නොගොහින් එන්නට බැරි ය. නොදී ගන්නට බැරි ය.


බොහෝ දෙනාට බොහෝ දේ ගන්නට වුවමනා ය. එහෙත් ඔවුන් ළග නැත්තේ ඒ වෙනුවෙන් දෙන්නට යමක් ය.

හරියට සරත්චන්ද්‍ර ශූරින්ගේ මළවුන්ගේ අවුරුදු දා නවකතාවේ එන නොරිකෝ සන් දෙවොන්දරා සන්ට කීවා සේ “නොගොහින් එන්නට බැරිවා“ වගේ ය. නොදී ගන්නට බැරි ය.

අපට දෙන්නට හැක්කේ මොනවා ද? මුදල්, අදහස්, ශ්‍රමය, දැනුම, භාණ්ඩ හා සේවා ආදී වටිනාකමක් දිය හැකි බොහෝ දේ ඒ අතර තිබේ. ඊට අමතරව සෙනෙහස, කැපවීම, මිත්‍රත්වය වැනි දෑ ද තිබේ.

පළමු ගණය හැමටම නැත. එහෙත් දෙවැන්න අප කාහටත් තිබේ.

ඒ නිසා අප කිසිවෙක් දුප්පත් නැත.

එහෙත් වස්තුවෙන් පොහොසත් අය පවා සමහර විට හිතින් දුප්පත් ය. එවැනි අයට බොහෝ දේ ඇතත් දෙන්නට දෙයක් නැත. නොදී ගන්නට බැරි ය. ඒ නිසා ඒ වස්තුව ක්ෂය වෙනවා විතර ය.

සමහරු දෙනවාට වඩා වැඩියෙන් ගන්නට පිඹුරුපත් සකසති. එය තාවකාලිකව සාර්ථක විය හැකි ය. එහෙත් එවැන්නක් දිගින් දිගට පවත්වා ගෙන යෑ නොහැකි ය.

බැංකුවක තැන්පතු වගේ ය. දිගටම කරන්නේ ගැනීම නම් ඉක්මණින් ඒ තැන්පතු ඉවරවීමට නියමිත ය.

මිනිසුන්ට පමණක් නොවේ. ආයතනවලට රටකට මෙන්ම ආණ්ඩුවකට ද මේ කාරණය අදාළ ය. එපමණක් නොවේ. ජනතාවට ද අදාළ ය.

ආණ්ඩුවට නොදී ආණ්ඩුවෙන් ගන්නට බැරි ය. ආඩි හත් දෙනා කැඳ බොන්නට සිතුවේ හාල් නොදා ය. අවසානයේ සිදු වුනේ උණු වතුර බොන්නට ය.

කළමනාකරුවන් හැටියට අප විශේෂයෙන් මේ සරල සත්‍යය අවබෝධ කර ගත යුතු ය. මේ කළමනාකරණයේ හෝඩිය ය. එහෙත් බොහෝ දෙනෙකු නව දේ ඉගෙන ගත්ත ද හෝඩිය අමතක කරති. එය අපේ උගැන්මේ පදනම ය. පදනම නැතිව කළ හැකි දේ සීමිත ය.

දුප්පත් මිනිසුන් දුප්පත් මිල මුදලින් පමණක්ම නොවේ. ඔවුන් අන් ආකාරයන්ගෙන් ද දුප්පත් ය. ඔවුන් සමහර විට දුප්පතුන් හැටියටම ජීවිතය ගෙවන්නේ ඒ දෙවැනි කාරණාව නිසා ය. ඔවුන් හොයන්නේ නොදී ගන්න ය.

නොදී ගන්න හදන ආයතන ද සංවිධාන ද ඉක්මණින් ඒ දුප්පතුන්ගේ ගොඩට වැටීම වළකනු බැරි ය.

Advertisements