සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල!


දානයේ ආනිසංශ ගැන දන් ලබන අය කතා කරන විට දැනෙන්නේ තරමක අපුලකි. එසේ වුව ද දානයේ ආනිසංශ කවරේදැයි අපට කතා කිරීමට සිදුව ඇත්තේ නොදී ගන්නට බැරි යැයි අප විසින්ම පසුගිය සටහනේ ලොකුවට කී බැවිනි.

නොදී ගන්නට බැරිවා සේම නොගෙන දීමට බැරි ය. ඒ නිසා ගන්නට බලාගෙන දිය යුතු ය. ආනිසංශ ගැන හොයන්නේත් කියන්නේත් ඒ නිසා ය.

බැලු බැල්මට එය ජුගුප්සා ජනක ය. දෙන්නේ ගන්න බලා ගෙන නම් එතැන ඇත්තේ සැබෑ දීමක් දැයි කෙනෙකුට ඇසිය හැකි ය.

දෙන අය ගන්න විදිහක් ද කල්පනා කළ යුත්තේ ගන්නේ නැතිව දිගින් දිගටම දෙන්නට බැරි නිසා ය. දානය පිළිබඳ ජනප්‍රිය මතයට එකග නොවෙන මුත් තිත්ත ඇත්ත එය ය.

ගන්න වැඩපිළිවෙළක් ඇතිව දෙනවාට අමතරව දෙන්නේ කාට ද යන්න ගැන ද විමසිලිමත් විය යුතු ය. නොදී මග හැරිය යුතු කීප දෙනෙක් සිටිති. ඒ හිගන්නන් මං කොල්ල කරුවන් හා හොරුන් ය. ඒ උන් ගැනීමම ජිවිතය කර ගෙන ඉන්නා නිසා ය.

දිගින් දිගට දීමෙන් දුප්පත් වන්නේ දෙන තැනැත්තා පමණක් නොවේ. ලැබෙන තැනැත්තා ද දුප්පත් වේ. ලැබෙන නිසා උත්පාදනයට ඔහු/ඇය උත්සුක නොවන බැවිනි. දීම නිසා සිදුවන්නේ ලබන තැනැත්තා පොහොසත් වීමක් නොව තව තවත් දුප්පත් වීමක් නම් දීම වහා නවතා දැමිය යුතු ය.

දෙන්නේ මාළුවෙක් ද මාළු ඇල්ලීමට බිලී පිත්තක් ද යන වග ද කල්පනාවට ලක් කළ යුතු ය. පළමුවැන්න තාවකාලික ය. එයින් සිදුවන්නේ දිගින් දිගටම දීමේ වැඩසටහනකට සෙට් වීමට ය. දෙවැන්න බඩගින්නට තිරසාර විසදුමක් වීමට හැකි ශාක්‍යතාවයකින් යුක්ත ය.

තිරසාර විසදුමක් යැයි නොකියා එවැනි විසදුමකට ශාක්‍යතාවයක් තිබේ යැයි කීවේ බිලිපිත්තක් දුන්නහම සමහර හිගන්නන් කරන්නේ එයින් මාළු බාගන්නේ නැතිව එය විකුණා දැමීම නිසා ය. එහෙම උන්ට බිලී පිත්තක්වත් දිය යුතු නැත.

මේ කියන කාරණා කෙනෙකු යොමු කරන්නේ හැම දෙයක්ම ගනුදෙනුවක් හැටියට ගෙන කිරීමට නම් එයින් ද ඔහුට / ඇයට අමාරුවේ වැටීමට සිදු වේ.

සමහර අවස්ථාවල ආපසු ලැබෙන්නේය යන්නට පූර්ණ සහතිකයක් නොමැතිව දිය යුතු වේ. ඒවාට අප කියන්නේ ආයෝජන කියා ය.

ආයෝජනවලින් කොටසක් නැවත පොලිය සමග ලැබෙන අතර තව කොටසක් අපට අහිමි වේ. ඒ නිසාම ඒ අවදානම ගන්නට අකමැති අය ආයෝජනයෙන් වැළකී ගනුදෙනුවලට පමණක් යොමු වේ. පළමු කොටස ව්‍යාපාරිකයන් වන විට දෙවැනි කොටස වැටුප් ශ්‍රමිකයන් බවට පත් වේ.

ආයොජන කරන්නේ ව්‍යාපාරවල පමණක් නොවේ. අප මිනිසුන් සම්බන්ධයෙන් ද ආයෝජනයන් කරමු. යහළුවෙකුට කරදරයක දී උදව් දෙන කෙනෙකු කරන්නේ ද ආයෝජනයකි. යහළුවා කිසි දිනෙක එයට ප්‍රතිඋපකාරයක් නොකරන්නට පුළුවන. ඒ අවදානම අප බාර ගත යුතු ය.

ආයෝජනය කරන ව්‍යාපාරිකයන් අපේ අගැයීමට පාත්‍ර විය යුත්තේ උන් ලැබීම ගැන පූර්ණ සහතිකයක් නැතිව අත් හැරීමට තරම් නිර්ලෝභී නිසා ය. මිනිසුන්ට යහළුවන්ට උදව් කරන්නන්ට ව්‍යාපාරිකයන් සමාන කිරීමට මා කැමැත්තේ මේ පොදුගුණය නිසා ය.

එයින් ප්‍රදර්ශනය කරන අත්හැරීම බොහෝ අයට කළ හැකි දෙයක් නොවේ. වැටුප් ශ්‍රමිකයන් අප අතර වැඩියෙන් ද ආයෝජකයන් අඩුවෙන් ද ඇත්තේ අප බොහෝ දෙනෙකුට අත හැරීමට බැරි බැවිනි.

ආයෝජනයන් අවදානම් බැවින් ආයෝජනය කළ යුත්තේ ඒ අවදානම දැන ගෙන ය. අත්හැරීමට හිත හදා ගෙන ය.

එතෙකුදු වුව ද දිගින් දිගට දානයේම නියැලීමෙන් අවදානම් ගැන වෙස්සන්තර කෙනෙකු වීමේ අවසානය දෙන්නට දෙයක් ඉතිරි නොවීම ය. එය තිරසාර ව්‍යාපාරයක් නොවේ. අවසානයේ සිදුවන්නේ අඹුව ද දරුවන් ද අත් හැරීමට ය. ජූජක බමුණෙකුට පාවා දීමට ය. බුදුවන්නට පෙරුම් පුරනා කෙනෙකු නොවේ නම් ඔබ ඒ මග නොගත යුතු ය.

ඒ නිසා දීම කළ යුත්තේ දැන ගෙන ය. දෙන්නන් වාලේ දීමත් නොදී සියල්ල රදවා ගැනීමත් දෙකම එකසේ අයහපත් ය. ගැනීම ගැන පමණක් නොව දීම ගැනත් නිසි අවබෝධයක් කළමනාකරුවෙකුට තිබීම ආයතනයේ ඉදිරියට මෙන්ම පැවැත්මට ද එකසේ වැදගත් ය.

Advertisements

මාළුවෙක් වෙනුවට බිලී පිත්තක් දීම


අවුරුදු ඉවරය. ඉස්සරහට එන්නේ වෙසක් ය. වෙසක් යනු දැන් නම් දන් සැල් ය. දන් දෙන්නට මෙහෙව් ජාතියක් වෙන මොන දීපංකරේවත් නැත. ඒ දානය ගැන කළමනාකරුවෙකුගේ අස්ථානය විය යුත්තේ කුමක් දැයි මේ ලිපියෙන් විමසා ඇත්තේ ය.

ඔබ දාන පතියෙක් විය හැකි ය. එහෙත් ඔබේ දානයෙන් ඵලක් වන්නේ එය කල්පනාවෙන් දුන්නෝතින් ය. එසේ නොකළොත් එය ලබන්නාගේ පරිහානියට හේතුවක් වන්නට වුව ඉඩ තිබේ. මේ ලිපියේ අරමුණ දානය ගැනත් එහි ආනිසංශ ගැනත් හරියට දන්දෙන හැටිවත් කියා සිටීම නොවේ. කළමනාකරුවන් ඒ දෙස බැලිය යුත්තේ කෙසේ දැයි දක්වා සිටීමට ය.

හිගන්නන්ට මුදල් දෙන අය තමන් හිගාකෑමට ප්‍රචලිත කිරීමට අනුග්‍රහයක් සපයන්නේය යන්න කිසිදා හිතන්නට නැත. එහෙත් ඔවුන් කරන්නේ එය යි. හිගා කෑම ලෙහෙසි පහසු නැත. අව්වේ සිටිය යුතු ය. හිට ගෙන සිටිය යුතු ය. සල්ලි දෙන්නේ යයි හිතෙන කෙනෙකු වෙත ගොස් දුක් මුහුණක් හදා ගෙන දුක හිතෙන යමක් කිව යුතු ය. මේ සියල්ල  ලෙහෙසි පහසු නැත. රැකියාවකට වඩා අමාරු ය. එහෙත් මිනිසුන් මෙහි යෙදෙන්නේ රැකියාවකින් ලබන මුදලකට වඩා වැඩි මුදලක් ඒ හරහා උපයා ගත හැකි නිසා ය. අප මුදල් නොදෙන්නේ නම් ඔවුන්ට රැකියාවක් සොයා ගන්නට සිදුවන්නේ ය. අප නිකමුන් හදන්නේ සල්ලිත් වියදම් කරලා බව බොහෝ දෙනෙකුට තේරෙන්නේ නැත. මහන්සියෙන් වැඩ කරන මිනිහෙකුට ටිකක් වැඩියෙන් දෙන්නට කම්මැලි කරන මිනිසුන් මෙසේ නිකමුන්ට ලෝස් නැතිව බෙදන විට නිකමුන් බෝ වීම පිළිබද වගකීම ද ඔවුන් දැරිය යුතු නොවන්නේ ද?

ආයතනයක සතුව සම්පත් තිබේ. ඒවා නිසි ලෙස දීම නායකයෙකුගේ එක් කාර්යයකි. නායකයෙකු හැටියට යමක් දෙන්නට තීරණ ගැනීමේ දී ඔබ දෙන්නේ මොනවා ද ඒවා දෙන්නේ කෙසේ ද ඒවා දෙන්නේ කාට ද යන්න පිළිබදව නිවැරදි අස්ථානයක ඔබ සිටිය යුතු ය.

ආණ්ඩුවක් ගොවියාට අඩු මිලට පොහොර දෙනවා වෙනුවට වඩාත් ඵලදායී අස්වැන්නක් ගත හැකි බීජ (දෙන්නේ කුමක් ද) පසුව ගෙවීමේ පදනම යටතේ (දෙන්නේ කෙසේ ද) මුදල් හදල් අහේනිය ඇති ගොවීන්ට (දෙන්නේ කාට ද) වෙළද පොලේ මිලට වුව ලබා දෙන්නට සිතන්නේ නම් ඇති විය හැකි ප්‍රතිඵලය මීට වඩා හාත් පසින්ම වෙනස් ද ඵලදායී ද විය හැකි ය. එසේ කරන්නේ මුදල් නොමැති නිසා ඔවුන්ට වඩා අඩු ශක්තියක් ඇති බිජ යොදන්නට වන නිසා ය.

එසේ කළේ වී නම් පොහොර බොහෝමයක් අපතේ ගොස් වැව්වලට එකතු වන්නේ නැත. වැඩි අස්වැන්නක් ලබා ගත හැකි වීම නිසා කොහොමටත් අදාළ පොහොර ණය වී හෝ ගැනීමට ගොවියා උත්සුක වනු ඇත. අස්වැන්න ලැබීමෙන් පසු ණය ගෙවා දමා අභිමානවත් මිනිසෙකු ලෙස ජීවත්වීමේ ඉඩකඩ ඔහුට ඇති වේ. ඔහු තුළ යැපුම් මානසිකත්වයක් ඇති වීමේ සහ වඩ වඩාත් ආණ්ඩුවේ මැදිහත් විම සෙවීමේ ගති ස්වභාවය ඇති නොවේ.

අවශ්‍ය වන්නේ මාළුවෙකු දීම නොවේ. මාළුවන් ඇල්ලිය හැකි බිලි පිති සැපයීම ය. ඒ සමග මාළු අල්ලන සාස්තරය ද පුලුවන් නම් කියා දීම ය.

ඔබේ සේවකයන් සම්බන්ධයෙන් ද අවශ්‍ය වන්නේ ඔවුන්ගේ වැටුප් නිකරුණේ ඉහළ දැමීම නොවේ. එය එකවරක් දෙකක් මිස දිගින් දිගට කළ නොහැකි ය. වැඩි වැටුප් ලබා ගත හැකි ලෙස වැඩ සංවිධානය කරගැනීමට ඔවුන්ට ඉඩ සැළැස්වුවහොත් ඔවුන් ඒ සදහා මැදිහත් වනු ඇත්තේ ය. ඒ මගින් මිනිසුන් වැඩියෙන් උපයන අතරේ ඔවුන්ගේ කාර්යය සාධනය ද ඔවුන් ඉහළට නංවනු ඇත්තේ ය. එය දිගින් දිගට පවත්වාගෙන යා හැකි එකකි.

ආයතනයත් දිනා සේවකයනුත් දිනිය හැක්කේ එමගිනි.