කළ ගුණ (අතීතය) නොසළකා යහපාලනය (අනාගතය) පැතීම


අවසන් වූ ජනපතිවරණය තරම් අපේක්ෂකයින් වියදම් කළ මැතිවරණයක් තිබුනේ නැත. එයිනුත් පැරදුනු අපේක්ෂකයා වියදම් කළ ප්‍රමාණය අතිශයින් විශාල ය. මුලින්ම කට්අවුට් වැසි වැස්සේ ය. ඊළගට තොරතෝංචියක් නැති ගුවන්විදුලි හා රූපවාහිනී දැන්වීම් දොරෙ ගලා ගියේ ය. රැස්වීමක් තිබුනේ කොතැන ද ලංකාවේ නන් දෙස තිබූ ලංගම බස් එතැනට එක් රැස් වුනේ ය. වියලි ආහාර ද්‍රව්‍යවලට අමතරව කෑම පැකට් බත් දන්සැල් අරක්කු හා මත වැනි කාබී අහවර කරන දේ ද ඊටත් අමතරව බිත්ති ඔරලෝසු අතේ බදින ඔරලෝසු ටී ෂර්ට් කැප් තොප්පි මෝටර් සයිකල් ඈ කී නොකී ස්ථාවර භාණ්ඩද වලින් ජන්දදායකයන්ට අඩුවක් නැතිවම සංග්‍රහ කෙරුනේ ය. ඇත්තටම ඒවා සියල්ල බෙදා හැරීමටවත් හරි හමන් වෙලාවක් තිබුනේ නැත.

සංවර්ධනය ද යහපාලනය ද යන මාතෘකාව අවසානය වන විට වෙනස් වී තිබුනේ ය. අවසානයේ වැඩිපුරම නැගුණු ප්‍රශ්නය වූයේ කළගුණ සැළකීම ද යහපාලනය ද යන්න ය. ඊට අමතරව දන්න යකා ද නොදන්නා දෙවියා ද යන ප්‍රශ්නය ද ඉතිරි වුනේ ය.

අවසාන ප්‍රශ්න දෙකම අපේ ජන විඥානය හා සම්බන්ධ ප්‍රශ්නයන් ය.

කළ ගුණ සැළකීම අපේ ප්‍රබල ආචාර ධර්මයක් ය. බුදුන්ට බුදු වීමට සෙවන දුන් බෝ ගස බෝධීන් වහන්සේ කෙනෙක්ව හැම පන්සලකටම සෙවන සැලසුවේ කළ ගුණ දක්වන්නට බුදුන් සත් සතියෙන් එහැම පිටින්ම එකක් වෙන් කළ බව අපට හැම විටම මතක් කරමිනි.

සංවර්ධනය හා යහපාලනය යන දෙකටම වඩා කළ ගුණ සැළකීම ජනතාවට සමීප කාරණයකි. (මෛත්‍රීට ඡන්දය දුන් අය පවා මහින්ද ජනපති මන්දිරයෙන් සමුගෙන යන විට කඳුළු සැලුවේ ඒ නිසා ය. පැරදුනේ වුව ද ගම්මු මැදමුලනට එක්ව තනි රැක්කේ ද ඒ නිසා ය. එසේ කරන ලද්දේ මහින්දට ලගින්ම හිටි ඔහු යන යන තැන ගිය සජින් වාස්ලා දුටුගැමුණුලා පමණක් නොව දුමින්දලා ද පිටුපාන්නට පටන් ගෙන සිටිය දී ය.)

දන්නා යකා නොදන්නා දෙවියාට වඩා හොඳ යැයි කියන දෙවැන්න ද ප්‍රබල උවදෙසක් ගෙන එන්නකි. විශේෂයෙන් අවදානම් දරන්නට අකමැති ඊට නුහුරු ජාතියක් හැටියට අප ජීවත්වන බව එය අපට පසක් කර දෙන්නේ ය.

අපට නුහුරු යහපාලනයකට වඩා කොටියාගෙන් බේරී ජීවත්වන්නට පුලුවන් වටපිටාවක් තිබීම වැඩි වුවමනා එපාකම් නැති අපට සැනසිලි දායක පණිවුඩයකි.

දකුණේ ගම ආශ්‍රිතව මහින්දට ලැබුණු ඡන්ද මේ ජනපතිවරණ සටන් පාඨ දෙකේ ප්‍රතිඵලයන් ය. ඒ සටන් පාඨ දෙකම ගමේ ජන විඥානයට ආමත්ත්‍රණය කළේ ය.

එහෙත් මේ සටන් පාඨ නගරයට ලොකු බලපෑමක් කළේ නැත. එය වෙනත් සිංහල නොවන වෙනත් ජාතිකයන්ට හෝ බෞද්ධ නොවන වෙනත් ආගමිකයන්ට ද බලපෑමක් කළේ නැත.

ඔරලෝසුව ලබා ගත් ගමේ මිනිසා ඊට කළගුණ සැළකුවේ ය. ඒ යුද්ධය දිනා දුන්නාට අමතර වශයෙනි. එහෙත් ඔරලෝසුව ලබා ගත් නගරයේ මිනිසා එය අල්ලසක් ලෙස සැළකුවාට අමතරව යුද්ධය සදාකාලිකව විකුණාගෙන කෑමට අයිතියක් නැතැයි සිතුවේ ය.

මීට අමතරව සටන් පාඨයක් අනවශ්‍ය ජන විඥානමය ක්‍රියාකාරිත්වයක් ද අපට දැක ගත හැකි විය. ඒ අපේ කම ය.

දකුණු පළාත අපේ කම සළකා ගමේ මිනිහාට දෙන විට පොළොන්නරුව ද ඒ විදිහටම ක්‍රියා කළේ ය. ගැමියාගේ හැටි එහෙම ය. ඵල අයිති ගමේ වවුලන්ට ය. පිට උන්ට නොවේ ය.

ආසනය කියන විට ප්‍රතිඵල කිව හැකි තරමේ විභේදනයක් අපට දකින්නට ලැබෙන්නේ මේ හේතු සියල්ල නිසා ය.

මේ සියල්ල කළමනාකරණය පිළිබඳ බ්ලොග් පිටුවකට ඇතුළු වුයේ මෙවර ජනපතිවරණය ප්‍රතිපත්ති ගැටුමකට වඩා මාකටින් කැම්පේන් දෙකක ගැටුමක් එසේත් නැත්නම් තවත් අලෙවිකරණ සංසිද්ධියක් වූ බව කියන්නට ය.

මාකට් ෂෙයා එක හදාගන්නට එකිනෙකට වෙනස් ප්‍රතිරූප දෙකක් නිර්මාණය වී තිබුණු අතර මාකට් ෂෙයා එක ඒ අනුව බෙදුනු බව කියන්නට ය. ඔබේ භාණ්ඩ අලෙවි කරන්නේ ගමට ද නගරයට ද යන්න ගැන දැන ඒවා අලෙවි කළ යුතු බව කියන්නට ය.

කළමනාකරුවෙකුට ඉගෙන ගත හැක්කේ පොතපතින් පමණක් නොවේ. තමා අවට සිදුවන දෑ දෙස විමසුම් බැල්මක් හෙලීමෙන් ද ඔහුට උගත හැකි ය.

Advertisements

නායකයා ගරු කළ යුත්තේ නීතියට ද ආචාර ධර්මයන්ට ද?


සාධාරණය කළ හැකි යම් හේතුවක් නිසා නීතියක් කඩ කළ කෙනෙකුට දඩුවම් නොදී සමාව දීමට නායකයෙකුට හැකි ද? සාධාරණය කළ හැකි කිසියම් දෙයක් වෙනුවෙන් නීතියක් කඩ කිරීමට නායකයෙකුට හැකි ද?

නීතියක් යනු දේව නියමයක් නොවේ. මිනිසුන් විසින් නිර්මාණය කර ගත් දෙයකි. නීති හදා ගෙන තිබෙන්නේ වඩා හොඳින් වැඩ කටයුතු කිරීමේ පහසුවට ය. එයින් අනියමින් කියවෙන්නේ ඒවා අවශ්‍ය වුවහොත් මග හැරියාට කමක් නැති බව ය. නීතියට වඩා ආචාර ධර්මයන්ට නිවැරදි දෙයට ප්‍රයෝගික දේ ට තැන දිය යුතු බව ය.

එහෙත් කුඩා ප්‍රශ්නයක් ඉතිරි වේ. නීතියක් කැඩුනහම එයට විරුද්ධව පියවර නොගත හොත් එය තවදුරටත් නීතියක් ලෙස පවත්වා ගැනීම අසීරු වෙයි. නීතිය හා අවනීතිය අතර වෙනස මැකී යයි. සමාජය තුළ අවිචාර සමයක් බිහිවෙන්නට එයින් මග පෑදේ. නීතියේ ආධිපත්‍යය ගැන බොහෝ දෙනෙකු පක්ෂපාත වන්නේ ඒ නිසා ය.

නීති හැමෝටම කඩන්නට ඉඩ දෙන්නට බැරි බව මේ නිසා පොදු පිළිගැනීම ය. එහෙම නම් නීති කැඩීමට බලය ඇත්තේ කාට ද? කාට නැතත් නීතියක් නායකයාට කැඩිය හැකි බව කියා මේ උභතෝකෝටිකයෙන් ගැලවෙන්නට සමහරු කැමති ය. ඊට සමානව නීතියක් කඩ කළ කෙනෙකුට සමාව දීමට ද නායකයාට හැකි ය.

තර්කයක් හැටියට ගැලවීමක් ලැබුන ද ප්‍රශ්නයට මුළුමනින් උත්තරයක් ඉන් නොලැබේ. නායකයා කවරෙක් ද? රටක ආයතනයක ඉන්නේ එක් නායකයෙක් නම් එතකොට පහසු ය. එහතේ නායකයන් බොහෝ දෙනෙක් ඉන්නා විට තත්වය නරක අතට හැරේ. ඉර ගහන්නේ කොතැන ද?

කුඩා උදාහරණයක් ගෙන බලමු. ඇමතිවරු පරිවාර රථ සමග ඉගිලයන්නේ කිසිදු මාර්ග නීතියක් සැළකිල්ලට නොගනිමිනි.

පොලීසිය පමණක් නොව මහජනයා ද දැන් කාලයක සිට මේ නීති කැඩීම ඉවසති. මේ අයිතිය ඇත්තේ ඇමතිවරුන්ට පමණ ද? මන්ත්‍රීවරුන්ටත් තිබේ ද? එතකොට පළාත් සභාවල උත්තමයින්ට! හරි ඒ ඔක්කොමටම දුන්නහම වැඩේ ඉවර ද? නැත.

මේ ළගදී මහේස්ත්‍රාත්වරයෙක් මාර්ග නීති උල්ලංඝනය කර පොලිස් නිලධාරියෙකුගේ උදහසට ලක් වුනේ ය. එ් අවනඩුව අවසන් වුනේ පොලිස් නිලධාරියා මාර්ගනීති කඩ කළ පුද්ගලයාට වැඳ සමාව ගැනීමෙනි.

පහුගිය දොහක භික්ෂූන් වහන්සේ නමක් ගිය රථයක් නැවැත්වූවේ යැයි කියා තිත්ත කුණුහරුප වලින් සංග්‍රහ ලබන්නට පොලිසියට සිද්ධ වුනේ ය.

ඒ කියන්නේ මේ ඉර ගහන්නට තැනක් හරියට නැති බව ය.

සාමාන්‍ය මාර්ගවල ඉගිලෙන්නට අවසර තිබුනාට එහෙම අවසරයක් අධිවේගී මාර්ගයේ දෙන්නට ඕනෑ නැතැයි සිතූ එක් පොලිස් කාරයෙක් තමන්ගේ ගෙයත් වාහනයත් විනාශ කර ගෙන රැකියාවත් නැති කර ගත්තේ ය.

ඒ කියන්නේ ඕනෑම තැනක මේ නීතිය ක්‍රියාත්මක කරන්නට යෑමේ විපාක තිබෙන බව ය.

ප්‍රශ්නය ඇත්තේ නීතිය කඩන්න පුලුවන් කාට ද? කොහේදි ද? කොච්චර ප්‍රමාණයකින් ද යන්න අපැහැදිලි වීම ය. ඒ නිසා සිදු වන්නේ තීතිය රකින අය අමාරුවේ වැටීම ය.

නීතියක් දේව නියමයක් නොවන බව ඇත්ත ය. ඒ නිසා නීතිය දෙස වෙනස් කළ නොහැකි දෙයක් ලෙස බැලීම ප්‍රායෝගික නැත. එහෙත් කළ යුත්තේ නීතියක් වෙනස් කිරීම මිස එය කැඩීම ද යන්න ප්‍රශ්නයට අප පිළිතුරු සෙවිය යුතු ය.

එය යම් ලෙසකින් කඩන්නේ නම් එය කළ යුත්තේ එසේ කැඩීමට තරම් බරපතළ සුවිශේෂී වාතාවරණයක් ඇතිව තිබුනෝතින් අති විශේෂ තත්වයන් යටතේ ය.

අපේ වේග සීමාව 50 ක් නම් තෝරාගත් නායකයින්ට සාමාන්‍ය පාරක 10% ක් හෝ 20% ක් වැනි නිශ්චිත අගයක් වැඩියෙන් යාමට අවසර දුන්නාට ලොකු වරදක් වෙන එකක් නැත. එසේ වුව කළ හැක්කේ එසේ කරන්නට බලය දෙන අයට සයිරන් නලාවක් හඩවා අනතුරු අගවන ලෙස අතුරු නීතියක් ද දාන්නේ නම් පමණ ය. එයින් නීතියෙන් අපේක්ෂා කරන මාර්ගයේ ජීවිත සුරක්ෂිතතාවය ලැබෙන බැවිනි. එතකොට කරන්නේ නීතිය කැඩීම නොව

නීතිය අපේක්ෂිත අරමුණ තවදුරටත් සාක්ෂාත් කරගත හැකි පරිදි වෙනස් කිරීම ය.

මා පාරේ නීතිය දැක්වූවේ අප කාටත් තේරෙන උදාහරණයක් නිසා ය. ආයතනවල නීති සම්බන්ධයෙන් ද මේ දේ අදාළ ය. නායකයෙකුට පවා නීතිය කඩන්නට ඉඩක් නොදිය යුතු ය. නීතියක් බැරිවෙලාවත් කඩන්නේ නම් ඒ සඳහා නිසි හේතු දැක්වීමක් කළ යුතුව ඇත්තේ ය. ඔවුන් සම්බන්ධ නීති වෙනස් වූවාට කමක් නැත. ඒ නීතියෙන් අපේක්ෂිත අරමුණු තවදුරටත් රැකෙන පරිදි ය.

සම්මන්ත්‍රණයක් නොවන සම්මන්ත්‍රණ


images chickenපහු ගිය දිනක වැඩ මුළුවක් පැවැත්විණි. ආයතනයක සංයුක්ත සැළැස්මක් සැදීම නිමිති කොට ගෙන එය පැවැත්වුනේ ය.

පළමුවෙන් සාකච්ඡාව සඳහා ගනු ලැබුවේ මෙහෙවර ප්‍රකාශය නිර්මාණය කර ගැනීමේ කටයුත්ත ය.

ආරම්භයේදීම සභාවෙන් අභියෝගයක් පැමිණියේ ය. මුලින් ගත යුත්තේ ආයතනයේ දැක්ම බවත් මෙහෙවර ප්‍රකාශය සළකා බැලිය යුත්තේ ඒ මත පදනම්ව බවත් ඒ අභියෝගයේ සඳහන් විණි.

මේ ගැන මත වාද දෙකක් පවතින බවත් තමන් වඩාත් කැමති මෙහෙවර ප්‍රකාශය පදනම්ව ඉතිරිය ගොඩ නැගීම බවත් ඊට හේතුව මෙහෙවර ප්‍රකාශය ආයතනය කවරක්ද යන්න නිර්වචනය කොට දැක්වීම බවත් අප පවතින්නේ කුමක් නිසා ද යන්න පැහැදිලි කරගත් විට ඉතිරිය පහසු වන බවත් පහසුකම් සපයන්නා කියා සිටියේ ය.

අභියෝගය ඉදිරිපත් කළ තැනැත්තා පසුබාන්නට කැමති වූයේ නැත.

මත දෙකක් පැවති නමුත් එයින් වඩාත් නිවැරදි වන්නේ දැක්මෙන් ආරම්භ කිරීම බවට දැන් තහවුරු වී ඇති බවත් නැවතත් ප්‍රකාශ විය. වැඩි දෙනාගේ මතය වූයේ ද එයයි. ඒ නිසා පහසුකම් සපයන්නා පසු බෑවේ ය.

මගේ හැගීම නම් සම්මන්ත්‍රණයක දී වඩාත් වැදගත් වන්නේ සාකච්ඡාවකට ඉඩ තැබීම ය. වැඩි දෙනා විසින් තනි මතයක් යටපත් කිරීම නොවේ. සිදු වූයේ නම් එයයි. පහසුකම් සපයන්නා ජේෂ්ඨත්වයෙන් මෙන්ම වයසින් ද බාල වීම නිසා ඒ යටපත් කිරීම සඳහා බහුතර මතයට අමතරව යටපත් කළ තැනැත්තාගේ අධිකාරී බලය ද බලපෑවේ යයි මට සිතිණි.

මා වඩාත් කැමැත්තෙන් සිටියේ මේ මත දෙක සාකච්ඡා වනු දැකීමට ය.

අභියෝගය ඉදිරිපත් කළ තැනැත්තා විසින් එක්කෝ තම මතය නිවැරදි වන්නේ ඇයි දැයි පැහැදිලි කළ යුතු ව තිබුනි. නැතිනම් අනෙකාගේ මතය වැරදි ඇයි දැයි පැහැදිලි කරන්නට තිබිණි. අනෙකාට තම මතය නිවැරදි ඇයි ද යන්නට හේතු දක්වන ලෙස කියන්නට ද තිබිණි. ඒ කිසිවක් සිදු වූයේ නැත. සම්මන්ත්‍රණය තවදුරටත් සම්මන්ත්‍රණයක් වූයේ නැත.

මෙයින් වඩාත් නිවැරදි කුමක් දැයි දැන ගැනීමට තිබූ මගේ පවස ද සන්සිදුනේ නැත. එහෙයින් මම අන්තර්ජාලය පිරික්සීමි. ඇත්තටම තවමත් මත දෙකක් පවතී. එකක් අනික අභිබවා ජය ගෙන නැත.

මෙය මගේ පාඨකයන්හට යොමු කළ යුතු යැයි මා සිතුවේ ඒ නිසා ය.

මුල් වන්නේ මෙහෙවර ද දැක්ම ද?

ඝෝසාවට බිය වී අකුළා ගැනීමේ දෝසය


“ගම් වැසියෝ රංචු ගැසී එක්තරා විනීත කාන්තාවක් ලුහු බඳින්නට පටන් ගත්හ. ඊට හේතුව ගමේ ශල්‍ය වෛද්‍යවරයා වන කරණවෑමියාගේ ශාන්ති කර්ම – එනම් ලේ ගලන්නට සැළැස්වීම හා විරේක කරවීම වැනි නියම ක්‍රම – නොයොදා ලෙඩුන් නෑවීම, සේදීම, ආහාර පාන දීම වැනි යක්ෂයාගේ උපක්‍රම භාවිතා කරමින් ඇය ලෙඩ සුව කරන්නී යැයි ප්‍රසිද්ධ වීම ය. ඔවුන්ගෙ ලුහුබැඳීම නොකඩවා කෙරුණෙන් අවසානයේ හෙම්බත් වූ ඇය බිම ඇද වැටුනා ය. ඔවුහු ඇය ගසක් වෙත ඇදගෙන ගොස් අත්තක් උඩින් කඹයක් දමා කෙළවරක තොණ්ඩුවක් සෑදූහ. කීප දෙනෙකු ඇය අල්ලා ගෙන සිටි අතර ඇය වැළපෙමින් යාඥා කරන්නට වූවා ය.

ඔව්හු ඒ කාන්තාව එල්ලා දැමූහ. මගේ හදවත තුළින් ඈට අනුකම්පා කළ නමුත් මමත් ඈට ගලක් ගැසුවෙමි. මා එසේ කළේ සියල්ලන්ම ඇයට ගල් ගැසූ නිසාත් සෑම අයෙකුම තමන් ළගින් සිටින්නා දෙස බැලූ නිසාත් අනෙත් අයත් කරන දෙයම මාත් නොකළේ නම් එය ඔවුන්ට පෙනී මා ගැන කතා කරන්නට පටන් ගන්නා නිසාත් ය.සාතන් මහ හඩින් සිනාසෙන්නට විය. සාතන් හිනා වුනේ මට ද?

ඔව් ඔයාට තමයි. ඒ වුණාට මං අනිත් අයටත් හිනා වුණා.

ඇයි?

මෙහෙමයි. එතන හිටියා මිනිසුන් හැට අට දෙනෙක්. එයින් හැට තුන්දෙනෙකුට ගල් ගහන්න කැමැත්තක් තිබුනේ නෑ ඔයාට වගේම. ඔයාලා හැදිල තියෙන්නෙ බැටළුවන්ගෙන්. රැල පාලනය වෙන්නේ ටික දෙනෙකු අතින්. මිනිස්සු තමන්ගෙ හැගීම් අදහස් පාලනය කර ගෙන වැඩිම ශබ්දයක් ඇති කරන ටික දෙනා පස්සෙ යනව. මිනිසුන් වැඩි දෙනෙක් කරුණාවයි. වේදනා ඇති කරන්න කැමති නෑ. ඒ වුණාට අනුකම්පාවක් නැති ආක්‍රමණශීලී ටික දෙනෙකු ඉදිරියේ තමන්ගෙ හැගීම් ප්‍රකාශ කරන්න තරම් ඔවුන් එඩිතර නැහැ.“

ඉහත දැක්වූයේ රාණී සේනාරත්න රාජපක්ෂ විසින් පරිවර්තනය කරන ලද මාක් ට්වේන්ගේ අද්භුත මිනිසා නම් කතාවේ කොටසකි.

බහුතරයට අනුගත වීමක් ලෙස බොහෝ දෙනා දකින්නේ මේ අතිශය සුළුතර පිරිසකගේ ඝෝසාවට බිය වීමේ කතාව ය.

අප බිය වැඩි දෙනාගේ මතයට නොවේ. වැඩියෙන් සද්දය උපදවන මතයට ය. එයට හේතුව එය වැඩි දෙනාගේ මතය ලෙස පෙනීම ය. දැනීම ය.

මේ ඝෝසාව ආයතනයක් රටක් වැරදි දිසාවට ගෙන යෑමට තරම් ප්‍රබල වන්නට පුලුවන.

The ultimate tragedy is not the oppression and cruelty by the bad people but the silence over that by the good people.

Martin Luther King, Jr.

සාහිත්‍ය ද කළමනාකරුවෙකුට ලෝකය තේරුම් ගන්නට වටිනා ප්‍රවේශයක් මනෝ විද්‍යාව හා සමාජ විද්‍යාව තරමටම සළසන්නේ ය.

විශ්වාසය හා සැකය


ආත්ම විශ්වාසය නැති කෙනෙකුට කළ හැකි දේ අල්ප ය. අන් අය ගැන විශ්වාස නොකරන කෙනෙකුට ද කළ හැකි දේ අල්ප ය. එවැනි අයට සිදුවන්නේ කුඩා වැඩ කරමින් තනිව ජීවත්වීමට ය. අප ගැනත් සෙසු අය ගැනත් විශ්වාස කිරීම ඒ අනුව අපට ඉදිරියට යාමට අත්‍යවශ්‍ය මූලිකම අවශ්‍යතාවයකි.

අප අතරින් කී දෙනෙකුට ආත්ම විශ්වාසය තිබේ ද? පහත වීඩියෝව නැරඹීමෙන් ඒ ගැන අදහසක් ඔබට ගත හැකි ය.

http://www.youtube.com/watch?v=zVaknBrb-fQ

ඉහත වීඩියෝවට සමාන පරීක්ෂණයක් ගණිතමය සමීකරණයක් ඇසුරෙන් ද කර ඇත්තේ ය. පර්යේෂකයා මේ සමීකරණ දී උත්තරය සොයන්නැයි පන්තියක සිසුන් හට කියා ඇත. ඊට පසු පන්තියේ තමන් ඇටවූ කීප දෙනෙකුගෙන් ඒ ගණිතමය සමීකරණයට කලින් කියන ලද වැරදි උත්තරයක් ලබා ගෙන ඒ ප්‍රශ්නය පන්තියේ වෙනත් කෙනෙකුගෙන් ඇසූ විට ඔහු මදක් පැකිල  එහෙත් දී තිබුනේ කලින් වැඩි දෙනා දුන් වැරදි උත්තරයම ය.

ඔහුට නිවැරදි උත්තරය කියා ඔහුට එය නොලැබුනේ දැයි ඇසූ විට ඔහු කීවේ ඔහුට ද ඒ උත්තරය ලැබී තිබුනු බවත් කීප දෙනෙක්ම එකම උත්තරයක් (එය වැරදි වුව ද) දුන් නිසා තමන්ට වැරදෙන්නට ඇතැයි සිතා ඒ උත්තරයම තමනුත් දුන් බව ය.

එයින් පෙනෙන්නේ අප අපේ තීරණයන් ගැන ඇත්ත වශයෙන්ම සැකයකින් පසුවන බව ය.

එසේ සැක කිරීම හරි ද වැරදි ද?

ජර්මනියේ හිට්ලර් ගෙන ගිය ව්‍යාපාරය ගැන මුලින් සැක කළ බොහෝ අය ද වෙනත් බොහෝ දෙනෙක් ඊට අනුගත වනු දැකීමෙන් පසු සැක කිරීම අත් හැර දැමූ හ. මුළු ලොවට විනාශයක් කැද වූයේ එසේ සැක කිරීමට ජර්මන් ජනතාවට නුපුළුවන් වූ බැවිනි.

සැක කිරීමට අවසර නැති තැනක මා නම් රැදෙන්නේ නැත.

සැකය පහළ වන්නේ සැක කළ යුතුම තැන්වල ය. එවැනි විටක කළ යුත්තේ නැවත පිළිවිස විශ්වාසය පිරික්සීම ය. එවිට එය එක්කෝ තහවුරු කර ගත හැකි ය. නැතිනම් ඉවත දැමිය හැකි ය. එසේ නොකොට අන්ධ විශ්වාසයෙන් මුල් තීන්දුවේ ඇලී සිටීමටවත් මුල් තීන්දුව කිසිදු පිරික්සීමකින් තොරව වැඩි දෙනාගේ මතය අනුව යමින් එක පැහැරින් බැහැර කිරීමටවත් කටයුතු නොකළ යුතු ය.

හිතේ කෙළවරක සැකය රදවා ගෙන සිටිය යුතු වුව ද විශ්වාසය ද ඒ සමගම කෙනෙකුට තිබිය යුතු ය. මට පවතින දේ වෙනස් කළ හැකිය යන විශ්වාසය නොතිබුනේ නම් මා මේ බ්ලොග් අඩවියට අත ගසන්නේ නැත. පොත් ලියන්නේ නැත. බ්ලොග් අඩවිය ජනප්‍රිය නොවෙන්නටත් පොත් නොවිකිනෙන්නටත් ඉඩ ඇති බැවිනි. එහෙත් මට මා ගැනත් මේ රටේ ඉගෙන ගන්නට කැමති මිනිසුන් සිටින්නේය යන්න ගැනත් විශ්වාසයක් තිබුනේ ය. මා මේ ගමන මෙතෙක් ආවේ ඒ විශ්වාසයට පින්සිදු වන්නට ය. මා ගැනත් මේ රටේ මිනිසුන් ගැනත් මේ සම්බන්ධයෙන් මට සැකයක් නොතිබුනේ යැයි අදහස් නොවේ. මගේ තීරණය කීප වතාවක් මට නැවත නැවතත් විවරණය කිරීමට සිදු වූ වාර තිබුනේ ය.

විශ්වාසය හා සැකය එක ලෙස තුරුල් කර ගත යුතු ය. ඒ දෙක කාසියක දෙපැත්ත ලෙස ගත යුතු ය. ඒ දෙක නිසි පරිදි කළමනාකරණය කර ගත හැකි කළමනාකරුවන් දිනුම් ය. අද නැතත් හෙට ඔවුන් දිනුම් ය.

අනෙත් අය අද නැතත් හෙට පරදිනු ඇත්තේ ය.

65 වසරක නිදහස ගැන පසුවිපරමක්


කළමනාකරුවෙකු සතු අතිශය වැදගත් වගකීමක් වන්නේ පසු විපරම් හි යෙදීමයි. යම් වැඩක් අවසානයේ දී මෙන්ම වසරක් ආරම්භයේදී ද පසුවිපරමක යෙදීම වැදගත් ය. පළමුව ඒ අප කළ දේ දෙස බලා සතුටු වීමට ය. අප සාක්ෂාත් කළ දෙස බලා එයින් ඇති කර ගන්නා අභිමානය ඉදිරියට මුහුණ දෙන්නට අපට ශක්තිය ලබා දෙයි.

අප ගෙවුණු අතීතය දෙස වරින් වර හැරී බැලිය යුතු වන්නේ ඒ ශක්තිය ලබා ගැනීමට පමණක් නොවේ. අපට වැරදුනේ කොහේ දී කෙළෙසක දැයි දැනගැනීමටත් එය අවශ්‍ය ය. ඒ වැරදි තුළින් ඉගෙන ගැනීමට ය. එවැනි දේ නැවත නොවෙන්නට වග බලා ගැනීමට ය. ඒ සදහා ඉදිරිය සැළසුම් කිරීමට ය.

65 වසරක නිදහස් සැමරූ අප කී දෙනෙක් අප ආ මාවත දෙස නැවත හැරී බැලුවේ ද? එසේ හැරී බලන අපට පෙනෙන්නේ කුමක් ද?

අප ජයග්‍රහණයන් ලබා තිබේ. අපට දැන් පැයට කිමී 100 වේගයෙන් රිය පැදවිය හැකි අධිවේගී මාර්ගයක් තිබේ. බොහෝ මහාමාර්ගවල තත්වය ද උසස් ය. නව වරායක් ලැබී තිබෙන අතර කොළඹ වරායේ ද විශාල ක්‍රියාකාරකම් සිදු වෙමින් තිබේ. අපේ ඇගලුම් කර්මාන්තය ඉහළ මට්ටමක තිබෙන අතර සංචාරක කර්මාන්තයේ ද මෑත අවදියේ නව පිබිදීමක් ඇති ව තිබේ. අපට අඩු වශයෙන් එක ක්‍රීඩාවක ලෝක ශූරයන් වීමේ හැකියාව ලැබිණි. එම ක්‍රීඩාව ලොව පුරා ප්‍රචලිත නොවූව ද දියුණු රටවල් කීපයක් අභිබවා ඉන් ජය ලැබීමට අපට හැකි විය. අපේ උගතුන් විවිධ රටවල විවිධ ආයතනවල ඉහළ තනතුරු ලබා රටට කීර්තියක් ගෙන දී තිබේ. මේ සියල්ල ධනාත්මක ය.

අප කළ දේවල් තරමටම අප නොකළ දේවල් ද තිබේ. දුම්රිය මාර්ගය වසා දැමීමට මිස එය දිගු කිරීමට අපට හැකි වූයේ නැත. ස්ථාන කීපයක මිස අවශ්‍ය සියලු ස්ථානවල ගුවන් පාලම් ඇති කර වාහන තදබදය අවම කිරීමට අපට හැකිව නැත. අපේ මාර්ග බොහෝමයක පළල බ්‍රිතාන්‍යයන්ගේ කාලයේ තිබූ පළලට මදකින් වත් වෙනස් වී නැත.

අපට කිරීමට නොහැකි වැඩ වලට අමතරව අපට අමතක කළ නොහැකි බරපතල ඛේදවාචකයන් රැසකට ද අපි ගෙවී ගිය 65 වසර තුළ මුහුණ දී ඇති බව විපරම් කරන විට පෙනේ.

තරුණතරුණියන් විශාල ගණනාවකගේ ජීවිත පූජාවලින් කෙළවර වූ දකුණේ කැරලි දෙකක් ද අධික ජනතාවක් අවතැන් කළ ජීවිත ගණනාවක් බිලිගත් දිග්ගැසුනු යුද්ධයක් ද ඒ අතර වෙයි. පසුගිය 65 වසරින් 2/3 ක් ම අප ගෙවා ඇත්තේ හදිසි නීති පාලනය යටතේ ය. හදිසිය සාමාන්‍ය වන තැනට පත්වීම ද අප විසින් සැළකිල්ලට ගත යුතු ය.

අපේ රටේ විදේශ වෙළදාමේ විශාල පරතරයක් තිබේ. එයින් අදහස් කරන්නේ අප විදෙස් වලින් මිලදී ගන්නා දේ වල වටිනාකම අප විදෙස්වලට විකුණන දේවල වටිනාකමට වඩා විශාල වශයෙන් වැඩි බව ය. මෙම පරතරයෙන් 80% ක් පමණම අප පියවා ගන්නේ පිටරට රැකියා කරන රිසානා වැනි කාන්තාවගෙන් ය.

අප රටේ තරුණ පරපුරෙන් 50% ක් පිටරටට පැන ගැනීමේ අපේක්ෂාවෙන් පෙළෙන බව මැතකදි සරසවියකින් කරන ලද සමීක්ෂණයකින් හෙලිවී තිබේ. ගිය වසරේ පමණක් ඕස්ට්‍රේලියාව බලා ගිය නීති විරෝධි සංක්‍රමණයන් පුරවා ගත් බෝට්ටු 112ක් ගැන තොරතුරු ලැබී ඇත.

මේ ශේෂ පත්‍රය බලන විට පෙනී යන කරුණක් නම් අප අයත් කරගත් දේට වඩා අප විසින් අයත් කර නොගත් හා අපට බැරිව ගිය දේ අතිවිශාල බව ය.

අප දේශයට ආදරය කරන්නේ නම් අප විසින් කළ යුතුව ඇත්තේ මේ පසුවිපරම අපේ පක්ෂපාතිත්වයන් ඉවත ලා ස්වාධීනව සිදු කිරීම ය.

එහෙත් කණගාටුවට කාරණය වන්නේ අපේ දේශප්‍රේමය යොමුව ඇත්තේ අපට වැරදුන තැන් පෙන්වා දෙන ජාත්‍යන්තරයට චණ්ඩිපාට් පෙන්වීමට වීම ය. අපේ වැරදි ඔවුන් පෙන්වා දෙන්නේ ඔවුන්ගේ අරමුණු මුදුන් පමුණුවා ගැනීමට විය හැකි ය. එහෙත් අපට ඉන් වාසි ගත හැකි නම් අප එයින් වාසි ගත යුතු ය.

කළමනාකරුවන් තමන්ට එල්ල වෙන විවේචනයන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු වන්නේ විවේචකයාට පහර දෙන පිළිවෙතක්ම නොවේ. විවේචනය වැරදි හදා ගැනීමට ලැබෙන අවස්ථාවක් ලෙස අප විසින් ගත යුතු ය.

ඒ නිසා මේ ශේෂ පත්‍රය දෙස නැවත බැලීම අපේ යුතුකමය. අපට එල්ලවෙන විවේචන දෙස සාධනීයව බැලීම අපේ යුතුකම ය.

එසේ කරන්නේ නම් අනාගතය යහපත් වනු ඇත්තේ ය.

සැබෑ වෙනසක් සදහා ගනු ලබන තීරණ හැම විටම අමාරු ය


සමහර තීරණ, ගැනීමට හරිම පහසු ය. ඒ හැම දෙනෙකුගේම කැමැත්ත ලැබෙන තීරණ ය. සමහර තීරණ අමාරු ය. ඒ තීරණාත්මක ටික දෙනෙකු අමනාප වීමේ තීරණ ය.

බහුතරයක් අකමැති තීරණ ගන්නවාට වඩා අමාරු තීරණාත්මක ටික දෙනා අකමැති තීරණ ගැනීම ය.

ඕනෑම ආයතනයක අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්නන් ප්‍රමාණයෙන් 20% ට අඩු ය. එහෙත් ඔවුන් ඇති කරන ප්‍රශ්නවල බලපෑම මුලු ප්‍රශ්නවල බලපෑමෙන් 80% ඉක්මවයි. අප ඉහත කී තීරණාත්මක ටික දෙනා ප්‍රශ්නවලින් 80%ට වගකියන 20% දෙනා ය.

මේ අප සොයාගත්තක් නොවේ. පැරටෝ නම් විශ්ලේෂකයාගේ පර්යේෂණවල ප්‍රතිඵලයකි. මෙය කළමනාකරණයේ හදුන්වනුයේ පැරටෝ මූලධර්මය නමිනි.

ඒ මූලධර්මයටම අනුව ආයතනයක වැඩිම දායකත්වය (80%කට වඩා වැඩි දායකත්වය) ලැබෙන්නේ ද ආයතනයේ 20% ක පමණ පිරිසකගෙනි. මේ පිරිස අප සදහන් කළ ප්‍රශ්න ඇති කරන්නන්ගේ ප්‍රතිපක්ෂයයි.

කළමනාකරුවෙකු කළ යුත්තේ මේ වැඩිම දායකත්වය ලබන 20%ට වඩා හොදින් වැඩ කළ හැකි පරිසරයක් තැනීම ය. එහෙත් ඒ සදහා වැඩ නොකර ප්‍රශ්න ඇති කරන 20% අමනාප කරගන්නා තීන්දු ගැනීමට වුව සිදුවිය හැකි ය.

ප්‍රශ්න අවම කරන්නට ගියොත් ඒ පරිසරය සෑදිය නොහැකි ය. ඒ නිසාම නායකයෙකු මේ මාවත් දෙකින් එකක් තෝරාගත යුතු ය.

  • කළ යුත්තේ ප්‍රශ්න අවම කිරීම ද?
  • නැතිනම් දායකත්වය උපරිම කළ හැකි පරිසරයක් සාදා එලඹෙන ප්‍රශ්නයන්ට මුහුණ දීම ද?

ප්‍රශ්න ගැන බියෙන් සැලෙන නායකයන් තෝරාගන්නේ ප්‍රශ්න අවම කරන පහසු මග ය. එහෙත් අවාසනාවකට ඒ මග වැටී ඇත්තේ නිර්මාණශීලි දායකත්වයේ ගෙල හිර කරන යාන්ත්‍රණයක් බිහිකිරීම හා පවත්වාගෙන යෑම හරහා ය.

සැබෑ වෙනසක් සදහා අභීත තීරණ ගැනීම කළ යුතු වුව ද එය අපහසු ය.

ඒ ප්‍රශ්න ඇති කරන්නන්ට මේ කාණ්ඩ දෙකටම අයිති නැති 60% උසි ගැන්වීමට කාල වේලාව හා උනන්දුව ඇති බැවිනි. ප්‍රතිඵල ඇති කරන දායකත්වය දෙන්නන්හට ඒවාට උත්තර දීමට කාලවේලාවක් හෝ උනන්දුවක් නැති වීම නිසා ද ප්‍රශ්නයක් විශාල කොට දක්වන්නට ඒ හරහා උදාසීන 60% උසිගන්වන්නට මේ ප්‍රශ්න ඇතිකරන්නන්ට වැඩි ඉඩක් ලැබේ.

නායකයන් අභිත තීරණ ගැනීමේදී මේ ගැන ද සංවේදී විය යුතු ය. එයින් අදහස් කරන්නේ ප්‍රශ්න ඇතිකරන්නන්ට දිනුම දී අකුලා ගත යුතු බව නොවේ. ඔවුන්ව නිසි ලෙස කළමනාකරණය කළ යුතු බව ය.

අඩුවශයෙන් උදාසීන 60% මත ඔවුන්ගේ බලපෑම අවම කිරීමට කටයුතු කළ යුතු බව ය. ඔවුන් බහුතරයෙන් වෙන් කොට තනි කළ යුතු බව ය.