බඳවා ගැනීම බඳින තරම් පරිස්සමින්….


බඳවා ගත යුත්තේ පළල් ලෝක දැක්මක් ඇති උදවිය ය. පටු පසුගාමී මිනිසුන් නොවේ. එයින් අදහස් කරන්නේ කිසියම් කදවුරකට බැඳී එහි මතවාදය දේව භාෂිතය සේ අදහන මිනිසුන්ගෙන් ආරක්ෂා විය යුතු බව ය. ඔවුන් වෙනස් කළ නොහේ. ඔවුන්ගේ මතවාදය යම්තමින් හෝ අර්බුදයකට පත් කරවන දෙයකට ඔවුහු කන් නොදෙති. ඒ නිසා ම කිසිවක් අලුතින් ඉගෙනීම ඔවුහු ප්‍රතික්ෂේප කරති. බඳවා ගත යුත්තේ විවෘත මිනිසුන් ය. යමක් දෙස එකකට වැඩි කෝණයන්ගෙන් බැලිය හැකි මිනිසුන් ය. තමන්ගේම මතයක් ඇතත් එය අන්ධව නොඅදහන මිනිසුන් ය. එවැනි මිනිසුන් ඉගෙනීමට විවෘත ය. නව අදහස්වලට විවෘත ය. සෙසු අයගේ අදහස්වලට ද ඒවාට එකග නොවෙන විට පවා ගරු කරන්නෝ ය. එවන් අය සමග වැඩ පහසු ය. කණ්ඩායම් හැදීම පහසු ය.

බඳවා ගත යුත්තේ දක්ෂ මිනිසුන් ය. යමක් ඉක්මණින් තේරුම් ගත හැකි මිනිසුන් ය. යමක් දෙස විචාරයෙන් බැලිය හැකි මිනිසුන් ය. බුද්ධිමත් මිනිසුන් ය. එහෙත් බුද්ධිය මැණිම සම්බන්ධයෙන් අධ්‍යාපන සහතික යොදා ගත යුත්තේ පරිස්සමිනි. ගණිතය තර්ක ශාස්ත්‍රය යන විෂයයන් සම්බන්ධයෙන් දක්ෂතා ඇති කෙනෙකු මේ හැකියාව, විශේෂයෙන් න්‍යායික දක්ෂතාවය සම්බන්ධයෙන්, එක්තරා දුරකට පෙන්වයි. සෙසු විෂයන් පිළිබඳ ප්‍රතිඵල සම්බන්ධයෙන් නම් එය එසේම යැයි කිව නොහැකි ය. IQ පරීක්ෂණය මේ සදහා භාවිතා කෙරෙන ප්‍රචලිත ක්‍රමයකි. මීට අමතරව රචනා හා comprehension යන දෙඅංශයෙන් දක්වන දක්ෂතාවයන් ගැන ද අවධානය යොමු කෙරේ. මිනිසුන් කර ඇති වැඩ දෙස බැලීම න්‍යායික නොවන වෙනත්දක්ෂතා අඳුනාගත හැකි වඩා හොද ක්‍රමයකි.

බඳවා ගත යුත්තේ ගැලපෙන ආචාර ධර්ම පද්ධතියක් සහිත මිනිසුන් ය. ආයතනයේ වටිනාකම් හා හර පද්ධතිය සමග පෑහෙන මිනිසුන් ය.

බඳවා ගත යුත්තේ ස්වයංව අභිප්‍රේරණය වන මිනිසුන් ය. බාහිර අභිප්‍රේරණයක් නැතිවත් ඉගෙනීමට, නව දේ කිරීමට, අභියෝග බාර ගැනීමට, අවදානම් දැරීමට, සොයා බැලීමට, විවිධ අත්දැකීම් ලැබීමට කැමති මිනිසුන් ය.

බඳවා ගත යුත්තේ සුභවාදී මිනිසුන්ව ය. සතුටින් සිටින මිනිසුන් ය. සිනාසිය හැකි මිනිසුන් ය. සෙසු අය ද හිනැස්සිය හැකි මිනිසුන් ය. තමන්ටම හිනහවිය හැකි මිනිසුන් ය.

බඳවා ගත යුත්තේ ධෛර්යයවන්ත මිනිසුන් ය. පහසුවෙන් යමක් අත් නොහරින මිනිසුන් ය. නොහැකිලෙන මිනිසුන් ය. බාධක මැද්දේ ඉදිරියට යෑම සතුටක් කර ගත් මිනිසුන් ය.

(මොරටු සරසවියේ ඉංජිනේරු ශිල්පය හැදෑරූ මා දන්නා තරුණයෙකුට ඇමරිකාවේ කානර්ගීමෙලන් යන සුප්‍රසිද්ධ සරසවියෙන් ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වයක් පිරිනැමුවේ ඔහුට සිය අවසන් වසරේ ප්‍රතිඵල ලැබෙන්නත් කලින් ය. එයට එක් හේතුවක් වූයේ ඔහු විසින් වසර දෙකක් තිස්සේ ඔබ්සර්වර් පත්තරයේ ටෙක්නො පිටුව ලියා තිබීම ය. වසර දෙකක් තිස්සේ සතියකට එක බැගින් තාක්ෂණය ගැන පිටුවක් ලිවීම තුළ ඔහු තමන් ඉහත ගුණාංග සහිත බව පෙන්වා තිබුනේ ය. ඔහුට ප්‍රතිඵල ලැබුනු විට දැනගන්නට ලැබුනේ දෙවැනි පන්තියේ සාමාර්ථයක් පමණක් හිමිව තිබූ බව ය. එහෙත් එය හෝ ශිෂ්‍යත්වය දිනා ගැනීමට අවශ්‍යව නොතිබුනේ ය.)

අන් අයගේ උදව් නැතිව වුව ඉදිරියට යා හැකි එහෙත් අවශ්‍ය තැනක අන් අයගේ උදව් ලබා ගැනීමට පසුබට නොවන මිනිසුන් ය. එසේ උදව්ලබා ගෙන ඇති මිනිසුන් ය. එසේ උදව් ලබා ගත හැකි මිනිසුන් ය.

බඳවා ගත යුත්තේ වෙනත් මිනිසුන්ට සංවේදී මිනිසුන් ය. සමහරු සංවේදී මුදල්වලට ය. තව සමහරු භෞතික දේ වලට ය. තවත් සමහරුන්ගේ සංවේදී කම ලේ නෑයින්ගෙන් හිතුවතුන්ගෙන් මිතුරන්ගෙන් අවසන් වේ. එවැනි මිනිසුන් පාරිභෝගික සත්කාරයට යොමු කිරීම අපහසු ය. එවැනි මිනිසුන්ට කණ්ඩායමක වැඩ කිරීම අමාරු ය. එසේ වුවද පමණට වඩා සංවේදී මිනිසුන් ද ආයතනයකට දරා ගැනීමට අපහසුවන අවස්ථා තිබේ. විශේෂයෙන් සමහර තනතුරු සදහා මෙය වඩාත්ම බලපාන්නේ ය. ඕනෑවට වඩා මිනිසුන්ට සංවේදී කළමනාකරුවෙකු මිනිසුන්ට දඩුවම් දිය යුතු අවස්ථාවකදී පවා එසේ නොකර පැකිලිය හැකි ය.

මේ ගුණාංග යම් කෙනෙකු සිය වෘත්තීය ජීවිතයේ කිසියම් ආකාරයකින් යම් කාර්යයක් නිම කිරීම ඔස්සේ ප්‍රකට කර තිබේ නම් එවැන්නෙක් බඳවා ගැනීම ගැන බොහෝ දුරට සිතන්නට ඇවැසි නොවේ.

එහෙත් කිසියම් කෙනෙකු එවැන්නක් යම් වැඩකින් ප්‍රකට කර නැත්නම් එවැන්නෙකු ගැන බොහෝ සෙයින් විමසිලිමත් විය යුතුව තිබේ. ඔවුන්ට කිසියම් කාර්යයක් පවරා ඔවුන් එය කරන්නේ කෙසේදැයි විමසිලිමත් වීමෙන් එවැනි අය ගැන තීන්දු ගැනීම ඉතිරිව ඇති එක් විකල්පයකි. වෙනත් රටවල නම් assessment centers හරහා මෙවැනි විමසීම් සිදු කෙරේ (මා වැඩකරන දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානය එවැනි මධ්‍යස්ථානයක් ලෙස කටයුතු ආරම්භ කර ඇත). ලංකාවේ තවත් එවැනි ආයතන තිබේ නම් ඒවා ගැන තොරතුරු පල කිරීමට මේ බ්ලොග් අඩවිය විවෘත ය. බොරු කාරයන් පසුපසට කර සැබෑ වැඩ කාරයන් මතු කර ගැනීමට ආයතනවලට හැකි වන දාක රටම දියුණු වනු ඇත්තේ ය.

Advertisements

ගැලවිජ්ජාව – මෙහෙව් රටකට පායයි ද සූර්යයා!


ගැලවිජ්ජාව අපේ ආයතනයන්ට පොදු ව්‍යාධියකි. යමක් අයිතිවන්නේ තමන්ගේ වපසරියට නොවේ යැයි කියා අත පිසදා ගැනීමට ලැබෙන්නේ නම් එතැන තිබෙන්නේ සැනසුමයයි බොහෝ දෙනා සිතන්නට පුරුදුව තිබේ.

දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයට ජපානයේ දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයෙන් ආපදාවකදී  හෙද සේවා සැපයිය යුත්තේ කෙසේදැයි උගන්වන පාඨමාලාවක් පිරිනැමුනේ ය. දින දෙකකින් යුත් ඒ පාඨමාලාව ජපානයේ හෙදියන් විසින් හෙදියක් ලෙස කටයුතු කිරීමට ප‍්‍රථමයෙන් ලබා ගත යුතු අනිවාර්යය සුදුසුකමකි. අප වෙත පිරිනමනු ලැබ තිබුනේ එවැනි අත්හදා බලනු ලැබූ අතිශය වැදගත් පාඨමාලාවකි.

පාඨමාලාව පැවැත්වීම සඳහා රු 270 000 ක මුදලක් අවශ්‍ය වූයෙන් අපි අදාළ ආයතනවලට ඒ සඳහා සහය වන ලෙස දැන්වූයෙමු.

ආපදා සම්බන්ධව කටයුතු කරන ආයතනවල ප‍්‍රතිචාරය වූයේ එය ආපදා සම්බන්ධ එකක් වුව ද පුහුණු කරනු ලබන්නේ සෞඛ්‍ය ක්ෂෙත‍්‍රයට අයත් හෙදියන් නිසා මුදල් ලබා දිය යුත්තේ ඔවුන් බව ය.

සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ අදහස වූයේ සෞඛ්‍ය ක්ෂෙත‍්‍රයට ආයෝජනය කළ යුතු බොහෝ ව්‍යපෘති තිබෙන බැවින් ද ඒවා දැනටමත් අඳුනාගෙන ඒවා සඳහා මුදල් ප‍්‍රතිපාදන වෙන්කර ඇති බැවින් ද ආපදා සම්බන්ධයෙන් වෙනම ආයෝජනයක් රජය විසින් කරන බැවින් ද මේ මුදල් ලබා දීමේ වගකීම ඇත්තේ ආපදා සම්බන්ධ ආයතන ව්‍යුහයට බව ය. එසේ වුව ද පුහුණුව වැදගත් බව පිළිගත් ඔවුහු තමන්ගේ හෙද හෙදියන් ඊට සහභාගී කිරීමට කටයුතු කළහ.

දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයේ රජයේ ආයතනයක් වුව ද අපට භාණ්ඩාගාරයෙන් කිසිවක් ලැබෙන්නේ නැත. 2005 වසරේ සිට අපි අප උපයාගත් ආදායම්වලින් පමණක් අපේ කටයුතු කරගෙන ගියෙමු. ඒ නිසාම 270000 ක් යනු අපට විශාල මුදලකි. එහෙත් මේ පාඨමාලාවේ වැදගත්කම සළසා ඒ පාඩුව විඳගෙන අපි පාඨමාලාව සාර්ථකව අවසන් කළෙමු. ඒ තීරණය ගැනීමේ දී අප ආපදා හෝ සෞඛ්‍ය ක්ෂෙත‍්‍රයන්ට අයත් නොවන්නේය යන්න අපට බලපෑවේ නැත. අපට අවශ්‍ය වුයේ මේ වැදගත් පාඨමාලාව රටට ලබා ගැනීමට ය.

අපත් ගැලවිජ්ජාවම අනුගමනය කළේ නම් රටට වැඩදායක පාඨමාලාවක් රටට අහිමිවන්නට ඉඩ තිබුනේ ය. රට එකට කියන්නේ රට ඉදිරියෙන් එකේ අංකය ලියා ගත් බැනරයක් ආයතනය තුළ ප‍්‍රදර්ශයනය කිරීම නොවේ. රටට වාසියක් ගෙන දෙන යමක් කිරීමේදී පංගු පේරුව සොයන්නේ නැතිව රට ඉදිරියෙන් තබා කටයුතු කිරීමට ය.

මේ පාඨමාලාව අපේ එකක් යැයි ආයතන දෙකටම කියන්නට හැකිව තිබියදී එය වඩාත් අදාළ වන්නේ අනෙකාට යැයි කියා අත් පිසදා ගැනීම අපේ රටේ පවතින පොදු මානසිකත්වය මේ ආයතන දෙක තුළ ද පිළිබිඹු වීමකි. අපට මෙන් නොව මේ ආයතන දෙකටම රජයේ ආධාරවලට අමතරව විවිධ ව්‍යපෘති ආධාර ද ලැබෙන තත්වයක් යටතේ මෙය වඩාත් පුදුම උපදවන සුළු ය.

යමක් තමන්ගේ නොව අනුන්ගේ යැයි කියා ගැලවෙන්නට හැකි වන වටපිටාවක් අපට තිබේ. ඒ බොහෝ දේ එක් අයෙකුගේ විෂයපථයට ඔබ්බෙන් අනෙකාගේ විෂයපථය ද ආවරණය වන ලෙස පැතිර තිබීම නිසා ය. හරියටම අයත් වන්නේ කුමන විෂයපථයට ද යන්න වාද විවාද දෙස බැලීම මේ නිසා අතිශයින් රසවත් ය.

ශිෂ්‍යත්වයකට රට යන්නට යම් විෂයක් යටතේ අවස්ථාවක් ලැබුනහම අනුන්ගේ විෂයපථයන් වුව ද තමන්ගේ කරගන්නා අපේ රටේ තමන්ගෙන් (ඇත්තටම තමන්ගෙන් ද නොවේ. තම ආයතනයෙන් පවා) සතයක් හෝ වියදම් කරන්නට සිදුවන විට එයම අනුන්ගේ වන්නේ අතිශය පුදුම උපදවන සුළු ලෙස ය. විද්‍යාව උගත් අය පවා විද්‍යාව විභාග සමත් වීමට විනා වෙන කෙංගෙඩියකට භාවිතා නොකරන අපේ රටේ ගැලවිජ්ජාවෙන් කෙල පැමිණි අයගේ නම් අඩුවක් දකින්නට නැත.

මෙහෙව් රටකට පායයි ද සූර්යයා!