ස්වභාවික වාසි (comparative advantages) හා නිර්මාණය කර ගත් වාසි (competitive advantage)


අපගේ ගනුදෙනු කරුවන් ලෙස සමහර ආයතන තෝරා ගැනීම අනෙක්වා තෝරාගැනීමට වඩා අපට වාසිදායක ය. ඒ වාසි අතුරින් සමහර වාසි අප තෝරාගත් ආයතනයේ පරිශ්‍රමයකින් තොරව ස්වභාවිකව නැතිනම් ඉන් ස්වායත්තව ඇති වූ ඒවා ය (comparative advantage). අනෙත් වාසි ප්‍රවේසමෙන් කැපවීමෙන් ගොඩ නගා ගන්නා වාසි ය (competitive advantage).

පළමු වර්ගයට (comparative advantage) උදාහරණයක් ගතහොත් යම් ආයතනයක පිහිටීම ගත හැකි ය. එහි පිහිටීම නිසාම ඊට උරුම වන වාසි ගණනාවක් තිබේ. කෙනෙකුට පිහිටීම ද තෝරාගැනීමෙකැයි කිව හැකි ය. එසේ වුව ද එය තෝරාගැනීමක් වන්නේ පිහිටුවීමට පෙර ය. ඉන්පසු එය තවදුරටත් එසේ නොවේ. එය දී ඇති සාධකයකි. ස්ථානය වෙනස් කිරීම හැරෙන්නට ඒ සම්බන්ධයෙන් අපට කළ හැකි දෑ අල්ප ය.

අපි උදාහරණයක් ගෙන බලමු. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ඇතුළු පරිපාලන කේන්ද්‍රය බත්තරමුල්ලේ ස්ථාන ගත කරන්නට පෙර යම් ආයෝජකයෙක් ඒ කිට්ටුව ඉඩමක් ගෙන යම් ආයතනයක් ආරම්භ කර තිබුනේ යැයි සිතමු. ඔහුගේ ඒ තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පසු කාලීන ස්ථානගත කිරීම උපයෝගී වූයේ නැත. ඒ නිසා පසුකාලීනව සිදුවූ වෙනස්කම් නිසා ඔහු යම් වාසියක් අයත් කර ගත්තේ නම් ඒවා ඉබේ ඇති වූ ඒවා ය. ඔහුගේ පරිශ්‍රමයකින් තොරව ඇති වූ ඒවා ය.

එම ආයතනය අප විසින් ගනුදෙනුකරුවෙකු ලෙස තෝරාගැනීමට එහි පිහිටීමට අමතරව එයින් ලබා දෙන සේවාවේ විශිෂ්ඨත්වය ද බල පෑවේ නම් ඒ වාසිය පරිශ්‍රමයකින් ආයතනය විසින් ගොඩ නගා ගත් වාසියක් වේ. ඒ දෙවැනි ගණයට අයත් වාසි කැපවීමෙන් ගොඩ නගා ගන්නා ඒවා ය (competitive advantage).

අවාසි ද මේ කාණ්ඩ දෙකට දැමිය හැකි ය. තමන්ගේ ක්‍රියාවකින් ස්වායත්තව ලැබී ඇති අවාසි (comparative disadvantages) හා තමන්ගේම ක්‍රියා නිසා ඇති කර ගත් අවාසි (competitive disadvantages) වශයෙනි.

පළමු වර්ගය වාසනාව හෝ අවාසනාව යැයි බොහෝ දෙනා හඳුන්වන අහඹු සිද්ධි දාමයක ප්‍රතිඵලයක් වන විට දෙවැන්න අප වුවමනාවෙන් නිර්මාණය කරන සිද්ධි දාමයක ප්‍රතිඵලයක් තවත් විදියකට කියන්නේ නම් අපේ කර්මයක විපාකයක් වේ.

අපේ ජීවිතය ඉදිරියට ගෙන යන්නට මේ වාසි දෙකම උදව් වේ. වාසනාව හා වෙහෙස මහන්සිය යන දෙකම ඒ කෙරෙහි බල පායි. හරියට අපට ගමනක් යන්නට පාද දෙකක්ම වුවමනා වනවා සේ ය.

අහඹු සිද්ධිදාමයේ වාසිය ද ගෙන පරිශ්‍රමයෙන් ඉතිරිය ගොඩ නගා ගැනීම අපේ වගකීම ය.

සමහරුන්ට ඉබේ ලැබෙන වාසිය පවා වාසියකට හරවා ගැනීමට නොහැකිව ඇත්තේ ඊට අමතරව කිසිවක් කිරීමට වුවමනා නොවීම නිසා ය. ධනවත් පවුලක දරුවෙකු සිය දේපළ නැති නාස්ති කරමින් ජීවත්වනවා සේ ය.

ඉබේ ලැබෙන වාසිය දෙගුණ තෙගුණ කර ගත හැක්කේ පරිශ්‍රමය ද ඒ සමග මනා ලෙස එක් කිරීමෙනි. දේපල ඇති පවුලක දරුවෙකු ඒවා ද උදව්වට ගෙන මහා ව්‍යාපාරයක් ගොඩ නගනවා මෙන් ය.

පාද දෙකකින් යා හැකි දුර බොහෝ ය. ස්වභාවික වාසි අප මහන්සියෙන් ගොඩනගා ගන්නා වාසි සමග එක් කළොත් යා හැකි දුර ද බොහෝ ය. මෙය පුද්ගලයෙකුට ආයතනයකට පමණක් නොව රටකට ද සත්‍යයකි.

ස්වභාවික සම්පතෙන් අනූන රටක් ලැබුනාට මදි ය. එහි මිනිසුන් සිය නිර්මාණාත්මක දායකත්වය මගින් අමතර වාසි ද උත්පාදනය කර ගත යුත්තේ ය.

Advertisements

ජයග්‍රහණයේ රහස


1509824_686440654747970_1548254091_nජයග්‍රහණයට පියවරු රාශියකි. පරාජය හැම විටම පාහේ අවජාතක ය.

ජයග්‍රහණය ප්‍රීති ජනක ය. එය කොතරම් ද යත් දැක ගන්නට ඊයේ අවසන් වූ 20-20 ලෝක කුසලාන ජයෙන් අප උද්දාමයට පත් වූ ආකාරය පමණක් සෑහේ. කණ්ඩායම පමණක් නොව ලංකාවේ ජනතාව ද මහ රෑ වීදී පුරා කෑගසමින් ඔල්වරසන් දුන් අයුරු අපි දුටුවෙමු.

ඊට ප්‍රතිපක්ෂව ඉන්දියා කණ්ඩායමේ හැසිරීම පරාජය කොතරම් කටුක ද යන්නට අපට පෙන්වා දුන්නේ ය. තරගාවලියේ වීරයා වූ ද තරගයේ වැඩිම ලකුණු ගණනකට හිමිකම් කිවූ ද විනෝද් කෝලි පවා පසු වූයේ පසුතැවිල්ලකිනි.

ජයග්‍රහණයේ ප්‍රීතිය සමරණ බොහෝ දෙනෙකු නොසිතන කාරණය වන්නේ එය ලැබිය හැක්කේ දුෂ්කර ක්‍රියා සමයකින් පසු බව ය.

ඒ සදහා කුසලතා අවශ්‍ය ය. අචල ධෛර්ය හා නොවෙනස් විශ්වාසය අවශ්‍ය ය. උපාය මාර්ගික දක්ෂතා අවශ්‍ය ය. නිසි පුහුණුව හා සම්පත් අවශ්‍ය ය. සර්ව ආංශික දක්ෂතාවයකින් යුත් කණ්ඩායමක් තිබීම අවශ්‍ය ය. ඔවුන් තුළ දක්ෂතා වලට අමතරව කණ්ඩායම් හැගීම තිබීම අවශ්‍ය ය. කණ්ඩායම වෙනුවෙන් තම දායකත්වය සැපයීම මෙන්ම අවශ්‍ය විටෙක පෞද්ගලික ජය පරදුවට තබන පරිත්‍යාගශීලිත්වය අවශ්‍ය ය.

එවැන්නක් අැති කළ හැක්කේ අචල ප්‍රතිපත්තියක පිහිටන නායකත්වයකට ය. ප්‍රතිපත්ති අචල වුව ද උපාය මාර්ගිකව නම්‍යශීලී වීමට සමත් නායකත්වයකට ය. මිනිසුන් නම්‍යශීලීවීම සම්බන්ධයෙන් උරණ නොවනු ඇත්තේ නායකයා අචල ප්‍රතිපත්තියක පිහිටන විට ය. නායකයා පරිත්‍යාගශීලීත්වය පෙන්වන සංකේතයක් වන විට ය. කණ්ඩායමේ අරමුණ ජය ගැනීම අන් සියල්ලට වඩා ඉහලින් තබන විට ය. කණ්ඩායමට දායක වන්නන්ට නිසි ගෞරවය අත් කර දීමට කටයුතු කරන විට ය. නිල නායකයා නායක කම ඔලුවට නොගත් විටක ය. නායකත්වය පිළේ සෙසු අය සමග බෙදා ගත් විට ය. ජයෙන් ඔලුව උදුම්මා ගෙන හිතුවක් කිරීමට කටයුතු නොකළ විට ය. කණ්ඩායම තමන්ගේ හිතවතුන්ගෙන් හා මිත්‍රයන්ගෙන් නොව දක්ෂතා ඇති අයගෙන් පුරවන්නට කටයුතු කළ විට ය. ජේෂ්ඨයින් කල් ඉකුත්ව ගිය විට නව පරපුරට ඉඩ සළසමින් ඉවත් වන්නට කටයුතු කළ විට ය.

ක්‍රිකට් ජයට ශක්තිය දක්ෂතාවය පමණක් නොව නායකත්වය ද ප්‍රමාණවත් නොවේ. ඒ සදහා වාසනා ගුණයක් ද අවශ්‍ය ය. එහෙත් ඒ දෙක නැතිව නම් වාසනාවට කළ හැකි දෙයක් නැත.

එතරම් දක්ෂ නැති හැකියාවෙන් අඩු කණ්ඩායමක් පවා වාසනාව නිසා වරක් දෙකක් ජයග්‍රහණය ලබා ගැනීමට පුලුවන. එහෙත් එය නිරන්තරයෙන් ලැබෙන ජයකට පත් කර ගැනීමට අප කලින් දැක්වූ තව බොහෝ දේ අවශ්‍ය ය.

අපේ ජීවිතය ද ඊට වඩා වෙනස් නැත. ක්‍රිකට් ජය සමරනවාට අමතරව ඒ තුළින් උගන්නට ද උත්සහ කරමු. අපේ ජීවිතය ජය ගත හැක්කේ එසේ කළොත් පමණකි. රටක් ලෙස අපට ජය ගත හැක්කේ ද එසේ උගන්නට උනන්දු වීමෙනි.

සටහන අවසන් කිරීමට පෙර තව එක් කරුණක් ගැන ඔබේ අවධානය යොමු කිරීමට මම කැමැත්තෙමි. ඒ ක්‍රිකට් ක්ෂේත්‍රයේ අප දක්වන දස්කම් වෙනත් ක්ෂෙත්‍රවල එපමණින්ම දැක්වීමට අපට නොහැකි ව ඇත්තේ ඇයි ද යන්න ය. එය වඩාත් දැඩිව අපේ අවධානයට ලක් විය යුතු කාරණයකි.