අතීත අවතාරවලින් මෙහෙයවන කළමනාකරුවන්


මියගිය පැරණි අතීතය අදට වඩා හොද යැයි සිතන කළමනාකරුවෝ ඒ අතීත ශ්‍රී විභූතිය නැවත සිය ආයතන තුළට ගෙන ඒම මගින් වඩා සාධනීය ප්‍රතිඵල අයත් කර ගත හැකි යයි සිතති. ඒ සදහා ඒ පැරණි ක්‍රියාමාර්ගම – ඉවත් කළ පැරණි පිළිවෙත්ම- නැවතත් පණ ගන්වනු සමහර ආයතනවල දී දැකිය හැකි ය.

උදාහරණයක් ලෙස මුද්දර හරහා රජයට ආදායම් එකතු කළ කාලයක් තිබිණි. එයින් ඇතිවන අකාර්යක්ෂමතාවය ද අපහසුව ද සළකා එය ඉවත්කරන්නට පසු කලෙක රජය තීරණය කළේ ය. එහෙත් ඒ අත්හැර දමන ලද පිළිවෙත නැවතත් ගෙනෙන ලද්දේ ය.

මේ යටතේ රු 5 ක මුද්දරයක් ඇලවූ ලියුමක් මට මහජන පුස්තකාලයෙන් ලැබිණි. එයින් කියා තිබුනේ මා විසින් බාර දෙන පොත්වලට ගෙවීම් කටයුතු එකලසක් කරනු පිණිස මහජන පුස්තකාලයට පැමිණ රු 5 ක මුද්දරයක් උඩ අත්සන තබා යා යුතු බව ය. ඒ ලියුම සදහා රු 5 මුද්දරයට අමතරව ලියුම් කවරයක් ඒ 4 කඩදාසියක් යොදා ගෙන තිබුන අතර ලියුම ටයිප් කර අදාළ ලේඛනවල සටහන් කිරීමට අමතර වෙහෙසක් කාලයක් ගෙන තිබුනේ ය. ලියුම් බෙදන කාර්යාලවලට වැඩි වැඩක් ද එයින් ලැබෙන්නට ඇත.

මේ සදහා මට ද පිරිවැයක් ඇත්තේ ය. මගේ රාජකාරියේ හැටියට මට මේ සදහා බස් රථයක යා නොහැකි ය. එහෙත් මට මුදලක් ලැබෙන නිසා මෝටර් රථයට මා වැය කළ පෙට්‍රල් ප්‍රමාණය සාධාරණ යයි මොහොතකට සිතුවත් ඒ සදහා රටට වියදම් කරන්නට වෙන විදේශ විනිමය හා පරිසරයට වෙන හානිය ගණන් බැලිය යුතු ය.

හැම ආයතනයක්ම සිතන්නේ අපට කළ යුතුව ඇත්තේ ඒ ආයතනයට සම්බන්ධ වැඩ පමණක්ය කියා ය. ඒ නිසා දරුවාගේ පාසලේ සිට සබදකම් පවත්වන හැම ආයතනයක්ම අපගෙන් බොහෝ රාජකාරි බලාපොරොත්තු වේ. මේ සියල්ලට නිවාඩු දමන්නට ගියොත් නිවාඩු ඉම්පෝට් කරන්නට සිදුවේ. ඒ නිසා දැන් මේ වැඩේට යායුත්තේ කාර්යාලයේ වෙලාවෙන් කොටසක් හොරා ගෙන ය. එවිට සිදුවන්නේ මා මුණ ගැසීමට එන බොහෝ දෙනෙකු රස්තියාදු වීම ය.

රු 5 ක් ආණ්ඩුවට ලබා ගැනීමට ගන්නා වෙහෙස මහන්සිය හා ඉන් ඇතිකරන නාස්තිය ගැන හිතන විට මේ පැරණි පිළිවෙත නැවත හදුන්වාදුන් අයගේ මොළය පරීක්ෂා කළ යුතු යැයි නොසිතේ ද? පසු කලෙක මේ මුද්දර වැඩ පිළිවෙලට නැවත සංශෝධනයක් ගෙනෙන ලද්දේ වුව ද එය මුලුමනින් ඉවත් කර නැත.

එක් කලෙක වලංගු වූ දෑ ඊළග වකවානුවේද ඒ ආකාරයටම වලංගු වේ යැයි සිතීම නිසා ආයතන අර්බුදයන්ට ගිය විට ඒ තේරුම් ගැනීමට සමහර විට පමා වූවා වැඩි වන්නට පුලුවන.

ඒ වනවිට මියගිය අවතාර ලෙස නැවත පනගන්වනු ලැබූ පිළිවෙත් හා ක්‍රියාමාර්ග ජීවත්වන මිනිසුන්ට වින කැට හමාර ය.

අතීතය යනු වෙනත් සන්දර්භයකි. වත්මන සන්දර්භය හමුවේ ඒ පැරණි පිළිවෙත්ම අනුගමනය කරන්නට යෑමෙන් අතීතයේ ලබාගත් ප්‍රතිඵලයම ලැබෙන්නේ අතිශය කලාතුරකිනි. එය පරිගණක හා අන්තර්ජාලවලින් සමන්විත ලෝකයට දිසාපාමොක් ඇදුරෙකු හදුන්වා දෙන්නට හදන උත්සහය සේ ය.

තීරණ ගැනීමේ ස්ථාන අරක් ගෙන සිටින කළමනාකරුවන් මේ බව වටහා ගන්නේ නම් රටේ පමණක් නොව ආයතනවල ද ඵලදායකත්වය බොහෝ සෙයින් වැඩි කළ හැක්කේ ය.

ප්‍රශ්නයකට උත්තර තමා දන්නා අතීතයෙන් සෙවීම පහසු ය. එහෙත් එයින් ලැබෙන උත්තරය උත්තරයක් නොවන්නට ඉඩ තිබේ. ඒ වෙනුවට අලුත් ප්‍රශ්න ගණනාවක් එයින් ඇති කරනු ඇත්තේ ය. කළමනාකරුවන්ට පරිකල්පන ශක්තියක් තිබිය යුතු යැයි කියන්නේ ඒ නිසා ය. බොහෝ විධිමත් අධ්‍යාපන ආයතන තමන් ගොඩනගන සිසුන්ගේ මනස තුළ එහෙව් එකක් හදන්නට කිසිදු උත්සහයක් ගන්නේ නැත. ඒ නිසාම පරිකල්පන ශක්තිය සහිත කළමනාකරුවන් විධිමත් අධ්‍යාපන සහතික ලාභීන් අතරින් සොයා ගැනීම අමාරු ය.

Advertisements