නායකයා ගරු කළ යුත්තේ නීතියට ද ආචාර ධර්මයන්ට ද?


සාධාරණය කළ හැකි යම් හේතුවක් නිසා නීතියක් කඩ කළ කෙනෙකුට දඩුවම් නොදී සමාව දීමට නායකයෙකුට හැකි ද? සාධාරණය කළ හැකි කිසියම් දෙයක් වෙනුවෙන් නීතියක් කඩ කිරීමට නායකයෙකුට හැකි ද?

නීතියක් යනු දේව නියමයක් නොවේ. මිනිසුන් විසින් නිර්මාණය කර ගත් දෙයකි. නීති හදා ගෙන තිබෙන්නේ වඩා හොඳින් වැඩ කටයුතු කිරීමේ පහසුවට ය. එයින් අනියමින් කියවෙන්නේ ඒවා අවශ්‍ය වුවහොත් මග හැරියාට කමක් නැති බව ය. නීතියට වඩා ආචාර ධර්මයන්ට නිවැරදි දෙයට ප්‍රයෝගික දේ ට තැන දිය යුතු බව ය.

එහෙත් කුඩා ප්‍රශ්නයක් ඉතිරි වේ. නීතියක් කැඩුනහම එයට විරුද්ධව පියවර නොගත හොත් එය තවදුරටත් නීතියක් ලෙස පවත්වා ගැනීම අසීරු වෙයි. නීතිය හා අවනීතිය අතර වෙනස මැකී යයි. සමාජය තුළ අවිචාර සමයක් බිහිවෙන්නට එයින් මග පෑදේ. නීතියේ ආධිපත්‍යය ගැන බොහෝ දෙනෙකු පක්ෂපාත වන්නේ ඒ නිසා ය.

නීති හැමෝටම කඩන්නට ඉඩ දෙන්නට බැරි බව මේ නිසා පොදු පිළිගැනීම ය. එහෙම නම් නීති කැඩීමට බලය ඇත්තේ කාට ද? කාට නැතත් නීතියක් නායකයාට කැඩිය හැකි බව කියා මේ උභතෝකෝටිකයෙන් ගැලවෙන්නට සමහරු කැමති ය. ඊට සමානව නීතියක් කඩ කළ කෙනෙකුට සමාව දීමට ද නායකයාට හැකි ය.

තර්කයක් හැටියට ගැලවීමක් ලැබුන ද ප්‍රශ්නයට මුළුමනින් උත්තරයක් ඉන් නොලැබේ. නායකයා කවරෙක් ද? රටක ආයතනයක ඉන්නේ එක් නායකයෙක් නම් එතකොට පහසු ය. එහතේ නායකයන් බොහෝ දෙනෙක් ඉන්නා විට තත්වය නරක අතට හැරේ. ඉර ගහන්නේ කොතැන ද?

කුඩා උදාහරණයක් ගෙන බලමු. ඇමතිවරු පරිවාර රථ සමග ඉගිලයන්නේ කිසිදු මාර්ග නීතියක් සැළකිල්ලට නොගනිමිනි.

පොලීසිය පමණක් නොව මහජනයා ද දැන් කාලයක සිට මේ නීති කැඩීම ඉවසති. මේ අයිතිය ඇත්තේ ඇමතිවරුන්ට පමණ ද? මන්ත්‍රීවරුන්ටත් තිබේ ද? එතකොට පළාත් සභාවල උත්තමයින්ට! හරි ඒ ඔක්කොමටම දුන්නහම වැඩේ ඉවර ද? නැත.

මේ ළගදී මහේස්ත්‍රාත්වරයෙක් මාර්ග නීති උල්ලංඝනය කර පොලිස් නිලධාරියෙකුගේ උදහසට ලක් වුනේ ය. එ් අවනඩුව අවසන් වුනේ පොලිස් නිලධාරියා මාර්ගනීති කඩ කළ පුද්ගලයාට වැඳ සමාව ගැනීමෙනි.

පහුගිය දොහක භික්ෂූන් වහන්සේ නමක් ගිය රථයක් නැවැත්වූවේ යැයි කියා තිත්ත කුණුහරුප වලින් සංග්‍රහ ලබන්නට පොලිසියට සිද්ධ වුනේ ය.

ඒ කියන්නේ මේ ඉර ගහන්නට තැනක් හරියට නැති බව ය.

සාමාන්‍ය මාර්ගවල ඉගිලෙන්නට අවසර තිබුනාට එහෙම අවසරයක් අධිවේගී මාර්ගයේ දෙන්නට ඕනෑ නැතැයි සිතූ එක් පොලිස් කාරයෙක් තමන්ගේ ගෙයත් වාහනයත් විනාශ කර ගෙන රැකියාවත් නැති කර ගත්තේ ය.

ඒ කියන්නේ ඕනෑම තැනක මේ නීතිය ක්‍රියාත්මක කරන්නට යෑමේ විපාක තිබෙන බව ය.

ප්‍රශ්නය ඇත්තේ නීතිය කඩන්න පුලුවන් කාට ද? කොහේදි ද? කොච්චර ප්‍රමාණයකින් ද යන්න අපැහැදිලි වීම ය. ඒ නිසා සිදු වන්නේ තීතිය රකින අය අමාරුවේ වැටීම ය.

නීතියක් දේව නියමයක් නොවන බව ඇත්ත ය. ඒ නිසා නීතිය දෙස වෙනස් කළ නොහැකි දෙයක් ලෙස බැලීම ප්‍රායෝගික නැත. එහෙත් කළ යුත්තේ නීතියක් වෙනස් කිරීම මිස එය කැඩීම ද යන්න ප්‍රශ්නයට අප පිළිතුරු සෙවිය යුතු ය.

එය යම් ලෙසකින් කඩන්නේ නම් එය කළ යුත්තේ එසේ කැඩීමට තරම් බරපතළ සුවිශේෂී වාතාවරණයක් ඇතිව තිබුනෝතින් අති විශේෂ තත්වයන් යටතේ ය.

අපේ වේග සීමාව 50 ක් නම් තෝරාගත් නායකයින්ට සාමාන්‍ය පාරක 10% ක් හෝ 20% ක් වැනි නිශ්චිත අගයක් වැඩියෙන් යාමට අවසර දුන්නාට ලොකු වරදක් වෙන එකක් නැත. එසේ වුව කළ හැක්කේ එසේ කරන්නට බලය දෙන අයට සයිරන් නලාවක් හඩවා අනතුරු අගවන ලෙස අතුරු නීතියක් ද දාන්නේ නම් පමණ ය. එයින් නීතියෙන් අපේක්ෂා කරන මාර්ගයේ ජීවිත සුරක්ෂිතතාවය ලැබෙන බැවිනි. එතකොට කරන්නේ නීතිය කැඩීම නොව

නීතිය අපේක්ෂිත අරමුණ තවදුරටත් සාක්ෂාත් කරගත හැකි පරිදි වෙනස් කිරීම ය.

මා පාරේ නීතිය දැක්වූවේ අප කාටත් තේරෙන උදාහරණයක් නිසා ය. ආයතනවල නීති සම්බන්ධයෙන් ද මේ දේ අදාළ ය. නායකයෙකුට පවා නීතිය කඩන්නට ඉඩක් නොදිය යුතු ය. නීතියක් බැරිවෙලාවත් කඩන්නේ නම් ඒ සඳහා නිසි හේතු දැක්වීමක් කළ යුතුව ඇත්තේ ය. ඔවුන් සම්බන්ධ නීති වෙනස් වූවාට කමක් නැත. ඒ නීතියෙන් අපේක්ෂිත අරමුණු තවදුරටත් රැකෙන පරිදි ය.