පැටලිලා ඇති – නායකයා හා නායකත්වය


නායකයා කියූ විට අත්‍යවශයෙන්ම පුද්ගලයෙකු අදහස් වේ. එපමණක් නොවේ. එයින් එක් තනි පුද්ගලයෙකු අදහස් වේ. නායකත්වය යන යෙදුම ඊට වඩා බොහෝ සෙයින් ව්‍යාකූල ය. විටෙක එය යෙදෙන්නේ එක් පුද්ගලයෙකුගේ මෙහෙයවීමේ කුසලතාවය දක්වන්නට ය. උදාහරණයක් ලෙස මෙසේ කියනු අපට දක්නට ලැබේ.

සරත්ගේ නායකත්වය කණ්ඩායමේ ජයග්‍රහණයට හේතු විය.

එවිට අපට සරත්ගෙන් ඔබ්බෙහි කිසිම දෙයක් නැතැයි හැගේ.

තවත් විටෙක එයින් අදහස් කරන්නේ තනි පුද්ගලයෙකු අතික්‍රමණය කරන සංකල්පයකි. එවිට කියවෙන්නේ පුද්ගලයන් කීප දෙනෙකු අතර බෙදාගත් භූමිකාවක් විය හැකි ය. තවත් පියවරක් ඉදිරියට ද තැබිය හැකි ය. එවිට පුද්ගල කණ්ඩායමක් ද අතික්‍රමණය කරන්නක් බවට එය පත් වේ. උදාහරණයක් ලෙස මෙසේ කියනු අපට ඇසේ.

ධර්මයම නායකත්වයේ ලා සළකන්න.

ඊට සමාන තවත් ප්‍රකාශනයක් වනුයේ ප්‍රතිපත්ති – එසේ නැතිනම් සාරධර්ම – එසේත් නැතිනම් හර පද්ධතිය – නායකත්වයේ ලා සළකන්න යන්න ය.

මා කැමති දෙවැනි අර්ථ නිරූපණයට ය.

නායකයාට ප්‍රතිපත්ති සාරධර්ම (ප්‍රකාශිත හර පද්ධතිය) රකින බවට වග බලාගැනීමේ වගකීම ඇතත් ඔහුට හෝ ඇයට පවා ඒවා ඉක්මවන්නට බැරි බවක් එයින් ඇගවෙන නිසා ය.

නායකයාගේ කාර්යය එවිට අයිතිකරුගේ කාර්යය නොව භාරකරුගේ කාර්යය වෙයි.

ඊට අමතරව ඔහුට සාරධර්ම හෝ ප්‍රතිපත්ති කණ්ඩායම සමග එක්ව වරින් වර විමසීමේ කාර්යය ද උරුම වේ. කිසිම ප්‍රතිපත්තියක් සාරධර්මයක් සර්ව කාලීන විය නොහැකි බැවිනි.

එහෙත් ජන කැමැත්ත ලැබෙතොත් මිස ඒවා වෙනස් කිරීමට නායකයාටවත් නොහැකි විය යුතු අතර ඒවා ඥානවන්තව විමසුමට යොමුකිරීමේ වගකීම පමණක් නායකයා විසින් දැරිය යුතු වෙයි. ඒ නිසාම භාරකරුගේ කාර්යයට අමතරව මේ විමසුම් ක්‍රියාවලියේ ඔහුට හෝ ඇයට පහසුකම් සපයන්නාගේ කාර්යය භාරය ද උරුම වේ.

නායකත්වය වරප්‍රසාදයක් ලෙස නොව වගකීමක් ලෙස දැරීමට නායකයාට සිදු වේ. ඒ නිසාම එය පිරිසකගේ සහභාගිත්වයෙන් ද ඊටත් වඩා පළල් පිරිසකගෛ් අනුමැතියට යටත්ව ද ඉසිලීමට නායකයාට සිදු වේ.

එවැනි නායකත්වයක් අද යුගයට වඩාත් උචිත වනවාට අමතරව වඩාත් තිරසාර ද වෙයි.

නායකයෙකුට වඩා නායකත්වයක් අවශ්‍ය යැයි මට හැගෙන්නේ ඒ නිසා ය. දෙවැන්නට මා වඩාත් කැමැත්තේ ඒ නිසා ය.

Advertisements

නොසැලී සිටීමේ ධීර ගුණය


අල්ලස් නොගන්නා කෙනෙකුට අල්ලස් ගත්තේ යැයි චෝදනා කිරීම ඔහු හෝ ඇය අස්ථාවර කළ හැකි සාර්ථක උපක්‍රමයකි. බොරු නොකියන කෙනෙකුට බොරු කාරයා යයි කීම ද වෙනත් ගැහැණියකගේ පහස නොපතන කෙනෙකුට ගැහැණු සොඩෙකැයි කීම ද එවැනිම උපක්‍රමයන් ය. නිලය අල්ලා ගහනවා යයි කියන්නේ මේ කාරණයට ම ය. වැඩි මනත් කරදරයක් නැතිව ප්‍රතිවාදියා මෙල්ල කිරීමේ හැකියාව නිලය අල්ලා ගැහූ විට ලැබේ.

එයින් අදහස් කරන්නේ ඔබ කවදාවත් නොකරන ක්‍රියාවක්ම කරනවා යැයි අභූත චෝදනාවක් ඔබ වෙත එල්ල කිරීමෙන් වෙන කිසිම චෝදනාවකටත් වඩා හොඳින් ඔබව අස්ථාවරව කළ හැකි බව ය.

එ නිසාම එවැනි දෙයක් ඔබ ඔබේ ප්‍රතිවාදියෙකුගෙන් එල්ල වෙතැයි අපේක්ෂාවෙන් සිටිය යුතු ය. ඔබව පාලනය කිරීම සඳහා ඔහු සතුව නැතැයි ඔබ සිතූ එහෙත් ඔහු සතුව තිබෙන ඒ අප්‍රමාණ ශක්තිය ඔබ වෙත එල්ල වීමට ඉඩ තිබේ.

ඔබ එවැන්නක් බලාපොරොත්තුව නොසිටිය හොත් ඔබට අත්වන්නේ දුර්භාග්‍යයකි. සිදු විය හැකි නරකම දෙය ඔබ අස්ථාවර වීම ය. කෝප වීම ය. මේ අභූත චෝදනාවෙන් ගැලවෙන්නට මං සෙවීම ය. ඔබ එසේ නොවන බව ඔප්පු කිරීමට කළ හැක්කේ කුමක් දැයි සෙවීම ය.

දැන් එළඹෙන්නේ ප්‍රතිවාදියාගේ මොහොත ය.ඒ ඔබ ඔප්පු කිරීමට ගන්නා ක්‍රියාමාර්ගය තුළ ප්‍රතිවාදියාට අවශ්‍ය දේ තිබෙන නිසා ය.

අහවල් තැනැත්තාට මාරුවක් නොදෙන්නේ ඔබ ඔහුගෙන් අල්ලසක් ලබා ගෙන ඇති නිසා යැයි ප්‍රතිවාදියා කියන විට ඔබට ඇති එක ගැලවීමක් නම් ඒ අහවල් තැනැත්තා මාරු කර එම චෝදනාවෙන් ගැලවීම ය. සමහරු චෝදනාව කෙතරම් නුරුස්සන්නේ දැයි කිව හොත් එයින් ගැලවීමට ප්‍රතිවාදියාගේ උගුලට ම පනින්නෝ ය.අහවල් තැනැත්තා මාරු කරන්නේ ය.

ඒ වෙනුවට ඔබ කළ යුත්තේ නොසැලී සිටීම ය. ඔබේ ක්‍රියාව විනිශ්චය කිරීම වෙන කෙනෙකුට පැවරීම ය. අපක්ෂපාත කෙනෙකුට පැවරීම ය. ඔබට ඉහළින් ඉන්නා කෙනෙකුට නැතිනම් මණ්ඩලයකට පැවරීම ය. මිනිසුන්ගේ විශ්වාසය දිනාගෙන සිටින වෙනත් කෙනෙකුට පැවරීම ය. ඔහුගේ /ඇයගේ හෝ මණ්ඩලයේ අදහස ලැබෙන තෙක් මුවින් නොබැන සිටීම ය. නොසැලී සිටීම ය.

බුදුන්ටත් ස්ත්‍රී දූෂණ චෝදනාවන් පැමිණි නිසා මෙවැනි චෝදනා අරුමයක් නොවේ. එක් අතකට චෝදනා පැමිණෙන්නේම ඔබ සැළකිය යුතු බලපෑමක් කර ඇති නිසා ය. පුංචි මිනිසුන් ගැන මිනිස්සු කරදර නොවෙති. ඔබ ගැන ඔවුන් කරදර වන්නේ ඔබ ලොකුවට වැඩී ඇති නිසා ය.

ලොකුවට වැඩෙන හැම කෙනෙක්ම නොසැලී සිටීමට ඉගෙන ගත යුත්තේ ය. එය නායකයෙකු සතු ධීර ගුණයකි.

ඒ සඳහා අවශ්‍ය එක් වැදගත් දෙයක් නම් දැනුම ය. ඔබ මෙල්ල කරන්නට ප්‍රතිවාදියෙකු විසින් කුමන උපක්‍රම භාවිතා කළ හැකි දැයි යන්න පිළිබඳ දැනුම එහි දී විශේෂ වන්නේ ය. ඔබ මැකියාවෙලිගේ ‘ද ප්‍රින්ස්‘ කියවිය යුතුව ඇත්තේ ඒ නිසා ය. හිට්ලර්ගේ, ස්ටාලින්ගේ හා මැරයන්ගේ චරිතාපදානයන් කිව යුතුව ඇත්තේ ඒ නිසා ය.

ඒ සඳහා අවශ්‍ය අනෙත් වැදගත් දෙය නම් අට ලෝ දහම (ලාභ-අලාභ, යස-අයස, නින්දා-ප්‍රසංසා, සැප-දුක) ඉදිරියේ කම්පා නොවී සිටීමට ඔබේ සිත පුරුදු පුහුණු කිරීම ය.

මේ කරුණු සම්පූර්ණ කිරීමට උනන්දු වීමට වෙහෙසීමට අකමැති අය නායකයන් නොවිය යුත්තේ ය.

දෘඩ භාවය හා නම්‍යශීලිත්වය – කළමනාකරුගේ තේරීම


අපට අවශ්‍ය ඒකාධිපති පාලනයක්ය යන්න විටින් විට ඇසෙන කතාවකි. මේ ලග දී සංගීතඥ වික්ටර් රත්නායක ද එසේ කියා තිබුනේ ය. ඒ විකෘති ගීත ගයන අයට දැඩි දඩුවම් කරනු සඳහා ය. නායකයෙකු තම අනුගාමිකයන් කෙරෙහි දැඩිව සිටිය යුතු ද නැතිනම් නම්‍යශීලී විය යුතු ද යන්න අතිශය විවාදයන්ට ලක් ව ඇති කරුණකි.

මේ සම්බන්ධයෙන් දැඩිව සිටිය යුතුය යන කියන පාර්ශවය ඒකාධිපතිත්වයන් යටතේ රටවල් ලබා ගෙන ඇති ජයග්‍රහණයන් ඒ සම්බන්ධයෙන් ඇති අනභිබවනීය සාධකය ලෙස දක්වති. එහෙත් අප සියලු දත්ත ගැන සැළකිලිමත් වේ නම් ඒකාධිපතිත්වය රජ කළ වෙනත් බොහෝ රටවල අදටත් ඇත්තේ දිළිඳු කමේ පතුලේ බව අපට පෙනෙනු ඇත්තේ ය.

ඊට සමානව ප්‍රජාතන්ත්‍රවාදය ඇති රටවල් සමහරක් සාර්ථක යයි ඔය කියන ඒකාධිපති රටවල් අභිබවා දියුණුව කරා ළඟා වී ඇති බව ද ලෝකය සිසාරා බලන විට අපට පෙනේ.

රටකට උචිත ප්‍රජාතන්ත්‍රවාදය නිදහස මානව හිමිකම් ඇතුළත් වඩා නම්‍යශීළී පාලන රටාවක් ද ඒවා රටේ උන්නතිය සඳහා යටපත් කළ දැඩි පාලන රටාවක් ද යන ප්‍රශ්නයට උත්තර පවා ලෝකය දෙස බලා සොයා ගත නොහැකි බව මෙයින් පෙනී යයි.

කළමනාකරණය සම්බන්ධ පර්යේෂකයන් සොයා ගෙන ඇති ආකාරයට කුමන හෝ පාලනයක් නැති අසීමිත නිදහස ඇති කළමනාකර රටාවන් මෙන්ම දැඩි පාලනයකට යටත් කරන ලද කළමනාකරණ රටාවන් ද අයහපත් හා හීන ප්‍රථිඵල ඇති වීමට බලපායි.

ඔවුන්ට අනුව අවශ්‍ය වන්නේ පළල් රාමුවක් තුළ නම්‍යශීළීත්වයට ඉඩ කඩ සළසන කළමනාකරණ රටාවකි. රාමුව සීමාව හඟවයි. සීමාව තුළ බොහෝ අත්හදා බැලීම්වලට ඉඩ කඩ තිබේ.

හරියට අපේ ඇට සැකිල්ල මෙන් රාමුව දැඩි ය. එය වෙනස් කිරීමට ඉඩක් නැත. එහෙත් ඒ රාමුව තුළ බොහෝ වෙනස්කම් වලට නිදහස තිබේ. හරියට අපේ ලේ මස් නහර තුළ තිබෙන්නාක් මෙන් නම්‍යශීළීත්වයක් එහි ඇත. ඇට සැකිළ්ල දැඩි වන විට ඉතිරි සියල්ල මෘදු ය.

හරියට පරිගණකයේ ඇති දෘඪාංග සහ මෘදුකාංග වගේ ය. මෘදුකාංග පහසුවෙන් වෙනස් කළ හැකි ය. එය පවතින්නේ පහසුවෙන් වෙනස් කළ නොහැකි දෘඪාංග ඇසුරේ ය.

චීනය තුළ මුල දී තිබුනේ දැඩි පාලනයකි. දුප්පත් කමෙන් චීනය ගොඩ ආවේ එය වෙනස් කර ගැනීමත් සමග ය. චීනයට තව දුරටත් ඉදිරියට යා හැක්කේ තව තවත් නිදහස හා නිර්මාණශීළීත්වයට ඉඩකඩ සළසන කළමනාකරණ රටාවකට මාරුවීමෙන් පමණකි.

ඒ නිසාම රට තුළ ආයතන තුළ ඒකාධිපතිත්වයක් දැඩි පාලනයක් අවශ්‍ය යැයි කියන අය දැඩි විය යුත්තේ කවර දේ සම්බන්ධයෙන් ද නිදහස තිබිය යුත්තේ කවර දේ සම්බන්ධයෙන් ද යන්න පිළිබඳව ද නිවැරදි අස්ථානයක සිටිය යුතු ය.

නීතියේ ආධිපත්‍යය පිළිබඳව අප දැඩි විය යුතු ය. වැරදි කරුවන්ට දඩුවම් දීමට ද නීතිය අකුරට ක්‍රියාත්මක කිරීමට ද අප දැඩි විය යුතු ය. එහෙත් අදහස් පළ කිරීමට විකල්ප යෝජනා ගෙන ඒමට හැකි නම්‍යශීළිත්වයක් ද ඒ සමග ඇති කර ගත යුතු ය.

රටක් සම්බන්ධයෙන් පමණක් නොව ආයතනයක් සම්බන්ධයෙන් ද එය සත්‍යය වෙයි. දෘඪභාවය හෝ නම්‍යශීලිත්වය යන දෙකින් එකක් නොව ඒ දෙකෙහිම සවිඥානාත්මකව කරන සංකළණයක් තුළින් පමණක් අපට වඩා සාර්ථක ආයතන රටාව ගොඩ නගා ගත හැකි ය.