සතර අගතිය – කළමනාකරුවෙකු බැහැර කළ යුතු


සිගාලයන් අමතා බුදුන් වහන්සේ දේශනා කළ සිගාලෝවාද සූත්‍රය අද අපගේ සටහනට නිමිත්තක් කර ගන්නට කැමැත්තෙමි. සෑම ආගමකම සැගවී ඇති මිණිකැට තිබේ. මේ බුදු දහමෙන් අපට සොයා ගත හැකි වූ එවැන්නකි.

පහත සිව් ආකාරයෙන් අගතියට යෑමෙන් වළකින ලෙස එහිදී සිගාලයන්ට බුදුන් වහන්සේගෙන් උපදෙස් ලැබේ.

ජන්දය (ලෝභය ලෙස ද ගත හැකි ය) – යමෙකුට හෝ යමකට ඇති කැමැත්තෙන් අගතියට යෑම.
දෝස – යමෙක් හෝ යමක් සමග ඇති කරගන්නා ද්වේෂයෙන් අගතියට යෑම.
භය – යමෙකුට හෝ යමකට ඇති බියෙන් අගතියට යෑම.
මෝහ – මෝඩකමෙන් අගතියට යෑම.

කළමනාකරුවන්, සමහර විට තමන් නොදැනුවත්වම, මේ අගතීන්ට ගොදුරු වීම නිසා වැරදි තීරණයන්ට එළඹිය හැකි ය. ඒ නිසාම සිය විනාශයත් ඊටත් වඩා ආයතනයේ විනාශයත් ඇති කරන්නෝය. ආයතනයත් නැති කර ගෙන අවසානයේ තමනුත් නැති කර ගන්නෝ ය.

තමන්ගේ හිතවතෙකු හිතවතියක නිසා වැරදි තීරණවලට එළඹෙන කළමනාකරුවන් බොහෝ ය. තමන් අගයන යම් මතවාදයක් යම් දර්ශනයක් නිසා ද කළමනාකරුවන් එවැනි වැරදි තීරණයන්ට එළඹීය හැකි ය. තමන්ට ලැබිය හැකි ලාභයක් නිසා ද එවැන්නකට මග පෑදිය හැකි ය. තමන්ගේ එවැනි යම් කැමැත්තකින් ඇස් අන්ධ කරගන්නා ඔවුන්ට විකල්ප නොපෙනේ. තීරණයෙන් ඇති විය හැකි ප්‍රති විපාක නොපෙනේ. ඉදිරිය නොපෙනේ. පසුබිම, වටපිටාව, පරිසරය නොපෙනේ. මෙසේ අගතියට ගිය විට කැමැත්ත හැරෙන්නට ඉතිරි සියල්ල අතුරුදහන් වෙයි. කැමැත්තෙන් පරල වෙන්නා ඒ මතම පිහිටා තීරණයන්ට එළඹේ. වෙනත් කිසි දෙයකට විවෘත නොවෙයි.

තමන්ගේ සතුරෙකු තමන් අනුමත නොකරන කෙනෙකු වීම නිසා ඒ තැනැත්තාගේ වැදගත් යෝජනාවක් බැහැර කිරීමට කළමනාකරුවෙකු පෙළඹෙන්නට පුලුවන. තමන්ගේ ජාතියේ නොවන තමන්ගේ ආගමේ නොවන තමන්ගේ කදවුරේ නොවන කෙනෙකු සම්බන්ධයෙන් ඇති කරගන්නා ද්වේශය මෙයට සමහර විට පාදක විය හැකි ය. සමහර විට ඒ කිසිවක් නැතත් පෞද්ගලික එදිරිවාදුකමක් ද එයට හේතුවන්නට පුලුවන. එය සමහර විට ප්‍රතිවිරුද්ධ මතවාදයක් සම්බන්ධයෙන් ද විය හැකි ය. එවිට ක්‍රියාකරන්නේ ද්වේශයයි. අන්ධ විය හැක්කේ කැමැත්තෙන් පමණක් නොවේ. ද්වේශයෙන් ද අන්ධ විය හැකි ය.

තමන්ට අනතුරක් හානියක් වීමට ඉඩ ඇතැයි යන බිය නිසා ද වැරදි තීරණයන්ට එළඹිය හැකි ය. ඒ බියෙන් මෙහෙයවනු ලැබූ විට වෙන කිසිවක් දර්ශන තලය තුළ ඉතිරි නොවෙයි. සියල්ල ඉන්පසු පාලනය කරනු ලබන්නේ බිය මගිනි.

මෝහය යනු මෝඩකම ය. තමන් සියල්ල දන්නේ යැයි සිතන්නෙකු බොහෝ විට මෝඩ කමින් මෙහෙයවනු ලබන්නෙකි. දන්නා දෙය දන්නා බව ද නොදන්නා දෙය නොදන්නා බව ද අවබෝධ කර ගන්නා කෙනෙකු මෝඩ කමින් අගතියට යන්නේ නැත. බොහෝ මෝඩයන්ගේ ප්‍රශ්නය වන්නේ බොහෝ දේ නොදන්නා බව පමණක් නොවේ. තමන් දන්නේ මොනවා ද නොදන්නේ මොනවා දැයි නොදන්නා කම ය. එවන් කෙනෙකු අන් කිසි කෙනෙකුට සවන් දෙන්නේ නැත. හෙවිල්ලක් බැලිල්ලක් නැතිව විධාන දෙන්නේ එවැනි අය ය.

මේ සිව් වැදෑරුම් අංශයන්ගෙන් අගතියට නොගිය කෙනෙකුට සියල්ල සලකා බලා දිගු කාලීනව සාධනීය ප්‍රතිඵල ඇති කරන තීන්දුවකට එළඹිය හැකි ය.

අගතියට යන අයගේ සැලකිල්ලට ලක්වන්නේ අගතියට ගිය කාරණය නිසාම එයින් අන්ධ වන කෙනෙකුට සෙසු කරුණු දිගු කාලීන ප්‍රතිවිපාක මග හැරෙන නිසා ම නිවැරදි තීන්දුවක් ගත නොහැකි ය. අද නැතත් හෙට ඔවුන් අර්බුදයකට යාමට නියමිත ය. ඔවුන් සමග ඔවුන් නායකත්වය දෙන ආයතනය/සංවිධානය හෝ රටක් නම් රට ද අගාධයට යනු ඇත්තේ ය.

Advertisements

නවකවදය ඇත්තේ සරසවියේ විතර ද? නව ආයතනයක දොර අභියස….


නවකවදය යන පදය ඇසුණු පමණින් බොහෝ දෙනෙකු එය සම්බන්ධ කරන්නේ සරසවියට ය. එය සමග අෑඳෙන්නේ රුදුරු වෙස්ගත සරසවි ශිෂ්‍යයකුගේ රූපයකි. හෙට අනිද්දා සරසවිය විවෘත කළ විට ජන මාධ්‍ය නවක වදය සම්බන්ධ තොරතුරුත් රැගෙන ඔබ ඉදිරියට එනු ඇත්තේ ය. නවක වදය ඇත්තේ සරසවියේ විතර ද?

සරසවියේ තරම් දරුණුවට නැතත් බොහෝ ආයතනවල ද ව්‍යාපාරික ස්ථානවල ද මෙය ක්‍රියාත්මක ය. නවකයන්ට එරෙහිව එලිපිට නැතත් ඉතා සියුම්ව මේ වදය ක්‍රියාත්මක ය.

නවකයා කවරෙකු වුව ද ඔහු තමන්ගේ කෙනෙකු ලෙස ගන්නට පෙර අත්හදා බැලීමේ කාලයකට යටත් කරනු ලැබේ. ඔහු කවර ක්ෂේත්‍රයක දස්කම් දක්වා ඇති කොතරම් අගනා ඔස්තාද් කෙනෙකු වුව ද මේ කාලය තුළ තරමක් පීචංව දිවි ගෙවීමට ඔහුට සිදු වේ. ඔහුට ඇත්තේ දෙවැනි පන්තියේ පුරවැසියෙකුට හිමි වරප්‍රසාද පමණ ය.

ආයතනය නවකයන් අවශෝෂණයට විධිමත් වැඩ පිළිවෙළක් යොදා නැතිනම් ඔහුට හෝ ඇයට තවත් බොහෝ කාලයක් මේ අතවරයට මුහුණ දීමට සිදු වේ.

නවකයාට ද මෙහිදී විශාල කාර්යය භාරයක් පැවරේ. ඒ ආයතනයට හා තම සගයන්ට ඇති කැප වීම ප්‍රදර්ශනය කිරීමට උත්සුක වීම ය. ඒ කැප වීම ප්‍රදර්ශනයේ දී වැඩි දෙනෙකුගේ සහය ඉල්ලා සිටින්නේ නම් එය වඩාත් යහපත් ය. තමන් වැඩ කිරීමට සූදානම් වුව ද කිසිවෙකුට තර්ජනයක් වීමට අකමැති බව එයින් පෙන්වා සිටිය හැකි ය.

ආයතනයේ සම්ප්‍රදායන් කොතරම් විප්‍රකාර වුව ද ඒවාට අනුගත වීමට මුල් වකවානුවේ ඔහුට ඇයට සිදු වේ. ඒවා වෙනස් කළ යුතු තරමේ ඒවා වුව ද එවැන්නකට අත ගැසීමට තවම සුදුසුකම් තමන් සපුරා නැති බව නවකයා දත යුත්තේ ය.

පැරැන්නන්ට කල්ලි ගැසී කැරලි ගැසීමට නවකයෙකුගේ ඕනෑම පියවරක පුංචි පලුද්දක් වුව සෑහේ. ඒ නිසාම මුල් වකවානුවේ අතිශයින් ප්‍රවේශම් විය යුතු ය.

කල්ලි බොහෝ ඇති ආයතනයක නම් නවකයා තමන්ගේ පිලට දිනා ගැනීමට මේ කල්ලි ක්‍රියාත්මක වනු දකින්නට පුලුවන. ඒ සමහර විට අනියම් තර්ජනයන් හා වක්‍ර බිය ඇතිකිරීම මගින් විය හැකි ය. එය සරසවියක සිදු වන ක්‍රියාදාමයට බෙහෙවින් සමාන ය. වෙනසකට ඇත්තේ එය එලිපිට නොව වෙනත් අතිශයින් පුම්බන ලද ආයතනික කාරණා පදනම් කර ගෙන සියුම්ව සිදු කිරීම පමණ ය.

නවකයෙකු මෙහිදී අතිශයින් උපක්‍රමශීලී විය යුතු ය. එක කල්ලියක් හා අනන්‍ය වීම අනික් කල්ලිවල දොර නියත වශයෙන්ම වසා ගැනීමට පෙළඹවීමක් වන හෙයිනි. අනිත් අතට කල්ලිවලින් සමන්විත ආයතනයක තනි පුද්ගලයෙක් ලෙස පෙනී සිටීම අපහසු හෙයිනි.

මේ හේතු නිසාම සංක්‍රාන්ති සමයේදී එම ආයතනය තුළ නවකයාගේ ඉරණම බොහෝ දුරට කුමක් දැයි තීරණය වී අවසාන ය.

නවකයන්ට කළමනාකරුගේ විශේෂ උදව් අවශ්‍ය මේ නිසා ය.

කෙසේ වුව ද කළමනාකරුගේ මැදිහත් වීම ඍජුව සිදුවනවාට වඩා ආයතනයේ සෙසු අය හරහා සිදු කිරීම නවකයාගේ කටයුතු වඩා පහසු කිරීමට හේතුවක් වන බවත් මතක තබා ගැනීම වටී. එසේ නොවුනහොත් නවකයා තනි වීමට එයම හේතුවක් වන්නට පුලුවන.

කළමනාකරුවෙකු සමාජ මනෝ විද්‍යාව ඉගෙන ගෙන තිබේ නම් මේ මැදිහත් වීම වඩාත් උපායශීලීව කිරීමේ මෙවලම් ඔහු සතු ය. කළමනාකරුවෙකු මනෝ විද්‍යාව හා සමාජවිද්‍යාව පමණක් නොව සමාජ මනෝවිද්‍යාව ද උගත යුත්තේ ඒ නිසා ය.