මෙලොවටත් එලොවටත් වැඩක් නැති -මෙලෝ රහක් නැති – කණ්ඩායම් බණ


අපි එකා වගේ ඉන්න ඕනෑ බෙදුනොත් ඉවරයි. එකට වැඩ කළොත් ජය ගන්න බැරි අභියෝගයක් නෑ. අපේ ආයතනයේ හැමෝම කණ්ඩායම් හැගීමෙන් වැඩ කරන්නට හිතට ගන්නට ඕන.

මෙහෙම බණ අසා ඔබටත් පුරුදු ද?

බණ අසන අය අවසානයේ සාදු කාර දෙනවා මිසක ඒවා පිළිපදින්නේ කළාතුරකින් බව දැන දැනත් බණ කියන රටක ආයතනයක කළමනාකරුවෙක් තම අනුගාමිකයන්ට මෙහෙම බණ කීම ගැන අපට ඔවුන්ට දොස් පැවරිය නොහැකි බව ඇත්ත ය.

එහෙත් ඔවුන් එයින් මිනිසුන් කණ්ඩායම් ලෙස වැඩ කරනු ඇතැයි අපේක්ෂා කරන්නේ නම් අපට ඔවුන් කෙරෙහි අනුකම්පා කිරීමට සිදු වේ.

කණ්ඩායම් ලෙස මිනිසුන් වැඩ කරන්නේ කණ්ඩායම් සංස්කෘතියක් ආයතනය තුළ තිබේ නම් ය. ඒ හරුපයෙන් කියන්නේ කුමක් ද?

ආයතනය තුළ සැමටම ආයතනයට දායක විය හැකි වටපිටාවක් තිබිය යුතු බව ය. සැමගේ දායකත්වය එකසේ අගැයිය යුතු බව ය. දායකත්වය වැඩට පමණක් නොව තීරණ ගැනීමේදී ද ලබා ගත යුතු බව ය. ඒ එසේ ලබා ගන්නා බව ලෝකයාට පෙන්වීමට නොව සැබෑ ලෙස ලබා ගත යුතු බව ය. දායක වන ප්‍රමාණයේ හැටියට මිසක වෙනත් නිර්ණායක මත ප්‍රතිලාභ නොලැබිය හැකි තත්වයක් ආයතනය තුළ තිබිය යුතු බව ය. තමන්ගේ වැඩ කොටස අවසන් කරන ප්‍රමාණයට පමණක් නොව කණ්ඩායමේ අභිවෘද්ධිය වෙනුවෙන් කරන වැඩ ද- අන් අයගේ වැඩ වලදී අත්වැල් සැපයීම ද- අගය කරන ඒවාට ද ප්‍රතිලාභ හිමිවන ක්‍රම වේදයන් ඒ තුළ සකසා තිබිය යුතු බව ය.

කණ්ඩායම තුළ වෙනස් මත දැරීමට ඒවා වෙනුවෙන් පෙනී සිටීමට ඉඩ තැබිය යුතු බව ය. ඒවා අතර සංවාදයන්ට මාවත් විවෘත කළ යුතු බව ය. ඒවා අතර තරගයක් ඇත්නම් වඩා දියුණු අදහසට ඉදිරියට ඒමට ඉඩ හසර ඇති කළ යුතු බව ය.

කණ්ඩායමේ පොදු අභිවෘද්ධියට බල නොපාන තාක් ඒ තුළ තමන්ගේම අනන්‍යතාවයක් දැරීමට ඇති අයිතියට ගරු කළ යුතු බව ය. එවැනි අනන්‍යතාවයන් ප්‍රදර්ශනයට ඉඩ හසර සැළසිය යුතු බව ය.

කණ්ඩායමක් ලෙස වැඩ කරන්නට කියන්නේ තමන්ගේ එකාට සෑහෙන්න සළකමින් නම්, තමන්ගේ එකාගේ වැරදි ෂේප් කරමින් නම්, තමන්ගේ අය හා අන් අය ලෙස කණ්ඩායම් සමාජිකයින්ට දෙවිදිහකට සළකමින් නම්, එතැන කණ්ඩායමක් ඇති වන්නේ නැත. එතැන ඇතිවන්නේ බෙදීමකි. එවන් ආයතනයක අපේ එකාලා වෙනමත් අන් අය වෙනමත් කණ්ඩායම් ගැහීම වලක්වන්නට සක්කරයාටවත් බැරි ය.

තනි තනිව කරන වැඩවලට පමණක් ප්‍රතිලාභ ලැබේ නම් එතැන ද කණ්ඩායම් හැගීමක් ඇති වීමේ ඉඩක් නැත. එතැන ඉඩ ඇත්තේ එකිනෙකා කපා ඉදිරියට යන තරගයකට පමණි.

එහෙම ආයතනවල නායකයින් දෙසන කණ්ඩායම් බණ මෙලෝ රහක් නැතිවනවා පමණක් නොව එවැනි ආයතනයන්හි සේවය කරන්නන්ගේ නොමද උපහාසයට ද ලක්වේ.

කණ්ඩායම් ගොඩ නැගීම ගැන බණ කීම පසෙක තබා ඒ වෙනුවෙන් ආයතනය තුළ ඇති කළ යුතු වෙනස් කම් සිදු කිරීමට කළමනාකරණය උනන්දු විය යුත්තේ එහෙයිනි.

එය ආයතනයකට ද රටකට ද එකසේ අදාළ ය. එවැනි වටපිටාවක් හදන ආයතන හා රටවල් දියුණුවෙන් දියුණුවට පත්වීම වළක්වන්නට කිසිවෙකුටත් බැරි ය.

කළමනාකරුවෙකු මතු කළ යුත්තේ කණ්ඩායම ද පුද්ගලයා ද


සමහරුන්ට අනුව පුද්ගලයා ඉස්මතුවීමට ඉඩ නොදී කණ්ඩායම මතු කළ යුතු ය. හේතුව හැටියට දක්වන්නේ එසේ කිරීමෙන් කණ්ඩායමකින් ලැබෙන අධිශක්තියේ (synergy) වාසිය ගත හැකිය යන්න ය.

දර කැබැල්ලක් පහසුවෙන් කැඩිය හැකි වුව ද දර මිටියක් කැඩිය නොහැකිය යන්න අප උගත්තේ කුඩා කාලයේ දී ය. ඒ කතාවට අනුව දර කැබැල්ලකට නැති වටිනාකමක් දර මිටියකට ඇත්තේ ය. එවැනි පසුබිමක දර කැබැල්ලකට මතු වීමට දීමෙන් දර මිටියක් අතහැර දැමීමේ තේරුමක් නැත. අප කලින් සදහන් කළ මිතුරන්ගේ තර්කයේ පදනම ඇත්තේ ඒ උගැන්ම තුළ ය.

එහෙත් අපගේ මිතුරන් මග හරින කාරණය නම් තනි දර කැබලි දුර්වල  නම් ඒවා එක් කර බදින දර මිටියකට වුව ලොකු ශක්තියක් ඇති නොවන බව ය. සමහර විට දර මිටියේ ඇති එක් ශක්තිමත් දර කැබැල්ලකට වෙනත් කිසි දර කැබැල්ලකින් නොලැබෙන ශක්තියක් ලබා දිය හැකි බව ය.

මිනිසුන් සමාන නැති වටපිටාවක ශක්තිමත් හැකියාවන් ඇති අය ඉස්මතු කර ගැනීමට කළමනාකරුට හැකි විය යුතු ය. ඒ තුළින් ඔවුන්ගේ වැඩි හයිය වැඩිමනත් ලෙස භාවිතයට ගැනීම සදහා ය. අඩු වශයෙන් කණ්ඩායමක් හැදීමේ දී එවැනි අය විශේෂයෙන් තෝරා ඊට ඇතුළු කළ යුතු ය. එවැනි අයගේ වර්ධනයට රැකුල් දිය යුතු ය. සාමාන්‍ය සාමාජිකයින්ට ද ඔවුන් අනුගමනය කරමින් දියුණුවන්නට දිරි දෙනු පිණිස විශේෂ කුසලතා ඇති අය මතු කළ යුතු ය.

කණ්ඩායමක් තුළ ඔවුන් සගවා තබන්නේ නැතිව ඒ තුළ ඔවුන්ට ඉස්මතු වන්නට ඉඩ හසර ඇති කළ යුතු ය.

එසේ වුව ද ඔවුන් රෑස්ස ගස් වැනි බව ද මතක තබා ගත යුතු ය. රෑස්ස ගස් යට පුංචි ගස්වලට ඉඩක් නැත්තේ ය. ඒ නිසා ම ඒ ගැන ද අවබෝධයෙන් කළමනාකරණය කටයුතු කළ යුතු ය.

සමහර ඇති හැකි අය සෙසු අයව මායිම් කරන්නේ නැත.

එහෙත් සැබෑ ශක්තිවන්තයෝ එසේ නොවෙති. තමන් අභිමානයෙන් පෙළෙන නිසා ම අන් අය තර්ජනයක් ලෙස සළකන්නේනැති නිසාම ඔවුහු සෙස්සන්ට ද නිසි ගෞරවය පුද කරති. තමන්ගේ ආයතන තුළ සිටින ශක්තිමත් අය එවැනි අභිමානයෙන් යුත් නිහතමානී අය බවට පත් කර ගැනීමේ වගකීම ද නායකයා සතු ය.

ඒ සදහා නායකත්වය විසින් කණ්ඩායම වෙනුවෙන් දායක වීමට හැමට ඉඩකඩ දිමේ වැදගත් කම ගැන ශක්තිවන්තයින් දැනුවත් කළ යුතු ය. මුලදී වැඩි ඉඩක් අලුත් සාමාජිකයින්ට හා නැගී ගෙන එන සාමාජිකයින්ට පිරිනැමිමට ශක්තිමත් අයව පෙළඹවිය යුතු ය.

තනි පුද්ගලයින්ට අනවශ්‍ය වැදගත් කමක් අත් කර නොදී කණ්ඩායම මතු කර ගැනීම ඒ මගින් කළමනාකරණයට හැකි වෙයි.

සැබෑ අභිමානයෙන් පෙළෙන නිහතමානී ඇති හැකි අය සෙසු අය ද දිරිගන්වමින් ඔවුන්ට ද අවස්ථාව දෙමින් වඩා ප්‍රගතිගාමී ආයතනයක් ගොඩ නැගීමට කටයුතු කරනු ඇත්තේ ය. එවැනි ප්‍රයත්නයන් විශේෂයෙන් අගය කරමින් ඒ සදහා ඔවුන් තවදුරටත් මෙහෙයවීම ද කළමනාකරණයේ යුතුකම හා වගකීම ය.

කළ යුතුව තිබෙන්නේ කණ්ඩායම හෝ පුද්ගලයා යන දෙකින් එකක් තෝරාගැනීම නොව කණ්ඩායම හා පුද්ගලයින් නිසි ලෙස ඒකාග්‍ර කොට ඒ ඒකක දෙකටම හොදින් වැඩ කළ හැකි, ඒ ඒකක දෙකේම ගෞරවය ආරක්ෂා වන, තත්වයන් නිර්මාණය කිරීම ය.

සමජාතීත්වය අභිබවන විෂමජාතිත්වය – කළමනාකරණය සිංහලෙන්


සමහරුන්ට අනුව කණ්ඩායමක් වඩා ශක්තිමත් වන්නේ එහි සාමාජිකයින් සමජාතීය වුවහොත් ය. ඊට හේතුව වශයෙන් බොහෝවිට දක්වන්නේ එකිනෙකා තේරුම්ගැනීම පහසු නිසා ඉතා ඉක්මණින් සම්මුතිවලට එළඹීමට ඊට පුලුවන් කම තිබීම ය. හේතුව සත්‍යය වුව ද එය ශක්තිමත් කණ්ඩායමක් හැදීමට ප්‍රමාණවත් කාරණයක් නොවේ.

කණ්ඩායමක විවිධත්වය තිබීම සමහර විට එය කණ්ඩායමක් ලෙස ගොනුවීම පමා කරලීමට හේතුවක් වන්නට පුලුවන. සම්මුති හා එකගතා ඇති කර ගැනීමට කල් ගත වන බැවිනි. එහෙත් පරිශ්‍රමයකින් පසු වුව ඇති කර ගන්නා සම්මුති වඩා ස්ථිරසාර වන්නට ඉඩ තිබේ. මක්නිසා ද යත් එවැනි කණ්ඩායමක් තුළ විවිධත්වය ඉවසීමට ද සම්මුති ඇති කර ගෙන තිබිය යුතු බැවිනි. ඒ නිසා නව අදහසක් නව සංකල්පයක් ඇතුළුකරගැනීමට ඒ තුළ සමජාතිය කණ්ඩායමකට වඩා වැඩි ඉඩක් තිබෙන බැවිනි.

කල් ගත වුව ද ලැබෙන ප්‍රතිඵලය වඩා ඵලදායක ද ස්ථිරසාර ද බැවිනි.

අනෙත් අතට කණ්ඩායමක විවිධත්වය කණ්ඩායමට විශාල පරාසයක වැඩ කර ගෙන යාමට උදව්වක් වෙයි.

ඊටත් අමතරව එක් සාමාජිකයෙකුගේ දුර්වලකමක් තවත් කෙනෙකුගේ ශක්තියෙන් යටපත් වන අතර මුලින් කී තැනැත්තා සතු වෙනත් ශක්තියක් පසුව කී තැනැත්තාගේ දුර්වලකමක්අභිබවනය කිරීමට හේතු භුත වෙයි.

මා කැමති මගේ කණ්ඩායම තුළ පිරිමින් පමණටම ගැහැණුන් ද සිටිනවා ටය. මේරුණු අත්දැකීම් ඇති අය තරමටම අලුත් අදහස් ඇති තරුණ ජවයකින් යුත් සමාජිකයින් ද සිටිනවාට ය. මගේ සිතුවිලි බෙදා හදා ගත හැකි අය තරමටම ඊට විරුද්ධ මත දරන්නන් ද සිටිනවාට ය. සිංහල අය පමණටම දෙමළ මුස්ලිම් අය පමණක් නොව අමතරව විදේශිකයන් ද සිටිනවාට ය.

ඒ සියල්ල වෙනස් විදිහට සිතන්නට වෙනස් ආකාරයට වැඩ කරන්නට වෙනස් මානයන් කණ්ඩායමට එකතු කරන්නට උදව්වන බැවිනි.

ඒ සියලු ආකාරයේ පාරිභෝගිකයින් මා සමග ගනුදෙනු කරන නිසාම ඔවුන් සමග යෙදෙන ඒ  ගනුදෙනුවේදී එය වඩාත් හොදින් කර ගැනීමට මගේ එම විෂමජාතීය කණ්ඩායම මට යොදා ගත හැකි බැවිනි.

කළමනාකරණය සිංහලෙන් – කුලමල තියෙන්නෙ ගමේ විතර ද?


ආයතනවල ඉන්නේ අයියල අක්කලා නංගිලා මල්ලිලා පමණක් නොවේ. සමහරවිට කල්ලි කණ්ඩායම් ද ඒවායේ සුලබ ය. හරියට ගමේ තියෙන කුල ගොත් අනුව සැකසුනු සමාජ සබදතා මෙන් ය.

වමෙන් ගියත් අපි දකුනේ! මෙසේ ලියා තිබුනේ නම් ලොරියක ය. ඒත් මෙහෙම හණක්  නොගැහැව්වත් මෙහෙම ආඩම්බරයෙන් කියන අය ආයතන ඇතුළේ ඇත. දකුණේ විතර ද උතුරේ අයියලා ද හැසිරෙන්නේ වෙනම කුල ගෝත්‍රයක් වගේ ය. කල්ලි කණ්ඩායම් ගැහෙන්නේ පළාත අනුව පමණ ද?

නැත. ගිය පාසල අනුව ද ආයතනවල උදවිය කල්ලි ගැසෙති. එකම පාසැලෙන් සැළකිය යුතු පිරිසක් සිටියොත් මේ භේදය වරදින්නේ නැත.

ආගම ද ජාතිය ද කල්ලිවලට හොද පදනමකි.

සමහරවිට තමන්ගේ වෘත්තීය විශේෂඥතාවය ද මෙසේ රංචුවක් ලෙස එක් රැස්වීමට කියාපු පදනමකි. දොස්තරවරු වෙනම ය. හෙද හෙදියන් වෙනම ය. දොස්තරවරුන් අතර ද විදේශ උපාධිලැබුවෝ වෙනම ය. මෙරට උපාධි ලැබුවෝ වෙනම ය. මෙරට උපාධිලැබූවන් අතර ද උපාධිය හැදෑරූ සරසවිය පදනම් කරගෙන බෙදීම් ඇති කර ගත හැකි ය.

මේ කුල ගොත් නිසා තමන්ගේ එකා බලා ගැනීමත් අනෙකාට පොඩි පහේ කැපිල්ලක් දැමීමත් සිදු වේ. විධිමත් සංවිධානයේ අරමුණු පරාජය කරමින් වුව ද තමන්ගේ රංචුවේ ඕනෑ එපාකම් ඉටුකරගැනීමට ඒ අනුව බොහෝ කටයුතු සිදුවේ.

මතුපිටින් බැලුවහම නම් පෙනෙන්නේ තමන්ගේ එකා බලාගැනීමේ උත්තුංග කාර්යයට මේ අය අත ගසා ඇති සැටියෙකි. එහෙත් සැබෑ ලෙස කෙරෙන්නේ සුදුසුකම් නැති වුව ද තමන්ගේ එකාට ඉඩ හසර විවෘත කර ගැනීමත් ඔහු හෝ ඇය වෙනුවෙන් කරන පෙනී සිටීම තුළ වෙනත් කණ්ඩායම්වල දක්ෂයින් හා සුදුස්සන් කැපී කොන්වීමත් ය.

ආයතනයක් ඉදිරියට යන්නේ මෙවැනි කුලමලවලට ඇති ඉඩකඩ අහුරන්නට හැකි නායකත්වයක් ලැබෙතොත් ය. නැත්නම් විධිමත් ආයතනයේ පැවැත්ම පරිහානියට පත් කරමින් වැඩෙන පිළිලයන් බවට මේ කල්ලි පත්වනු ඇත්තේ ය.

පැරණි ගම් ලෙස ක්‍රියාත්මක වන බොහෝ ආයතන නූතන විධිමත් ආයතන බවට පෙරලීමේ වගකීම මේ නිසා ආයතන නායකත්වයට දරන්නට සිදු වේ. අවාසනාවකට එහෙම භූමිකාවක් තමන්ට ඇතැයි බොහෝ ආයතනවල නායකයින් දන්නේ නැත. තවත් සමහර වෙලාවට නායකයා ද මේ කියන අවිධිමත් කල්ලියක සමාජිකයෙක් බවට පත්ව කුණුගොඩට එක්වන තවත් කුණුපයක් බවට පත්වෙයි. එතකොට ආයතනයට දෙයියන්ගේම පිහිට ය!