තෙවැනි කැරැල්ල හා කෘෂිකර්මයේ ඵලදායීතාවය


අපේ ර‍ටේ ආර්ථිකයෙන් කෘෂිකර්මාන්තය අයත් කර ගෙන ඇත්තේ 14% ක් පමණ වූ සුළු කොටසක් වුව ද මිනිසුන්ගේ ජීවනෝපාය සම්බන්ධව අදටත් එය ඉතා තීරණාත්මක ය. අප මේ ලිපියෙන් උත්සහ කරන්නේ කළමනාකරණ දෟෂ්ඨිකෝණයකින් අප රටේ කෘෂි ආර්ථිකය දෙස බැලීමට ය.

කෘෂිකර්ම ක්ෂෙත්‍රයේ අපගේ ඵලදායකත්වය අඩුවීමට එක් හේතුවක් වන්නේ ඉඩම්වල අයිතියේ විසිරුණු ස්වභාවය හා ඉඩම්වල ප්‍රමාණයයි.

බොහෝ දෙනෙකුගේ ඉඩම් ඇත්තේ තැන් තැන්වල කුඩා කට්ටි ලෙස විසිරී ය. එය පැරණි කුඩා වැව්වලින් සමන්විත වාරි ක්‍රමයට අවශ්‍ය වූයේ ය. එක වැවක් කැඩී බිදී ගිය කල ඒ යටතේ වගා කළ නොහැකි වූවිට තවත් වැවක ඉඩම් කට්ටියක් තිබීම සුරක්ෂිත තාවයට හේතුවක් විය.

ඊලග ඉඩම් ප්‍රශ්නය ඇත්තේ මහා වැව් ආශ්‍රිතව ය. මුල් කාලයේ පදිංචි පරම්පරාවේ තෙවැනි පරම්පරාවේ උදවිය දැන් ඒ ජනපදවල වාසය කරති. දැන් කීපවරක් බෙදී ඉතිරිව ඇත්තේ සොච්චම් ඉඩමකි.

මේ කාරණා දෙකම කෘෂී ක්ෂේත්‍රයේ අඩු ඵලදායකත්වයට බල පෑවේ ය. මේ ඉඩම්වල කුඩා ස්වභාවය ද විසිරුණු ස්වභාවය ද ඒවායේ නිල අයිතීන් පිළිබද ගැටළු මෙන්ම විකිණීමට ඇති සීමාවන් ද එහිදී බල පෑවේ ය.

ඊට අමතරව ආණ්ඩුව මත යැපෙන ජනසවිය හා සමෘද්ධිය නිසා වඩාත් පැතිරුණු යැපුම් ආර්ථිකයකට ඔවුන් යොමු වී ඇත්තේ ය. ඔවුන් මේ යැපුම් ආර්ථිකය තුළම සිරව සිටිනු දකින්නට සමහර විට දේශපාලනඥයන් කැමති ය. බොහෝ ගම් ආශ්‍රිත දේශපාලනඥයන්ගේ චන්ද පදනම මේ යැපෙන්නට පුරුදු කර ඇති පිරිස ය. මේ යැපුම් ආර්ථිකයේ ඇත්ත නම් ඒ සදහා අවශ්‍ය ධනය ආණ්ඩුව සපයා ගන්නේ ද යැපන්නන්ගෙන් ද ගන්නා බදු වලින් බව ය. වෙනත් වචන වලින් කියන්නේ නම් ගැමි ජනයා හසු කර ගෙන ඇති උගුලට අවශ්‍ය ඇම පවා ඔවුන්ගෙන්ම ගැනීමටත් එයින් ගැමියන් අත්කර ගන්නා වාසියට වැඩි වාසියක් ගමේ දේශපාලනඥයන් ලබා ගැනීමටත් මෙයින් කටයුතු කර ඇත්තේය.

තමන් අසුව ඇති උගුලේ බරපතල කම තේරුම්ගන්නා ටික දෙනෙක් පමණක් මැද පෙරදිග රැකියා හරහා හෝ හමුදාවට බැදී එසේත් නැතිනම් ගාමන්ට් එකක රැකියාවක් කර මෙයින් ගොඩ එන්නට බලති.

ගමේ ගොඩේ පිදුරු සෙවිලි කල පැල්පත් අඩුව ගොස් උළු සෙවිලි කළ ගෙවල් දකින්නට ලැබෙන්නේ ඒ පිරිසට පින්සිදු වන්නට ය. බයිසිකල් ට්‍රැක්ටර් දක්නට ලැබෙන්නේ ද ඒ ආර්ථික අවස්ථාවන්ට පින්සිදු වන්නට ය.

යුද්ධය නැති ගාමන්ට් අලුතින් ඇති වෙන්නේ නැති තත්වයක මැද පෙරදිග රැකියාවලට පමණක් මේ කටයුත්තේ බර දැරිය හැකි ද?

අප ඉදිරියේ ඇත්තේ ලෙහෙසියෙන් පිපිරෙන්නට ඉඩ ඇති ගැමි ආර්ථිකයකි. අප අමතක නොකළ යුත්තේ අප ගැමි තරුණයන්ගේ කැරලි දෙකකටත් උතුරේ තරුණයන්ගේ අවි ගත් යුද්ධයකටත් දැනටමත් මුහුණ දී ඇති ජාතියක් බව ය.

ඒ නිසා එක් පැත්තකින් අප කෘෂිකර්මයේ ඵලදායකත්වය ඉහළ නැංවීම සම්බන්ධයෙන් ද අනිත් පැත්තෙන් රටේ ආර්ථිකයේ සෙසු අංශ වඩාත් පළල් කිරීම හරහා කෘෂි ආර්ථිකයෙන් යැපෙමින් ඉන්නා අයට මැද පෙරදිග රැකියාවලට වඩා දියුණු විකල්ප නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ද ඉක්මණින් අවධානය යොමු කළ යුතු ය.

එයට අවශ්‍ය දේශපාලනික සමාජමය හා නීතිමය පරිසරය සැදීමත් ඒ හරහා ව්‍යාපාරිකයන්ට ආයෝජනයට හැකියාව උදාකර දීමත් ආණ්ඩුවක් විසින් කළ යුතු දේ ය.