අපි අපේ උප විඥානයේ සිරකරුවන් වෙමු


යටි සිත මහ පුදුමාකාර එකකි. එය අපට යම් යම් දේ කරන්නට අනුබල  දෙයි. එහෙත් ඒ කිසිදු දෙයක් සම්බන්ධයෙන් වග නොකියයි.

අප කරන ඒ ක්‍රියාවන් සාධාරණීකරණය කරන්නට අපට සිදු වූ විට ඒ කාර්යය උඩු සිතට පවරා යටි සිත මග හරියි. කරන්නට අමාරු බොහෝ දේ බාර ගන්නට මේ නිසා උඩු සිතට සිදු වේ.

පසුගිය ලිපියේ අපි මිනිසුන් කළු හා සුදු ලෙස වර්ග කිරීමේ වැරැද්ද ගැන කීවෙමු. මේ නිසා අපට සිදුවිය හැකි අකරතැබ්බයන් සමහරක් ගැන ද කීවෙමු. මේ වර්ග කිරීම කරන්නේ උඩු හිතම නොවේ. බොහෝවිට යටි හිත ය.

සුදු ලෙස වර්ග කළ මිනිසෙකුගේ කළු වැඩක් දුටු විට අපේ උඩු සිත යටි හිතේ බලපෑම යටතේ වහා ඉදිරිපත් වී ඒ ක්‍රියාවට හේතුව ඒ පුද්ගලයා නොවන බවත් ඔහුට ඇති බාහිර පීඩනයන් බවත් කියමින් ඔහු ඉන් ගලවා ගැනීමට ඉදිරිපත් වනු දකින්නට පුලුවන.

ඒ අර්ථයෙන්ම කළු ලෙස නම් කළ පුද්ගලයෙකුගේ සුදු වැඩකින් පවා අපට උනන්දුවක් ඇති නොවන බවට ද එවැන්නක් අගය කරන්නට පමණක් නොව පිළිගන්නට පවා අප නොපෙළඹෙන බවට ද එය වග බලා ගනියි. එවැන්නෙකුගේ යහපත් කල් ක්‍රියාවක් පවා අපේ උඩු සිත යටි හිත විසින් තල්ලු කරනු ලදුව අපට පෙන්වන්නේ ලාභ ප්‍රයෝජන තකා ඔහු විසින් දියත් කර ඇති අවස්ථාවාදී මෙහෙයුමක් හැටියට ය.

අපේ යටි සිත තුළ ක්‍රියාත්මක වන උඩු සිත විසින් පසුව සාධාරණය කරනු ලබන මේ ක්‍රියාවලිය නිසාම අප සුදු යයි අදහන අයට අමතරව අප කැමති යයි සළකන පුද්ගලයින්ගේ අඩුලුහුඩුකම් ද අඩුවෙන් තක්සේරු කිරීමටත් අකමැති පුද්ගලයන්ගේ කෙන්දක් තරම් පුංචි අඩුපාඩු කන්දක් මෙන් විශාලව දැකීමටත් අපි අපට නොදැනුවත්වම ක්‍රියාකරමු.

තමන්ගේ එකා හොද වෙන්නේත් තමන්ගේ එකා කරන නරක වැඩය ඊට වඩා අඩු මට්ටමෙන් අනෙකා කළ ද මහා ව්‍යාසනයක් ලෙස දකින්නේත් ඒ හේතුව නිසා ය. අනෙකා (පරයා) කරන හොද වැඩය අවස්ථාවාදය ලෙස දකින්නේත් එයම තමන්ගේ එකා කළාම උපාය මාර්ගික දක්ෂතාවය ලෙස සළකා මහා අභිමානයෙන් කතා කරන්නේත් ඒ නිසා ය.

මෙසේ උප විඥානය තුළ සුදු හෝ කළු චරිත ලෙස ද කැමති හා අකමැති චරිත ලෙස ද තමන්ගේ එකා හා අනෙකා යන ලෙස ද බෙදිල්ලක් පවතී.

මේ බෙදිල්ලේ අවසන් ප්‍රතිඵලය වන්නේ ආයතනය තුළ කදවුරු ඇති වීම ය. කණ්ඩායමක් ගොඩ නැගීමට අපොහොසත් වීම ය. ආයතනික දේශපාලනයකට අපූරු තෝතැන්නක් ඇති වීම ය. කළු අය අකමැති අය අනෙක් අය වඩ වඩාත් කළු වීම ය. ඔවුන් අධෛර්යමත් වීම ය. සුදු අයට කැමති අයට තමන්ගේ අයට සිය අඩුපාඩු නොපෙනී යාම ය. ඔවුන්ගේ වර්ධනය ඇණ හිටීම ය.

මේ බව අප කලින් සටහනක ද ඇතුළත් කළෙමු. දැන් අප තවත් පියවරක් ඉදිරියට යමින් කියන්නේ මේ තත්වය දන්නා අයට පවා මෙයින් ගැලවිය නොහැකි බව ය. ඒ සදහා අමතර වෙහෙසක් දැරිය යුතු බව ය. එයට හේතුව මෙය ඒ අයටත් හොරා යටි සිත තුළින් මතුවන දෙයක් නිසා ය. යටි හිත කරන මෙවැනි ඕනෑම මගඩි වැඩක් සාධාරණීකරණය කරන්නට උඩු හිත පේවී සිටින නිසා ය.

යටි හිතට එනම් උප විඥානයට අප මෙහෙයවන්නට ඉඩ දුන්නොත් මෙයින් ගැලවෙන්නට බැරි ය.

යමක් දෙස හැගීම්වලින් වියුක්තව බැලීමේ කුසලතාවය ගොඩ නගා ගැනීමෙන් මිසක සෑම දෙයක් දෙසම විචාරශීලීව බැලීමේ මනසක් හදා ගැනීමෙන් තොරව මේ උප විඥානයෙන් ගැලවෙන්නට අපට බැරි ය.

හැම සුදු දෙයකම කළු ඇත්දැයි විපරම් කිරිමටත් හැම කළු දෙයකම සුදු ඇත් දැයි පිරික්සීමටත් කටයුතු කිරීම ඒ සදහා පූර්ව කොන්දේසියක් වෙයි. එසේ කරන ලෙස අපේ උඩු සිත පුරුදු පුහුණු කළ යුතු ය.

කළමනාකරුවාගේ අභියෝගය වන්නේ යටි සිත තුළ සැගවී ක්‍රියාත්මක වන මේ ක්‍රියාවලිය සාධාරණය කිරීමේ කාර්යයෙන් උඩු සිත මුදවා ගැනීම ය. ඒ වෙනුවට යටිසිතේ මේ උපදෙස් දෙස විචාරශීලීව බලන්නට උඩු සිතට උදව් දීම ය. යටි සිතේ නැතිනම් උපවිඥානයේ සිරකරුවෙකු නොවී ඉන් නිදහස් වීම ය.

Advertisements

මොකද? මං කළු ද?


මේ අප අසා හුරු පුරුදු කතාවකි. මේ ප්‍රශ්නය කෙනෙක් නගන්නේම තරහක් ද හිතේ ඇතිව ය. තමන් නොසළකා හැරිවිට මේ ප්‍රකාශය කියවෙන්නේ ඉබේට ම ය. ආදරය ඉල්ලා පැරදුනු විට ද අවස්ථාවක් ඉල්ලා නොලැබුනු විට ද මිනිස්සු මෙසේ අසති.

අප කැමති මේ ප්‍රශ්නය කළමනාකරුවෙකුට විෂය විය යුතු ආකාරයට නගන්නට ය.

මිනිසුන් කළු හා සුදු හැටියට වර්ග කළ හැකි ද? වර්ග කළ යුතු ද?

මේ එක ප්‍රශ්නයක් නොවේ. ප්‍රශ්න දෙකකි. පළමු ප්‍රශ්නයට උත්තරය නොහැකිය යන්න ය. දෙවැන්න මිනිසුන් නැතත් මිනිසුන්ගේ වැඩ නම් කළු හා සුදු හැටියට වර්ග කළ යුතු බව ය.

එහෙත් බොහෝ කළමනාකරුවන් කරන්නේ මෙහි අනිත් පැත්ත ය. ඔවුහු මිනිසුන් කළු හා සුදු හැටියට වර්ග කර ලේබල් අලවති. ඉන්පසු සුදු ලේබලය සහිත අයගේ කළු වැඩ ද කළු ලේබලය ඇති අයගේ සුදු වැඩ ද සම්බන්ධයෙන් නොදැක්කා සේ සිටිති.

පළමු ප්‍රශ්නයට එනම් ලේබල් ඇලවීමට හේතුව එසේ කිරීමෙන් ගනුදෙනුව පහසු වීම ය. ලේබලය සුදු නම් කරන්නට ඇත්තේ ඔහුට සැළකීම ය. ලේබලය කළු නම් කරන්නට ඇත්තේ ඔහුට පල නොකියා පලා බෙදීම ය.

මෙයින් සිදු විය හැක්කේ කුමක් ද? කළු තැනැත්තා තවදුරටත් කළු වීම ය. සුදු තැනැත්තා තමන් සුදු බව සිතා පහසු ජීවිතයකට හුරු වීම ය. දෙකෙන්ම බැට කන්නේ ආයතනයයි.

දෙවැන්නට එනම් කළු ලේබලය ඇති අයගේ සුදු වැඩ ද සුදු ලේබලය ඇති අයගේ කළු වැඩ ද අමතක කිරීමට හේතුව එසේ නොකළොත් තමන් ඇලවූ ලේබලය ගැලවීමට සිදුවිම ය. එහෙම වුනාම කටයුතු තවදුරටත් පහසු නොවීම ය. සංකීර්ණ වීම ය.

කිසිදු මිනිසෙක් එහෙම පිටින් ම කළුත් නැත. සුදුත් නැත. හැම මිනිහෙක්ම පාහේ අළුපාට ය. එක් මානයකින් සුදුවන අය තව මානයකින් කළු විය හැකි ය. එක් මානයකින් කළු වන අය තව මානයකින් සුදු විය හැකි ය. මානය නැත්නම් මිනුම අප මනින  මිනුම් දණ්ඩ අනුව වෙනස් වේ.

සාන්තුවරයෙක් යැයි සමාජය හදුන්වන කෙනෙක් ඔබ කිට්ටුවෙන් ඇසුරු කළොත් ඔහුගේ අඩුපාඩු සීමා ඔබට දැනගන්නට ලැබෙනු ඇත. සමාජය කෙනෙකු සාන්තුවරයෙකු කිරීමේදී මුලින් ම කරන්නේ මේ අඩුලුහුඩුකම් සැගවීම ය.

අධමයෙකැයි සමාජය අයින් කරන කෙනෙකු සමහරවිට ටයිකෝට් පැලදි මහත්වරුන් අහක බලන අවස්ථාවක අසරණ වුනු කෙනෙකුගේ පිහිටට එනු අපට දකින්නට පුලුවන.

මේ නිසා අප මිනිසුන්ට කළු හා සුදු ලෙස ලේබල් ඇලවීමෙන් වැළකිය යුතු ය. එසේ වුව ද මිනිසුන් කරන වැඩ සම්බන්ධයෙන් නම් ලේබල් ඇලවීමට කළමනාකරුවන් කටයුතු කළ යුතු ය.

සුදු වැඩ කරන්නට අළු මිනිසුන් පෙළඹෙන්නේ එවිට ය. කළු වැඩ මගහරින්නට අළු මිනිසුන් පෙළඹෙන්නේ එවිට ය.

මිනිසුන් කළු හෝ සුදු නැත. උන් අළුපාට ය. එහෙත් මේ අළුපාට ඕනෑම උන්දෑ කෙනෙකු සුදු වැඩ ද කළු වැඩ ද කළ හැකි ය. වැදගත් වන්නේ ඒ ඒ වැඩය පුද්ගලයා කවුද යන්න අමතක කොට ඔහු මොන කදවුරේද යන්න අමතක කොට අගය කිරීමේ ය. කළු ද සුදු ද යැයි පෙන්වා දීමේ ය.

සතුට ගෙනෙන දියුණුව – දියුණුව ගෙනෙන සතුට


අප හැම දෙනෙක්ම කැමති අප තුළ තිබෙන දක්ෂතා හා හැකියාවන් වඩාත් තීව්‍රව ප්‍රකාශයට පත් කළ හැකි වැඩෙහි යෙදීමට ය. එහෙත් අපට සිදුවන්නේ ඒවා සගවා ගෙන වෙනත් වැඩක යෙදී ජීවත්වීමට නම් එතැන ඇති වන්නේ අසතුට ය.

එක් පැත්තකින් නායකයින්ගේ යුතුකම වන්නේ මිනිසුන් සතු මේ දක්ෂතා හා හැකියාවන් වඩාත් තීව්‍රව ප්‍රකාශයට පත් කළ හැකි වන්නාවූ ද ඒවා තවදුරටත් මුවහත් කර ගත හැකි වන්නාවූ ද පරිසරයක් – ආයතන ව්‍යුහයක් – සමාජයක් – නිර්මාණය කිරීම ය.

අනෙත් පැත්තෙන් අපගේ යුතුකම වන්නේ අපට පැවරී ඇති වගකීම ඉහළින් ඉටු කිරීමට අවශ්‍ය දක්ෂතා හා කුසලතා වැඩි දියුණු කර ගැනීමට ය. ඒ දක්ෂතා පිළිබද කැමැත්තක් ඇල්මක් ඇති කර ගැනීමට ය.

තර්කය නම් ආදරය කරන්නා කසාද බැදිය නොහැකි නම් කසාද බදින්නාට ආදරය කිරීමට කටයුතු කළ යුතු බව ය.

අපෙන් ඈත්ව ගිය සතුට අප වෙත නැවත ලංකර ගත හැක්කේ ඒ ක්‍රියාමාර්ගයන් මගිනි.

දෙවැන්න කියන තරම් පහසු නොවේ. පළමුවන්න ආයාසයක් නැතිවම කළ හැකි ය. දෙවැන්න සදහා අමතර පෙළඹවීමක් අවශ්‍ය ය.

ඒ නිසා ම වඩාත් සමාජයට ඵලදායක වන්නේ මිනිසුන් සතු දක්ෂතා හා හැකියාවන් වඩාත් තීව්‍රව ප්‍රකාශයට පත් කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම ය.

සමහර රටවල් අනෙත් රටවල් අභිබවා ද සමහර ආයතන අනෙත් ආයතන අභිබවා ද  දියුණුව කරා ගොස් ඇත්තේ පළමු මූලධර්මය අනුගමනය කිරීමෙනි.

පුද්ගලයින් සම්බන්ධයෙන් නම් එක්කෝ ඔවුන් එවැනි පරිසරයක් සොයා යා යුතු ය. නැත්නම් දෙවැනි උපාය මාර්ගය – එනම් තමන් සතු දක්ෂතා පසෙක ලා සමාජයට ආයතනයට අවශ්‍ය දක්ෂතා දියුණු කර ගැනීම – අනුගමනය කළ යුතු ය. පුද්ගලයින් දියුණුව ලබා ඇත්තේ ඉහත කී මාවත් දෙකින් එකක් ඔස්සේ ය.

මෙයින් අපට ලැබෙන උපදෙස සරල ය. කරන වැඩය ගැන සතුටු වීමට බැරිනම් වෙන වැඩක් සොයා ගන්න. නැතිනම් සතුටු විය හැකි ලෙසට තමන් කරන වැඩය නැවත සංවිධානය කර ගන්න.

නායකයන්ට ලැබෙන උපදෙස ද සරල ය. හැකි සෑම විටකම මිනිසුන්ට තම දක්ෂතා හා හැකියාව උපරිම ලෙස ප්‍රකාශයට පත් කළ හැකි ලෙස වැඩ සංවිධානය කරන්න. නැති නම් ඔවුන්ට සමු දෙන්න.

දියුණුව ඇතිවන්නේ හදවතේ සතුට සමග ය. කැමැත්තකින් කරන දෙයක් හැම විටම හොදින් කෙරෙන බැවිනි.