සතර අගතිය – කළමනාකරුවෙකු බැහැර කළ යුතු


සිගාලයන් අමතා බුදුන් වහන්සේ දේශනා කළ සිගාලෝවාද සූත්‍රය අද අපගේ සටහනට නිමිත්තක් කර ගන්නට කැමැත්තෙමි. සෑම ආගමකම සැගවී ඇති මිණිකැට තිබේ. මේ බුදු දහමෙන් අපට සොයා ගත හැකි වූ එවැන්නකි.

පහත සිව් ආකාරයෙන් අගතියට යෑමෙන් වළකින ලෙස එහිදී සිගාලයන්ට බුදුන් වහන්සේගෙන් උපදෙස් ලැබේ.

ජන්දය (ලෝභය ලෙස ද ගත හැකි ය) – යමෙකුට හෝ යමකට ඇති කැමැත්තෙන් අගතියට යෑම.
දෝස – යමෙක් හෝ යමක් සමග ඇති කරගන්නා ද්වේෂයෙන් අගතියට යෑම.
භය – යමෙකුට හෝ යමකට ඇති බියෙන් අගතියට යෑම.
මෝහ – මෝඩකමෙන් අගතියට යෑම.

කළමනාකරුවන්, සමහර විට තමන් නොදැනුවත්වම, මේ අගතීන්ට ගොදුරු වීම නිසා වැරදි තීරණයන්ට එළඹිය හැකි ය. ඒ නිසාම සිය විනාශයත් ඊටත් වඩා ආයතනයේ විනාශයත් ඇති කරන්නෝය. ආයතනයත් නැති කර ගෙන අවසානයේ තමනුත් නැති කර ගන්නෝ ය.

තමන්ගේ හිතවතෙකු හිතවතියක නිසා වැරදි තීරණවලට එළඹෙන කළමනාකරුවන් බොහෝ ය. තමන් අගයන යම් මතවාදයක් යම් දර්ශනයක් නිසා ද කළමනාකරුවන් එවැනි වැරදි තීරණයන්ට එළඹීය හැකි ය. තමන්ට ලැබිය හැකි ලාභයක් නිසා ද එවැන්නකට මග පෑදිය හැකි ය. තමන්ගේ එවැනි යම් කැමැත්තකින් ඇස් අන්ධ කරගන්නා ඔවුන්ට විකල්ප නොපෙනේ. තීරණයෙන් ඇති විය හැකි ප්‍රති විපාක නොපෙනේ. ඉදිරිය නොපෙනේ. පසුබිම, වටපිටාව, පරිසරය නොපෙනේ. මෙසේ අගතියට ගිය විට කැමැත්ත හැරෙන්නට ඉතිරි සියල්ල අතුරුදහන් වෙයි. කැමැත්තෙන් පරල වෙන්නා ඒ මතම පිහිටා තීරණයන්ට එළඹේ. වෙනත් කිසි දෙයකට විවෘත නොවෙයි.

තමන්ගේ සතුරෙකු තමන් අනුමත නොකරන කෙනෙකු වීම නිසා ඒ තැනැත්තාගේ වැදගත් යෝජනාවක් බැහැර කිරීමට කළමනාකරුවෙකු පෙළඹෙන්නට පුලුවන. තමන්ගේ ජාතියේ නොවන තමන්ගේ ආගමේ නොවන තමන්ගේ කදවුරේ නොවන කෙනෙකු සම්බන්ධයෙන් ඇති කරගන්නා ද්වේශය මෙයට සමහර විට පාදක විය හැකි ය. සමහර විට ඒ කිසිවක් නැතත් පෞද්ගලික එදිරිවාදුකමක් ද එයට හේතුවන්නට පුලුවන. එය සමහර විට ප්‍රතිවිරුද්ධ මතවාදයක් සම්බන්ධයෙන් ද විය හැකි ය. එවිට ක්‍රියාකරන්නේ ද්වේශයයි. අන්ධ විය හැක්කේ කැමැත්තෙන් පමණක් නොවේ. ද්වේශයෙන් ද අන්ධ විය හැකි ය.

තමන්ට අනතුරක් හානියක් වීමට ඉඩ ඇතැයි යන බිය නිසා ද වැරදි තීරණයන්ට එළඹිය හැකි ය. ඒ බියෙන් මෙහෙයවනු ලැබූ විට වෙන කිසිවක් දර්ශන තලය තුළ ඉතිරි නොවෙයි. සියල්ල ඉන්පසු පාලනය කරනු ලබන්නේ බිය මගිනි.

මෝහය යනු මෝඩකම ය. තමන් සියල්ල දන්නේ යැයි සිතන්නෙකු බොහෝ විට මෝඩ කමින් මෙහෙයවනු ලබන්නෙකි. දන්නා දෙය දන්නා බව ද නොදන්නා දෙය නොදන්නා බව ද අවබෝධ කර ගන්නා කෙනෙකු මෝඩ කමින් අගතියට යන්නේ නැත. බොහෝ මෝඩයන්ගේ ප්‍රශ්නය වන්නේ බොහෝ දේ නොදන්නා බව පමණක් නොවේ. තමන් දන්නේ මොනවා ද නොදන්නේ මොනවා දැයි නොදන්නා කම ය. එවන් කෙනෙකු අන් කිසි කෙනෙකුට සවන් දෙන්නේ නැත. හෙවිල්ලක් බැලිල්ලක් නැතිව විධාන දෙන්නේ එවැනි අය ය.

මේ සිව් වැදෑරුම් අංශයන්ගෙන් අගතියට නොගිය කෙනෙකුට සියල්ල සලකා බලා දිගු කාලීනව සාධනීය ප්‍රතිඵල ඇති කරන තීන්දුවකට එළඹිය හැකි ය.

අගතියට යන අයගේ සැලකිල්ලට ලක්වන්නේ අගතියට ගිය කාරණය නිසාම එයින් අන්ධ වන කෙනෙකුට සෙසු කරුණු දිගු කාලීන ප්‍රතිවිපාක මග හැරෙන නිසා ම නිවැරදි තීන්දුවක් ගත නොහැකි ය. අද නැතත් හෙට ඔවුන් අර්බුදයකට යාමට නියමිත ය. ඔවුන් සමග ඔවුන් නායකත්වය දෙන ආයතනය/සංවිධානය හෝ රටක් නම් රට ද අගාධයට යනු ඇත්තේ ය.

Advertisements

ආගම! – කළමනාකරුගේ අස්ථානය?


ආගම, එය කවරක් හෝ වේවා, අපේ ජීවිතවලට ඇති කර ඇති බලපෑම අතිමහත් ය. ඒ නිසාම ආයතනයක කළමනාකාරිත්වයට එයින් වෙන්ව ජීවත්වීමට හෝ එය නැතැයි සිතා වැඩ කිරීමට හැකියාවක් නැත. විශේෂයෙන් අලුතින් ආගමික පුබුදුවක් දකින්නට ලැබෙන අප වැනි රටක එය තවත් අමාරු ය.

ඒ නිසාම ආගම සම්බන්ධයෙන් කළමනාකරණයේ ස්ථාවරය කුමක් විය යුතු දැයි යන්න ගැන නිශ්චය අදහසක් කළමනාකරුවන් විසින් ඇති කර ගත යුතු ය. එවිට යම් ආගමික කටයුත්තක් සම්බන්ධයෙන් වන ඉල්ලීමක් ගැන කුමක් කළ යුතු දැයි දහ අතේ කල්පනා කරමින් ලතැවීමට සිදු නොවේ.

හැම ආගමකින්ම අපේක්ෂා කළේ යහපතක් බව ඇත්ත ය. එහෙත් ඒවා දේශනා කරන්නේ එකිනෙකට වෙනස් මාවත් ය. ඒ නිසා එකක් අල්ලා ගත් විට අනෙක්වා අත හරින්නට සිදු වේ. ආයතනයක් විසින් අල්ලා ගත යුත්තේ කුමන ආගම ද? කුමක් අල්ලා ගත්ත ද එවිට අනික්වා අත හැරෙන නිසාම ආයතනය අමාරුවේ වැටේ. හැම දෙනාටම මෙය වැටහෙන්නේ නැත.

ඒ නිසා ආයතන ප්‍රධානියා, විශේෂයෙන් ඔහු බහුතරයගේ ආගම වන බුද්ධාගම අදහන කෙනෙකු නම්, තමන්ගේ ආගම ආයතනය තුළ ඉදිරියට ගැනීමට කටයුතු කරන්නට පුළුවන. එහි වැරැද්දක් පවා ඔහු නොදකින්නට පුලුවන.

යම් ආයතනයක් බුද්ධාගමේ චර්යාවන්ට මෙසේ මුල් තැන දෙන විට බුද්ධාගමේ සංකේත පමණක් ප්‍රදර්ශනය කරන විට ඒ ආයතනයට එන වෙනත් ආගම් අදහන හෝ ආගම් නොඅදහන ගනුදෙනුකරුවන්ට එය තමන්ගේ ආයතනයක් ලෙස නොහැගේ. එහෙත් බෞද්ධයන්ට එයින් අමතර ඇතුළත් කමක් ඇති විය හැකි ය. රටේ වැඩි දෙනෙක් බෞද්ධයින් බැවින් අන් අයගේ හැගීම ගැන තැකීමක් නැතිවාට කමක් නැත යන්න බොහෝ කළමනාකරුවන්ගේ මතය වී තිබේ.

ප්‍රශ්නය වඩාත් ව්‍යාකූල වන්නේ වෙනත් ආගමිකයෙකු හෝ නිර්ආගමිකයෙකු ආයතනයේ ප්‍රධානියා වූ විට ය. ඔහුට හෝ ඇයට අකමැත්තෙන් පැරණි සම්ප්‍රදාය ගෙන යන්නට සිදු වේ.

ආගම සමහර මිනිසුන් භාවිතා කරන්නේ තමන්ගේ සමාජ බලය වර්ධනය කර ගැනීමට ය. ආයතන ඇතුළේ ද මෙය සිදු වේ. ආගම වඩාත් ඉස්මත්තට ගෙන එන්නට සමහර විට දගලන්නේම ආයතනයේ ඉන්නා අතිශය වංචාකාරයා වීමේ ඉඩකඩ බැහැර කළ නොහැකි ය.

ආගමික කටයුතුවලට ඉඩක් විවර කළ විට එයට සීමා පනවන්නට ද අපහසු වේ.

විශේෂයෙන් වෙනත් ආගමිකයෙකු ආයතන ප්‍රධානියා වූ විට ඔහු හෝ අැය පාලනය කිරීමේ උපක්‍රමයක් ලෙස ද බහුතරයට ආගම භාවිතා කළ හැකි ය.

සමහර ආගමික ඉගැන්වීම් ආයතනයේ කටයුතු සමග ගැටෙන අවස්ථා තිබිය හැකි ය. උදාහණයක් ලෙස ධීවර කර්මාන්තයේ නියැලෙන ආයතනයක මුඛ්‍ය කාර්යයම බුද්ධාගමේ ඉගැන්වීම් හා ගැටෙන බව අපි දනිමු.

මේ සියළු කාරණා නිසා ආගම හා ආයතන අතර දීගය ආයතනයට පමණක් නොව ආගමට ද යහපතක් සලසන්නේ නැත. ආගම ඇදහීම එක් එක් පුද්ගලයාගේ පෞද්ගලික කටයුත්තක් විනා ආයතනයේ කටයුත්තක් නොවන බවට ආයතනයේ අගැයීම් පද්ධතියට ඇතුළු කළ විට බොහෝ ප්‍රශ්න විසඳේ. උදෑසනින් ආරම්භ කර රාත්‍රියේ අවසන් කරන විටත් ආගම මෙනෙහි කිරීමට සැදී පැහැදී සිටින මාධ්‍ය සම්බාරයක් ඇති රටක ඒ ටික නැවත වතාවක් ආයතනයක් තුළ කිරීමෙන් අමතර අගයක් එකතු වන්නේ නැත. ඒ බව තෝරා බේරා ගතහොත් ආයතනයේ වැඩ කටයුතු අනවශ්‍ය ව්‍යාකූලත්වයක් සංකීර්ණත්වයක් නැතිව පහසුවෙන් කර ගෙන යා හැකි ය.

විශ්වාසය හා සැකය


ආත්ම විශ්වාසය නැති කෙනෙකුට කළ හැකි දේ අල්ප ය. අන් අය ගැන විශ්වාස නොකරන කෙනෙකුට ද කළ හැකි දේ අල්ප ය. එවැනි අයට සිදුවන්නේ කුඩා වැඩ කරමින් තනිව ජීවත්වීමට ය. අප ගැනත් සෙසු අය ගැනත් විශ්වාස කිරීම ඒ අනුව අපට ඉදිරියට යාමට අත්‍යවශ්‍ය මූලිකම අවශ්‍යතාවයකි.

අප අතරින් කී දෙනෙකුට ආත්ම විශ්වාසය තිබේ ද? පහත වීඩියෝව නැරඹීමෙන් ඒ ගැන අදහසක් ඔබට ගත හැකි ය.

http://www.youtube.com/watch?v=zVaknBrb-fQ

ඉහත වීඩියෝවට සමාන පරීක්ෂණයක් ගණිතමය සමීකරණයක් ඇසුරෙන් ද කර ඇත්තේ ය. පර්යේෂකයා මේ සමීකරණ දී උත්තරය සොයන්නැයි පන්තියක සිසුන් හට කියා ඇත. ඊට පසු පන්තියේ තමන් ඇටවූ කීප දෙනෙකුගෙන් ඒ ගණිතමය සමීකරණයට කලින් කියන ලද වැරදි උත්තරයක් ලබා ගෙන ඒ ප්‍රශ්නය පන්තියේ වෙනත් කෙනෙකුගෙන් ඇසූ විට ඔහු මදක් පැකිල  එහෙත් දී තිබුනේ කලින් වැඩි දෙනා දුන් වැරදි උත්තරයම ය.

ඔහුට නිවැරදි උත්තරය කියා ඔහුට එය නොලැබුනේ දැයි ඇසූ විට ඔහු කීවේ ඔහුට ද ඒ උත්තරය ලැබී තිබුනු බවත් කීප දෙනෙක්ම එකම උත්තරයක් (එය වැරදි වුව ද) දුන් නිසා තමන්ට වැරදෙන්නට ඇතැයි සිතා ඒ උත්තරයම තමනුත් දුන් බව ය.

එයින් පෙනෙන්නේ අප අපේ තීරණයන් ගැන ඇත්ත වශයෙන්ම සැකයකින් පසුවන බව ය.

එසේ සැක කිරීම හරි ද වැරදි ද?

ජර්මනියේ හිට්ලර් ගෙන ගිය ව්‍යාපාරය ගැන මුලින් සැක කළ බොහෝ අය ද වෙනත් බොහෝ දෙනෙක් ඊට අනුගත වනු දැකීමෙන් පසු සැක කිරීම අත් හැර දැමූ හ. මුළු ලොවට විනාශයක් කැද වූයේ එසේ සැක කිරීමට ජර්මන් ජනතාවට නුපුළුවන් වූ බැවිනි.

සැක කිරීමට අවසර නැති තැනක මා නම් රැදෙන්නේ නැත.

සැකය පහළ වන්නේ සැක කළ යුතුම තැන්වල ය. එවැනි විටක කළ යුත්තේ නැවත පිළිවිස විශ්වාසය පිරික්සීම ය. එවිට එය එක්කෝ තහවුරු කර ගත හැකි ය. නැතිනම් ඉවත දැමිය හැකි ය. එසේ නොකොට අන්ධ විශ්වාසයෙන් මුල් තීන්දුවේ ඇලී සිටීමටවත් මුල් තීන්දුව කිසිදු පිරික්සීමකින් තොරව වැඩි දෙනාගේ මතය අනුව යමින් එක පැහැරින් බැහැර කිරීමටවත් කටයුතු නොකළ යුතු ය.

හිතේ කෙළවරක සැකය රදවා ගෙන සිටිය යුතු වුව ද විශ්වාසය ද ඒ සමගම කෙනෙකුට තිබිය යුතු ය. මට පවතින දේ වෙනස් කළ හැකිය යන විශ්වාසය නොතිබුනේ නම් මා මේ බ්ලොග් අඩවියට අත ගසන්නේ නැත. පොත් ලියන්නේ නැත. බ්ලොග් අඩවිය ජනප්‍රිය නොවෙන්නටත් පොත් නොවිකිනෙන්නටත් ඉඩ ඇති බැවිනි. එහෙත් මට මා ගැනත් මේ රටේ ඉගෙන ගන්නට කැමති මිනිසුන් සිටින්නේය යන්න ගැනත් විශ්වාසයක් තිබුනේ ය. මා මේ ගමන මෙතෙක් ආවේ ඒ විශ්වාසයට පින්සිදු වන්නට ය. මා ගැනත් මේ රටේ මිනිසුන් ගැනත් මේ සම්බන්ධයෙන් මට සැකයක් නොතිබුනේ යැයි අදහස් නොවේ. මගේ තීරණය කීප වතාවක් මට නැවත නැවතත් විවරණය කිරීමට සිදු වූ වාර තිබුනේ ය.

විශ්වාසය හා සැකය එක ලෙස තුරුල් කර ගත යුතු ය. ඒ දෙක කාසියක දෙපැත්ත ලෙස ගත යුතු ය. ඒ දෙක නිසි පරිදි කළමනාකරණය කර ගත හැකි කළමනාකරුවන් දිනුම් ය. අද නැතත් හෙට ඔවුන් දිනුම් ය.

අනෙත් අය අද නැතත් හෙට පරදිනු ඇත්තේ ය.

අප පක්ෂපාත විය යුත්තේ කාට ද? නායකයාට ද? ආයතනයට ද? රටට ද?


ආයතනයක් සම්බන්ධයෙන් මේ ප්‍රශ්නය ඔබගෙන් ඇසුවොත් ඔබ දෙන පිළිතුර කුමක් ද?

සමහරුන්ට අනුව පක්ෂපාත විය යුත්තේ නායකයාට ය. ඔහුගේ අණට ය. මක් නිසා ද යත් අපේ පැවැත්ම ඇත්තේ ඔහු අත නිසා ය.

තවත් සමහරුන්ට අනුව පක්ෂපාත විය යුත්තේ ආයතනයට ය. ආයතනයේ ප්‍රතිපත්ති හා මෙහෙවරට ය. නායකයා තාවකාලික භාරකරුවෙක් පමණක් බව ද හෙට වෙනත් නායකයෙකු ඔහුගේ තැන ගත හැකි බව ද සළකා නොවෙනස් වන ආයතනයටම අප පක්ෂපාතී විය යුතු බව මේ කණ්ඩායමේ අදහස ය.

තුන්වෙනි පාර්ශවයකට අනුව අපේ සේවා ලාභීන්ට ය. ඔවුන්ගේ අපේක්ෂාවන්ට ය. මක්නිසා ද යත් අප වැටුප් ලබන ආයතනයේ පැවැත්ම ඇත්තේ ඔවුන් මත නිසා ය.

සිව්වෙනි පාර්ශවයකට අනුව අපේ රටට ය. ජාතියට ය. මක්නිසා ද යත් රට නොරැකී ආයතනය හෝ නායකයා රැකීමෙන් වැඩක් නැති නිසා ය. රටක් ජාතියක් නැති කල ඉතිරිවන ආයතනයක් හෝ නායකයෙක් නැති නිසා ය.

පස් වෙනි පාර්ශවයකට අනුව තමන්ට ය. නැතිනම් තමන්ගේ හෘද සාක්ෂියට ය. එසේත් නැතිනම් තමන් අනුගමනය කරන කිසියම් දර්ශනයකට ය. ආගමකට ය. මතවාදයකට ය. හර පද්ධතියකට ය. ආචාර ධර්මයන්ට ය.

මෙය කියවන ඔබ මේ අන්තෝ ජටා බහි ජටාවෙන් ගැලවීමට ලස්සණ උපායක් සැළසුම් කරනු පෙනේ. ඔබ කියන්නට හදන්නේ මේ සියල්ලන්ට පක්ෂපාත විය යුතු බව නොවේ ද?

එසේ කළ හැකි නම් අගනේ ය. එහෙත් ප්‍රශ්නය මතු වන්නේ නායකයා ආයතනයේ වුවමනා වෙනුවෙන් පෙනී නොසිටින කල ය. පාරිභෝගික අපේක්ෂා ආයතනයේ වුවමනාවන් සමග ගැටුනු විට ද නායකයාගේ හෝ ආයතනයේ වුවමනා රටේ පොදු අභිවෘද්ධියට හරහට හිටින විට ද ඒ හා සමාන තත්වයක් ඇති වන්නේ ය.

ඒ සෑම විටම අපට උත්තර සොයා ගැනීමට අපහසු ප්‍රශ්නයක් ඉතිරි වන්නේ ය. සරල උත්තරයක් නැති ප්‍රශ්නයක් ඉතිරිවන්නේ ය.

ඒ ප්‍රශ්නයට උත්තරය කුමක් දැයි ඔබ සිතන්නේ ද?

ඔබේ උත්තරවලට විග්‍රහයක් ද සමග ඉදිරියේදී මුණ ගැසෙමු.

කළමනාකරණ ප්‍රතිසංස්කරණ – බර වචනයක් වුනත් ආයතනයක් හෑල්ලු කිරීමට ඊට පුලුවන


ප්‍රතිසංස්කරණයන් කිරීම ආයතනයක පැවැත්මට ද වර්ධනයට ද එකසේ අවශ්‍ය ය. එහෙත් සෑම ප්‍රතිසංස්කරණයක් යහපතක් ගෙනෙන්නේ නැත. සමහර ප්‍රතිසංස්කරණ කොතරම් යහපත් අභිමාර්ථයෙන් කරන්නේ වුව ද අවසානයේ ඒවායින් අයහපතක් ඇති වන්නට පුලුවන.

යම් ආයතන ප්‍රධානියෙකු ආගම සිහිකර වැඩ ආරම්භ කිරීමේ වැඩ පිළිවෙලක් හදුන්වා දෙන්නට සිතන්නේ සැබැවින්ම යහපත් පරමාර්ථයෙන් විය හැකි ය. එහෙත් වෙනත් ආගම්වල සේවකයින් ද ආයතනයට පැමිණෙන වෙනත් ආගමික සේවා ලබන්නන් ද එයින් කොන්වන්නට ඉඩ තිබේ. මේ ආයතනය අහවල් ආගමේ ආයතනයක්ය යන හැගීම වෙනත් ආගම්වල අය ඉන් බැහැරව යාමට හේතුවක් වෙයි.

ආයතනය වඩාත් හොදින් සකසා ආයතනයට බාහිරින් වටිනා පෙනුමක් දීමේ අපේක්ෂාවෙන් එක් පුද්ගලයා සදහා වෙන්ව ඉදිකරන කළමනාකරණ කුටි නිසා මෙතෙක් එකට වැඩ කරගෙන ගිය අය වෙන්වෙන්නට ද ඒ නිසාම වෙනදා තිබූ කණ්ඩායම් හැගීම අඩු වන්නට ද පුලුවන.

එවැනි ප්‍රතිසංස්කරණයක් දකින විට එකක් කඩතොලු මකන්නට ගිය ඉදුරුවේ ආචාරියා අවසානයේ දහසක් කඩතොලු හැදූ කතාව ඉබේම සිහිපත් වෙයි.

හැම වෙනසක්ම බොහෝ මානයන් වෙනස් කරන බැවින් සිදුවන සාධනීය වෙනස මෙන් ම නිශේධනීය වෙනස ද ගැන සැළකිල්ලෙන් ද හැම මානයක්ම පිරික්සමින් ද ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු ය.

එපමණක් නොවේ. අදාළ ප්‍රතිසංස්කරණය ආයතනයේ මෙහෙවර (mission) ප්‍රකාශය කොතෙක් දුරට ශක්තිමත් කරන්නේ ද ආයතනයේ දැක්ම (vision) සාක්ෂාත් කරගැනීමට කොපමණ දුරට හේතු කාරක වන්නේ ද ආයතනයේ අගැයීම් පද්ධතියට (values) කොතෙක් අනුකූල වන්නේ ද ආයතයේ ප්‍රමුඛතාවලට (priorities) කොපමණ දුරට දිරියක් වන්නේ ද යන්න ගැන සැළකිල්ලෙන් ක්‍රියාත්මක කළ යුතු ය.

බොහෝ මහජනයා ගැවසෙන ආයතනයක පඩි පෙළක ඊතල ඇද යා යුතු දිසාව ලකුණු කිරීම ඵලදායී ය. එහෙත් නිර්මාණාත්මක වැඩ කටයුතු කරන කීප දෙනෙක් පමණක් ඉන්නා ආයතනයක එවැන්නක් හදුන්වාදීම අනවශ්‍ය බාධකයක් ආයතනය මත පැටවීමකි. ඒ නිසාම ප්‍රතිසංස්කරණ ප්‍රතිසංස්කරණ සදහා නොව  ආයතනයේ ඵලදායීබව නැංවීම සදහා සුදුසු ද යන්න සළකා බැලීමෙන් කළ යුතු ය. ඒ සදහා ආයතනික සන්දර්භය (context) විමසිය යුතු ය.

අවාසනාවකට බොහෝ ආයතන තුළ සිදුකරණ ප්‍රතිසංස්කරණ එවැනි දැක්මකින් නොකරන නිසාම ඒවා යහපත අපේක්ෂාවෙන් කරතත් අයහපත් මැදිහත්වීම් බවට අවසානයේ පත් වීම වැළැක්විය නොහැකි ය.