කළමනාකරණය සිංහලෙන් – බුරන බල්ලෝ හපා කන්නේ නැත.


කළමනාකරණය සිංහලෙන් කියා ඉහලින් ලියා ඇති බ්ලොග් අඩවියකට මෙවැනි ලිපියක් ඇතුළත් කළේ ඇයි දැයි කෙනෙකුට හිතෙන්නට පුලුවන. මගේ අදහස බල්ලන් ගැන කතා කිරීම නොවේ.

මට අවශ්‍ය ආයතනයක නායකයෙකු සතු වන බලය ඔහු විසින් කෙසේ යොදාගත යුතු දැයි කියන්නට ය. ඒ ගැන සංවාදයක් ඇති කරන්න ය.

සමහර නායකයෝ තමන්ට ඇති බලය ප්‍රදර්ශනය කිරීමට අතිමහත් කෑදර බවක් දක්වති. පොළොවෙන් අගල් දෙකක් ඉහළින් යන තමන්ගේ පහළ සේවකයින් ලවා වන්දනා මාන කර ගැනීමට කැමති මේ අය තැනක් නොතැනක් නොබලා තම සේවකයින්ට අවමන් කෙරෙති. ඒ කරන ලද වැරැද්දකට ය. සමහර විට එය හිතාමතා නොකරන ලද අත් වැරැද්දක් වන්නට ද ඉඩ තිබේ.

මෙවැනි ආයතනයක සේවකයින් සමහර විට ඉන්නේ අතිශය ආතතියකිනි. මේ ආතතිය ඔරොත්තු නොදෙන අය වෙන තැන්වලට මාරු හදා ගනිති. පරිසරය අප්‍රසන්න වූවාට මෙසේ බලය ප්‍රදර්ශනය කරන නායකයින් බොහෝ දෙනෙක් බලය පාවිච්චි කරන්නේ නැත. බිරුවාට හපා කන්නේ නැත. ඒ නිසා රෙස්පොට් දැක දැක මෙවැනි පුස්පාට් ඉවසමින් ඉන්නා අයට මෙය සුරපුරයක් වන්නට ද ඉඩ තිබේ. ඒ බලු බැනුම් ඇහැව්වාට ඉන් එහාට ගන්නා පියවරක් නැති නිසා ය.

මීට ප්‍රතිපක්ෂව අප දකින තවත් නායකයත්වයක් තිබේ. ඔහු නැත්නම් ඇය නිහතමානී ය. බලය ප්‍රදර්ශනය කරන්නේ නැත. තමන් යටතේ ඉන්නා අය තමන් ඉදිරියේ නිවට නියාලු වෙනවා දකින්නට ඔවුන් කැමති ද නැත. ඔවුන් තම සේවකයෙකුගේ හිතාමතා කරන වැරැද්දක් මිස අන් වැරැද්දක් විවේචනය කරන්නේ නැත. ඒවා පෙන්වා දෙනවා පමණකි. හිතාමතා කරන ලද වැරැද්දක් වුව පළමුවටයේ පෞද්ගලිකව දෙන අවවාදයකට සීමාවෙයි. දෙවැනි වටයේ එය පුද්ගලික ලිපිගොනුව හරහා එන ලිඛිත අවවාදයක් පමණකි. ඊළගට එන්නේ චෝදනා පත්‍රයකි. නීත්‍යානුකූලව කටයුතු කිරීමේ මාවතට මෙසේ සාවධානව පිවිසෙන මේ නායකයා සමහර විට හිතාමතා වැරදි කරන පුද්ගලයා ආයතනයෙන් ඉවත් කරන තුරු තම කටයුත්තේ නිරත වන මුත් එකද වෙලාවක හෝ උස් හඩින් කතා නොකරන්නට පුලුවන. මේ බල්ලා බුරන්නේ නැතිව කෙළින්ම හපන කෙනෙකි.

පළමු නායකයා බලය ප්‍රදර්ශනය කළ අතර ඒ නිසාම බලය පාවිච්චි කිරීමට අපොහොසත් විය. දෙවැන්නා බලය ප්‍රදර්ශනය නොකළ අතර බලය පාවිච්චි කිරීමට පැකිළුනේ ද නැත. බලය ප්‍රදර්ශනය කරන්නාට පාවිච්චි කරන්නට බලයක් ඉතිරි නොවේ. එය ප්‍රදර්ශනය තුළම ක්ෂයව යන්නේ ය.

බලය ප්‍රදර්ශනය කරමු ද? බලය පාවිච්චි කරමු ද? නායකයෙකුට හැටියට මේ විකල්ප දෙකෙන් එකක් අපට තෝරාගත හැකි ය.

පළමු ආයතනයෙන් නික්ම යන්නේ හොද නිර්මාණශීලි අභිමානවත් මිනිසුන් ය. ඉතිරි වන්නේ බැනුම් දරා ගෙන ජීවත්විය හැකි හොරුන් ය.

දෙවැනි ආයතන රටාව තුළ යහපත් මිනිසුන්ට වැඩ කිරීමට උචිත පරිසරයක් සෑදෙන අතර හැමගේ අභිමානයට ගරු කෙරේ. එහෙත් හිතාමතා වැරදි කරන අයට එහිදී සමාවක් නැත. ඒ නිසාම දෙවැනි ආයතනයෙන් නික්ම යන්නේ හොරුන් ය. ඉතිරි වන්නේ නිවැරදිව කැපවී වැඩ කිරීමට කැමති මිනිසුන් ය.

පළමු ආයතනය තුළ එළියට ප්‍රදර්ශනය වන පාලනයක් ඇතැයි පෙනෙතත් දෙවැන්න තුළ එසේ පාලනයක් ක්‍රියාත්මක වෙතැයි පෙනෙන්නේ නැත. මිනිසුන් පාලනයක් නැතිවම වැඩ කරන බවක් නායකයෙකු නොමැතිව වැඩ කරන බවක් අපට පෙනේ. එහෙත්සැබෑ පාලනය ඇත්තේ එහි ය.

පාලනය ඇතැයි අප හිතන තැන පාලකයා නැති විට ඇතිවන තත්වය අතිශයින් අරාජික ය. ඒ පාලනය පුද්ගල කේන්ද්‍රීය වන අතර බෙහෙවින් උච්චාඅවචානයන්ට බදුන් වෙයි. පාලකයා ලග පාත හිටින විට එක හැසිරීමකුත් නැතිවිට තව හැසිරීමකුත් ප්‍රදර්ශනය වෙයි.

පිටට පෙනෙන වෙස් මුහුණකින් මිනිහෙකු මැනීම අර්ථ විරහිත ය. ඒ තරමටම පිටට පෙනෙන පාලනයකින් සැබෑ පාලනය මිනිය නොහැකි ය.

Advertisements