අනුකම්පාව හා සහකම්පාව


කළමනාකරුවෙකු තමන්ගේ කණ්ඩායමේ සමාජිකයන් කෙරෙහි තමන්ගේ සගයන් කෙරෙහි අනුකම්පාව දැක්විය යුතු ද?

අනුකම්පා කිරීමේ දී අප අනෙකාගේ මට්ටමට වැටෙන්නට සූදානම් නැත. අප ඉහළ රැඳෙනා අතර පහළ ඉන්න අනෙකා වෙනුවෙන් යමක් විසිකරන්නට පමණක් එවිට අපි ඉදිරිපත් වන්නෙමු. ඈත සිට අත දෙන්නට පමණක් ඉදිරිපත් වන්නෙමු.

අප අනුකම්පාව වෙනුවට සහකම්පාව පළ කරන්නේ නම් අප අනෙකාගේ තත්වයට මනෝභාවයට වැටීමට සූදානම් ය. ඔහු/ඇය සමග ඔහුගේ ඇයගේ දුක වේදනාව අපේක්ෂාභංගත්වය බෙදා ගැනීමට සූදානම් ය. එම මනෝභාවයන් විඳ ගැනීමට එ්වා තේරුම් ගැනීමට ඒ හරහා ඔහුට ඇයට ශක්තියක් වීමට අප සූදානම් ය.

අනුකම්පා කිරීමේ දී අප කරන්නේ ඔහු හෝ ඇයට තමන්ගේ මනෝභාවයෙන් මිදීමට බල කිරීම ය. නියෝග දීම ය. සහකම්පාව දැක්වීමේ දී අප ඒ වෙනුවට එම මනෝභාවය ඒ අයුරින් පිළිගැනීමට සූදානම් ය.

අනුකම්පා කිරීමේදී අප කරන්නේ අප සිටින තැන සිට අත දිගු කිරීම බව අපි කීවෙමු.

සහකම්පාවේදී අප කරන්නේ ඔහු/ඇය ඉන්නා තැනට ගොස් කර වටට අතක් දමා ගෙන් ඔහු හෝ ඇය සමග නැගී සිටිම ය.

අනුකම්පාව අනුකම්පාව ලබන්නා තුළ වඩාත් පරාජිත හැගීමක් ඇති කරයි. සහකම්පාව ඔහු හෝ ඇය තුළ ශක්තියක් ඇති කරයි.

අනුකම්පාව දක්වන්නා කියනු ඇත්තේ ඕවා ඔහොම තමයි ඔයාට විතර ද ඔය වගේ ඒවා ලෝකෙ හැමෝටම වෙනව. හිතන්න ඔයින් ගියා ඇති කියල. නොලැබුන දේ ගැන හිතන්න එපා. අමාරුවකින් ගැලවුනා කියල හිතන්න.

සහකම්පාව දක්වන්නා කියනු ඇත්තේ මට ඔයාගෙ වේදනාව හැගීම තේරෙනව. ඒක ස්වභාවිකයි. මට වුනානම් මට කොහොම වෙයි ද කියල හිතාගන්න බැහැ. අපි අලුතින් ජීවිතේ දිහා බලමු.

(සමහර විට ඔහු එක ද වචනයක් හෝ නොකියා ඒ වෙනුවට ඔහුට හෝ ඇයට ශරීර ස්පර්ශයෙන් ප්‍රතිචාර දක්වන්නට පුලුවන. නිශ්ශබ්දතාවයෙන් ප්‍රතිචාර දක්වන්නට පුලුවන. සහකම්පනය බොහෝ විට වචනයෙන් තොර ය.)

බැලූ බැල්මට ඉහත දැක්වූ ප්‍රකාශ දෙක අතර විසල් වෙනසක් නැත. බැලු බැල්මට දෙකින් ම අපේක්ෂා කරන්නේ ද එකකි. ඒ දුකට පීඩාවට පත් තැනැත්තාට උදව් කිරීම ය. සහය වීම ය. එහෙත් ලබන්නාගේ හිතේ ඇතිවන මනෝභාවය අහසට පොළොව තරම් වෙනස් ය.

පළමුවැන්න පීඩාවට පත් තැනැත්තා

    වෙනුවෙන්

උපකාරයකට ඉදිරිපත් වීමකි. දෙවැන්න පීඩාවට පත් තැනැත්තා

    සමග

ඔහු/ඇයගේ දුක හා හැගීම බෙදා හදා ගැනීමකි.

එකක් කේන්තියත් අනෙක සැනසීමත් ගෙනෙන්නේ ය. එකක් වේදනාව වැඩි කරන්නේ ය. අනෙක වේදනාව සමනය කරන්නේ ය. එකක් තමන් ගැන හීනමානයක් ඇති කරන්නේ ය. අනෙක තමන් සුරක්ෂිතය යන හැගීම ඇති කරන්නේ ය.

ඊළග අවස්ථාවේ ඔබෙ හිතවතෙකු කරදරයක වැටුනු කල අනුකම්පාව වෙනුවට සහකම්පාව දැක්වීමට මතක තබා ගන්න. නැතිනම් ඔබ කරන්නේ ගහෙන් වැටුන මිනිහාට අනින්නට ගොනෙකු මෙහෙයවීම ය.

ශිල්පයෙන් කවර ඵල? සහතිකයමය එළ! මතු වටින්නට නම් එකතු කළ යුතු…..


අප උගන්නා ජාතියක් නොවේ. සහතික එකතු කරන ජාතියකි. උගත මනා ශිල්පය වෙනුවට එකතු කළා වූ සහතිකම මතු වටිනා බව සිතන ජාතියකි.

අධ්‍යාපන සහතිකයක වටිනාකම කොතෙක් ද? විශේෂයෙන් විභාග ප්‍රතිඵල සහිත සහතිකයක වටිනාකම කොතෙක් ද?

විභාගයක දී මැනෙන්නේ විෂය මූලිකව මැණිය හැකි දේ ය. ගණිතය හා විද්‍යාව හැරුණු විට අන් බොහෝ විෂයන්වල දි මැනෙන්නේ කරුණු හා සංඛ්‍යාෙල්ඛන දැනුම ය. විද්‍යාව ප්‍රශ්න පත්‍රයක් වුව කරුණු හා සංඛ්‍යාලේඛනවල දැනුම මූලික කරගෙන සකසන්නට පුලුවන.

නායකත්ව කුසලතා විභාගයක දී මැණිය නොහැකි ය. මැණිය නොහැකි නිසා ඒවා අවැදගත් වන්නේ ද? එවැනි මැණිය නොහැකි දෑ අමතක කර මැණිය හැකි දෑ පමණක් සළකා අපට මිනිසුන් ආයතනයට බදවා ගත හැකි ද?

කරුණු හා සංඛ්‍යාෙල්ඛන බොහෝමයක් කාලයත් සමග වෙනස් වේ. අන්තර්ජාලය වැනි මෙවලම් ඇති වත්මන ඒවා බුරුතු පිටින් දැන ගෙන සිටීමේ තේරුමක් ද නැත. දැනුම තිබෙන්නේ කොහේ දැයි දැන ගැනීමත් ඒවා සොයාගැනීමට ඇති හැකියාවත් තිබුනොත් ඒ හොදටම ප්‍රමාණවත් ය.

වඩාත් අවශ්‍ය වන්නේ ඒ දැනුම ප්‍රයෝජනයට ගැනීමට ඇති හැකියාවේ ය.

බොහෝ විභාගවල නොමැනෙන්නේත් එයම ය. ඒ විභාගයකින් එය මැනීමේ ඇති දුෂ්කරතාවය නිසා ය.

ප්‍රශ්නයකට උත්තර දහසක් ඇති විට එය ආදර්ශ උත්තර පත්‍රයකට ගොනු කිරීම අමාරු ය. එය කළ හැක්කේ වාචික පරීක්ෂණයකින් පමණ ය. උත්තර විවෘත බැවිනි. එක් උත්තරයක් අනෙත් උත්තරයට වඩා හාත්පසින්ම වෙනස් විය හැකි බැවිනි. එතෙකුදු ඒ උත්තර සියල්ල නිවැරදි විය හැකි බැවිනි. ඒ නිසා අහන්නට සිදුවන්නේ එක් උත්තරයක් ඇති ප්‍රශ්න පමණ ය. එවිට බොහෝ විට ඉතිරිවන්නේ කරුණු හා සංඛ්‍යා ය.

මේ අතිශයින් සීමා සහිත වූ මිණුම් ක්‍රමයක් උපයෝගී කරගෙන සහතික දෙන්නට සිදූ වූයේ තාක්ෂණය වෙනත් විකල්පයකට ඉඩක් නොතැබූ බැවිනි.

අලුත් තාක්ෂණික ලෝකය අපට මේ සදහා නව විකල්ප සපයා තිබේ. දියුණු විඩියෝ ක්‍රීඩා එවැනි එක් විකල්පයකි. දැනුම භාවිතා කර ඉදිරියට යා හැකි ද යන්න ඒවායින් මැණිය හැකි ව තිබේ. නායකත්වය දෘෂ්ඨියක් තිබේ ද නැත් ද යන්නත් ඒ හරහා අගැයීමට ලක් කළ හැකි ය. දැනුම ඉක්මණින් සොයා ගත හැකි ද යන්නත් අන්තර්ජාලය යොදා ගෙන මැණිය හැකි ය.

රැකියා අපේක්ෂකයා සයිබර් අවකාෂයේ කිනම් සළකුනක් තබා ඇත් ද යන්න ද එහි දී සැළකිල්ලට ගත හැකි ය. විශේෂයෙන් ඔහුගේ ආකල්ප පිළිබදව අගැයීමක් ද ඒ හරහා ලබා ගත හැකි වනු ඇත.

නැවතත් සහතික වෙනුවට උගත මනා ශිල්පයම වුවමනාවෙන දවස වැඩි ඈතක නැත.

සම්මත විභාග සහතික මත රැදෙන්නේ නැතිව රැකියාවට අවශ්‍ය සම්පූර්ණ කුසලතා පරාසය මැණිය හැකි ක්‍රම ආයතන විසින් ද සොයා ගත යුතුව තිබේ. එවිට සහතික පසු පස යෑම ඉක්මණින් නැවැත්විය හැකි ය. ඒ සදහා නව තාක්ෂණය ද උදව් කර ගත හැකි ය.

එවිට රැකියාවට සුදුස්සන් විභාග සමත් අය අතුරින් සොයා ගත නොහැකි යයි මැසිවිලි නගන්නට කළමනාකරුවන්ට සිදු නොවෙනු ඇත.

තාවකාලික පසු බැසීම් (Retreat in battle) හා පරාජය (Defeat in war) අතර වෙනස


මේ ජයග්‍රාහකයාගේ සමයයි. මිනිසුන් හඹා යන්නේම ජයග්‍රහණයන්ම ය. එය නරක නැත. නරක පැරදුනහම සිදුවන අපේක්ෂා භංගත්වයට යටත් වීම ය.

යමක් පරාජයක් ද තාවකාලික පසුබැසීමක් ද යන්න තීරණය කරන්නේ ඒ සිද්දිය විසින් නොවේ. ඒ සිද්දියට යටත්වන පුද්ගලයා විසිනි.

යමෙකු පරාජයක් ලෙස හගින දෙයක් තව කෙනෙකුට දැනෙන්නේ තාවකාලික පසුබැසීමක් ලෙස ය.

යම් සිද්දියකින් ජය අත් නොවුව ද එයින් යමක් ඉගෙන ගන්නාට එය තාවකාලික පසුබෑමක් වේ. එයින් ඉගෙන නොගන්නාට නම් එය සැබැවින්ම පරාජයකි.

ඒ නිසා නොදිනූ විට තාවකාලික පසුබැසීමක් ලෙස යමෙකුට එය ගත හැක්කේ ඒ හරහා ඉගෙන ගනිතොත් ය. නැත්නම් ඔහු එය තාවකාලික පසුබැසීමක් ලෙස බාර ගත්තේ වුව ද ඔහු පැරදිලා ඉවර ය.

දිනන්නට නොහැකි වූ යමකින් ඉගෙන නොගන්නා හා එය පරාජයක් ලෙස දැක කළකිරෙන්නා හට ජීවිතය වද කදවුරක් වන අතර වැරදීමකින් ඉගෙන ගන්නාට ඒ වැරදීම අගනා පාසැලක් වන්නේ ය.

ඒ නිසාම අවසානයේ නොදිනූ යමක් පරාජයක් ද තාවකාලික පසුබැසීමක් ද යන්න තීරණය කරනු ඇත්තේ අපේ ආකල්පයන් හා එවැන්නක් කෙරෙහි අප දක්වන ප්‍රතිචාරය අනුව ය.

වැරදීම් තුළින් ඉගෙනිමු. වැරදීමක් පරාජයක් ලෙස නොව තාවකාලික පසුබැසීමක් ලෙස සළකන්නට පුරුදු වෙමු. ඊළග වතාවේ ජය අපට අත්වෙනු ඇතැයි විශ්වාස සහගත වෙමු. ඒ වෙනුවෙන් කැප වෙමු. වැඩ කරමු.

එයින් අදහස් කරන්නේ ජයග්‍රාහයකයාට ඉගෙන ගන්නට දෙයක් නැති බව ද? සත්තකින්ම නැත. ජය තහවුරු කර ගැනීමට නම් දිගින් දිගට ඉගෙන ගත යුත්තේ ය. නැතිනම් ජය අතිශය තාවකාලික සංසිද්ධියක් පමණක් වනු ඇත්තේ ය.

ජයෙන් උද්දාමයට පත්ව ඉගෙනීම අත් හැරි සරසවි ගිය බොහෝ දෙනෙකු ජීවිතයෙන් පරදිද්දී සරසවියට වරම් නොලැබූ මිනිසුන් ඔවුන් පසු කර බොහෝ ඉදිරියට යෑමේ හේතුව ඇත්තේ මෙහි ය. ජය සමරමින් දිගින් දිගට දිවි ගෙවීමට උත්සහ කරන අයට මෙයින් ඉගෙන ගත හැකි පාඩම් බොහෝ ය.

ඉගෙනීම අත්හරින්නාගේ ජය ද තාවකාලික බව ඒ අතුරින් වඩාත් වැදගත්ම පාඩම ය.