නොසැලී සිටීමේ ධීර ගුණය


අල්ලස් නොගන්නා කෙනෙකුට අල්ලස් ගත්තේ යැයි චෝදනා කිරීම ඔහු හෝ ඇය අස්ථාවර කළ හැකි සාර්ථක උපක්‍රමයකි. බොරු නොකියන කෙනෙකුට බොරු කාරයා යයි කීම ද වෙනත් ගැහැණියකගේ පහස නොපතන කෙනෙකුට ගැහැණු සොඩෙකැයි කීම ද එවැනිම උපක්‍රමයන් ය. නිලය අල්ලා ගහනවා යයි කියන්නේ මේ කාරණයට ම ය. වැඩි මනත් කරදරයක් නැතිව ප්‍රතිවාදියා මෙල්ල කිරීමේ හැකියාව නිලය අල්ලා ගැහූ විට ලැබේ.

එයින් අදහස් කරන්නේ ඔබ කවදාවත් නොකරන ක්‍රියාවක්ම කරනවා යැයි අභූත චෝදනාවක් ඔබ වෙත එල්ල කිරීමෙන් වෙන කිසිම චෝදනාවකටත් වඩා හොඳින් ඔබව අස්ථාවරව කළ හැකි බව ය.

එ නිසාම එවැනි දෙයක් ඔබ ඔබේ ප්‍රතිවාදියෙකුගෙන් එල්ල වෙතැයි අපේක්ෂාවෙන් සිටිය යුතු ය. ඔබව පාලනය කිරීම සඳහා ඔහු සතුව නැතැයි ඔබ සිතූ එහෙත් ඔහු සතුව තිබෙන ඒ අප්‍රමාණ ශක්තිය ඔබ වෙත එල්ල වීමට ඉඩ තිබේ.

ඔබ එවැන්නක් බලාපොරොත්තුව නොසිටිය හොත් ඔබට අත්වන්නේ දුර්භාග්‍යයකි. සිදු විය හැකි නරකම දෙය ඔබ අස්ථාවර වීම ය. කෝප වීම ය. මේ අභූත චෝදනාවෙන් ගැලවෙන්නට මං සෙවීම ය. ඔබ එසේ නොවන බව ඔප්පු කිරීමට කළ හැක්කේ කුමක් දැයි සෙවීම ය.

දැන් එළඹෙන්නේ ප්‍රතිවාදියාගේ මොහොත ය.ඒ ඔබ ඔප්පු කිරීමට ගන්නා ක්‍රියාමාර්ගය තුළ ප්‍රතිවාදියාට අවශ්‍ය දේ තිබෙන නිසා ය.

අහවල් තැනැත්තාට මාරුවක් නොදෙන්නේ ඔබ ඔහුගෙන් අල්ලසක් ලබා ගෙන ඇති නිසා යැයි ප්‍රතිවාදියා කියන විට ඔබට ඇති එක ගැලවීමක් නම් ඒ අහවල් තැනැත්තා මාරු කර එම චෝදනාවෙන් ගැලවීම ය. සමහරු චෝදනාව කෙතරම් නුරුස්සන්නේ දැයි කිව හොත් එයින් ගැලවීමට ප්‍රතිවාදියාගේ උගුලට ම පනින්නෝ ය.අහවල් තැනැත්තා මාරු කරන්නේ ය.

ඒ වෙනුවට ඔබ කළ යුත්තේ නොසැලී සිටීම ය. ඔබේ ක්‍රියාව විනිශ්චය කිරීම වෙන කෙනෙකුට පැවරීම ය. අපක්ෂපාත කෙනෙකුට පැවරීම ය. ඔබට ඉහළින් ඉන්නා කෙනෙකුට නැතිනම් මණ්ඩලයකට පැවරීම ය. මිනිසුන්ගේ විශ්වාසය දිනාගෙන සිටින වෙනත් කෙනෙකුට පැවරීම ය. ඔහුගේ /ඇයගේ හෝ මණ්ඩලයේ අදහස ලැබෙන තෙක් මුවින් නොබැන සිටීම ය. නොසැලී සිටීම ය.

බුදුන්ටත් ස්ත්‍රී දූෂණ චෝදනාවන් පැමිණි නිසා මෙවැනි චෝදනා අරුමයක් නොවේ. එක් අතකට චෝදනා පැමිණෙන්නේම ඔබ සැළකිය යුතු බලපෑමක් කර ඇති නිසා ය. පුංචි මිනිසුන් ගැන මිනිස්සු කරදර නොවෙති. ඔබ ගැන ඔවුන් කරදර වන්නේ ඔබ ලොකුවට වැඩී ඇති නිසා ය.

ලොකුවට වැඩෙන හැම කෙනෙක්ම නොසැලී සිටීමට ඉගෙන ගත යුත්තේ ය. එය නායකයෙකු සතු ධීර ගුණයකි.

ඒ සඳහා අවශ්‍ය එක් වැදගත් දෙයක් නම් දැනුම ය. ඔබ මෙල්ල කරන්නට ප්‍රතිවාදියෙකු විසින් කුමන උපක්‍රම භාවිතා කළ හැකි දැයි යන්න පිළිබඳ දැනුම එහි දී විශේෂ වන්නේ ය. ඔබ මැකියාවෙලිගේ ‘ද ප්‍රින්ස්‘ කියවිය යුතුව ඇත්තේ ඒ නිසා ය. හිට්ලර්ගේ, ස්ටාලින්ගේ හා මැරයන්ගේ චරිතාපදානයන් කිව යුතුව ඇත්තේ ඒ නිසා ය.

ඒ සඳහා අවශ්‍ය අනෙත් වැදගත් දෙය නම් අට ලෝ දහම (ලාභ-අලාභ, යස-අයස, නින්දා-ප්‍රසංසා, සැප-දුක) ඉදිරියේ කම්පා නොවී සිටීමට ඔබේ සිත පුරුදු පුහුණු කිරීම ය.

මේ කරුණු සම්පූර්ණ කිරීමට උනන්දු වීමට වෙහෙසීමට අකමැති අය නායකයන් නොවිය යුත්තේ ය.

ශිල්පයෙන් කවර ඵල? සහතිකයමය එළ! මතු වටින්නට නම් එකතු කළ යුතු…..


අප උගන්නා ජාතියක් නොවේ. සහතික එකතු කරන ජාතියකි. උගත මනා ශිල්පය වෙනුවට එකතු කළා වූ සහතිකම මතු වටිනා බව සිතන ජාතියකි.

අධ්‍යාපන සහතිකයක වටිනාකම කොතෙක් ද? විශේෂයෙන් විභාග ප්‍රතිඵල සහිත සහතිකයක වටිනාකම කොතෙක් ද?

විභාගයක දී මැනෙන්නේ විෂය මූලිකව මැණිය හැකි දේ ය. ගණිතය හා විද්‍යාව හැරුණු විට අන් බොහෝ විෂයන්වල දි මැනෙන්නේ කරුණු හා සංඛ්‍යාෙල්ඛන දැනුම ය. විද්‍යාව ප්‍රශ්න පත්‍රයක් වුව කරුණු හා සංඛ්‍යාලේඛනවල දැනුම මූලික කරගෙන සකසන්නට පුලුවන.

නායකත්ව කුසලතා විභාගයක දී මැණිය නොහැකි ය. මැණිය නොහැකි නිසා ඒවා අවැදගත් වන්නේ ද? එවැනි මැණිය නොහැකි දෑ අමතක කර මැණිය හැකි දෑ පමණක් සළකා අපට මිනිසුන් ආයතනයට බදවා ගත හැකි ද?

කරුණු හා සංඛ්‍යාෙල්ඛන බොහෝමයක් කාලයත් සමග වෙනස් වේ. අන්තර්ජාලය වැනි මෙවලම් ඇති වත්මන ඒවා බුරුතු පිටින් දැන ගෙන සිටීමේ තේරුමක් ද නැත. දැනුම තිබෙන්නේ කොහේ දැයි දැන ගැනීමත් ඒවා සොයාගැනීමට ඇති හැකියාවත් තිබුනොත් ඒ හොදටම ප්‍රමාණවත් ය.

වඩාත් අවශ්‍ය වන්නේ ඒ දැනුම ප්‍රයෝජනයට ගැනීමට ඇති හැකියාවේ ය.

බොහෝ විභාගවල නොමැනෙන්නේත් එයම ය. ඒ විභාගයකින් එය මැනීමේ ඇති දුෂ්කරතාවය නිසා ය.

ප්‍රශ්නයකට උත්තර දහසක් ඇති විට එය ආදර්ශ උත්තර පත්‍රයකට ගොනු කිරීම අමාරු ය. එය කළ හැක්කේ වාචික පරීක්ෂණයකින් පමණ ය. උත්තර විවෘත බැවිනි. එක් උත්තරයක් අනෙත් උත්තරයට වඩා හාත්පසින්ම වෙනස් විය හැකි බැවිනි. එතෙකුදු ඒ උත්තර සියල්ල නිවැරදි විය හැකි බැවිනි. ඒ නිසා අහන්නට සිදුවන්නේ එක් උත්තරයක් ඇති ප්‍රශ්න පමණ ය. එවිට බොහෝ විට ඉතිරිවන්නේ කරුණු හා සංඛ්‍යා ය.

මේ අතිශයින් සීමා සහිත වූ මිණුම් ක්‍රමයක් උපයෝගී කරගෙන සහතික දෙන්නට සිදූ වූයේ තාක්ෂණය වෙනත් විකල්පයකට ඉඩක් නොතැබූ බැවිනි.

අලුත් තාක්ෂණික ලෝකය අපට මේ සදහා නව විකල්ප සපයා තිබේ. දියුණු විඩියෝ ක්‍රීඩා එවැනි එක් විකල්පයකි. දැනුම භාවිතා කර ඉදිරියට යා හැකි ද යන්න ඒවායින් මැණිය හැකි ව තිබේ. නායකත්වය දෘෂ්ඨියක් තිබේ ද නැත් ද යන්නත් ඒ හරහා අගැයීමට ලක් කළ හැකි ය. දැනුම ඉක්මණින් සොයා ගත හැකි ද යන්නත් අන්තර්ජාලය යොදා ගෙන මැණිය හැකි ය.

රැකියා අපේක්ෂකයා සයිබර් අවකාෂයේ කිනම් සළකුනක් තබා ඇත් ද යන්න ද එහි දී සැළකිල්ලට ගත හැකි ය. විශේෂයෙන් ඔහුගේ ආකල්ප පිළිබදව අගැයීමක් ද ඒ හරහා ලබා ගත හැකි වනු ඇත.

නැවතත් සහතික වෙනුවට උගත මනා ශිල්පයම වුවමනාවෙන දවස වැඩි ඈතක නැත.

සම්මත විභාග සහතික මත රැදෙන්නේ නැතිව රැකියාවට අවශ්‍ය සම්පූර්ණ කුසලතා පරාසය මැණිය හැකි ක්‍රම ආයතන විසින් ද සොයා ගත යුතුව තිබේ. එවිට සහතික පසු පස යෑම ඉක්මණින් නැවැත්විය හැකි ය. ඒ සදහා නව තාක්ෂණය ද උදව් කර ගත හැකි ය.

එවිට රැකියාවට සුදුස්සන් විභාග සමත් අය අතුරින් සොයා ගත නොහැකි යයි මැසිවිලි නගන්නට කළමනාකරුවන්ට සිදු නොවෙනු ඇත.

අපව කරකවා අත හරින අපේ පාසල


අපේ පාසල් අධ්‍යාපනය වැඩිමනත් වෙන් කොට තිබෙන්නේ අප “සිතිය යුත්තේ ‍මොනවාද?“ යැයි අපට දැන්වීමට ය. දැනුම කප්පරක් මිටි බැද ඇති පොත්පත් කොන්ද කුදු වනතෙක් දරා ගෙන පාසල් යන අපට “සිතන්නේ කෙසේ ද?“ යන්න බැරිවෙලාවත් එහිදී කියා දෙන්නේ නැත.

සත්‍යය සොයා ගන්නා හැටි නොව හොයාගත් සත්‍යය මේ යැයි අපට එහිදී දැනුම් දෙනු ලැබේ.

අවාසනාවකට පාසලෙන් එලියට යන විට උගත් අකුරු හා ගණන් ශාස්ත්‍රය හැරුණු විට මෙසේ ලද සෙසු දැනුම පිළුණු වෙලා ය. ඉගෙන ගත් සත්‍යය බොරු වෙලා ය.

දැනුමෙන් පිරිලා නිසාම ඒවා පරම සත්‍යය ලෙස අදහන්නට කියා දී ඇති නිසාම අලුත් දැනුමක් ලද විට ඒ දෙස බලන්නටවත් අපට සිත් දෙන්නේ නැත.

පිරුණු බදුනකට වත් කරන ජලයට ඒ තුළ ඉඩක් නැත. එකතු කරන දේ පිටට ගලා යනවා පමණ ය.

අලුත් දැනුම පරීක්ෂාවට ලක් කිරී‍මේ මෙවලම් අප සතුව නැත. ඒ නිසා අප සතු දැනුම පිළුණු වූවාට අමතරව නැවුම් දැනුම එකතු කර ගැනී‍මේ හැකියාව ද අපට නැත.

ඒ නිසාම අලුත් දැනුමට පස්ස හරවන අපට පරම්පරා ගණනකට පෙර මිනිහා දැන සිටි දැනුම මුලිච්චි වන්නේ ය. එයින් කළ හැක්කේ කොපුවක් ගුහාවක් නැතිනම් කට්ටක් හදා ගෙන සෙසු ලෝකයෙන් වෙන් වීම පමණ ය.

විධිමත් අධ්‍යාපන ක්‍රමය වැඩකට නැති වැටුප් ශ්‍රමිකයන් බිහි කරන්නේ එලෙස ය.

ඒ නිසාම කළමනාකරුවන්ට ඔවුන් නැවත හැඩ ගස්වා ගැනීමට සිදු වේ. එහෙත් බොහෝ කළමනාකරුවන් ද එවැනි වූ අය නිසාම ඔවුන්ට ඒ ගැන නිනව්වක් නැත.

අප අද මුහුණ පා තිබෙන අර්බුදය ඒක ය.

මේ ගැන අප ඉංග්‍රීසියෙන් ලියූ ලිපියක් ඔබට පහත යොමුව ඔස්සේ කියවිය හැකි ය. මේ ඉංජිනේරු ආයතනයේ ඊ පුවත්පත ය.

http://ieslslen.blogspot.com/2013/04/changing-paradigm-from-what-to-think-to.html