මේ ඇහුන ද?


මැණිකේ, රත්තරනේ, පැටියෝ කියා සමහර සීයලා ආච්චිලාව හුරතල් කරන්නේ ආච්චිලාගේ නම අමතක වුනහම බවට කතාවක් තිබේ. එහෙම හුරතල් වෙන්නට ඇති ලජ්ජාව නිසා දෝ සමහර සීයලා ආච්චිලාට “මේ ඇහුන ද“ කියා ආමන්ත්‍රණය කරති.

“මේ ඇහුනා ද“ යන්න මෙසේ ආමන්ත්‍රණයක් වුනාට එය සන්නිවේදනයේදී නම් නැගිය යුතු වැදගත්ම ප්‍රශ්නයකි. මේ ප්‍රශ්නයට උත්තර සොයා නොගෙන සන්නිවේදකයෙකු තම පණිවුඩය ගැන සෑහීමකට පත් නොවිය යුතු ය.

ඇහුන්කන් දීම සන්නිවේදනයේ අමාරුම කොටස ය. කණට වැටෙන බොහෝ දේ ඇහෙන්නේ නැත. ඇහෙන සමහර දේ හිතට යන්නේ නැත. හිතට යන සමහර දේ එහි රැඳෙන්නේ නැත. ඒ නිසාම ප්‍රතිචාරයක් නොලැබුනොත් අප කී දෙය කීවේ ද යන සැකය ඉතිරි වේ. ඒ සැකය ඇති වනුයේ සැකය ඇති විය යුතු තැනම ය. එවැනි සැකයක් නැති අය පණිවුඩය කියා තමන් එය කිවුවේ යැයි හිතා ගෙන සිටිති. එහෙත් අහපු කෙනෙක් නැතැයි තේරුම් යන විට කෝච්චිය ගිහිල්ලා ය. ඒ අර්ථයෙන් ඇහුම් කන් දුන්නේ දැයි සොයා බලන එක වටීන්නේ ය.

පණිවුඩය ගියේ තුන්වෙනි පාර්ශවයක් හරහා නම් තාක්ෂණය භාවිතයෙන් නම් ඒ ගැන විපරම් කිරීම වඩාත් වැදගත් ය. වඩාත් වැදගත් යැයි කිව්වේ එහෙම නැතත් හගිස්සවා ගන්න එක අවශ්‍ය නිසා ය. සන්නිවේදනයේම වදන් වැල භාවිතා කරතොත් එයින් කියවෙන්නේ ප්‍රතිචාරයක වැදගත් කමයි.

ප්‍රතිචාරය නිසි ලෙස සමාලෝචනය කිරීමෙන් පණිවුඩය ගිය බව පමණක් නොව එය සන්නිවේදකයා අපේක්ෂා කළ ප්‍රතිඵල ළගා කර ගත් බව ද සහතික කර ගත හැකි ය. එසේ නොවේ නම් පණිවුඩය වඩාත් දියුණු කර පැහැදිලි කර සංස්කරණය කර යැවිය යුතු ය.

සමහර අසන්නෝ නිසි ලෙස ඇහුම් කන් දීමට සමත් නොවෙති. ඒ පණිවුඩය ලැබෙන අතර වාරයේ අවධානය වෙනත් යමකට යොමු කරන නිසා ය. පණිවුඩය අවසන් වන තෙක් ඉවසන්නේ නැතිව මුල් පියවර කීපයකින් ඒ ගැන නිගමනයකට බැස ඒ නිගමනය ගැන පමණක් සිතන නිසා ය. එයට උත්තර දිය යුත්තේ දැයි සිතමින් ඉතිරි කොටසට ඇහුම් කන් දීම මග හරින නිසා ය.

එවැනි අය සම්බන්ධයෙන් හොඳම ක්‍රමය වන්නේ ප්‍රශ්නයක් ලෙස සන්නිවේදනය ඉදිරිපත් කිරීම ය.

පණිවුඩයක් අප අමු අමුවේ යවන්නේ නැත. එය ලුණු ඇඹුල් දමා රස කර ඉදිරිපත් කෙරෙන්නේ ය. එය නිරුවතින් ඉදිරිපත් කරන්නේ නැත. ඉදිරිපත් කරන්නේ සළු පිළි අන්දලා ය. නිකම්ම දෙන්නේ නැත. දෙන්නේ ලස්සණ දවටනයක ඔතා ය. ඒ නිසාම පණිවුඩය මේ දවටනයෙන් සළුපිළි වලින් වෙන්කර අඳුනාගැනීමට ග්‍රාහකයා සමත් විය යුතු ය. බොහෝ දෙනෙක් මේ දවටනය ලිහා පණිවුඩය කුමක් දැයි තේරුම් ගනු වෙනුවට දවටනයට – සංකේත ගත කරන ලද පණිවුඩයේ බාහිර ස්වරූපයට – ප්‍රතිචාර දක්වති. ඒ නිසා ද පණිවුඩය ඔවුන්ගෙන් ගිලිහෙයි. මග හැරෙයි.

මේ දෙවර්ගයේම අය ඇහුම් කන් දීමේ අදක්ෂ ය. ඇහුම් කන් දීමේ දක්ෂ අය පවා වුවමනාවෙන්ම ඇහුම් කන් දීම මග හරින අවස්ථා ද අපට දැක ගත හැකි ය. ඔවුහු වුවමනාවෙන්ම කියන්නාගේ ඇස් මග හරිති. වෙන වැඩක් කරන නියාව හගවති. ලිපි ගොනුවක් දුරකථනයක් අතට ගනිති. අතරමග නිශ්ශබ්දතාවයේ දී සගයෙකුට යමක් කියති. හූ මිටි නොතියති. හදිසියේ ඕනෑ නැති කමක් පළකරමින් අදාළ නොවන ප්‍රතිචාරයක් කරති. ඔරලෝසුවට නෙත් යොමු කරති. වාඩිවී සිටියේ නම් නැගිට යෑමට තැත් කරති. මේ හැම එකකින්ම පළ කරන්නේ ඇහුම් කන් දීමට තමන්ගේ සූදානමක් නැති බව යි. ඔවුන්ගේ අදහස කරන සන්නිවේදනයට කෙසේ හෝ බාධා ඇති කිරීම ය.

මේ ඉගි තේරුම් ගැනීමට සන්නිවේදකයා වග බලා ගත යුතු ය. සමහර විට මේ හොර ගල් ඇහිඳීමේ අරමුණම සන්නිවේදකයා කුපිත කරවීම විය හැකි ය. ඒ සෙල්ලම මග හැරිය යුතු ය.

එවැනි අවස්ථාවක ද හොඳම ක්‍රමය වන්නේ ප්‍රශ්නයක ආකාරයෙන් පණිවුඩය ඉදිරිපත් කිරීම ය. එවිට ප්‍රතිචාරයක් දීම මග හැරීම අමාරු ය. සොක්‍රටීස් කියා ඇත්තේ ඉගැන්වීමේ හොඳම ක්‍රමය ප්‍රශ්න ඇසීම බව ය.

මේ ඇහුන ද කියන ප්‍රශ්නයට පමණක් නොව ඇහුනේ කුමක් ද යන ප්‍රශ්නයට ද නිසි පිළිතුරු නැතිව සන්නිවේදනයක් අවසන් නොකළ යුතු ය. ඒ ඇහුම් කන් දීම සන්නිවේදනයේ අංක එකේ ප්‍රශ්නය නිසා ය.