ආගම! – කළමනාකරුගේ අස්ථානය?


ආගම, එය කවරක් හෝ වේවා, අපේ ජීවිතවලට ඇති කර ඇති බලපෑම අතිමහත් ය. ඒ නිසාම ආයතනයක කළමනාකාරිත්වයට එයින් වෙන්ව ජීවත්වීමට හෝ එය නැතැයි සිතා වැඩ කිරීමට හැකියාවක් නැත. විශේෂයෙන් අලුතින් ආගමික පුබුදුවක් දකින්නට ලැබෙන අප වැනි රටක එය තවත් අමාරු ය.

ඒ නිසාම ආගම සම්බන්ධයෙන් කළමනාකරණයේ ස්ථාවරය කුමක් විය යුතු දැයි යන්න ගැන නිශ්චය අදහසක් කළමනාකරුවන් විසින් ඇති කර ගත යුතු ය. එවිට යම් ආගමික කටයුත්තක් සම්බන්ධයෙන් වන ඉල්ලීමක් ගැන කුමක් කළ යුතු දැයි දහ අතේ කල්පනා කරමින් ලතැවීමට සිදු නොවේ.

හැම ආගමකින්ම අපේක්ෂා කළේ යහපතක් බව ඇත්ත ය. එහෙත් ඒවා දේශනා කරන්නේ එකිනෙකට වෙනස් මාවත් ය. ඒ නිසා එකක් අල්ලා ගත් විට අනෙක්වා අත හරින්නට සිදු වේ. ආයතනයක් විසින් අල්ලා ගත යුත්තේ කුමන ආගම ද? කුමක් අල්ලා ගත්ත ද එවිට අනික්වා අත හැරෙන නිසාම ආයතනය අමාරුවේ වැටේ. හැම දෙනාටම මෙය වැටහෙන්නේ නැත.

ඒ නිසා ආයතන ප්‍රධානියා, විශේෂයෙන් ඔහු බහුතරයගේ ආගම වන බුද්ධාගම අදහන කෙනෙකු නම්, තමන්ගේ ආගම ආයතනය තුළ ඉදිරියට ගැනීමට කටයුතු කරන්නට පුළුවන. එහි වැරැද්දක් පවා ඔහු නොදකින්නට පුලුවන.

යම් ආයතනයක් බුද්ධාගමේ චර්යාවන්ට මෙසේ මුල් තැන දෙන විට බුද්ධාගමේ සංකේත පමණක් ප්‍රදර්ශනය කරන විට ඒ ආයතනයට එන වෙනත් ආගම් අදහන හෝ ආගම් නොඅදහන ගනුදෙනුකරුවන්ට එය තමන්ගේ ආයතනයක් ලෙස නොහැගේ. එහෙත් බෞද්ධයන්ට එයින් අමතර ඇතුළත් කමක් ඇති විය හැකි ය. රටේ වැඩි දෙනෙක් බෞද්ධයින් බැවින් අන් අයගේ හැගීම ගැන තැකීමක් නැතිවාට කමක් නැත යන්න බොහෝ කළමනාකරුවන්ගේ මතය වී තිබේ.

ප්‍රශ්නය වඩාත් ව්‍යාකූල වන්නේ වෙනත් ආගමිකයෙකු හෝ නිර්ආගමිකයෙකු ආයතනයේ ප්‍රධානියා වූ විට ය. ඔහුට හෝ ඇයට අකමැත්තෙන් පැරණි සම්ප්‍රදාය ගෙන යන්නට සිදු වේ.

ආගම සමහර මිනිසුන් භාවිතා කරන්නේ තමන්ගේ සමාජ බලය වර්ධනය කර ගැනීමට ය. ආයතන ඇතුළේ ද මෙය සිදු වේ. ආගම වඩාත් ඉස්මත්තට ගෙන එන්නට සමහර විට දගලන්නේම ආයතනයේ ඉන්නා අතිශය වංචාකාරයා වීමේ ඉඩකඩ බැහැර කළ නොහැකි ය.

ආගමික කටයුතුවලට ඉඩක් විවර කළ විට එයට සීමා පනවන්නට ද අපහසු වේ.

විශේෂයෙන් වෙනත් ආගමිකයෙකු ආයතන ප්‍රධානියා වූ විට ඔහු හෝ අැය පාලනය කිරීමේ උපක්‍රමයක් ලෙස ද බහුතරයට ආගම භාවිතා කළ හැකි ය.

සමහර ආගමික ඉගැන්වීම් ආයතනයේ කටයුතු සමග ගැටෙන අවස්ථා තිබිය හැකි ය. උදාහණයක් ලෙස ධීවර කර්මාන්තයේ නියැලෙන ආයතනයක මුඛ්‍ය කාර්යයම බුද්ධාගමේ ඉගැන්වීම් හා ගැටෙන බව අපි දනිමු.

මේ සියළු කාරණා නිසා ආගම හා ආයතන අතර දීගය ආයතනයට පමණක් නොව ආගමට ද යහපතක් සලසන්නේ නැත. ආගම ඇදහීම එක් එක් පුද්ගලයාගේ පෞද්ගලික කටයුත්තක් විනා ආයතනයේ කටයුත්තක් නොවන බවට ආයතනයේ අගැයීම් පද්ධතියට ඇතුළු කළ විට බොහෝ ප්‍රශ්න විසඳේ. උදෑසනින් ආරම්භ කර රාත්‍රියේ අවසන් කරන විටත් ආගම මෙනෙහි කිරීමට සැදී පැහැදී සිටින මාධ්‍ය සම්බාරයක් ඇති රටක ඒ ටික නැවත වතාවක් ආයතනයක් තුළ කිරීමෙන් අමතර අගයක් එකතු වන්නේ නැත. ඒ බව තෝරා බේරා ගතහොත් ආයතනයේ වැඩ කටයුතු අනවශ්‍ය ව්‍යාකූලත්වයක් සංකීර්ණත්වයක් නැතිව පහසුවෙන් කර ගෙන යා හැකි ය.

Advertisements

විශ්වාසය හා සැකය


ආත්ම විශ්වාසය නැති කෙනෙකුට කළ හැකි දේ අල්ප ය. අන් අය ගැන විශ්වාස නොකරන කෙනෙකුට ද කළ හැකි දේ අල්ප ය. එවැනි අයට සිදුවන්නේ කුඩා වැඩ කරමින් තනිව ජීවත්වීමට ය. අප ගැනත් සෙසු අය ගැනත් විශ්වාස කිරීම ඒ අනුව අපට ඉදිරියට යාමට අත්‍යවශ්‍ය මූලිකම අවශ්‍යතාවයකි.

අප අතරින් කී දෙනෙකුට ආත්ම විශ්වාසය තිබේ ද? පහත වීඩියෝව නැරඹීමෙන් ඒ ගැන අදහසක් ඔබට ගත හැකි ය.

http://www.youtube.com/watch?v=zVaknBrb-fQ

ඉහත වීඩියෝවට සමාන පරීක්ෂණයක් ගණිතමය සමීකරණයක් ඇසුරෙන් ද කර ඇත්තේ ය. පර්යේෂකයා මේ සමීකරණ දී උත්තරය සොයන්නැයි පන්තියක සිසුන් හට කියා ඇත. ඊට පසු පන්තියේ තමන් ඇටවූ කීප දෙනෙකුගෙන් ඒ ගණිතමය සමීකරණයට කලින් කියන ලද වැරදි උත්තරයක් ලබා ගෙන ඒ ප්‍රශ්නය පන්තියේ වෙනත් කෙනෙකුගෙන් ඇසූ විට ඔහු මදක් පැකිල  එහෙත් දී තිබුනේ කලින් වැඩි දෙනා දුන් වැරදි උත්තරයම ය.

ඔහුට නිවැරදි උත්තරය කියා ඔහුට එය නොලැබුනේ දැයි ඇසූ විට ඔහු කීවේ ඔහුට ද ඒ උත්තරය ලැබී තිබුනු බවත් කීප දෙනෙක්ම එකම උත්තරයක් (එය වැරදි වුව ද) දුන් නිසා තමන්ට වැරදෙන්නට ඇතැයි සිතා ඒ උත්තරයම තමනුත් දුන් බව ය.

එයින් පෙනෙන්නේ අප අපේ තීරණයන් ගැන ඇත්ත වශයෙන්ම සැකයකින් පසුවන බව ය.

එසේ සැක කිරීම හරි ද වැරදි ද?

ජර්මනියේ හිට්ලර් ගෙන ගිය ව්‍යාපාරය ගැන මුලින් සැක කළ බොහෝ අය ද වෙනත් බොහෝ දෙනෙක් ඊට අනුගත වනු දැකීමෙන් පසු සැක කිරීම අත් හැර දැමූ හ. මුළු ලොවට විනාශයක් කැද වූයේ එසේ සැක කිරීමට ජර්මන් ජනතාවට නුපුළුවන් වූ බැවිනි.

සැක කිරීමට අවසර නැති තැනක මා නම් රැදෙන්නේ නැත.

සැකය පහළ වන්නේ සැක කළ යුතුම තැන්වල ය. එවැනි විටක කළ යුත්තේ නැවත පිළිවිස විශ්වාසය පිරික්සීම ය. එවිට එය එක්කෝ තහවුරු කර ගත හැකි ය. නැතිනම් ඉවත දැමිය හැකි ය. එසේ නොකොට අන්ධ විශ්වාසයෙන් මුල් තීන්දුවේ ඇලී සිටීමටවත් මුල් තීන්දුව කිසිදු පිරික්සීමකින් තොරව වැඩි දෙනාගේ මතය අනුව යමින් එක පැහැරින් බැහැර කිරීමටවත් කටයුතු නොකළ යුතු ය.

හිතේ කෙළවරක සැකය රදවා ගෙන සිටිය යුතු වුව ද විශ්වාසය ද ඒ සමගම කෙනෙකුට තිබිය යුතු ය. මට පවතින දේ වෙනස් කළ හැකිය යන විශ්වාසය නොතිබුනේ නම් මා මේ බ්ලොග් අඩවියට අත ගසන්නේ නැත. පොත් ලියන්නේ නැත. බ්ලොග් අඩවිය ජනප්‍රිය නොවෙන්නටත් පොත් නොවිකිනෙන්නටත් ඉඩ ඇති බැවිනි. එහෙත් මට මා ගැනත් මේ රටේ ඉගෙන ගන්නට කැමති මිනිසුන් සිටින්නේය යන්න ගැනත් විශ්වාසයක් තිබුනේ ය. මා මේ ගමන මෙතෙක් ආවේ ඒ විශ්වාසයට පින්සිදු වන්නට ය. මා ගැනත් මේ රටේ මිනිසුන් ගැනත් මේ සම්බන්ධයෙන් මට සැකයක් නොතිබුනේ යැයි අදහස් නොවේ. මගේ තීරණය කීප වතාවක් මට නැවත නැවතත් විවරණය කිරීමට සිදු වූ වාර තිබුනේ ය.

විශ්වාසය හා සැකය එක ලෙස තුරුල් කර ගත යුතු ය. ඒ දෙක කාසියක දෙපැත්ත ලෙස ගත යුතු ය. ඒ දෙක නිසි පරිදි කළමනාකරණය කර ගත හැකි කළමනාකරුවන් දිනුම් ය. අද නැතත් හෙට ඔවුන් දිනුම් ය.

අනෙත් අය අද නැතත් හෙට පරදිනු ඇත්තේ ය.

දුක හා සතුට


මිනිසුන් දුකට අකමැති ය. සතුටට කැමති ය.

කළමනාකරුවන්ගේ යුතුකම වන්නේ තමන් යටතේ වැඩ කරන මිනිසුන්ගේ දුක නැති කිරීමත් සතුට ඇති කිරීමත් ය. සමහරු මේ දෙක පටලවා ගනිති. දුක නැති කළ විට සතුට ඉබේ ඇති වෙතැයි ඔවුහු කල්පනා කරති.

කළමනාකරුවන් ලෙස අප තේරුම් ගත යුතු කාරණයක් නම් දුක නැති කළ පමණින් සතුට ඇති නොවන බව ය.

දුක නැති කල මිනිසුන් ආයතනය දමා යන්නට ඉක්මන් නොවෙති. දුක ඇති නම් ඒ සදහා විශාල පෙළඹවීමක් ඇති විය හැකි ය.

එහෙත් දුකක් නැති නිසා එසේ ආයතන තුළ රැදෙන අය වැඩ කරතැයි අපේක්ෂා නොකළ යුතු ය. ඔවුන් වැඩ කරනු ඇත්තේ සතුට ඇති කරන වටපිටාවක දී ය. ඒ සදහා දුක නැති කිරීම ප්‍රමාණවත් නැත. සතුට ද ඇති කළ යුතු ය.

දුක ඇති වන්නේ ප්‍රමාණවත් වැටුපක් නොලැබුණු කල ය. රැකියාවේ සුරක්ෂිතතාවය ගැටළුවක් වූ කල ය. වැඩකරන වටපිටාවේ පහසුකම් අඩු වූ කල ය. නිසි ආලෝකය වාතාශ්‍රය නොලැබුනු කල ය. නිසි ආයුධ මෙවලම් නැති කල ය. වැඩ කිරීමට අවශ්‍ය සම්පත් නැති කල ය. නායකයා යකෙක් වූ කල ය.

සතුට ඇති වන්නේ ප්‍රමාණවත් අභියෝගයක් රැකියාවේ තිබුනොත් ය. අලුත් අත්හදාබැලීම් කිරීමේ ඉඩ තිබුනොත් ය. ඒ සදහා වැරදීම්වලට පවා අවකාශ තිබුනොත් ය. කරන වැඩ අගැයීමට ලක් කළොත් ය. වෘත්තීය දියුණුවට කුසලතා සංවර්ධනයට ඉඩක් තිබුනොත් ය. ස්වයං සාක්ෂාත් කරගැනීමට අවකාශ සැලසුනොත් ය. නිර්මාණාත්මක හැකියාවන්ට පුබුදුවන්නට ඉඩ හසර තිබුනොත් ය.

එවිට මිනිසුන් වැඩ කරනු ඇත්තේ ය. ක්‍රීඩාවක් කරන උදයෝගයෙන්ම වැඩ ද කරනු ඇත්තේ ය.

වැඩෙන් බාහිරව නොව වැඩ කිරීම තුළම සතුට සොයනු ඇත්තේ ය.

දුක නැති වී සතුට ඇතිවීම සමගම ආයතනයේ දියුණුව ද ඇතිවනු ඇත්තේ ය.