවක් ද දැකිය හැකි ය.

අයියාත් අක්කාත් මල්ලීට හා නංගීට වඩා බලවත් ය. වයසින් වැඩි ය. ගරු කටයුතු ය.

අයියලාත් අක්කාලාත් කියන පරිදි ඔවුන්ගේ ඔවදන්වලට අවනත වෙමින් වැඩ කිරීම මල්ලිලාගෙනුත් නංගිලාගෙනුත් අපේක්ෂිත ය. වැඩේ දෙල්වෙන්නේ මේ හැගීම ඔලුවට වැටුන විට ය.

නංගිලා මල්ලිලාගේ අඩුපාඩු තමන් විසින් හැදිය යුත්තේය යන වගකීමත් ඔලුවට ගත් විට සියල්ල ජේෂ්ඨත්වයේ පාලනයට යටත් ය.

අක්කාටත් අයියාටත් තැන ලබා දී ඔවුන් කියන්නක් කර ගෙන ඉන්නට පුරුදුවීම හැර වෙනයමක් නංගිලාටත් මල්ලිලාටත් ඉතිරි නොවේ.

මෙය හැමගේ දායකත්වයට එක සමාන ඉඩ හසරක් සහිත ආයතනික වටපිටාවක් ඇති කිරීමට ද වඩා දක්ෂතා පෙන්වන අයට වඩා ඉදිරියට යන්නට හැකි වටපිටාවක් ඇති කිරීමට ද එරෙහිව යයි.

ඒ සබදතාවය ඒ නිසාම ආයතනය තවත් පැරණි ගමක තත්වයට පිරිහෙලයි.

කළමනාකරණය සිංහලෙන් – බුරන බල්ලෝ හපා කන්නේ නැත.


කළමනාකරණය සිංහලෙන් කියා ඉහලින් ලියා ඇති බ්ලොග් අඩවියකට මෙවැනි ලිපියක් ඇතුළත් කළේ ඇයි දැයි කෙනෙකුට හිතෙන්නට පුලුවන. මගේ අදහස බල්ලන් ගැන කතා කිරීම නොවේ.

මට අවශ්‍ය ආයතනයක නායකයෙකු සතු වන බලය ඔහු විසින් කෙසේ යොදාගත යුතු දැයි කියන්නට ය. ඒ ගැන සංවාදයක් ඇති කරන්න ය.

සමහර නායකයෝ තමන්ට ඇති බලය ප්‍රදර්ශනය කිරීමට අතිමහත් කෑදර බවක් දක්වති. පොළොවෙන් අගල් දෙකක් ඉහළින් යන තමන්ගේ පහළ සේවකයින් ලවා වන්දනා මාන කර ගැනීමට කැමති මේ අය තැනක් නොතැනක් නොබලා තම සේවකයින්ට අවමන් කෙරෙති. ඒ කරන ලද වැරැද්දකට ය. සමහර විට එය හිතාමතා නොකරන ලද අත් වැරැද්දක් වන්නට ද ඉඩ තිබේ.

මෙවැනි ආයතනයක සේවකයින් සමහර විට ඉන්නේ අතිශය ආතතියකිනි. මේ ආතතිය ඔරොත්තු නොදෙන අය වෙන තැන්වලට මාරු හදා ගනිති. පරිසරය අප්‍රසන්න වූවාට මෙසේ බලය ප්‍රදර්ශනය කරන නායකයින් බොහෝ දෙනෙක් බලය පාවිච්චි කරන්නේ නැත. බිරුවාට හපා කන්නේ නැත. ඒ නිසා රෙස්පොට් දැක දැක මෙවැනි පුස්පාට් ඉවසමින් ඉන්නා අයට මෙය සුරපුරයක් වන්නට ද ඉඩ තිබේ. ඒ බලු බැනුම් ඇහැව්වාට ඉන් එහාට ගන්නා පියවරක් නැති නිසා ය.

මීට ප්‍රතිපක්ෂව අප දකින තවත් නායකයත්වයක් තිබේ. ඔහු නැත්නම් ඇය නිහතමානී ය. බලය ප්‍රදර්ශනය කරන්නේ නැත. තමන් යටතේ ඉන්නා අය තමන් ඉදිරියේ නිවට නියාලු වෙනවා දකින්නට ඔවුන් කැමති ද නැත. ඔවුන් තම සේවකයෙකුගේ හිතාමතා කරන වැරැද්දක් මිස අන් වැරැද්දක් විවේචනය කරන්නේ නැත. ඒවා පෙන්වා දෙනවා පමණකි. හිතාමතා කරන ලද වැරැද්දක් වුව පළමුවටයේ පෞද්ගලිකව දෙන අවවාදයකට සීමාවෙයි. දෙවැනි වටයේ එය පුද්ගලික ලිපිගොනුව හරහා එන ලිඛිත අවවාදයක් පමණකි. ඊළගට එන්නේ චෝදනා පත්‍රයකි. නීත්‍යානුකූලව කටයුතු කිරීමේ මාවතට මෙසේ සාවධානව පිවිසෙන මේ නායකයා සමහර විට හිතාමතා වැරදි කරන පුද්ගලයා ආයතනයෙන් ඉවත් කරන තුරු තම කටයුත්තේ නිරත වන මුත් එකද වෙලාවක හෝ උස් හඩින් කතා නොකරන්නට පුලුවන. මේ බල්ලා බුරන්නේ නැතිව කෙළින්ම හපන කෙනෙකි.

පළමු නායකයා බලය ප්‍රදර්ශනය කළ අතර ඒ නිසාම බලය පාවිච්චි කිරීමට අපොහොසත් විය. දෙවැන්නා බලය ප්‍රදර්ශනය නොකළ අතර බලය පාවිච්චි කිරීමට පැකිළුනේ ද නැත. බලය ප්‍රදර්ශනය කරන්නාට පාවිච්චි කරන්නට බලයක් ඉතිරි නොවේ. එය ප්‍රදර්ශනය තුළම ක්ෂයව යන්නේ ය.

බලය ප්‍රදර්ශනය කරමු ද? බලය පාවිච්චි කරමු ද? නායකයෙකුට හැටියට මේ විකල්ප දෙකෙන් එකක් අපට තෝරාගත හැකි ය.

පළමු ආයතනයෙන් නික්ම යන්නේ හොද නිර්මාණශීලි අභිමානවත් මිනිසුන් ය. ඉතිරි වන්නේ බැනුම් දරා ගෙන ජීවත්විය හැකි හොරුන් ය.

දෙවැනි ආයතන රටාව තුළ යහපත් මිනිසුන්ට වැඩ කිරීමට උචිත පරිසරයක් සෑදෙන අතර හැමගේ අභිමානයට ගරු කෙරේ. එහෙත් හිතාමතා වැරදි කරන අයට එහිදී සමාවක් නැත. ඒ නිසාම දෙවැනි ආයතනයෙන් නික්ම යන්නේ හොරුන් ය. ඉතිරි වන්නේ නිවැරදිව කැපවී වැඩ කිරීමට කැමති මිනිසුන් ය.

පළමු ආයතනය තුළ එළියට ප්‍රදර්ශනය වන පාලනයක් ඇතැයි පෙනෙතත් දෙවැන්න තුළ එසේ පාලනයක් ක්‍රියාත්මක වෙතැයි පෙනෙන්නේ නැත. මිනිසුන් පාලනයක් නැතිවම වැඩ කරන බවක් නායකයෙකු නොමැතිව වැඩ කරන බවක් අපට පෙනේ. එහෙත්සැබෑ පාලනය ඇත්තේ එහි ය.

පාලනය ඇතැයි අප හිතන තැන පාලකයා නැති විට ඇතිවන තත්වය අතිශයින් අරාජික ය. ඒ පාලනය පුද්ගල කේන්ද්‍රීය වන අතර බෙහෙවින් උච්චාඅවචානයන්ට බදුන් වෙයි. පාලකයා ලග පාත හිටින විට එක හැසිරීමකුත් නැතිවිට තව හැසිරීමකුත් ප්‍රදර්ශනය වෙයි.

පිටට පෙනෙන වෙස් මුහුණකින් මිනිහෙකු මැනීම අර්ථ විරහිත ය. ඒ තරමටම පිටට පෙනෙන පාලනයකින් සැබෑ පාලනය මිනිය නොහැකි ය.