නායකත්වය යනු ….නිර්වචනයක්….


නායකත්වය සමහර දෙනෙකුට පැළදිය හැකි ආභරණයකි. තවත් අයට බලය ප්‍රදර්ශනයක කළ හැකි වේදිකාවකි. තවත් අයට වරප්‍රසාද ලබා ගත හැකි පහසු මගකි. තවත් සමහරුන්ට පරම්පරා ගණනාවකට හරි හම්බ කර දිය හැකි ධන නිධානයකි.

ඉහත අදහස් දරණ කවරෙකුගෙන් වුනත් නායකත්වය නැමැති පදවියට විය හැක්කේ අලාභයක් ම ය.

නායකත්වය යනු වැඩ කරන්නන්ට වැඩ කළ හැකි පරිසරයක් නිර්මාණය කළ හැකි අවස්ථාවක් ලෙස දැකීමට මා නම් වඩාත් කැමති ය. එයින් අනියමින් කියවෙන්නේ වැඩ නොකරන්නන් වැඩ කරන්නන් බවට පත් කිරීම ද එහිම අංගයක් වන බව ය. ඒ මිනිසුන් වැඩි දෙනෙක් වැඩ නොකර ඉන්නේ වැඩ කිරීම නිරස පරිසරයක ජීවත්වීම හේතු කොට ගෙන වීම නිසා ය.

මිනිසුන් කුඩා කළ සිට ගෙනෙන ආකල්ප දක්ෂ නායකයෙකුට පවා වෙනස් කළ නොහැකි අවස්ථා තිබෙන්නට පුලුවන. මිනිසුන් උත්පත්තියෙන් ගේනා අවාසනාවන්ත ජාන විශේෂයන් නිසා ද ඔවුන් උකටලී වන අවස්ථා ඇත. ඒවා වෙනස් කිරීමේ හැකියාව ද නායකයින්ගෙන් අපේක්ෂා නොකෙරේ. ඒ සදහා කළ හැකි එක ම දෙය වෛද්‍යවරයෙකුට යොමු කිරීම පමණ ය.

අවසානයට කී කවර හේතුවක් නිසා හෝ වැඩට පොළඹවා ගත නොහැකි මිනිසුන් සම්බන්ධයෙන් මැදිහත්වීම ද නායකයෙකුගෙන් අපේක්ෂිත කාරණයකි. එවන් අය සෙසු වැඩ කරන අයට කරදරයක් වන බැවිනි. ඔවුන් වෙනස් කිරීමට බැරිනම් ඉවත්වන තැනට කටයුතු සැළසීම මේ නිසා නායකත්වයෙන් අපේක්ෂා කෙරේ.

වැඩ කිරීමට මිනිසුන් මෙහෙයවීම වෙනුවට මිනිසුන්ට වැඩ කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම ගැන නායකත්වය සම්බන්ධයෙන් කරන මේ කතිකාවේදී අවධාරණය කෙරේ.

ඕනෑම වැඩක් කර හරියන්නේ ද නැත. ඒ වැඩ මෙහෙවර හා බැදුණු වැඩ විය යුතු ය. ආයතනයේ දැක්ම සාක්ෂාත් කළ හැකි වැඩ විය යුතු ය.

(බණ කීම මෙන්ම ඇසීම ද හොද ය. එහෙත් ඒවා ආයතනයේ මෙහෙවර හා දැක්ම ශක්තිමත් නොකරන තාක් කල් නායකයා ඉඩ දිය යුතු විෂය ක්ෂෙත්‍රයක් ලෙස ගැනෙන්නේ නැත. සමහර අවස්ථාවක බණ ආයතනයේ මෙහෙවරට එරෙහිව යන්නට ද පුලුවන. ධීවර අමාත්‍යංශය ගැන මතක් කර ගැනීම මේ සම්බන්ධයෙන් තේරුම් ගැනීමට සෑහේ.)

ඒ නිසා දැන් අපට වඩා හොද නිර්වචනයක් නායකත්වය සදහා සොයා ගත හැකි ය.

ආයතනයක් සම්බන්ධයෙන් නායකත්වය යනු එම ආයතනයේ මෙහෙවර ඉටු කිරීම සදහා ද දැක්ම සාක්ෂාත් කරගනු සදහා ද ආයතනයේ කාර්ය මණ්ඩලයට කටයුතු කළ හැකි ආකාරයට ආයතනය සංවිධානය කර අවශ්‍ය පරිසරය ගොඩ නැගීම ය. මෙහෙවර ඉටු කිරීමට හැකි නිසා ආයතනයේ පැවැත්ම ද දැක්ම සාක්ෂාත් කිරීමට කටයුතු කිරීම නිසා ආයතනයේ වර්ධනය හා දියුණුව ද තහවුරු වේ.

එහෙව් නායකයන් ලබන ආයතන වාසනාවන්ත ය.

කළමනාකරණ බණ


මේ රටේ තරම් බණ අහන මිනිසුන් ඉන්නා රටක් නැත. හාමුදුරුවන් දෙසන බණට අමතරව කළමනාකරුවන්ගේ බණට ද සවන් දීමට ආයතනවල සේවකයින්ට සිදුව තිබේ.

බණ කොතෙක් කීව ද කියන අය මිස පිළිපදින අය අඩු ය.

ඒ නිසාම කළමනාකරුවන් බණ කියන්නට උත්සහ නොකළ යුතු ය. ඒ වෙනුවට හරි දේ කරන මිනිසුන්ට හැමටම පෙනෙන සේ ප්‍රතිලාභ දීමත් වැරදි දේ කරන අයට මුලින් රහසේ කරන අවවාද වලින් පටන් ගෙන අනතුරු ඇගවීම් හරහා ගොස් අවසානයේ ප්‍රසිද්ධියේ දඩුවම් කිරීමත් කළ යුතු ය.

හරි වැරැද්ද මේ යැයි දක්වනවාට වඩා හරි දේට ප්‍රතිලාභ දීමත් වැරදි දේට දඩුවම් දීමත් හරි වැරදි තේරුම් බේරුම් කර ගැනීමට මිනිසුන්ට උදව් වෙයි.

එහෙත් අවාසනාවකට සිදුවන්නේ හරි දේ මේ යැයි ප්‍රකාශ කරන උදවියම ඒ හරි දේ කරන උදවියට අනුබලයක් නොදීම ය. අනුග්‍රහයක් නොදැක්වීම ය. අගය කිරීමක් නොකිරීම ය. ඒ වෙනුවට සමහර විටක ඔවුන්ට හරහට හිටීම ය. වෙනත් ආකාරයකින් පොලු දමා අධෛර්යයට පත් කිරීම ය.

වැරදි දේ කරන අයට දඩුවම් දීමට මැලිවීම ය. ලෝකෙට පේන්න බැණ අඩ ගසා එහෙත් දඩුවම් නොකර නිහඩ වීම ය.

කාර්යය මණ්ඩල රැස්වීමේ දී තමන්ගේ වැඩ කටයුතු සාර්ථක කරගැනීමට අතහිත දුන් තමන්ට අලුත් අදහස් ලබා දුන් ආයතනයේ අභිවෘද්ධියට දායකත්වයක් ලබා දුන් මිනිසුන් අගය කරන්නේ නම් කණ්ඩායම් හැගීම ඇති කරනු වස් බණ කිරීමට කළමනාකරුට සිදු නොවේ. ආයතනයේ වැඩි දියුණුවට අදහස් පළ කළ කෙනෙකුගේ අදහසක් අවඥාවට ලක්කරන කළමනාකරුවෙකු දිනකට පැය තුන බැගින් බණ කිව්වේ වුව ද කණ්ඩායම් හැගීම නම් ඔහුට බිහි කළ නොහැක්කේ ය.

වචනයට වඩා ක්‍රියාව සන්නිවේදනයේ දී ප්‍රබල ය. අවවාදයට වඩා ආදර්ශය උතුම් යයි කියන්නේ ද ඒ නිසාම ය. කළමනාකරණ භූමිකා රගන උදවිය කියන බණ අසන විට වචනයට වඩා ක්‍රියාවේ වැදගත්කම ද අවවාදයට වඩා ආදර්ශයේ උතුම් බව ද බොහෝ විට අප අසා ඇතත් නැවත නැවතත් මතු කර දැක්විය යුතු යැයි සිතුනි. ඒ ඇගිල්ලෙන් ඇන තමන් දක්වා කිවුවොත් මිස යමක් තමන්ට ආදේශ කර ගන්නට බොහෝ දෙනා අසමත් බැවිනි.