පලා යාම නිවට කමකි. එතකොට කලු ගලක ඔලුව හප්පා ගැනීම?


නායකයෙකුට තම වෘත්තීය ජීවිතයේ මුහුණ දිය යුතු එක් දුෂ්කරතාවයක් වන්නේ පහසුවෙන් ජය ගත නොහැකි අභියෝග හමුවේ කළ යුත්තේ කුමක් ද යන ප්‍රශ්නයට උත්තර සෙවීම ය.

ජය ගත නොහැකි අභියෝගයක් නැතැයි කීව ද සමහර අභියෝග ජය ගැනීමට දරණ පරිශ්‍රමය එයින් ලබන ප්‍රතිඵලය දෙස බලන විට තේරුමක් නැතැයි හැගේ. කන්දක් විලිලා කෙන්දක් වැදීමේ තේරුමක් නැත.

ඒ නිසා පහසුවෙන් ජය ගත නොහැකි අභියෝගයක් යන්නෙන් අදහස් කළේ ප්‍රතිඵලවලට වඩා ලොකු පරිශ්‍රමයක් අවශ්‍ය අභියෝගයන් ගැන ය.

එවැනි අභියෝගයන් හමුවේ ඒවා මග හැර යෑමට නායකයෙකුට අයිතියක් නැත් ද?

ඔහුට ඇති විකල්පය කලුගලක ඔලුව ගසා ගැනීම නම් මග හැර යෑම හෝ සමහර විට පලා යාම ඊට වඩා උචිත ය. තවත් දිනක සටන් කිරීමට ඔහු ජීවිතය ඉතිරි කර ගත යුතු බැවිනි.

නායකයෙකු යනු අභියෝග ඉදිරියේ නොසෙල්වෙන කෙනෙකු යැයි යන සම්ප්‍රදායික මතය නිකම් පුරාජේරු කීමට හොද ය. එහෙත් නායකයෙකුගේ සැබෑ වත එයින් හෙලි නොවේ.

සටන් කිරීම තරමට පසුබැසීමට ද නායකයෙකු උගත යුත්තේ ය.

එක සටන් බිමක සටන දුෂ්කර වූ කල සටන් බිම මාරු කිරීමට ඔහු උපාය ශීලි විය යුතු ය.

එක් ආයතනයක තවදුරටත් ඉදිරියට යා නොහැකි යයි හැගේ නම් ඒ මත්තේ නැහීමේ තේරුමක් නැත. ඔහුට ඉන් ඉවත්වන්නට ධෛර්යය තිබිය යුතු ය. එහෙත් එසේ කළ යුතු වන්නේ ඒ සදහා ඇති සියලු ප්‍රවේශ මාර්ග පරීක්ෂා කිරීමෙන් පසු පමණකි.

නව ස්ථානය කලින් ස්ථානයට වඩා විවෘත ඉඩ හසර ඇති එකක් විය යුතු ය. එවැනි එකක් තිබියදී පැරණි තැන එක තැන කරකැවීම තේරුමක් නැති වැඩකි.

ස්ථාන මාරුව අමාරු එකකි. නායකයෙකු තමන් නායකත්වය දුන් තැනකට ඇති ඇලීම එසේ මාරුව අමාරු වීමට එක් හේතුවකි. නව ස්ථානය පිළිබද ඇති අවිනිෂ්චිතතාවය දෙවැනි හේතුව ය. තම සගයින් අනුගාමිකයින් අතරමං කළේය යන පසුතැවිල්ල අනික ය. අභියෝග හමුවේ පරාජයට පත් වූවා ය යන්න ද මනසට ඇති කරන ධනාත්මක ඉතිරියක් නොවීම ඉතිරි හේතුව ය.

එසේ බැලූ විට මාරුවද අභියෝගයකි. එක් අභියෝගයක් වෙනුවට අනිත් අභියෝගය තෝරාගැනීම කි. එය අභියෝග හමුවේ පලා යෑමක් නොවන්නේ ඒ නිසා ය. ඔලුව ගලේ හප්පා ගැනීම වෙනුවට වෙනත් වඩා ඵලදායී අභියෝගයක් තෝරා ගැනීම ගැන නායකයෙකුට දොස් කිව නොහැකි ය.

නායකත්වය යනු ….නිර්වචනයක්….


නායකත්වය සමහර දෙනෙකුට පැළදිය හැකි ආභරණයකි. තවත් අයට බලය ප්‍රදර්ශනයක කළ හැකි වේදිකාවකි. තවත් අයට වරප්‍රසාද ලබා ගත හැකි පහසු මගකි. තවත් සමහරුන්ට පරම්පරා ගණනාවකට හරි හම්බ කර දිය හැකි ධන නිධානයකි.

ඉහත අදහස් දරණ කවරෙකුගෙන් වුනත් නායකත්වය නැමැති පදවියට විය හැක්කේ අලාභයක් ම ය.

නායකත්වය යනු වැඩ කරන්නන්ට වැඩ කළ හැකි පරිසරයක් නිර්මාණය කළ හැකි අවස්ථාවක් ලෙස දැකීමට මා නම් වඩාත් කැමති ය. එයින් අනියමින් කියවෙන්නේ වැඩ නොකරන්නන් වැඩ කරන්නන් බවට පත් කිරීම ද එහිම අංගයක් වන බව ය. ඒ මිනිසුන් වැඩි දෙනෙක් වැඩ නොකර ඉන්නේ වැඩ කිරීම නිරස පරිසරයක ජීවත්වීම හේතු කොට ගෙන වීම නිසා ය.

මිනිසුන් කුඩා කළ සිට ගෙනෙන ආකල්ප දක්ෂ නායකයෙකුට පවා වෙනස් කළ නොහැකි අවස්ථා තිබෙන්නට පුලුවන. මිනිසුන් උත්පත්තියෙන් ගේනා අවාසනාවන්ත ජාන විශේෂයන් නිසා ද ඔවුන් උකටලී වන අවස්ථා ඇත. ඒවා වෙනස් කිරීමේ හැකියාව ද නායකයින්ගෙන් අපේක්ෂා නොකෙරේ. ඒ සදහා කළ හැකි එක ම දෙය වෛද්‍යවරයෙකුට යොමු කිරීම පමණ ය.

අවසානයට කී කවර හේතුවක් නිසා හෝ වැඩට පොළඹවා ගත නොහැකි මිනිසුන් සම්බන්ධයෙන් මැදිහත්වීම ද නායකයෙකුගෙන් අපේක්ෂිත කාරණයකි. එවන් අය සෙසු වැඩ කරන අයට කරදරයක් වන බැවිනි. ඔවුන් වෙනස් කිරීමට බැරිනම් ඉවත්වන තැනට කටයුතු සැළසීම මේ නිසා නායකත්වයෙන් අපේක්ෂා කෙරේ.

වැඩ කිරීමට මිනිසුන් මෙහෙයවීම වෙනුවට මිනිසුන්ට වැඩ කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම ගැන නායකත්වය සම්බන්ධයෙන් කරන මේ කතිකාවේදී අවධාරණය කෙරේ.

ඕනෑම වැඩක් කර හරියන්නේ ද නැත. ඒ වැඩ මෙහෙවර හා බැදුණු වැඩ විය යුතු ය. ආයතනයේ දැක්ම සාක්ෂාත් කළ හැකි වැඩ විය යුතු ය.

(බණ කීම මෙන්ම ඇසීම ද හොද ය. එහෙත් ඒවා ආයතනයේ මෙහෙවර හා දැක්ම ශක්තිමත් නොකරන තාක් කල් නායකයා ඉඩ දිය යුතු විෂය ක්ෂෙත්‍රයක් ලෙස ගැනෙන්නේ නැත. සමහර අවස්ථාවක බණ ආයතනයේ මෙහෙවරට එරෙහිව යන්නට ද පුලුවන. ධීවර අමාත්‍යංශය ගැන මතක් කර ගැනීම මේ සම්බන්ධයෙන් තේරුම් ගැනීමට සෑහේ.)

ඒ නිසා දැන් අපට වඩා හොද නිර්වචනයක් නායකත්වය සදහා සොයා ගත හැකි ය.

ආයතනයක් සම්බන්ධයෙන් නායකත්වය යනු එම ආයතනයේ මෙහෙවර ඉටු කිරීම සදහා ද දැක්ම සාක්ෂාත් කරගනු සදහා ද ආයතනයේ කාර්ය මණ්ඩලයට කටයුතු කළ හැකි ආකාරයට ආයතනය සංවිධානය කර අවශ්‍ය පරිසරය ගොඩ නැගීම ය. මෙහෙවර ඉටු කිරීමට හැකි නිසා ආයතනයේ පැවැත්ම ද දැක්ම සාක්ෂාත් කිරීමට කටයුතු කිරීම නිසා ආයතනයේ වර්ධනය හා දියුණුව ද තහවුරු වේ.

එහෙව් නායකයන් ලබන ආයතන වාසනාවන්ත ය.