කල්ලි කිහිපයක් තව කල්ලියකට එරෙහිව කල්ලි ගැසෙන කල්ලි වලින් පිරුණු ආයතන


බොහෝ ආයතනවල කල්ලි වැහි වැහැලා ය. පළාත් අනුව බිහි වූ කල්ලි ය. තමන් උගත් පාසල හෝ සරසවිය අනුව බිහි වූ කල්ලි ය. දේශපාලන මතවාද පදනම් වූ කල්ලි ය. ආගම් මත පදනම් වූ කල්ලි ය. ජාතිය මත පදනම් වූ කල්ලි ය.

සමහර කල්ලිවල පදනම ඉතාම ලිහිල් ය. එවැනි කල්ලි ගොඩ නැගෙන්නේ කෙසේ ද යන්න පවා අදහා ගන්නට බැරි ය. කල්ලි ගැසීමේ අර්ථය තනිව කර ගත නොහැකි බොහෝ දේ කරගැනීමට බලය පාවිච්චි කිරීමට අවශ්‍ය ශක්තිය ගොනු කර ගැනීම ය.

මේවා විධිමත් ආයතනය බෙදා දමයි. එක කල්ලියක සමාජිකයෙක් ඉදිරිපත් කළ අදහසක් එය කොතරම් නිවැරදි වුව ද අනෙක් කල්ලිවලට අරහං වෙයි.

කාර්ය සාධනය මැනෙන්නේ කරන වැඩ අනුව නොව තමන් අයිති කල්ලිය අනුව ය.

මාරු කිරීම්වලදි ද උසස්වීම් වලදී ද ශිෂ්‍යත්වයක් ප්‍රදානයෙදී ද පුහුණුවකට නම් කිරීමේ දී ද නිවැරදි කල්ලියක සිටීම වැදගත් අනුග්‍රහයක් වෙයි. ගොඩ දා ගන්නේ අපේ මිනිහා ය.

විනය  සම්බන්ධයෙන් කටයුතු වලදී ද අපේ මිනිහෙක් නම් (අපේ කල්ලියේ මිනිහෙක් නම්) ඔහුට බුරුලක් ලිහිලක් ලැබේ.

ගැටුමකදී ගන්නේ නිවැරදි පැත්ත නොවේ. අපේ කල්ලියේ පැත්ත ය.

“වැරදි“ කල්ලිවල සමාජිකයන් තමන්ට කරන අකටයුත්ත ඉවසා ගන්නට නොහැකි වූ තැන කැරලි ගසයි. තනිව ගසන කැරැල්ලකට වඩා ශක්තියක් එය ඇති නිසා ම එය ආයතනයට නව ගැටළු මතු කරයි.

කැරලි ගහන්නට වූ විට ඔවුන් මට්ටු කරන්නට ද වෙනත් කල්ලි ඉදිරිපත් වේ. කැරැල්ල යුද්ධයක් බවට පත්වෙයි.

බලය පදනම් කර ගත් කේවල් කිරීම තර්කය පදනම් කරගත් සත්‍යය වෙනුවට ආයතනය තුළ සන්නිවේදන ක්‍රමවේදය බවට පත්වෙයි.

විධිමත් සංවිධානයක පදනම මත කණ්ඩායමක් ගොඩ නැගීම සිහිනයක් වෙයි. කල්ලි අතර බෙදීම් මෙන්ම සහයෝගය ද ඇති වෙයි. කල්ලි කීපයක් තව කල්ලියකට එරෙහිව කල්ලි ගැසීම සාමාන්‍ය දෙයක් වෙයි.

මේ බිහිව ඇත්තේ ආයතනික දේශපාලනයට අපූරු තෝතැන්නකි. කල්ලි අතර බලය සදහා කරන අරගලය ආයතනය තුළ අනෙත් සියලු කාරණා මැඩ ඉදිරියට පැමිණෙයි.

විධිමත් ආයතනය අවුරුවමින් මේ කල්ලි වැඩෙයි. පිළිලයක් මෙන් වැඩෙයි. ආයතනයට ඉදිරියට යන්නට නොහැකි වෙන අතර එහි පැවැත්ම පවා අනතුරේ වැටේ.

නායකයාට කල්ලියකට අයත් නැත්නම් ඔහුට ඇති ප්‍රධානම අභියෝගය වනුයේ කල්ලි අතර සාම්‍යය ඇති කිරීමට ය. ඔහුගේ කාලයෙන් ශ්‍රමයෙන් වැඩි හරිය ගෙවෙන්නේ මේ ගැටුම් සමතයකට පත් කරනු පිණිස ය.

ඔහු කල්ලියක සමාජිකයෙක් නම් ඔහුට තම කල්ලිය වෙනුවෙන් කැප වීමට සිදුවේ. ඒ ආයතනය පවා පරදුවට තබමිනි.

නායකයෙකුගේ අභියෝගය වන්නේ කිසිම කල්ලියකට යටත් නොවී සිටීමට හැකිවීම තුළ ය. කල්ලි විසිරවීමට හැකි වීම තුළ ය. ආයතනය මත පදනම්ව කණ්ඩායම ගොඩ නැගීමට හැකි වීම තුළ ය.

එය පහසු කටයුත්තක් නම් නොවේ. නායකයන් අවශ්‍ය වනුයේ ද එවැනි අපහසු කටයුතු කිරීමට ය.

ආයතනයකට පමණක් නොව රටට ද මේ කාරණය අදාළ ය.

Advertisements

හිර ගෙදර ජරමරේ


හිරගෙදර ජරමරේ කුඩු කාරයින්ගේ බලපුළුවන්කාරකමේ පිළිබිඹුවක් ලෙස සළකා ඉවත දැමිය හැකි ද? එහෙම නැත්නම් මේ කාලයේ සිදුවන්නේ අබුද්දස්ස කාලේ සිදුවන දේවල් යයි කියමින් එය කාලයේ යුගයේ ගිනුමට බැර කර අපට අපේ පුරුදු කටයුතු කරගෙන යෑ හැකි ද?

බැලූ බැල්මට කළමනාකරණයට අදාළ නැතැයි පෙනුනත් ගැඹුරින් විමසීමේදී පෙනෙන්නේ මෙතැන සැබැවින්ම තිබී ඇත්තේ කළමනාකරණ ගැටළුවක් බව ය.

එක් පැත්තකින් ඉතාම නවීන ආයුධවලින් සන්නද්ධ පුහුණුව ලත් නිලධාරීන් ය. අනිත් පැත්තේ නිරායුධ කරන ලද තමන් විසින්ම ලබා ගන්නා ලද සීමාසහිත පුහුණුවකින් හෙබි හිරකරුවන් ය. කීප දෙනෙක් හමුදාවෙන් පැන ගිය අය යැයි කියන මුත් බහුතරය එසේ නොවේ. ඉදින් එවැනි පැහැදිලි බලය සහිත හා බලය රහිත කණ්ඩායම් අතර ගනුදෙනුවක් මෙසේ අවසන් විය හැක්කේ බලය සහිත කණ්ඩායමේ වැරැද්දක් හේතුවෙන් නොවේ ද?

බලය සහිත කණ්ඩායම අතින් මෙතැනදී සිදුවන අඩුපාඩුවක් සම්බන්ධයෙන් මුඛ්‍ය වගකීම පැවරෙන්නේ ඒ කණ්ඩායමේ කළමනාකරණය වෙත ය. තවමත් සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තර අනාවරණය වී නැත. විශේෂයෙන් සිරකරුවන් අතට ආයුධ පත්වූයේ කෙසේ ද යන්න තවමත් උත්තර නැති ප්‍රශ්නයකි. ඒ නිසා වැරදි කරුවන් සෙවීමට අපහසු ය.

අප සෙවිය යුත්තේ වැරදිකරුවන් කවුද කියා පමණක් නොවේ. මෙසේ වරදක් සිදුවන්නට හේතූ වූ කළමනාකරණ ක්‍රමවේදයේ අඩුපාඩු කවරේද කියා ය.

බොහෝ රාජ්‍ය ආයතනවල  (සමහර පුද්ගලික ආයතන තුළ පවා) ප්‍රශ්නවලට එක් ප්‍රධාන හේතුවක් වන්නේ සුදුස්සන් අදාළ තනතුරුවලට පත් නොකිරීම ය. දෙවැනි ප්‍රධාන හේතුව එසේ පත් කළ පසු ඔවුන්ට සිය කටයුතු බාහිර ඇගිලි ගැසීම්වලින් තොරව කරගෙන යෑමට නිදහස නොදීම ය. තෙවැන්න ඔවුන් යටතේ සිටින නිලධාරීන් නිසි පාලනයකට පත් කිරීමට අවශ්‍ය බලතල නොදීම ය. සිව්වැන්න ඔවුන් යටතේ සිටින සේවකයෙන් නිලධාරියෙකු වැරැද්දක් කළ විට ඔවුන් ඊට දඩුවම් කිරීමට සූදානම්වන කල එම වැරදි කරුවන් රැක ගැනීමට බලාධිකාරය විසින්ම ඉදිරිපත්ව කටයුතු කිරිම ය. පස්වැන්න මේ හේතුන් නිසාම සුපරීක්ෂණය අකර්ණම්‍ය වී තිබිම ය.

කටුගෙයි හොරකම හා හිරගෙදර කැරැල්ල එකවල්ලේම පොල් ය. තව බොහෝ ආයතනවල ඇති අර්බුදයන් පිරික්සීමේදී ද පෙන්නුම් කරනු ඇත්තේ මෙය යි. මේ ව්‍යාධියට ගොඩ වෙදකම් වලින් විසදුම් සෙවිය නොහැකි ය.

නිසි විසදුම් නොලැබේ නම් කටුගෙය නැවතත් හොරු බිදිනු ඇත්තේ ය. හිරගෙදර නැවතත් කැරලි ඇතිවනු ඇත්තේ ය. තව බොහෝ “ගෙවල්“ මේ පෝලිමට එක්වනු ඇත්තේ ය.

මේ සිද්ධීන් දෙස කළමනාකරණ ඇසකින් බැලිය යුත්තේ ඒ නිසා ය.