නිස්සන් නිසි තැන තබා රිසි සේ වැඩකරන්නට ඉඩ හසර හදා දෙන්න!


කියන්න නම් පහසු ය. අමාරු ක්‍රියාවේ යෙදවීම ය.

ආයතනයක තීරණාත්මක තනතුරු දැරීම සදහා සුදුස්සන් ආකර්ෂණය කරගැනීම, තෝරාගැනීම, ඔවුන් ඒ තැන්වල  රදවා ගැනීම හා ඔවුන්ගෙන් හැකි ඉහළම දායකත්වය ලබා ගැනීම කළමනාකරුවන් මුහුණ දෙන අතිශය වැදගත් ගැටළු බවට විවාදයක් නැත. ඒ ගැටළු ජයගත හැකි ආයතනවල සෙසු ප්‍රශ්න මතුවීමට ද ඇති ඉඩකඩ අඩු ය.

සාර්ථක ආයතනවලට සුදුසු දක්ෂ අය ආකර්ෂණය කර ගත හැක්කේ ය. ඔවුන්ට ආකර්ෂණය පහසු වුව ද තෝරාගැනීම අපහසු ය. ඒ අතිවිශාල විකල්ප ගණනාවක් ගැන සොයන්නට තිබෙන නිසා ය.

ආයතන සාර්ථක වීමට දක්ෂ අය අවශ්‍ය බව ද සුදුසු දක්ෂ අය ආකර්ෂණය කර ගත හැක්කේ සාර්ථක ආයතනවලට බව ද අපි සදහන් කළෙමු. ඒ නිසාම සෙසු ආයතනවලට ආකර්ෂණය අභියෝගයක් ලෙස පවතී. ඒ නිසාම තෝරාගැනීම කොහොමටත් ප්‍රශ්න කාරී වෙයි. කිකිළි-බිත්තරයේ ආකෘතිය ගන්නා මේ ප්‍රශ්නය ජය ගැනීම පහසු නැත.

ඒ නිසාම කුඩා තවමත් ස්ථාවර නැති ආයතනවලට විශාල ආකර්ෂණීය පැකේජයන් සපයා මිනිසුන් ආකර්ෂණය කර ගැනීමට සිදුව තිබේ.

විශාල පිරිවැයක් දරමින් බදවා ගැනීම කරන නිසාම තෝරාගැනීමේ දී අතිශයින් ප්‍රවේශම් සහගත වීමට ද ඔවුන්ට සිදු වේ. අධ්‍යාපන සහතික ගැන නොව පෙර වැඩ කළ තැන්වල කාර්යය සාධනය කෙසේ වීදැයි සොයා බැලීමට ඒ නිසාම සිදුවේ. ඒ දක්ෂයින්ම තෝරාගැනීම සදහා ය.

ඒ කියන්නේ සුදුස්සෙකු වීමට දක්ෂයෙකු විය යුතු බව ය. මිනිසුන් සතුව විවිධ දක්ෂතා ඇති බැවින් මෙය තරමක ව්‍යාකූල ප්‍රකාශයකි. දක්ෂතාවය තනතුරේ වැඩකටයුතු කරගෙන යෑමට අවශ්‍ය අංශයන් සම්බන්ධයෙන් විය යුතු ය. ගායකයෙකු සොයන අප දක්ෂ කථිකයෙකුගෙන් ගායනය අපේක්ෂා කිරීම නොකට යුතු ය. අප බොහෝවිට කරන වැරැද්දක් නම් යම් ක්ෂේත්‍ර කීපයක පෙන්වන දක්ෂතාවය පදනම් කර ගෙන පොදුවේ දක්ෂයෙකු ලෙස මිනිසුන්ට ලේබල් ඇලවීම ය. එසේ කොට නටන්න දක්ෂයාගෙන් සිංදු කියන්නට ද අපේක්ෂා කිරීම ය.

තෝරාගැනීම කොතරම් හොදින් කළේ වුව ද රදවා ගැනීම සදහා ද අනවරත වෙහෙසක් දැරීමට ආයතනයට සිදුවේ. නව අත්හදා බැලීම් කිරිමට සුදුසු පරිසරයක් ඇති කිරීම, අවශ්‍ය පරිදි බලාත්මක කිරීම හා නිසි සම්පත් ලබා දීම ඒ අතර ප්‍රධාන ය. දක්ෂයන් සෙසු අයට වඩා ඉක්මණින් කළකිරීමට පත්විය හැකි බැවිනි.

ඒ සියල්ල තිබුන ද කැපවීම ඇති කළ නොහැකි නම් ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිලාභයක් නැත. මේ නිසා ම ඔවුන් ඇදගැනීමට ඇති කළ ආකර්ෂණීය පැකේජය කාර්ය සාධනය හා බද්ධ කර තිබීම වැදගත් ය. වැඩියෙන් දායක වන තරමට වැඩියෙන් ඉපැයිය හැකි වාතාවරණයක් ඇති කිරීම එයින් අපේක්ෂිත ය. දක්ෂ මිනිසුන් නිකම් සිටිමට කැමති නැත. ඒ නිසාම වැඩියෙන් දායක වූ තරමට වැඩියෙන් ගෙවන පැකේජයක් පිළිගැනීමට ඔවුන් මැලිවන්නේ ද නැත.

බොහෝ ආයතනවල වැටුප් තලය සකස් කොට ඇත්තේ අධ්‍යාපන සුදුසුකම් අනුව මිසක රැකියාවට අවශ්‍ය දක්ෂතා හා හැකියා මත පදනම් ව නොවේ. එසේ සකස් කර ඇති ආයතනවල පවා වැටුප් හා ප්‍රතිලාභ කාර්යය සාධනයට නම් බද්ධ කොට නැත. ඒ නිසා ම එවැනි ආයතනවලට මේ කටයුත්ත පහසු නොවේ.

තවත් ආයතනවල  දක්ෂයින් සම්බන්ධයෙන් ඇත්තේ අසාත්මිකතාවයකි. ඔවුන්ගේ කුඩා හෝ හැසිරීමක් ආයතනයේ අධිකාරියට ප්‍රශ්නයක් විය හැකිය යන සැකය ඔවුන් සම්බන්ධයෙන් නරකට බලපාන්නට පුළුවන.

දක්ෂයින්ගේ හැසිරීම ප්‍රශ්නයක් වන්නේ ආයතනයේ අධිකාරයට පමණක් නොවේ. ඒ තැනැත්තාගේ සෙසු සගයන්ට ද ඔහු යටතේ වැඩකරන්නන්ට ද එය තර්ජනයක් වේ. නිදා සිටින අය අතර නැගිට ඇවිදින කෙනෙකු සිටීම නිදා සිටින්නන්ගේ කැමැත්තට හේතුවන්නේ නැත. ඒ කාරණා නිසා ද මේ කටයුත්ත පහසු නොවේ.

ගැටළුව පැහැදිලි කර ගෙන ඇති අය පවා ඊට උත්තර සොයා ගෙන ඇති අය පවා අසරණව ඇත්තේ මේ ප්‍රායෝගික ගැටළු අමතර වශයෙන් ඇති නිසා ය.

නායකත්වයක් අවශ්‍ය මේ අසුන්දර ගැටළු ජය ගැනීමට ය.

Advertisements