තනතුරක ගෞරවය රැකීමේ වගකීම ඇත්තේ කාට ද?


ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාට සෙසු අයගේ ගෞරවය හිමි නොවන්නේ නම් ඊට වග කිව යුත්තේ කවුද? එම තනතුර දරන්නා ද නැතිනම් ආයතනයේ සෙසු අය ද?

බොහෝ දෙනෙකු කියනු ඇත්තේ එහි වගකීම දැරිය යුත්තේ තනතුර දරන්නා බව ය.

කෙසේ වුව ද ඒ උත්තරය දෙන අය පවා අන් අයට ද ඊට වගකීමක් ඇතැයි හිත යටින් වත් විශ්වාස කරති. එයට හේතුව අප කුඩා කල සිටම අපේ දෙමාපියන්ට, වැඩිහිටියන්ට, ගුරුවරුන්ට ගෞරව කිරීමට පුරුදුව ඇති බැවිනි. එසේ නොකරන්නෙකු හොඳ හැදියාවක් ඇත්තෙකු යැයි බොහෝ දෙනෙක් නොසිතති.

එය තවත් විස්තර කළොත් එයින් අදහස් කරන්නේ හොඳටෝම බී රෑ හතර ගාතෙන් ගෙදර විත් සියල්ලන්ට බැණ අඩ ගහන මිනිහෙකු වුව ද ඔහු තාත්තා නිසා ඔහුගේ දරුවන්ගේ ගෞරවය ඔහුට ලැබිය යුතු බව ය. ගෞරවය පුද්ගලයාට නොව තනතුරකට ගැට ගැසිය යුතු බව ය. ඒ නිසාම දෙමාපියන්ට පමණක් නොව ගුරුවරුන්ට ද භික්ෂුන් ඇතුළු ආගමික පූජකයන්ට ද සමාජ බලයක් ලැබී තිබේ.

ඒ බලය ලංකාවේ ආයතන තුළ කළමනාකරුවන්ට ද එලෙසම ලැබේ. එම බලයට අභියෝග නොකර පිළිගැනීම හැදියාවේ ලක්ෂණයක් ලෙස සම්මත වී තිබේ.

හැම දෙනෙක්ම මේ සංස්කෘතික දායාදය හිස් මුදුණින් පිළිගන්නට සූදානම් නැත. එවැනි කෙනෙක් මේ සමාජ බලයට අභියෝග කරන්නට ඉඩ තිබේ. එවිට ප්‍රතිචාරය සමහර විට මුලින්ම එන්නේ අභියෝග කළ තනතුර දරන්නාගෙන් ද නොවේ. සමාජයෙනි.

ඒ සමාජ බලය ද ඇතිව තනතුර දරන්නා සිය ගෞරවය නැවත පිහිටුවා ගැනීමට තනතුරේ බලය ද යොදා කටයුතු කරන්නට ඉදිරිපත් වේ. එසේ නොකරන කෙනෙකු දුර්වල පෞර්ෂත්වයක් ඇති කෙනෙකු ලෙස සමාජය සලකනු ඇති නිසාම එසේ කිරීමට ඔහුට සමාජ පීඩනයක් ද එල්ල වේ.

පදමට වෙරි වී පිස්සු කෙළිනා තාත්තා දරුවෙකුගෙන් එන අභියෝගයට දරුවාට අමානුශික පහර දීමකින් පිළිතුරු දුන්නාට පවා සමාජයෙන් විරෝධයක් නොනැගේ. බීම අනුමත නොකරන අය පවා ඒ උත්තරය ඉදිරියේ තාත්තාගේ පැත්ත ගැනීමට නොපැකිළේ.

තනතුරේ ගෞරවය ආරක්ෂා කිරීමේ වගකීම කළමනාකරුවාත් දැරිය යුත්තේ එලෙස ද?

තනතුරේ ගෞරවය ආරක්ෂා කිරීමට ඇති අනෙත් විකල්පය නම් තනතුරට ඔබින ලෙස තනතුර දරන්නා හැසිරීම ය. භික්ෂුවක් නම් භික්ෂුවකට ඔබින විදිහට හැසිරීම ය. එහෙත් ඒ අමාරු කාර්යය කරනු වෙනුවට බොහෝ දෙනා කරනුයේ තනතුරේ බලය යොදා ගෙන ගෞරවය බලෙන් ස්ථාපනය කර ගැනීමට තැත් කිරීම ය.

ආයතනයේ බහුතරය ද කෙක්කෙන් හෝ කොක්කෙන් මේ ගෞරවය ස්ථාපනය කර ගැනීම වැරැද්දක් ලෙස දකින්නේ නැත. ඔවුන් වැරැද්දක් ලෙස දකින්නේ එසේ නොකර සිටීම ගැන ය. එයට ද හේතුවක් තිබේ. ප්‍රධානියාට ගරු සරුවක් නැති තැන සෙසු අයට ද එය ඉබේම අහිමි වෙන බැවිනි.

මේ නිසාම ලංකාවේ ආයතනයක තනතුරට ගෞරවය බද්ධ කොට තිබේ යැයි කිව හැකි ය. ගරු කටයුතු තනතුරු තිබෙන අතර ගරු කටයුතු පුද්ගලයෝ එපමණට නැත. එහෙත් තනතුරේ අනුහසින් ඔවුන් ගරු කොට සැලකේ.

මෙය ඔලුවෙන් සිටවිය යුතු කාලය දැන් පැමිණ තිබේ. තනතුරු කිසිවක් ගරු හෝ නිගරු නැති බවටත් ඕනෑම තනතුරක කටයුතු නිසි ලෙස කරන්නාට තනතුර නොසළකා ගෞරවය හිමි වන බවටත් අප වග බලා ගත යුතු ය. ඒ අර්ථයෙන් තනතුරේ ගෞරවය රැකීමේ වගකීම තනතුර දරන්නාට පමණක් හිමි වේ. ඒ තනතුරේ බලය භාවිතා කොට නොවේ. තමන්ගේ කුසලතා හා කැපවීම භාවිතා කොට ගෙන ය.

එවන් වෙනසක් ඇති වුව හොත් නම් ලංකාව ආශ්චර්යක් කිරීම අපහසු වන එකක් නැත.

තිත්ත ඇත්ත සගවා රසවත් බොරුවක් කීම – සාර්ථක උපායක් ද?


“මට විරුද්ධව ඔබ කියනා සියල්ල මම ප්‍රතික්ෂේප කරමි“.

මගේ විවේචකයන් කියන්නේ කුමක් වුව ද එය ඉතා කටුක වූත් අමිහිරි වූත් ඇත්තක් වූ කල මේ උත්තරය දී මට පලා යා හැකි ද?

ඇත්ත හා බොරුව අතරින් කළමනාකරුවෙකුගේ තෝරා ගැනීම කුමක් විය යුතු ද? ඇත්ත කටුක නම් එය සගවා මිහිරි බොරුවක් කීම වැරැද්දක් ද?

මගේ ආයතනයේ දුර්වලකම් මා විසින් ප්‍රසිද්ධියේ පිළිගත යුතු ද? ඒවා සගවා නැති ශක්තියක් ප්‍රදර්ශනය කිරීමෙන් මට ජය ලැබිය නොහැකි ද?

වැරදි සියල්ල ප්‍රතික්ෂේප කර ප්‍රසන්න චිත්‍රයක් මවා පෑමෙන් ආයතනයේ කීර්ති නාමය වැඩි දියුණු වේ නම් මා එසේ නොකළ යුතු ද?

මේ කළමනාකරුවෙකු විසින් සීරුවෙන් විමසිය යුතු ව තිබෙන ප්‍රශ්නයන් ය. බොහෝ අය නම් දෙවරක් නොසිතාම වැරදි සගවා නැති දේ කියා සිටීමේ ක්‍රියාමාර්ගය හරි යයි කියනු ඇත. වැදගත් වන්නේ අවසාන ඵලය නම් එය ලගා කර ගත හැකි මාර්ගය කුමක් වුවද කම් නැතැයි ඔවුන් කියනු ඇත. ඔවුන්ට මග හැරෙන්නේ වැරදි පිළිගැනීම නිසා ඇතිවන වාසි ය.

වැරදි පිළිගැනීම නිසා වාසි කිපයක් අත් වේ.

  • අනිත් සියලු වැරදි ඇත්තේ වුව ද තමන් සත්‍ය ගරුක බව එයින් අන් අයට ප්‍රදර්ශනය වේ.
  • වැරදි පිළිගත් විට ඒවා හදා ගැනීමට තමන් තුළ වැඩි උත්සහයක් ඇති වේ. ඒ නිසාම වඩා දියුණු වීමට මග සැළසේ.
  • සැගවූ වැරදි අනාවරණය වූ කල සිදුවන ඇබැද්දියෙන් ගැලවේ.
  • වැරදි සැගවීමට ගන්නා අමතර මහන්සිය කාලය හා සම්පත් ඉතිරි වේ.
  • වැරදි පිළිගත් නිසාම එය හදා ගනු ඇතැයි විශ්වාසයක් ගනුදෙනුකරුවන් අතර ඇති වේ.

අප ජීවත්වන වත්මන් ලෝකය වීදුරු ගෙයක් වැනි ය. ඒ තුල සැගවිය හැක්කේ අමාරුවෙනි.

වෙනදා මෙන් නොව අප අවට සිදුවන බොහෝ දේ ඉක්මණින් බොහෝ දෙනෙකු දැනගැනීම අපට තවදුරටත් වැළැක්විය නොහැකි ය. ඒ තොරතුරු තාක්ෂණය නිසා ය. ඒ නිසාම බොරුවට අප වෙත වාසියක් ගෙන ඒමට යම් ශක්තියක් අතීතයේ තිබුනා නම් එය ඉතා වේගයෙන් නැතිව යමින් තිබෙන්නේ ය.

ඒ නිසාම වසන් කරන්නට උත්සහ කිරීමේ අසීරු උත්සහය අත් හැර දමා වරද පිළිගෙන එය හදා ගැනීමට ඉක්මන් වීම අද යුගයට වඩාත් ගැලපෙන්නේ ය. කළමනාකරුවන්ට ඒ යථාර්ථයෙන් ගැලවිය නොහැකි ය.

එය ආයතනයකට පමණක් නොව, රටක් කළමනාකරණ අය විසින් ද සිහිපත් කරන්නේ නම්, රටට ද යහපතක් ම වන්නේ ය.