මේ ඇහුන ද?


මැණිකේ, රත්තරනේ, පැටියෝ කියා සමහර සීයලා ආච්චිලාව හුරතල් කරන්නේ ආච්චිලාගේ නම අමතක වුනහම බවට කතාවක් තිබේ. එහෙම හුරතල් වෙන්නට ඇති ලජ්ජාව නිසා දෝ සමහර සීයලා ආච්චිලාට “මේ ඇහුන ද“ කියා ආමන්ත්‍රණය කරති.

“මේ ඇහුනා ද“ යන්න මෙසේ ආමන්ත්‍රණයක් වුනාට එය සන්නිවේදනයේදී නම් නැගිය යුතු වැදගත්ම ප්‍රශ්නයකි. මේ ප්‍රශ්නයට උත්තර සොයා නොගෙන සන්නිවේදකයෙකු තම පණිවුඩය ගැන සෑහීමකට පත් නොවිය යුතු ය.

ඇහුන්කන් දීම සන්නිවේදනයේ අමාරුම කොටස ය. කණට වැටෙන බොහෝ දේ ඇහෙන්නේ නැත. ඇහෙන සමහර දේ හිතට යන්නේ නැත. හිතට යන සමහර දේ එහි රැඳෙන්නේ නැත. ඒ නිසාම ප්‍රතිචාරයක් නොලැබුනොත් අප කී දෙය කීවේ ද යන සැකය ඉතිරි වේ. ඒ සැකය ඇති වනුයේ සැකය ඇති විය යුතු තැනම ය. එවැනි සැකයක් නැති අය පණිවුඩය කියා තමන් එය කිවුවේ යැයි හිතා ගෙන සිටිති. එහෙත් අහපු කෙනෙක් නැතැයි තේරුම් යන විට කෝච්චිය ගිහිල්ලා ය. ඒ අර්ථයෙන් ඇහුම් කන් දුන්නේ දැයි සොයා බලන එක වටීන්නේ ය.

පණිවුඩය ගියේ තුන්වෙනි පාර්ශවයක් හරහා නම් තාක්ෂණය භාවිතයෙන් නම් ඒ ගැන විපරම් කිරීම වඩාත් වැදගත් ය. වඩාත් වැදගත් යැයි කිව්වේ එහෙම නැතත් හගිස්සවා ගන්න එක අවශ්‍ය නිසා ය. සන්නිවේදනයේම වදන් වැල භාවිතා කරතොත් එයින් කියවෙන්නේ ප්‍රතිචාරයක වැදගත් කමයි.

ප්‍රතිචාරය නිසි ලෙස සමාලෝචනය කිරීමෙන් පණිවුඩය ගිය බව පමණක් නොව එය සන්නිවේදකයා අපේක්ෂා කළ ප්‍රතිඵල ළගා කර ගත් බව ද සහතික කර ගත හැකි ය. එසේ නොවේ නම් පණිවුඩය වඩාත් දියුණු කර පැහැදිලි කර සංස්කරණය කර යැවිය යුතු ය.

සමහර අසන්නෝ නිසි ලෙස ඇහුම් කන් දීමට සමත් නොවෙති. ඒ පණිවුඩය ලැබෙන අතර වාරයේ අවධානය වෙනත් යමකට යොමු කරන නිසා ය. පණිවුඩය අවසන් වන තෙක් ඉවසන්නේ නැතිව මුල් පියවර කීපයකින් ඒ ගැන නිගමනයකට බැස ඒ නිගමනය ගැන පමණක් සිතන නිසා ය. එයට උත්තර දිය යුත්තේ දැයි සිතමින් ඉතිරි කොටසට ඇහුම් කන් දීම මග හරින නිසා ය.

එවැනි අය සම්බන්ධයෙන් හොඳම ක්‍රමය වන්නේ ප්‍රශ්නයක් ලෙස සන්නිවේදනය ඉදිරිපත් කිරීම ය.

පණිවුඩයක් අප අමු අමුවේ යවන්නේ නැත. එය ලුණු ඇඹුල් දමා රස කර ඉදිරිපත් කෙරෙන්නේ ය. එය නිරුවතින් ඉදිරිපත් කරන්නේ නැත. ඉදිරිපත් කරන්නේ සළු පිළි අන්දලා ය. නිකම්ම දෙන්නේ නැත. දෙන්නේ ලස්සණ දවටනයක ඔතා ය. ඒ නිසාම පණිවුඩය මේ දවටනයෙන් සළුපිළි වලින් වෙන්කර අඳුනාගැනීමට ග්‍රාහකයා සමත් විය යුතු ය. බොහෝ දෙනෙක් මේ දවටනය ලිහා පණිවුඩය කුමක් දැයි තේරුම් ගනු වෙනුවට දවටනයට – සංකේත ගත කරන ලද පණිවුඩයේ බාහිර ස්වරූපයට – ප්‍රතිචාර දක්වති. ඒ නිසා ද පණිවුඩය ඔවුන්ගෙන් ගිලිහෙයි. මග හැරෙයි.

මේ දෙවර්ගයේම අය ඇහුම් කන් දීමේ අදක්ෂ ය. ඇහුම් කන් දීමේ දක්ෂ අය පවා වුවමනාවෙන්ම ඇහුම් කන් දීම මග හරින අවස්ථා ද අපට දැක ගත හැකි ය. ඔවුහු වුවමනාවෙන්ම කියන්නාගේ ඇස් මග හරිති. වෙන වැඩක් කරන නියාව හගවති. ලිපි ගොනුවක් දුරකථනයක් අතට ගනිති. අතරමග නිශ්ශබ්දතාවයේ දී සගයෙකුට යමක් කියති. හූ මිටි නොතියති. හදිසියේ ඕනෑ නැති කමක් පළකරමින් අදාළ නොවන ප්‍රතිචාරයක් කරති. ඔරලෝසුවට නෙත් යොමු කරති. වාඩිවී සිටියේ නම් නැගිට යෑමට තැත් කරති. මේ හැම එකකින්ම පළ කරන්නේ ඇහුම් කන් දීමට තමන්ගේ සූදානමක් නැති බව යි. ඔවුන්ගේ අදහස කරන සන්නිවේදනයට කෙසේ හෝ බාධා ඇති කිරීම ය.

මේ ඉගි තේරුම් ගැනීමට සන්නිවේදකයා වග බලා ගත යුතු ය. සමහර විට මේ හොර ගල් ඇහිඳීමේ අරමුණම සන්නිවේදකයා කුපිත කරවීම විය හැකි ය. ඒ සෙල්ලම මග හැරිය යුතු ය.

එවැනි අවස්ථාවක ද හොඳම ක්‍රමය වන්නේ ප්‍රශ්නයක ආකාරයෙන් පණිවුඩය ඉදිරිපත් කිරීම ය. එවිට ප්‍රතිචාරයක් දීම මග හැරීම අමාරු ය. සොක්‍රටීස් කියා ඇත්තේ ඉගැන්වීමේ හොඳම ක්‍රමය ප්‍රශ්න ඇසීම බව ය.

මේ ඇහුන ද කියන ප්‍රශ්නයට පමණක් නොව ඇහුනේ කුමක් ද යන ප්‍රශ්නයට ද නිසි පිළිතුරු නැතිව සන්නිවේදනයක් අවසන් නොකළ යුතු ය. ඒ ඇහුම් කන් දීම සන්නිවේදනයේ අංක එකේ ප්‍රශ්නය නිසා ය.

Advertisements

සන්නිවේදනය – ජය ගත යුතු තවත් එක් පෙරමුණකි


කළමනාකරුවෙකුට සිය සංග්‍රාම භූමිය තුළ පෙරමුණු කීපයක සටන් වැදීමට සිදුවේ. සන්නිවේදනය ඉන් එකකි.

සමහරු සහෘදයන් සමග ඉතා හිතවත්ව සන්නිවේදනයේ යෙදෙන අතර ඒ නිසාම ඔවුන් අතර විශ්වාසයට ගත හැකි සගයෙක් ලෙස තමන්ව අලෙවිකර ගන්නට ඔවුන්ට හැකිවී තිබේ. එහෙත් සහෘදයන් හැරුණු විට සෙසු අය සමග සන්නිවේදනයේ දී ඔවුන් එතරම් තැකීමක් නොකරන්නට පුලුවන.

තවත් සමහරු තමන්ගේ පාරිභෝගිකයන් සම්බන්ධයෙන් ද මේ සුහදත්වය පළ කරන මුත් තමන්ගේ සැපයුම්කරුවන්ට ඒ හා සමානව නොසළකති.

තවත් අය සැපයුම්කරුවන් සමග පමණක් නොව ආයතනය හා ගනුදෙනු කරන සියලු පාර්ශවකරුවන් සමග හොද හිත පවත්වා ගැනීමට උත්සුක වන නමුත් සේවකයින් සම්බන්ධයෙන් එවැනි තැකීමක් නොකරති. ඒ සේවකයින් තමන් වැටුප් ගෙවන්නේය යන පදනම මත පිහිටා ය. සල්ලිවලට සේවක කාලය මිලට ගත හැකි මුත් ඔවුන්ගේ කැපවීම ගත නොහැකි යන්න මෙහිදී අමතක කෙරේ.

තවත් අය සේවකයින් ගැන ද බාහිර පාර්ශවකරුවන් තරමටම සොයා බලන නමුත් ආයතනය හා ඍජු සම්බන්ධයක් නැති මහජනයා සම්බන්ධයෙන් උකටලී ප්‍රතිපත්තියක් අනුගමනය කරති.

කළමනාකරුවෙකුට සිය සහෘදයන්ට හොදින් සළකා ඉතිරි පාර්ශවකරුවන්ට පසු පස හැරවිය නොහැකි ය. එසේ කොට ආයතනය පවත්වා ගැනීම එම ආයතනය ඒකාධීකාරයක් නොවේ නම් විශේෂයෙන් අපහසු ය.

ආයතනය වැටී තමන් එලියට විසිවුනු දාකට සහෘදයන් පවා තමන් ලග වෙනදා මෙන් ගැවසෙන්නේ නැති බව අවබෝධ කර ගත යුතු ය. ඒ නිසාම වත්මන් ලෝකයේ අපේ පෞද්ගලික හිතවතුන් තරමටම අපගේ ව්‍යාපාරික සගයින් ද හිතවතුන් ගණයේ ලා සැළකිය යුතු ය.

එහෙත් ඔහුට ඍජු සම්බන්ධයක් නැති මහජනයා සම්බන්ධයෙන් වත් කළමනාකරුවෙකුට වඩා ලිහිල් සළකා බැලීමක් කළ නොහැකි ද?

අපගේ අදහස නම් ඔවුන් සම්බන්ධයෙන් පවා ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම දිගුකාලීනව ආයතනයට බල පෑ හැකි බව ය. අප එසේ කෙළින්ම සම්බන්ධ නැතැයි අහක දමන පුද්ගලයන් පසු කලෙක ආයතනයේ පාරිභෝගිකයෙකු සේවකයෙකු සැපයුම්කරුවෙකු එසේත් නැතිනම් ආයතනය ගැන තීන්දුවක් දෙන අධිකරණයක සමාජිකයෙකු හෝ වෙනත් එවන් තීරණාත්මක තැනක සිටින කෙනෙක් වීමේ ඉඩකඩක් තිබිය නොහැකිද? ආයතනයෙන් බැට කෑ කෙනෙක් නම් එවැනි විටක ආයතනය දෙස බලනු ඇත්තේ ප්‍රසාදයකින් නම් නොවේ.

ඒ නිසා ඍජු සම්බන්ධයක් දැනට නැති අය සම්බන්ධයෙන් පවා කාරුණික වීමට කළමනාකරුවෙකුට සිදුවේ.

මේ සියලු දෙනාට කාරුණික වෙන කළමනාකරුට තම හිතේෂීන් අඩු තැනක ලා සැළකිය හැකි ද? බිරිද ගැන බැලුවත් නැතත් ඇය තම බිරිද බැවින් ඊට කාරි නැතැයි සිතන කළමනාකරුවෝ සිටිති. දරුවන් සහෝදර සහෝදරියන් හා දෙමාපියන් සම්බන්ධයෙන් ද ඔවුන් එසේ සිතන්නට පුලුවන.

ප්‍රශ්නය නම් කලක් යන විට ගෙදර සම්බන්ධකම් නැවත ගොඩනැගිය නොහැකි ලෙස  ඉරිතලා තිබිය හැකි වීම ය. එහි විපාක කාර්යාලයට හා ව්‍යාපාරයට ද බලපෑම් කරමින් පැතිරි තිබෙන්නට හැකි වීම ය. කාර්යාලයෙන් සමුගත් දිනක අවසානයේ ලැගුම් ගන්නට සිදුවන්නේ ඔවුන්ගේ පිළිකන්නේ ය.

ඒ නිසාම සන්නිවේදනය ජය ගත යුතු පෙරමුණක් වෙනවා තරමට එහි සියලු අනු පෙරමුණු ද ජය ගැනීම ගැන කළමනාකරුවන්ගේ අවධානය යොමු විය යුතු ය. එකක් අත්හැර ඉතිරි සියල්ල ජයගත්ත ද ඉන් පලක් නොවනු ඇත. දක්ෂ සෙනෙවියෙකු කිසිදු පෙරමුණක් අතහැර දමන්නේ නැත. පහර බොහෝ විට එල්ලවන්නේ එවන් අතැර දමන පෙරමුණකින් බව ඔහු දන්නා නිසා ය.