දුක හා සතුට


මිනිසුන් දුකට අකමැති ය. සතුටට කැමති ය.

කළමනාකරුවන්ගේ යුතුකම වන්නේ තමන් යටතේ වැඩ කරන මිනිසුන්ගේ දුක නැති කිරීමත් සතුට ඇති කිරීමත් ය. සමහරු මේ දෙක පටලවා ගනිති. දුක නැති කළ විට සතුට ඉබේ ඇති වෙතැයි ඔවුහු කල්පනා කරති.

කළමනාකරුවන් ලෙස අප තේරුම් ගත යුතු කාරණයක් නම් දුක නැති කළ පමණින් සතුට ඇති නොවන බව ය.

දුක නැති කල මිනිසුන් ආයතනය දමා යන්නට ඉක්මන් නොවෙති. දුක ඇති නම් ඒ සදහා විශාල පෙළඹවීමක් ඇති විය හැකි ය.

එහෙත් දුකක් නැති නිසා එසේ ආයතන තුළ රැදෙන අය වැඩ කරතැයි අපේක්ෂා නොකළ යුතු ය. ඔවුන් වැඩ කරනු ඇත්තේ සතුට ඇති කරන වටපිටාවක දී ය. ඒ සදහා දුක නැති කිරීම ප්‍රමාණවත් නැත. සතුට ද ඇති කළ යුතු ය.

දුක ඇති වන්නේ ප්‍රමාණවත් වැටුපක් නොලැබුණු කල ය. රැකියාවේ සුරක්ෂිතතාවය ගැටළුවක් වූ කල ය. වැඩකරන වටපිටාවේ පහසුකම් අඩු වූ කල ය. නිසි ආලෝකය වාතාශ්‍රය නොලැබුනු කල ය. නිසි ආයුධ මෙවලම් නැති කල ය. වැඩ කිරීමට අවශ්‍ය සම්පත් නැති කල ය. නායකයා යකෙක් වූ කල ය.

සතුට ඇති වන්නේ ප්‍රමාණවත් අභියෝගයක් රැකියාවේ තිබුනොත් ය. අලුත් අත්හදාබැලීම් කිරීමේ ඉඩ තිබුනොත් ය. ඒ සදහා වැරදීම්වලට පවා අවකාශ තිබුනොත් ය. කරන වැඩ අගැයීමට ලක් කළොත් ය. වෘත්තීය දියුණුවට කුසලතා සංවර්ධනයට ඉඩක් තිබුනොත් ය. ස්වයං සාක්ෂාත් කරගැනීමට අවකාශ සැලසුනොත් ය. නිර්මාණාත්මක හැකියාවන්ට පුබුදුවන්නට ඉඩ හසර තිබුනොත් ය.

එවිට මිනිසුන් වැඩ කරනු ඇත්තේ ය. ක්‍රීඩාවක් කරන උදයෝගයෙන්ම වැඩ ද කරනු ඇත්තේ ය.

වැඩෙන් බාහිරව නොව වැඩ කිරීම තුළම සතුට සොයනු ඇත්තේ ය.

දුක නැති වී සතුට ඇතිවීම සමගම ආයතනයේ දියුණුව ද ඇතිවනු ඇත්තේ ය.

Advertisements

කල්ලි කිහිපයක් තව කල්ලියකට එරෙහිව කල්ලි ගැසෙන කල්ලි වලින් පිරුණු ආයතන


බොහෝ ආයතනවල කල්ලි වැහි වැහැලා ය. පළාත් අනුව බිහි වූ කල්ලි ය. තමන් උගත් පාසල හෝ සරසවිය අනුව බිහි වූ කල්ලි ය. දේශපාලන මතවාද පදනම් වූ කල්ලි ය. ආගම් මත පදනම් වූ කල්ලි ය. ජාතිය මත පදනම් වූ කල්ලි ය.

සමහර කල්ලිවල පදනම ඉතාම ලිහිල් ය. එවැනි කල්ලි ගොඩ නැගෙන්නේ කෙසේ ද යන්න පවා අදහා ගන්නට බැරි ය. කල්ලි ගැසීමේ අර්ථය තනිව කර ගත නොහැකි බොහෝ දේ කරගැනීමට බලය පාවිච්චි කිරීමට අවශ්‍ය ශක්තිය ගොනු කර ගැනීම ය.

මේවා විධිමත් ආයතනය බෙදා දමයි. එක කල්ලියක සමාජිකයෙක් ඉදිරිපත් කළ අදහසක් එය කොතරම් නිවැරදි වුව ද අනෙක් කල්ලිවලට අරහං වෙයි.

කාර්ය සාධනය මැනෙන්නේ කරන වැඩ අනුව නොව තමන් අයිති කල්ලිය අනුව ය.

මාරු කිරීම්වලදි ද උසස්වීම් වලදී ද ශිෂ්‍යත්වයක් ප්‍රදානයෙදී ද පුහුණුවකට නම් කිරීමේ දී ද නිවැරදි කල්ලියක සිටීම වැදගත් අනුග්‍රහයක් වෙයි. ගොඩ දා ගන්නේ අපේ මිනිහා ය.

විනය  සම්බන්ධයෙන් කටයුතු වලදී ද අපේ මිනිහෙක් නම් (අපේ කල්ලියේ මිනිහෙක් නම්) ඔහුට බුරුලක් ලිහිලක් ලැබේ.

ගැටුමකදී ගන්නේ නිවැරදි පැත්ත නොවේ. අපේ කල්ලියේ පැත්ත ය.

“වැරදි“ කල්ලිවල සමාජිකයන් තමන්ට කරන අකටයුත්ත ඉවසා ගන්නට නොහැකි වූ තැන කැරලි ගසයි. තනිව ගසන කැරැල්ලකට වඩා ශක්තියක් එය ඇති නිසා ම එය ආයතනයට නව ගැටළු මතු කරයි.

කැරලි ගහන්නට වූ විට ඔවුන් මට්ටු කරන්නට ද වෙනත් කල්ලි ඉදිරිපත් වේ. කැරැල්ල යුද්ධයක් බවට පත්වෙයි.

බලය පදනම් කර ගත් කේවල් කිරීම තර්කය පදනම් කරගත් සත්‍යය වෙනුවට ආයතනය තුළ සන්නිවේදන ක්‍රමවේදය බවට පත්වෙයි.

විධිමත් සංවිධානයක පදනම මත කණ්ඩායමක් ගොඩ නැගීම සිහිනයක් වෙයි. කල්ලි අතර බෙදීම් මෙන්ම සහයෝගය ද ඇති වෙයි. කල්ලි කීපයක් තව කල්ලියකට එරෙහිව කල්ලි ගැසීම සාමාන්‍ය දෙයක් වෙයි.

මේ බිහිව ඇත්තේ ආයතනික දේශපාලනයට අපූරු තෝතැන්නකි. කල්ලි අතර බලය සදහා කරන අරගලය ආයතනය තුළ අනෙත් සියලු කාරණා මැඩ ඉදිරියට පැමිණෙයි.

විධිමත් ආයතනය අවුරුවමින් මේ කල්ලි වැඩෙයි. පිළිලයක් මෙන් වැඩෙයි. ආයතනයට ඉදිරියට යන්නට නොහැකි වෙන අතර එහි පැවැත්ම පවා අනතුරේ වැටේ.

නායකයාට කල්ලියකට අයත් නැත්නම් ඔහුට ඇති ප්‍රධානම අභියෝගය වනුයේ කල්ලි අතර සාම්‍යය ඇති කිරීමට ය. ඔහුගේ කාලයෙන් ශ්‍රමයෙන් වැඩි හරිය ගෙවෙන්නේ මේ ගැටුම් සමතයකට පත් කරනු පිණිස ය.

ඔහු කල්ලියක සමාජිකයෙක් නම් ඔහුට තම කල්ලිය වෙනුවෙන් කැප වීමට සිදුවේ. ඒ ආයතනය පවා පරදුවට තබමිනි.

නායකයෙකුගේ අභියෝගය වන්නේ කිසිම කල්ලියකට යටත් නොවී සිටීමට හැකිවීම තුළ ය. කල්ලි විසිරවීමට හැකි වීම තුළ ය. ආයතනය මත පදනම්ව කණ්ඩායම ගොඩ නැගීමට හැකි වීම තුළ ය.

එය පහසු කටයුත්තක් නම් නොවේ. නායකයන් අවශ්‍ය වනුයේ ද එවැනි අපහසු කටයුතු කිරීමට ය.

ආයතනයකට පමණක් නොව රටට ද මේ කාරණය අදාළ ය.

උපා දන්නා නායකයෝ අපායේ නොවැටෙති ද?


සමහර නායකයින් කැමති මිනිසුන් සමග මිත්‍රශීලීවීම හරහා ඔවුන් දිනාගෙන ඒ හරහා ආයතනයේ ඉදිරිමග සකසා ගැනීමට ය. ඔවුහු තම අනුගාමිකයන්ගේ හා හිතවතුන්ගේ පමණක් නොව සමහර විට විරුද්ධවාදීන්ගේ පවා උපන් දිනයකදී කේක් එකක් යවන්නට ද සුභපැතුමක් පිරිනමන්න ද මගුලට අවමගුලට දානයට සහභාගී වෙන්නට ද කාලය වැය කරන්නෝය. ඔවුහු තම අනුගාමිකයන්ගේ දරුවන් පවා හුරතල් කරන්නට ද ඔවුන්ගේ අම්මා තාත්තා සමග පවා සුහදශීලි වෙන්නට ද කටයුතු කරති. ඒ ඇතිකරගන්නා මිත්‍රත්වය හරහා තමන්ට ලැදි පිරිසක් බිහිකර ගන්නා අතර ඒ අය තම අරමුණ වෙනුවෙන් වැඩ කිරීමට ඒ හරහා කැප කරවා ගැනීමේ දක්ෂ ය.

දෙවැනි වර්ගයට අයත් නායකයෝ වඩාත් වැඩි අවධානය යොමු කරන්නේ රාජකාරියට ය. අද  කිරීමට ඇති කාර්යයන් ගැන ය. ඔවුන් ඒ කාර්යයන් කරන තුරු පසු විපරම් කිරීමේ නිරත වෙති. ඔවුන්ගේ මූලික ඉලක්කය වැඩ ය. මෙසේ වැඩ ගැන තමන් දක්වන අධික උනන්දුව නිසාම වැඩ කිසියම් මට්ටමක කර ගැනීමේලා ඔවුහු සමත් වෙති.

තුන්වෙනි වර්ගයට අයත් නායකයින් වඩාත් කැමති ආයතන ගොඩ නැගීමට ය. ආයතනික පද්ධති ක්‍රමවේද යාන්ත්‍රණ ආයතනික ව්‍යුහයන් හා ක්‍රියාවලි සකස් කිරිමට ය. ඒවා නිසි ලෙස සංවිධානය වී ඇත්නම් රාජකාරි බොහෝමයක් ඉටු කර ගත හැකි වෙතැයි ඔවුහු විශ්වාස කරති.

මේ එක් එක් නායකත්ව උපාය මාර්ගයේ ශක්තීන් මෙන්ම දුර්වලතා ද තිබේ. අප කැමති පාඨක ඔබ ඒවා ගැන ලියනු දැකීමට ය.

ලංකාව තුළ අප වඩාත් බහුලව දකින්නේ පළමු වර්ගයට අයත් නායකයින් ය. ඊළගට වඩාත් දකින්නේ දෙවැනි වර්ගයේ නායකයින් ය. වඩාත් දුර්ලභ තුන්වෙනි වර්ගයේ නායකයින් ය. අපේ දුර්භාග්‍යයන්ට එයත් හේතුවක් දැයි කල්පනා කර බැලීම වටින්නේ ය.

මේ ගැන වැඩිදුරටත් ඔබේ අදහස් ද සමගින් සාකච්ඡා කිරීමට අපි අපේක්ෂා කරමු.