ජයග්‍රහණයේ රහස


1509824_686440654747970_1548254091_nජයග්‍රහණයට පියවරු රාශියකි. පරාජය හැම විටම පාහේ අවජාතක ය.

ජයග්‍රහණය ප්‍රීති ජනක ය. එය කොතරම් ද යත් දැක ගන්නට ඊයේ අවසන් වූ 20-20 ලෝක කුසලාන ජයෙන් අප උද්දාමයට පත් වූ ආකාරය පමණක් සෑහේ. කණ්ඩායම පමණක් නොව ලංකාවේ ජනතාව ද මහ රෑ වීදී පුරා කෑගසමින් ඔල්වරසන් දුන් අයුරු අපි දුටුවෙමු.

ඊට ප්‍රතිපක්ෂව ඉන්දියා කණ්ඩායමේ හැසිරීම පරාජය කොතරම් කටුක ද යන්නට අපට පෙන්වා දුන්නේ ය. තරගාවලියේ වීරයා වූ ද තරගයේ වැඩිම ලකුණු ගණනකට හිමිකම් කිවූ ද විනෝද් කෝලි පවා පසු වූයේ පසුතැවිල්ලකිනි.

ජයග්‍රහණයේ ප්‍රීතිය සමරණ බොහෝ දෙනෙකු නොසිතන කාරණය වන්නේ එය ලැබිය හැක්කේ දුෂ්කර ක්‍රියා සමයකින් පසු බව ය.

ඒ සදහා කුසලතා අවශ්‍ය ය. අචල ධෛර්ය හා නොවෙනස් විශ්වාසය අවශ්‍ය ය. උපාය මාර්ගික දක්ෂතා අවශ්‍ය ය. නිසි පුහුණුව හා සම්පත් අවශ්‍ය ය. සර්ව ආංශික දක්ෂතාවයකින් යුත් කණ්ඩායමක් තිබීම අවශ්‍ය ය. ඔවුන් තුළ දක්ෂතා වලට අමතරව කණ්ඩායම් හැගීම තිබීම අවශ්‍ය ය. කණ්ඩායම වෙනුවෙන් තම දායකත්වය සැපයීම මෙන්ම අවශ්‍ය විටෙක පෞද්ගලික ජය පරදුවට තබන පරිත්‍යාගශීලිත්වය අවශ්‍ය ය.

එවැන්නක් අැති කළ හැක්කේ අචල ප්‍රතිපත්තියක පිහිටන නායකත්වයකට ය. ප්‍රතිපත්ති අචල වුව ද උපාය මාර්ගිකව නම්‍යශීලී වීමට සමත් නායකත්වයකට ය. මිනිසුන් නම්‍යශීලීවීම සම්බන්ධයෙන් උරණ නොවනු ඇත්තේ නායකයා අචල ප්‍රතිපත්තියක පිහිටන විට ය. නායකයා පරිත්‍යාගශීලීත්වය පෙන්වන සංකේතයක් වන විට ය. කණ්ඩායමේ අරමුණ ජය ගැනීම අන් සියල්ලට වඩා ඉහලින් තබන විට ය. කණ්ඩායමට දායක වන්නන්ට නිසි ගෞරවය අත් කර දීමට කටයුතු කරන විට ය. නිල නායකයා නායක කම ඔලුවට නොගත් විටක ය. නායකත්වය පිළේ සෙසු අය සමග බෙදා ගත් විට ය. ජයෙන් ඔලුව උදුම්මා ගෙන හිතුවක් කිරීමට කටයුතු නොකළ විට ය. කණ්ඩායම තමන්ගේ හිතවතුන්ගෙන් හා මිත්‍රයන්ගෙන් නොව දක්ෂතා ඇති අයගෙන් පුරවන්නට කටයුතු කළ විට ය. ජේෂ්ඨයින් කල් ඉකුත්ව ගිය විට නව පරපුරට ඉඩ සළසමින් ඉවත් වන්නට කටයුතු කළ විට ය.

ක්‍රිකට් ජයට ශක්තිය දක්ෂතාවය පමණක් නොව නායකත්වය ද ප්‍රමාණවත් නොවේ. ඒ සදහා වාසනා ගුණයක් ද අවශ්‍ය ය. එහෙත් ඒ දෙක නැතිව නම් වාසනාවට කළ හැකි දෙයක් නැත.

එතරම් දක්ෂ නැති හැකියාවෙන් අඩු කණ්ඩායමක් පවා වාසනාව නිසා වරක් දෙකක් ජයග්‍රහණය ලබා ගැනීමට පුලුවන. එහෙත් එය නිරන්තරයෙන් ලැබෙන ජයකට පත් කර ගැනීමට අප කලින් දැක්වූ තව බොහෝ දේ අවශ්‍ය ය.

අපේ ජීවිතය ද ඊට වඩා වෙනස් නැත. ක්‍රිකට් ජය සමරනවාට අමතරව ඒ තුළින් උගන්නට ද උත්සහ කරමු. අපේ ජීවිතය ජය ගත හැක්කේ එසේ කළොත් පමණකි. රටක් ලෙස අපට ජය ගත හැක්කේ ද එසේ උගන්නට උනන්දු වීමෙනි.

සටහන අවසන් කිරීමට පෙර තව එක් කරුණක් ගැන ඔබේ අවධානය යොමු කිරීමට මම කැමැත්තෙමි. ඒ ක්‍රිකට් ක්ෂේත්‍රයේ අප දක්වන දස්කම් වෙනත් ක්ෂෙත්‍රවල එපමණින්ම දැක්වීමට අපට නොහැකි ව ඇත්තේ ඇයි ද යන්න ය. එය වඩාත් දැඩිව අපේ අවධානයට ලක් විය යුතු කාරණයකි.

Advertisements

ප්‍රතිපත්ති වෙනුවට මිත්‍රත්වය තෝරාගැනීම


2N4TUVgරුසියාව ශ්‍රී ලංකාවට හිතේෂී ය. එළැඹෙන මාර්තු අග ජිනීවාවලදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇමරිකාව ප්‍රමුඛ රටවල් ගෙන එන යෝජනාවේ දී රුසියාව එයට විරුද්ධව චන්දය දීමට ද නියමිත ය. ඒ නිසා රුසියාවේ මිත්‍රත්වය ශ්‍රි ලංකා ආණ්ඩුවට වැදගත් ය.

යුක්රේනයේ ආණ්ඩු පෙරලියත් සමග යුක්රේනයේ ක්‍රිමියානු අර්ධද්වීපයට ඇතුළු වුනු රුසියන් හමුදාව ඒ තුළ වෙනම රාජ්‍යයක් ගොඩ නගා ගැනීමට හෝ ඒ කොටස රුසියාවට එකතු කර ගැනීමට හෝ සූදානම් වෙයි. එයට පක්ෂව රුසියාව ගෙනෙන තර්කය වනුයේ ඒ අර්ධද්වීපයේ බහුතරයක් රුසියන් බස කතා කරන්නන් එනම් රුසියානුවන් සිටින බව ය.

මේ තර්කය යාපනය අර්ධද්වීපය සම්බන්ධයෙන් ඉන්දියාවටත් ගෙන ආ හැකි එකකි.

ශ්‍රී ලංකා ආණ්ඩුවට ඒ අනුව ක්‍රිමියානු ප්‍රශ්නය සම්බන්ධයෙන් උභතෝකෝටියකට මුහුණ දීමට සිදු වේ.

තෝරාගත යුත්තේ ප්‍රතිපත්ති ද මිත්‍රත්වය ද යන ප්‍රශ්නයට අපට මුහුණ දීමට සිදුවන බවට මෙය එක් උදාහරණයක් පමණකි. කළමනාකරුවන්ට ද මීට සමාන ප්‍රශ්නයට මුහුණ දීමට සිදු වේ. එවිට ඔහු හෝ ඇය තෝරාගත යුත්තේ කුමක් ද?

ප්‍රතිපත්තිය අත්හැර මිත්‍රත්වය තෝරාගත හොත් තමන්ට මිතුරන් කීප දෙනෙකු හැරෙන්නට කිසිවෙකු ඉතිරි නොවන්නට ඉඩ තිබේ. එවිට ප්‍රතිපත්ති නැති අවස්ථාවාදියෙකුගේ ගොඩට වැටේ. එක දවසක් කියන කතාව ඊළග දවසේ අකුලා ගන්නට එයින් සිදු වේ.

වඩාත් අසීරුතාවයට පත්වන්නේ මිතුරන් අතර ප්‍රශ්නයක දී කවරෙකුගේ පැත්ත ගත යුතු දැයි තීරණය කිරීම ය. එවන් විටෙක තමන් බොහෝ සෙයින් අසරණ වන්නට ද ඒ නිසා ඉඩ තිබේ. ඒ තුළ ඉතිරි මිතුරන් කීප දෙනෙක් ද නැති වන්නට ඉඩ තිබේ. තමන්ගේ කියා ප්‍රතිපත්තියක් නැතිවන තරමට තමන් නිරුවත් වීමට එයින් මග සැලසේ.

තමන් ප්‍රතිපත්තියක රැඳී සිටියහොත් සදාකාලික මිතුරන් නැති වුව ද (එහෙම අය සිටිය හැකි ද යන්න වෙනම ගෙන විමසිය යුතු ය) ප්‍රතිපත්තිය අගයන අයවත් තමන් සමග සිටින්නට පුලුවන.

ශ්‍රී ලංකාව වැනි රටක වඩා වැදගත් විය හැක්කේ කුමක් ද යන්න විවාදිත ය. මක්නිසාද යත් එහි සංස්කෘතිය තුළම අපේ මිනිහා පරයෙකුට වඩා වැදගත් වන නිසා ය. මෙතැන පරයෙකු යන වචනය භාවිතා කොට ඇත්තේ තමන්ගේ නොවන බව හැඳින්වීමට ය. ව්‍යවහාරයේ දී එයින් අවමානයක් හැගවෙන්නේම පරයෙකු “පරයෙකු“ ලෙසම සළකන නිසා ය. එවිට සිදු වන්නේ මිත්‍රත්වය වෙනුවෙන් ප්‍රතිපත්ති අත්හැර දැමීමට ය.

දිගු ගමනක් යන්නට කැමැත්තෙක් නම් තාවකාලික අවාසි ඇත්තේ වුව ද ප්‍රතිපත්තිම මුල් තැනේලා සැලකීම මගේ මතයේ හැටියට නිවැරදි පියවර ය.

රට වඩා ප්‍රතිපත්ති මූලික රටක් බවට පත් කළ හැක්කේ ද එවැනි අස්ථානයක බොහෝ දෙනා පිහිටන්නේ නම් ය. ආයතනය ප්‍රතිපත්ති මූලික ආයතනයක් කළ හැක්කේ කළමනාකාරිත්වය එවැනි අස්ථානයක පිහිටන්නේ නම් ය.

උඩු ගං බලා යෑම දුෂ්කර වුව ද සමහර විට එසේ නොකර යහපත් වෙනසක් ඇති කළ නොහැකි ය.