සැණකෙළිවලින් පිරි – සන්දර්ශනාත්මක – කළමනාකරණය


රටක් ආයතනයක් කළමනාකරණය කිරීමේ දී සෝබනය යොදා ගැනීමට සමහර කළමනාකරුවෝ කටයුතු කරති. ඔවුහු එකක් දෙකක් කර දහයක දොළහක හඩක් නගති. කරන එක දෙක අතිශයින් කුඩා වුව ද ගැටළුවක් නැත. එය ගාම්භීර ආකාරයෙන් සැමරීමට ප්‍රමාණය ඔවුන්ට බාධාවක් නොවේ. ඔවුන්ට විවෘත කරන්නට කක්කුස්සියක් වුව ද සෑහේ. කිරිබත් කා රබන් ගසා රටටම අඩ බෙර ගසා සෙනග රැස්කරවා එවැන්නක් විවෘත කිරීමට ඔවුන් කෑදර ය.

ආරාධනා පත්‍ර, තොරන්, සැරසිලි, හඩ නගන බෙර වැයුම්, නැටුම් යන එකී නොකී සියල්ලෙන්ම අඩු නැතිව ඔවුහු ඒවායේ නියැලෙති.

ඔවුන්ට අතිශය කලාත්මක වචන සැට් එකක් ද තිබේ. ඒවා නිපදවන්නට හැඩ වැඩ ගසා පෙල ගස්වන්නට වෘත්තීය සාහිත්‍ය කරුවන් ද සහභාගි කර ගැනේ.

මේ සැමරුම්වල ප්‍රශස්ති ගායනාවල නිමක් දැකිය නොහැකි ය. ප්‍රශස්තියෙන් නොසනසන කෙනෙක් නැත. සැමට සතුටු ය.

බොහෝ උත්සවවල කටින් කෙරෙන ප්‍රශස්ති ගායනයට ඌණ පූර්ණයක් වනු පිණිස අත් පත්‍රිකා සමරු කළඹ ද නිකුත් වන්නේ ය. වෛරණයෙන් ලස්සණ කඩදාසියේ මුද්‍රිත මේවා ඇතුළත එකිනෙකාට කරන ස්තුති කිරීම් වර්ණනා මිසක ගත යුතු වෙන හරයක් නැත.

අපට ඇත්තේ ආරාධනය ලැබුනහම ඉස්තරම් ඇදුම් ආයිත්තම්වලින් සැරසී සහභාගී වීමට ය. ගායනයෙන් වාදනයෙන් නර්තනයෙන් සංග්‍රහ ලැබ ඉනුත් නොනැවතී කැවුමෙන් රස අහරයෙන් සප්පායම් වන්නට අවස්ථාවක් ද එවිට ලැබෙන්නේ ය.

සහභාගීවන අයට පවා ඒ නිසා පැමිණිලි කරන්නට දෙයක් නැත.

විවෘත කරන්නට තරම් දෙයක් නිපදවා නැති විට කරන්නේ සංවත්සරයක අවසරයට මුවා වීම ය. නැතිනම් ජාතික හෝ ආගමික කටයුත්තකට ජැක් එකක් ගැසීම ය. බණක් දානයක් වුව ද අවශ්‍ය උත්සව ශ්‍රීය නැතිනම් ඊට අවශ්‍ය නිමිත්ත ගෙන එන්නේ ය.

මේ හැම එකකින්ම නායකයාට බැබලෙන්නට අවස්ථාව ලැබෙන්නේ ය. ඔහුව බබලවන්නට සෙසු අයට ඉඩ හසර පෑදෙන්නේ ය. ඒ අතර කටයුත්තට අතගහන හැම කෙනෙක්ම ඉබේම ඉහළ නැංවෙන්නේ ය.

එහෙම බැලුවහම සම්බන්ධ වන හැමට එක් හෝ තවත් විදිහකින් ලාබයක් සිදු වන්නේ ය.

පාඩුවක් වෙනවා නම් රටේ ජනතාවට ය. ඒ වැයවන්නේ ඔවුන්ගේ මුදල් නිසා ය. නැතිනම් සමාගමේ පාරිභෝගිකයන්ට ය. මේ සැණකෙළියේ බර පැන ද උසුලන්නට සිදුවන්නේ ඔවුන්ට නිසා ය.

මේ සන්දර්ශනාත්මක කළමනාකරණයට ඔවුන් වැදගත් නැත. කේක්වල අයිසින් තවරන්නට මිස කේක් හදන්නට ඔවුන් දන්නේ නැත. එහෙත් අයිසින් යොදා ලස්සණ කාඩ්බෝඩ් නිර්මාණයක් හැඩ වැඩ කරාම කන්න බැරිවාට බලන්න බැරිතරම් ලස්සණ ය. ඒ බව ඔවුහු දනිති. ඔවුන් රවටන්නේ අපේ ඇස් ය. ඒ ඉතින් අප රැවටෙන නිසා ය.

සැමරුම් උත්සව අවශ්‍ය ය. ඒ මූලික කටයුත්තට තවත් හැඩයක් එක් කිරීමට ය. එහෙමට කටයුත්තක් නැතිව නිකම්ම හැඩයක් හැදීමට නොවේ.

Advertisements

ආගම! – කළමනාකරුගේ අස්ථානය?


ආගම, එය කවරක් හෝ වේවා, අපේ ජීවිතවලට ඇති කර ඇති බලපෑම අතිමහත් ය. ඒ නිසාම ආයතනයක කළමනාකාරිත්වයට එයින් වෙන්ව ජීවත්වීමට හෝ එය නැතැයි සිතා වැඩ කිරීමට හැකියාවක් නැත. විශේෂයෙන් අලුතින් ආගමික පුබුදුවක් දකින්නට ලැබෙන අප වැනි රටක එය තවත් අමාරු ය.

ඒ නිසාම ආගම සම්බන්ධයෙන් කළමනාකරණයේ ස්ථාවරය කුමක් විය යුතු දැයි යන්න ගැන නිශ්චය අදහසක් කළමනාකරුවන් විසින් ඇති කර ගත යුතු ය. එවිට යම් ආගමික කටයුත්තක් සම්බන්ධයෙන් වන ඉල්ලීමක් ගැන කුමක් කළ යුතු දැයි දහ අතේ කල්පනා කරමින් ලතැවීමට සිදු නොවේ.

හැම ආගමකින්ම අපේක්ෂා කළේ යහපතක් බව ඇත්ත ය. එහෙත් ඒවා දේශනා කරන්නේ එකිනෙකට වෙනස් මාවත් ය. ඒ නිසා එකක් අල්ලා ගත් විට අනෙක්වා අත හරින්නට සිදු වේ. ආයතනයක් විසින් අල්ලා ගත යුත්තේ කුමන ආගම ද? කුමක් අල්ලා ගත්ත ද එවිට අනික්වා අත හැරෙන නිසාම ආයතනය අමාරුවේ වැටේ. හැම දෙනාටම මෙය වැටහෙන්නේ නැත.

ඒ නිසා ආයතන ප්‍රධානියා, විශේෂයෙන් ඔහු බහුතරයගේ ආගම වන බුද්ධාගම අදහන කෙනෙකු නම්, තමන්ගේ ආගම ආයතනය තුළ ඉදිරියට ගැනීමට කටයුතු කරන්නට පුළුවන. එහි වැරැද්දක් පවා ඔහු නොදකින්නට පුලුවන.

යම් ආයතනයක් බුද්ධාගමේ චර්යාවන්ට මෙසේ මුල් තැන දෙන විට බුද්ධාගමේ සංකේත පමණක් ප්‍රදර්ශනය කරන විට ඒ ආයතනයට එන වෙනත් ආගම් අදහන හෝ ආගම් නොඅදහන ගනුදෙනුකරුවන්ට එය තමන්ගේ ආයතනයක් ලෙස නොහැගේ. එහෙත් බෞද්ධයන්ට එයින් අමතර ඇතුළත් කමක් ඇති විය හැකි ය. රටේ වැඩි දෙනෙක් බෞද්ධයින් බැවින් අන් අයගේ හැගීම ගැන තැකීමක් නැතිවාට කමක් නැත යන්න බොහෝ කළමනාකරුවන්ගේ මතය වී තිබේ.

ප්‍රශ්නය වඩාත් ව්‍යාකූල වන්නේ වෙනත් ආගමිකයෙකු හෝ නිර්ආගමිකයෙකු ආයතනයේ ප්‍රධානියා වූ විට ය. ඔහුට හෝ ඇයට අකමැත්තෙන් පැරණි සම්ප්‍රදාය ගෙන යන්නට සිදු වේ.

ආගම සමහර මිනිසුන් භාවිතා කරන්නේ තමන්ගේ සමාජ බලය වර්ධනය කර ගැනීමට ය. ආයතන ඇතුළේ ද මෙය සිදු වේ. ආගම වඩාත් ඉස්මත්තට ගෙන එන්නට සමහර විට දගලන්නේම ආයතනයේ ඉන්නා අතිශය වංචාකාරයා වීමේ ඉඩකඩ බැහැර කළ නොහැකි ය.

ආගමික කටයුතුවලට ඉඩක් විවර කළ විට එයට සීමා පනවන්නට ද අපහසු වේ.

විශේෂයෙන් වෙනත් ආගමිකයෙකු ආයතන ප්‍රධානියා වූ විට ඔහු හෝ අැය පාලනය කිරීමේ උපක්‍රමයක් ලෙස ද බහුතරයට ආගම භාවිතා කළ හැකි ය.

සමහර ආගමික ඉගැන්වීම් ආයතනයේ කටයුතු සමග ගැටෙන අවස්ථා තිබිය හැකි ය. උදාහණයක් ලෙස ධීවර කර්මාන්තයේ නියැලෙන ආයතනයක මුඛ්‍ය කාර්යයම බුද්ධාගමේ ඉගැන්වීම් හා ගැටෙන බව අපි දනිමු.

මේ සියළු කාරණා නිසා ආගම හා ආයතන අතර දීගය ආයතනයට පමණක් නොව ආගමට ද යහපතක් සලසන්නේ නැත. ආගම ඇදහීම එක් එක් පුද්ගලයාගේ පෞද්ගලික කටයුත්තක් විනා ආයතනයේ කටයුත්තක් නොවන බවට ආයතනයේ අගැයීම් පද්ධතියට ඇතුළු කළ විට බොහෝ ප්‍රශ්න විසඳේ. උදෑසනින් ආරම්භ කර රාත්‍රියේ අවසන් කරන විටත් ආගම මෙනෙහි කිරීමට සැදී පැහැදී සිටින මාධ්‍ය සම්බාරයක් ඇති රටක ඒ ටික නැවත වතාවක් ආයතනයක් තුළ කිරීමෙන් අමතර අගයක් එකතු වන්නේ නැත. ඒ බව තෝරා බේරා ගතහොත් ආයතනයේ වැඩ කටයුතු අනවශ්‍ය ව්‍යාකූලත්වයක් සංකීර්ණත්වයක් නැතිව පහසුවෙන් කර ගෙන යා හැකි ය.

මෙලොවටත් එලොවටත් වැඩක් නැති -මෙලෝ රහක් නැති – කණ්ඩායම් බණ


අපි එකා වගේ ඉන්න ඕනෑ බෙදුනොත් ඉවරයි. එකට වැඩ කළොත් ජය ගන්න බැරි අභියෝගයක් නෑ. අපේ ආයතනයේ හැමෝම කණ්ඩායම් හැගීමෙන් වැඩ කරන්නට හිතට ගන්නට ඕන.

මෙහෙම බණ අසා ඔබටත් පුරුදු ද?

බණ අසන අය අවසානයේ සාදු කාර දෙනවා මිසක ඒවා පිළිපදින්නේ කළාතුරකින් බව දැන දැනත් බණ කියන රටක ආයතනයක කළමනාකරුවෙක් තම අනුගාමිකයන්ට මෙහෙම බණ කීම ගැන අපට ඔවුන්ට දොස් පැවරිය නොහැකි බව ඇත්ත ය.

එහෙත් ඔවුන් එයින් මිනිසුන් කණ්ඩායම් ලෙස වැඩ කරනු ඇතැයි අපේක්ෂා කරන්නේ නම් අපට ඔවුන් කෙරෙහි අනුකම්පා කිරීමට සිදු වේ.

කණ්ඩායම් ලෙස මිනිසුන් වැඩ කරන්නේ කණ්ඩායම් සංස්කෘතියක් ආයතනය තුළ තිබේ නම් ය. ඒ හරුපයෙන් කියන්නේ කුමක් ද?

ආයතනය තුළ සැමටම ආයතනයට දායක විය හැකි වටපිටාවක් තිබිය යුතු බව ය. සැමගේ දායකත්වය එකසේ අගැයිය යුතු බව ය. දායකත්වය වැඩට පමණක් නොව තීරණ ගැනීමේදී ද ලබා ගත යුතු බව ය. ඒ එසේ ලබා ගන්නා බව ලෝකයාට පෙන්වීමට නොව සැබෑ ලෙස ලබා ගත යුතු බව ය. දායක වන ප්‍රමාණයේ හැටියට මිසක වෙනත් නිර්ණායක මත ප්‍රතිලාභ නොලැබිය හැකි තත්වයක් ආයතනය තුළ තිබිය යුතු බව ය. තමන්ගේ වැඩ කොටස අවසන් කරන ප්‍රමාණයට පමණක් නොව කණ්ඩායමේ අභිවෘද්ධිය වෙනුවෙන් කරන වැඩ ද- අන් අයගේ වැඩ වලදී අත්වැල් සැපයීම ද- අගය කරන ඒවාට ද ප්‍රතිලාභ හිමිවන ක්‍රම වේදයන් ඒ තුළ සකසා තිබිය යුතු බව ය.

කණ්ඩායම තුළ වෙනස් මත දැරීමට ඒවා වෙනුවෙන් පෙනී සිටීමට ඉඩ තැබිය යුතු බව ය. ඒවා අතර සංවාදයන්ට මාවත් විවෘත කළ යුතු බව ය. ඒවා අතර තරගයක් ඇත්නම් වඩා දියුණු අදහසට ඉදිරියට ඒමට ඉඩ හසර ඇති කළ යුතු බව ය.

කණ්ඩායමේ පොදු අභිවෘද්ධියට බල නොපාන තාක් ඒ තුළ තමන්ගේම අනන්‍යතාවයක් දැරීමට ඇති අයිතියට ගරු කළ යුතු බව ය. එවැනි අනන්‍යතාවයන් ප්‍රදර්ශනයට ඉඩ හසර සැළසිය යුතු බව ය.

කණ්ඩායමක් ලෙස වැඩ කරන්නට කියන්නේ තමන්ගේ එකාට සෑහෙන්න සළකමින් නම්, තමන්ගේ එකාගේ වැරදි ෂේප් කරමින් නම්, තමන්ගේ අය හා අන් අය ලෙස කණ්ඩායම් සමාජිකයින්ට දෙවිදිහකට සළකමින් නම්, එතැන කණ්ඩායමක් ඇති වන්නේ නැත. එතැන ඇතිවන්නේ බෙදීමකි. එවන් ආයතනයක අපේ එකාලා වෙනමත් අන් අය වෙනමත් කණ්ඩායම් ගැහීම වලක්වන්නට සක්කරයාටවත් බැරි ය.

තනි තනිව කරන වැඩවලට පමණක් ප්‍රතිලාභ ලැබේ නම් එතැන ද කණ්ඩායම් හැගීමක් ඇති වීමේ ඉඩක් නැත. එතැන ඉඩ ඇත්තේ එකිනෙකා කපා ඉදිරියට යන තරගයකට පමණි.

එහෙම ආයතනවල නායකයින් දෙසන කණ්ඩායම් බණ මෙලෝ රහක් නැතිවනවා පමණක් නොව එවැනි ආයතනයන්හි සේවය කරන්නන්ගේ නොමද උපහාසයට ද ලක්වේ.

කණ්ඩායම් ගොඩ නැගීම ගැන බණ කීම පසෙක තබා ඒ වෙනුවෙන් ආයතනය තුළ ඇති කළ යුතු වෙනස් කම් සිදු කිරීමට කළමනාකරණය උනන්දු විය යුත්තේ එහෙයිනි.

එය ආයතනයකට ද රටකට ද එකසේ අදාළ ය. එවැනි වටපිටාවක් හදන ආයතන හා රටවල් දියුණුවෙන් දියුණුවට පත්වීම වළක්වන්නට කිසිවෙකුටත් බැරි ය.