ආයතනවල ඉන්නා අමාරුකාරයෝ නොහොත් ට්‍රබල්මේකර්ස්ලා


නායකයන්ට හිසරදයක් ද සෙසු අයට අවිනිශ්චිතතාවයක් ද තමාට ආතතියක් ද ගෙනෙන කරදරකාරයින් නැතිනම් අමාරුකාරයින් ඕනෑම ආයතනයකට උරුම ය. ඒ අතරින් හැමෝම නැතත් බොහෝ අය ආයතනයට හිරිහැරයක් ලෙස මතුපිටින් පෙනුන ද තරමක් විමසිල්ලෙන් ඔවුන් දෙස බැලූ විට පෙනෙන්නේ ඔවුන් වෙස්වලාගත් ආශිර්වාදයන් බව ය. එහෙත් මතුපිටින් බලන බොහෝ නායකයින් ඒ බව දන්නේ නැත.

ආයතනයේ කාලයක් පවතින පුරුදු විමසුමට ලක් වන්නේ ඔවුන්ගේ මැදිහත්වීම නිසා ය. සමහර ක්‍රමවේද නැවත සකස් වන්නේ ඔවුන්ගේ වැඩ කටයුතු නිසා ය. ආයතනය සමහරවිට නිදා නොගෙන අවදිව සිටින්නේ ඔවුන් නිසා ය.

ඔවුන් ඉවසන්නේ නැත. කටපියා ඉන්නේ නැත. අහක බලාගෙන ඉන්නේ ද නැත.

ඒ පමණක් ද? ඔවුන් බිය ද නැත. රැකියාව නැති වෙතැයි ද මිනිසුන් අමනාප වෙතැයි ද බියක් ඔවුන්ට නැත. ඒ නිසාම ඔවුන් විවෘත ය.

මෙවැනි අමාරුකාරයින් බිහිවීමට විවිධ හේතු තිබිය හැකි ය. සමහර ඒවා ආයතනයේම වැරදි ය. කොතෙක් ඉවසා සිටින්නට හැදුවත් නිරන්තරයෙන් කොනිත්තූ නිසා බිහි වූ කැරලිකාරකම එහි ප්‍රතිඵලය විය හැකි ය.

සමහර ඒවා ඒ පුද්ගලයාගේ දුර්වලකම් ය. හැම විටම ඉදිරියෙන් සිටීමට ඇති නොසිදෙන ආසාව එවැනි එක් දුර්වලකමක් විය හැකි ය.

හේතුව කුමක් වුව ද ඔහු හෝ ඇය අනෙත් අයට වඩා ඉක්මණින් සෙලවෙන ඉක්මණින් කලකිරෙන ඉක්මණින් කිපෙන ඉක්මණින් ප්‍රතිචාර දක්වන්නන් වීම නිසා ම අප කලින් කී පරිදි ආයතනයේ බොහෝ දේ ගැන නැවත හිතන්නට සෙසු අයට සිදුවේ. ඔවුන් පෙළඹ වේ.

ඔවුන් හිසරදයක් ලෙස සළකන්නේ නම් ඔවුන් සැබෑ හිසරදයක් විය හැකි බව සැබෑ ය. ඔවුන් ලෙඩ ගැන අනතුරු අගවන රෝග ලක්ෂණයක් ලෙස ගන්නේ නම් එයින් ආයතනයේ සෞඛ්‍ය ඉක්මණින් යහපත් කර ගත හැකි ය.

නායකත්වයක දක්ෂතාවය මේ අමාරුකාරයින්ගෙන් උපරිම ප්‍රයෝජන ලැබීම ය. එහෙත් බොහෝ නායකයින් කරන්නේ ඉක්මණින් ඔවුන්ගෙන් ගැලවීමට උපා සෙවීම ය. ඔවුන් ආයතනයෙන් ඉවත් කරන්නේ කෙසේ ද ඔවුන් සෙසු අය ගණනටම මෙල්ල කර ගන්නේ කෙසේ ද යන්න බැලීම ය.

වෙස්වලාගත් ආශිර්වාදයක් විය හැකිව තිබූ දෙයක් මෙසේ අවසානයේ කරදරයක්ව අයින් කරනු ලැබීම හෝ නිශ්ක්‍රීය කරනු ලැබීම ආයතනයට විශාල පාඩුවකි. නායකයින්ට පෙනෙන මායිමෙන් එහා බැලීමට හැකි විය යුතු යැයි අප කලින් සටහනක කී කාරණය මෙයින් වඩාත් තහවුරු වේ.

ධනාත්මක චින්තනය – ඒකට පුලුවන් ද පනුවෙක් සමනලයෙක් කරන්න?


ඔව් මට පුලුවන්. මම බාධක සියල්ල මැඩ ජයගන්නව. පරණ විදිහට නැතිව අලුත් ක්‍රම හොයනව. අලුතින් හිතනව. ලෝකය අයිති තමන් ගැන විශ්වාසයක් තියෙන පරදින්නට බය නැති මිනිසුන්ට. පරදින්න බය නැත්නම් විතරයි දිනන්න පුලුවන් වෙන්නෙ.

ධනාත්මක චින්තනය ගෙනෙන පණිවුඩය තමයි ඒ.

ඉතින් සමහරු එහෙම හිතනව. ඒ කියපු විදිහටම හිතනව. ඒත් මුකුත් වෙන්නෙ නෑ.

හරි පුදුමයි. මේ ඇරෙන්න කරන්න වෙන දෙයක් තියෙන බව දේශකයා කිව්වෙ නැහැ. ඒත් ප්‍රතිඵලය මොකද්ද? කළකිරීම!

කොහේ හරි වැරදිල තියෙනව. ඉතින් එහෙම වෙන්නෙ ඇයි?

හේතුව හිතල විතරක් ප්‍රමාණවත් නොවීම. බාධක ජය ගන්න නිකම් බෑ. ඒකට කුසලතා ඕන. ඉගෙන ගන්න ඕන. මහන්සි වෙන්න ඕන. හිතවතුන් ඇති කරගන්නට ඕන. තමන්ගෙ ඉලක්ක දර්ශනය බෙදා හදාගන්න අය ඕන. තමන්ට යම් යම් දේ කරන්න පුලුවන් කියල ලෝකයට පෙන්නන්නට ඕන. වෙලාව එන්නට ඕන.

මේ ව්‍යායාමයේ ප්‍රතිඵලය හෙට ලැබෙන්නෙ නෑ. ඒකට කල් යනව. කට්ට කන්න වෙනව. නිදිමරන්න වෙනව. පරිත්‍යාග කරන්න වෙනව.

එහෙම කරගෙන යද්දි වරදිනව. බැණුම් අහනව. පාඩු වෙනව. යාලුවො නැතිවෙනව. අතරමං වෙනව. ඒව විදගන්න ඕන.

ඒ දුෂ්කරතා වලින් ඉගෙන ගන්න ඕන. ඒවා ජය ගන්න විදි හොයන්න ඕන. ඒවට අලුත් කුසලතා හදා ගන්න ඕන. අලුත් ක්‍රම හොයන්නට ඕන. කීප සැරයක් වැරදිල මිසක් අලුත් ක්‍රම හොයන්න බෑ.

සාර්ථකත්වයේ ගමන ඒවගේ දුෂ්කර එකක්.

ධනාත්මක චින්තනය දේශනයේදී මේ ටික කියවෙන්නෙ නෑ. හරියට ක්ෂණික නූඩ්ල්ස් හදනව වගේ මට පුලුවන් කියල හිතුවහම ඔක්කොම වෙනවයි කියන අදහස ඒ නිසා මිනිසුන්ගෙ හිත් තුළට යනව.

ඉතින් මට පුලුවන් කියල ජනේලෙන් පනින මිනිහ තුවාල වෙනව. අතපය කඩා ගන්නවා. ධනාත්මක චින්තනය ගැන දෙසපු එකාගේ මෑණියන් මතක් කරනව.

පැන්නහම තුවාල නොවෙන්න පනින්න බැරි කමක් නැහැ. ඒකට අතපය හයිය කරගන්නට ඕන. පැනීමේ කලාව දැනගන්නට ඕන. පනින්න පුලුවන් කියල විශ්වාසය ඇති කරගන්නත් ඕන. පනින්නත් ඕන. ඒත් අන්තිමට කරන දේ ඉස්සර වෙල කරන්න ධනාත්මක චින්තනය නිසා පුලුවන් කමක් ලැබෙන්නෙ නෑ.

ධනාත්මක චින්තනයට පුලුවන් අනිත් හැම කුසලතාවයක්ම තියෙන කෙනෙකුට අවසාන ඉම ජය ගන්න තල්ලුවක් දෙන්නට විතරයි. එහෙම නැතිව එතැනට වෙනකම් යන්න තියෙන ගමන අවලංගු කරන්න ඒකෙන් පුලුවන් කමක් ලැබෙන්නෙ නෑ.

ඕනම දෙයක් කෙනෙකුට කරන්නට පුලුවන් කියන මතය යම් ධනාත්මක චින්තකයෙක් ගේනව නම් පරිස්සම් වෙන්න.

අපි වෙනස්. එක්කෙනෙක් කරන වැඩේ තව එක්කෙනෙකුට කරන්න බෑ. අපිට කරන්න පුලුවන් වැඩත් අපි අපේ මනස්ගාත පසුගාමී සිතුවිලි නිසා කල් දානව නම් ඒව අයින් කරන්න අපට උදව් කරන්නට විතරක් ඊට පුලුවන්.

ඒකට පුලුවන් දළඹුවෙක් සමනලයෙක් කරන්න. හැබැයි ඒකට බෑ පනුවෙක් සමනලයෙක් කරන්න.