ආගම! – කළමනාකරුගේ අස්ථානය?


ආගම, එය කවරක් හෝ වේවා, අපේ ජීවිතවලට ඇති කර ඇති බලපෑම අතිමහත් ය. ඒ නිසාම ආයතනයක කළමනාකාරිත්වයට එයින් වෙන්ව ජීවත්වීමට හෝ එය නැතැයි සිතා වැඩ කිරීමට හැකියාවක් නැත. විශේෂයෙන් අලුතින් ආගමික පුබුදුවක් දකින්නට ලැබෙන අප වැනි රටක එය තවත් අමාරු ය.

ඒ නිසාම ආගම සම්බන්ධයෙන් කළමනාකරණයේ ස්ථාවරය කුමක් විය යුතු දැයි යන්න ගැන නිශ්චය අදහසක් කළමනාකරුවන් විසින් ඇති කර ගත යුතු ය. එවිට යම් ආගමික කටයුත්තක් සම්බන්ධයෙන් වන ඉල්ලීමක් ගැන කුමක් කළ යුතු දැයි දහ අතේ කල්පනා කරමින් ලතැවීමට සිදු නොවේ.

හැම ආගමකින්ම අපේක්ෂා කළේ යහපතක් බව ඇත්ත ය. එහෙත් ඒවා දේශනා කරන්නේ එකිනෙකට වෙනස් මාවත් ය. ඒ නිසා එකක් අල්ලා ගත් විට අනෙක්වා අත හරින්නට සිදු වේ. ආයතනයක් විසින් අල්ලා ගත යුත්තේ කුමන ආගම ද? කුමක් අල්ලා ගත්ත ද එවිට අනික්වා අත හැරෙන නිසාම ආයතනය අමාරුවේ වැටේ. හැම දෙනාටම මෙය වැටහෙන්නේ නැත.

ඒ නිසා ආයතන ප්‍රධානියා, විශේෂයෙන් ඔහු බහුතරයගේ ආගම වන බුද්ධාගම අදහන කෙනෙකු නම්, තමන්ගේ ආගම ආයතනය තුළ ඉදිරියට ගැනීමට කටයුතු කරන්නට පුළුවන. එහි වැරැද්දක් පවා ඔහු නොදකින්නට පුලුවන.

යම් ආයතනයක් බුද්ධාගමේ චර්යාවන්ට මෙසේ මුල් තැන දෙන විට බුද්ධාගමේ සංකේත පමණක් ප්‍රදර්ශනය කරන විට ඒ ආයතනයට එන වෙනත් ආගම් අදහන හෝ ආගම් නොඅදහන ගනුදෙනුකරුවන්ට එය තමන්ගේ ආයතනයක් ලෙස නොහැගේ. එහෙත් බෞද්ධයන්ට එයින් අමතර ඇතුළත් කමක් ඇති විය හැකි ය. රටේ වැඩි දෙනෙක් බෞද්ධයින් බැවින් අන් අයගේ හැගීම ගැන තැකීමක් නැතිවාට කමක් නැත යන්න බොහෝ කළමනාකරුවන්ගේ මතය වී තිබේ.

ප්‍රශ්නය වඩාත් ව්‍යාකූල වන්නේ වෙනත් ආගමිකයෙකු හෝ නිර්ආගමිකයෙකු ආයතනයේ ප්‍රධානියා වූ විට ය. ඔහුට හෝ ඇයට අකමැත්තෙන් පැරණි සම්ප්‍රදාය ගෙන යන්නට සිදු වේ.

ආගම සමහර මිනිසුන් භාවිතා කරන්නේ තමන්ගේ සමාජ බලය වර්ධනය කර ගැනීමට ය. ආයතන ඇතුළේ ද මෙය සිදු වේ. ආගම වඩාත් ඉස්මත්තට ගෙන එන්නට සමහර විට දගලන්නේම ආයතනයේ ඉන්නා අතිශය වංචාකාරයා වීමේ ඉඩකඩ බැහැර කළ නොහැකි ය.

ආගමික කටයුතුවලට ඉඩක් විවර කළ විට එයට සීමා පනවන්නට ද අපහසු වේ.

විශේෂයෙන් වෙනත් ආගමිකයෙකු ආයතන ප්‍රධානියා වූ විට ඔහු හෝ අැය පාලනය කිරීමේ උපක්‍රමයක් ලෙස ද බහුතරයට ආගම භාවිතා කළ හැකි ය.

සමහර ආගමික ඉගැන්වීම් ආයතනයේ කටයුතු සමග ගැටෙන අවස්ථා තිබිය හැකි ය. උදාහණයක් ලෙස ධීවර කර්මාන්තයේ නියැලෙන ආයතනයක මුඛ්‍ය කාර්යයම බුද්ධාගමේ ඉගැන්වීම් හා ගැටෙන බව අපි දනිමු.

මේ සියළු කාරණා නිසා ආගම හා ආයතන අතර දීගය ආයතනයට පමණක් නොව ආගමට ද යහපතක් සලසන්නේ නැත. ආගම ඇදහීම එක් එක් පුද්ගලයාගේ පෞද්ගලික කටයුත්තක් විනා ආයතනයේ කටයුත්තක් නොවන බවට ආයතනයේ අගැයීම් පද්ධතියට ඇතුළු කළ විට බොහෝ ප්‍රශ්න විසඳේ. උදෑසනින් ආරම්භ කර රාත්‍රියේ අවසන් කරන විටත් ආගම මෙනෙහි කිරීමට සැදී පැහැදී සිටින මාධ්‍ය සම්බාරයක් ඇති රටක ඒ ටික නැවත වතාවක් ආයතනයක් තුළ කිරීමෙන් අමතර අගයක් එකතු වන්නේ නැත. ඒ බව තෝරා බේරා ගතහොත් ආයතනයේ වැඩ කටයුතු අනවශ්‍ය ව්‍යාකූලත්වයක් සංකීර්ණත්වයක් නැතිව පහසුවෙන් කර ගෙන යා හැකි ය.