දැන් හැදෙන පරම්පරාව අපේ එක වගේ නොවේ!


අපේ පරම්පරාවේ (වැඩිහිටි) අය කතා කරන විට නිතර ඇසෙන්නේ දැන් හැදෙන දරුවන්ගේ දුර්වලතා, අඩුපාඩු හා අවපක්ෂය පිළිබඳ වෙනත් කතා ය.

මට මතුවන පළමු ප්‍රශ්නය වන්නේ මේ කාගේ දරුවන් ද යන්න ය. ඔවුන් නොනිසි මග යන්නේ නම් එහි වගකීමෙන් වැඩිහිටි අපට මග හැරිය හැකි ද යන්න ය.

දෙවැන්න නම් මේ ප්‍රශ්නය හැම පරම්පරාවකම වැඩිහිටියන් විසින් ඊළග පරම්පරාව වෙත එල්ල කෙරෙන දෝෂාරෝපනයක් නොවේ ද යන්න ය.

තෙවැන්න නම් ඔය කියන තරමට නරකක් අලුත් පරම්පරාවේ තිබේ ද යන්න ය.

පරම්පරාවන් අතර වෙනසක් තිබේ. පුදුමය එසේ තිබුනොත් නොව නොතිබුනොත් ය. විශේෂයෙන් මේ වෙනස වඩාත් ප්‍රකට වන්නේ අප අගයන පරම්පරාවේ සාරධර්ම හා අගැයීම් සම්බන්ධයෙනි.

අපේ සාරධර්ම හා අගැයීම් පද්ධතිය අප ගොඩ නගා ගන්නේ දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා සිදුවන පරිවර්තනයේදී ය. වයසින් ගණන් බලන්නේ නම් වයස 18-25 අතර සමයේ ය. ඉදිරි කාලය අප ගත කරන්නේ එසේ සකසා ගත් සාරධර්ම හා අගැයීම් අනුගමනයෙනි. ඒ නිසාම ඒ සාරධර්ම ඉදිරි ජීවිත කාලයේදී ම අපගේ හැසිරීම් මෙහෙයවන්නට කටයුතු කරනු ඇත්තේ ය. වෙනස්වන ලෝකය ඉදිරියේ වුව ද බොහෝ දෙනෙකු ඒ සාරධර්ම සම්බන්ධයෙන් නොසැලී සිටින්නට සමත් වන්නෝ ය. අප ඒ තරමටම ඒවාට ඇලී සිටීමට එක් හේතුවක් වන්නේ අපේ අනන්‍යතාවය ඇත්තේ එහි වීම ය.

ඊළග පරම්පරාව සාරධර්ම ගොඩ නගා ගන්නේ ඔවුන් වයස 18-25 පමණ කාලයේ ය. ඒ ලෝකය අප 18-25 දී මුහුණ දුන් ලෝකය නොවේ. එය වෙනස් ය. එහි අභියෝගයන්ට මුහුණ දීමට පැරණි සාරධර්ම සමග නොහැකි ය. එවිට සිදුවන්නේ ඒ ලෝකයට ගැලපෙන්නාවූ නව සාරධර්මයන් හා අගයන් කොටසක් ගොඩ නගා ගැනීම ය.

පවුලක දරුවන් බොහෝ සිටීම ආශිර්වාදයක් ලෙස සැළකුනු අපේ දෙමාපියන්ගේ කාලයේ සමහර පවුල්වල 8-10 දරුවන් සිටීම සාමාන්‍ය දෙයක් වූයේ ය. ඒ කාලයේ අම්මලා තාත්තලාට තිබුනේ කන්න දෙන්න පමණ ය. පාසලට යන වියදම ඇදුම්වලට පමණක් සීමා විය.

දැන් එසේ නැත. එක් දරුවෙක් හදන්නට ද බොහෝ වියදම් කළ යුතු ය. ඉතින් දැන් පුංචි පවුල රත්තරන් වී ඇත්තේ ය.

මා මේ දැක් වුයේ එක් උදාහරණයක් පමණකි. සාරධර්ම යුක්ති යුක්ත කරන්නේ වටපිටාව විසින් බව තේරුම් ගැනීමට මේ උදාහරණය පමණක් වුව සෑහේ.

දොස් නගනවානම් දොස් නැගිය යුත්තේ කාලයට ය. දරුවන්ට නොවේ.

එහෙත් කාලයට පවා දොස් නගන්නට අපට පුලුවන් ද? ඒ ගැන ඊළග සටහනෙන් විමසමු.

Advertisements

අපට ගැලපෙන ආර්ථික ක්‍රමවේද – 56 දරුවන්ට ආමන්ත්‍රණයක්


අද අපව පාලනය කරන්නේ අඩුවැඩි වශයෙන් මේ සටහන ලියන මා ද ඇතුළත් 56 පරම්පරාවේ දරුවන් විසින් ය. ඒ පරම්පරාව හැදී වැඩුනේ අදට වඩා අතිශය වෙනත් සමාජ ආර්ථික දේශපාලනික පසුබිමක ය.

කොළඹ ද ගමකට වැඩිමනත් දෙයක් නොවූ එකල තමන්ගේ ඉඩමකින් වවා කියා ගත් දෙයක් හෝ කඩා ගත් දෙයක් ඔවුන්ගේ ආහාරය වූයේ ය. අමතර දෙයක් ගත්තේ ගමේ සමූපෙන් හා ගමේ කඩයෙන් ය. තොරොම්බල්කාරයා විසින් තරුණියන්ට අවශ්‍ය වීදුරු වළලුවල සිට ගෙදරට අවශ්‍ය සුකුරුත්තම් බඩු දක්වා සියල්ල සැපයුනේ ය. ඔහු ඇවිදින සාප්පුවකට ආසන්න විය. රෙදි නැන්දා නැත්නම් ඩෝබි ගෙදරට ඇවිත් ඇදුම් පිරිසිදු කර දුන්නේ ය. මිනිසුන් ගමෙන් එලියට ගියේ බොහෝමත් කලාතුරකිනි. ඒ අර්ථයෙන් ඔවුන් ස්වයං පෝෂිත වූයේ යැයි කිව හැකි ය. ඔවුන්ගේ ලෝකය වූයේ ගම ය.

රට හා සම්බන්ධ වූයේ වයර්ලස් එක එනම් රේඩියෝව හරහා ය. රටින් පිට ගියේ යමක් කමක් ඇත්තෝ පමණකි. ඒ ඒරොප්පෙට ය. ඒරොප්පේ කීවේ යුරෝපයට ය. එහෙම කිව්වාට වැඩි දෙනෙක් ගියේ එංගලන්තයට ය. ඒ ද බොහෝවිට ඉගෙන ගෙන නැවත එනු සදහා ය. පවුලේ ඥාතියෙක් රට යන කල ගමේ උදවිය උන්දෑ ඇරලනු පිණිස කුලියට ගත් බස් රථයකින් නැතිනම් ලොරියකින් කටුනායක ගියෝ ය. ඒ එවැනි ගමනක් අතිශයින් දුලබ දෙයක් වීම ය.

වක්කඩ ලග නැටූ තිත්ත පැටවු ගැන ගී ලියූ ගීත  සාහිත්‍යයක් එදා අපට තිබුනේ ය.

එලිපහලියේ ගගක වැවක කුඹුකේ අද්දර ලිදක නා සිසිල්ව කොස් දෙල් පොල්සම්බෝලයක් කරවල හොද්දක් සමග බත් වේලක් කන්නට හැකි නම් ජීවිතය මල් යැයි ඒ පරණ කාලේ මතක් කරන අපේ පරම්පරාවේ අය නිතර කියති.

එකල ජීවිතය සරල ය. සන්සුන් ය. වෙනස් වුනේ නම් ඒ ඉතා හෙමිනි. අනාගතය ගැන අනාවැකි කීම පවා ඒ නිසා අමාරුවක් නොවී ය. ඉගෙන ගත්තොත් තරමක් හොදින් දිවි ගෙවිය හැකි ය යන්න එවැනි එක් අනාවැකියක් වූයේ ය. ළමයි ඉගෙන ගත්තේ පාසැලෙනි. ටියුෂන් ලබා ගත්තා නම් ඒ කොළඹ දී පමණකි. ඒ ද තරගකාරී විභාගයක් වූ උසස් පෙළ සදහා ය. ගුරුවරයාගෙන් උදව් නොලද විට ය.

කිසිවෙකුට ගමේ උදවියගෙන් වසන් වී කිසිවක් කළ නොහැකි විය. ගමේ අනුමැතිය නැතිව යමක් කිරීම ද පහසු නොවී ය. දියුණුවන්නට නම් ගමෙන් පිටවිය යුතු යැයි අදහසක් ද ඒ නිසාම එකල ප්‍රකටව තිබුනේ ය.

දැන් ඔක්කොම කණ පිට ය. වක්කඩ ලග තිත්ත පැටව් දකින්නටවත් නැති බවට අදෝනා නැගෙන ගීත දැන් අසන්නට ලැබෙන්නේ ය. කොස් දෙල් ක්ෂණික නූඩ්ල්ස්වලින් විස්ථාපනය වෙලා ය. කුඹූකේ වතුර බුබුල සෙරමික් ටයිල් ඇල්ලූ බාත්රූම් එකකට මාරුවෙලා ය. කරවල වෙනුවට සොසේජස් පිගානට වැඩලා ය.

ගමේ උදවිය තියා පවුලේ උදවිය වත් දැන් කටුනායක යන්නේ නැත. ඉස්සර මෙන් නොව රට ගිය මිනිසුන් දැන් ආපහු එන්නේ ද නැත. ආවත් එන්නේ නැවත යන්න ය. යමක් කමක් ඇති අය නොව නැති අය ද දැන් රට යන්නෝ ය. සමහර අවස්ථාවල පවුල් පිටින්ම යන්නෝ ය. කටුනායකින් පමණක් නොව මීගමුවෙන් ද මඩකලපුවෙන් ද නැව් නගින්නෝ ය. නීත්‍යානුකූලව ආරක්ෂා සහිතව පමණක් නොව නීති විරෝධිව දිවි පරදුවට තබා ද යන්නෝ ය. මෙරටට පැමිණෙන කල්ලතෝනින් අල්ලන්නට සිටි නාවික හමුදාවට නීති විරෝධි ශ්‍රී ලාංකික සංක්‍රමණකයින් අල්ලන්නට දැන් සිදු වෙලා ය. සංක්‍රමණය ඒ තරමට උඩු යටිකුරු වෙලා ය.

ජීවිතය දැන් සරල නැත. සන්සුන් ද නැත. හැම කෙනෙක්ම කලබලයෙන් ය. ටියුෂන් පටන් ගන්නේ පහේ ශිෂ්‍යත්වය සදහා සමහර විට දෙකේ තුනේ පන්තිවලදී ය. ටියුෂන් ඉවරයක් නැති ගානය. සරසවියේත් දැන් ටියුෂන් ය.

අද තිබූ රස්සාව හෙට වෙන කොට නැත. චිත්‍රපටි කටවුට්වලට චිත්‍ර ඇන්ද චිත්‍ර ශිල්පීන්ට පමණක් නොව තව බොහෝ වෘත්තීන් හි නියැලුන අයට ද තව දුරටත් තමන්ගේ කුසලතා විකිණිය නොහැකිව තිබේ.

තාක්ෂණය වෙනස්වන වේගයට තාක්ෂණ දැනුම සැපයීමට සම්ප්‍රාදයික තාක්ෂණික ආයතන අසමත්ව තිබේ. ලබාගත් උපාධිය එදා මෙන් ඉතිරි ජීවිත කාලයට ප්‍රමාණවත් වන්නේ ද නැත. අලුත් දැනුම සොයා යෑමට හැමට බල කෙරෙමින් තිබේ. පොල් කඩන්නා පවා මොබයිල් දුරකථන තාක්ෂණය ඉගෙන ගනිමින් සිටියි.

වයර්ලස් එක වෙනුවට අන්තර්ජාලය හරහා අප දැන් ලෝකයට සම්බන්ධ ය. අල්ලපු ගෙදර වෙන්නේ මොකක්දැයි දැන් අප නොදන්නා වුවත් ඇමරිකාවේ කුඩා ගමක සිදුවන සමහර දෑ පවා අපේ අවධානයට දැන් අසුවෙයි. අපේ ගම ලෝකය බවට පත්වෙමින් තිබේ. ඒත් ඒ පැරණි අර්ථයෙන් නම් නොවෙයි.

අප දැන් ගමේ විමසුම් ඇසින් වඩාත් නිවැරදිව කියන්නේ නම් උකුසු ඇසින් නිදහස ලබා සිටිමු. එහෙත් අප ලෝකයට ඊටත් වඩා දැඩිව බැදී ඇත්තෙමු. චීනයට කිඹුහුමක් ගියොත් අපට උණ ගන්නා තරමට රටවල්එකිනෙක සම්බන්ධ ය. පැරණී සීමා බිද දමා අලුත් සබදතා මතුවෙමින් තිබේ. දේශ සීමා බොද වෙමින් තිබේ. විශේෂයෙන් අන්තර්ජාලය දේශසීමා අතික්‍රමණය කරමින් සිටියි.

කොටින්ම කීවොත් අප අද ජීවත් වන්නේ ආදීවාසීන්ද පන්දුවාර 20 නවතම ක්‍රිකට් තරගයන්ට සහභාගී වන වකවානුවක ය.

ඒත් 56 පරම්පරාවේ බොහෝ දෙනෙකු මේ වෙනස පිළිගන්නට අසමත් ය. නැත්නම් අකමැති ය. එය එසේ බවට පිළිගත්ත ද එය හා අනුගත වෙන්නට ඔවුන්ට අපහසු ය. ඊටත් වඩා අමාරු තමන් එසේ අනුගත වෙමින් සිටින බව පිළිගන්නට ය.

එයින් අදහස් වන්නේ නව ලෝකය ඉදිරිපත් කරන දෑ ඔවුන් බාර නොගන්නා බව නොවේ. සමහර විට ඔවුන් ඒවා බදාගන්නට වුව ලෑස්ති ය. හේතුව ඉතා සරල ය. නව ජීවිතය සංකීර්ණ වුව ද ඒ හා සමගම පහසුව ද එයින් සැලසී තිබීම ය.

වෙනදා දුර කතර ගෙවා පෝලිමේ සිට ගෙවූ බිල් දැන් ගෙදර සිට පරිගණකයේ යතුරු කීපයක් එබීමෙන් සිදු කළ හැකි ය. වෙනදා ලංකාවේ ම පළාතකට දුර කථන ඇමතුමක් ලබා ගැනීමට දුර කථන ක්‍රියාකරුවෙකුගේ ආඩම්බර බැලීමට සිදු වූයේ ය. දැන් කිසිවෙකුගේ ආඩම්බර නොබලා ලොව වෙනත් රටවල් කීපයක සිටින තම හිතේෂීන් හා එකම මොහොතේ ස්කයිප් හරහා එකවර සම්බන්ධ විය හැකි ය. ලියුමක් යවා උත්තරයක් එන තෙක් සති දෙක තුන බලා ගෙන සිටීම තවදුරටත් අවශ්‍ය නැත්තේ ය. තත්පර කීපයකින් විද්‍යුත් තැපෑලෙන් ලියුම් එකවර කීප දෙනකුටම යැවිය හැකි ය.

ඔවුන්ට නව ලෝකය පිළිගන්වන අලුත්ම දුරකථනය ඕනෑ ය. ලොව සමග සම්බන්ධ විය හැකි අන්තර්ජාල ගත පරිගණක ඕනෑ ය. විද්‍යුත් ලිපි -ඊමේල්= යැවීමේ පහසුකම් ඕනෑ ය. එහෙත් ඒ කිසිවක් වෙනුවෙන් තමන්ගේ වෙනසක් ඇති කරගැනීමට නුවුමනා ය.

ඔවුනට ටයිල් කරපු නාන කාමරයක් ඕනෑ ය. ඒ ලෝකයට පෙන්නන්ට ය. ඒත් තවමත් අගවන්නේත් සමහර විට ඇත්තටම කැමැත්තේත් එලියේ නෑමට ය.

සමහරු අතීත ශ්‍රී විභූතිය නැවත ඇති කිරීමක් ගැන පවා කතා කරති. අතීතයට නැවත යන්නට සෙස්සන්ට ද අඩ ගසති. එයින් අහුලා ගත් හොල්මන් අවතාර නැවත සභා ගත කරති. විද්වත් මණ්ඩප තුළ ප්‍රදර්ශනය වන මේ අතීත කාමය අතිශයින් ප්‍රබල ය. මිනිස්සු නිදි මරා ගෙන ඒවා බලති. ඒවාට හූමිටි දෙති. නව ලොවින් දොරට වැඩූ ෆේස් බුක් එකේ ද ඒ අතීත සැමරුම් මොනවට අලෙවි වෙමින් තිබේ.

වඩාත්ම අවුල නම් වත්මන් ප්‍රශ්නවලට පිළිතුරු සදහා ද ඔවුන් ඔවුන්ට හුරු අතීතයට යොමුවීම ය.

විවෘත ආර්ථිකය වෙනස් කිරීමට ධෛර්යයක් නැතත් ඒ තුළ සංවෘත ආර්ථික ගුහා තනන්නට ඔවුන් කැමති ය. ආයෝජකයන්ට රතු පලස් අතුරන අතරේ ඔවුන්ට ඍජු නියෝග දෙන්නට ද ඔවුන්ට වුවමනා ය. ව්‍යවාසකයින් නියාමනයන්ට යටත් කරනු වෙනුවට ඔවුන්ගේ කටයුතුවලට ඍජුව මැදිහත්වීමට ඔවුන්ට අවශ්‍ය ය.

දේශපාලනයේත් ආර්ථික මර්මස්ථානවලත් සමාජ වේදිකා තුළත් අද ඉදිරියෙන් සිටින්නේ මේ පරම්පරාව ය. අධ්‍යාපන ප්‍රතිපත්ති සකසන්නේ ඔවුන් ය. රට මෙහෙයවන්නේ ඔවුන් ය. මාධ්‍යය පාලනය කරන්නේ ඔවුන් ය.

අපට ගැලපෙන ආර්ථික ප්‍රතිපත්ති නැමැති ග්‍රන්ථය රොහාන් සමරජීව හා සීජේ අමරතුංග ගේ කර්තෘත්වයෙන් රාවය ප්‍රකාශනයක් ලෙස දොරට වඩින්නේ මේ අතරතුර ය.

රට කරවන අයට පමණක් නොව ඊට උපදෙස් දෙන අයට ද නැවත හිතන්නට බොහෝ දේ මේ පොතින් ඉදිරිපත් කර තිබේ. පැරණි අතීතයේ සීමා තුළ සිට නව ලෝකයට පා නැගිය නොහැකි බවට විචිත්‍ර උපහැරණයකින් පොත ආරම්භ කර තිබේ. ඒ ඉස්සර අපි ගෙවල් හැදූ හැටි ගැන කියමිනි. ඒ දවස්වල ගෙවල් හදන්නට අප අමුද්‍රව්‍ය සොයාගත්තේ වට පිටාවෙනි. තාක්ෂණික දැනුම ගමේ වැඩිහිටියෙකුගෙනි. ශ්‍රමය පවුල ඇතුළෙනි. ඒත් දැන් ගෙවල් එහෙම හදන්නට බැරි ය. විශේෂඥ උපදෙස් අවශ්‍ය ය. අමුද්‍රව්‍ය සියල්ලක් පිටිනි. ශ්‍රමය වෙළද පොළෙනි. එය අදාළ ගෙවල්වලට පමණක් නොවේ. මුළු රටටම ය. රට තුළ කරන සියලු ආයෝජනයන්ට ය. මේ පොතින් ප්‍රතිපත්ති විෂයෙහි ද එවැනි නව යෙදවුම් අවශ්‍ය බව අවධාරණය කර ඇත්තේ හිත් කාවදින සුළු ආකාරයකට ය.

ප්‍රතිපත්ති සම්පාදකයින්ට හා රටකරවන අයට තමන්ගේ ඔලුවට එන ඕනෑම අදහසක් ක්‍රියාවට නැංවිය හැකි ය. එහෙත් එහි විපාක විදිය යුත්තේ ජනතාව ය. ඒ නිසා ම විශේෂඥ උපදෙස් පමණක් නොව ජනතා අදහස් ද විමසිය යුතු ය. සියලු පාර්ශවකරුවන්ට සවන් දිය යුතු ය. මක් නිසා ද යත් අද අප ගන්නා පියවර ආපසු හැරවිය නොහැකි ලෙසම අනාගතය කෙරේ බල පෑ හැකි බැවිනි. ඒවා සදහා අද හැම කෙනෙක් ම තමන් උපයන දෙයින් ගෙවමින් සිටින බැවිනි. ඒ ද පොතේ මුල් පිටුවල සිටම අවධාරණය කෙරී ඇත.

එසේ වුව ද අප විමසන්නේ තවමත් පැරණි ගම තුළ සිහිනයෙන් ජීවත්වන ජනතාවකගෙන් පමණක් නම් අප සපයාගන්නා උත්තර නොගැලපෙන්නට පුලුවන. ඒ නිසාම අද දවසේ විද්වතුන්ගේ කාර්යය විය යුත්තේ ජනතාව මේ අතීත සිහිනයෙන් අවදි කරවීම ය.

ඊට අවශ්‍ය ප්‍රශ්න රැසක් කර්තෘවරුන් විසින් මේ පොත හරහා මතු කර තිබේ. අප වෙලා ගෙන සිටින මිත්‍යාවන් රැසක් ද ඔවුන් විසින් හෙලිදරව් කොට තිබේ.

බොරුවෙන් මිනිසුන් මුලා කිරීම පහසු ය. එහෙත් බොරුවෙන් මුලාවී සිටින මිනිසුන් ඉන් මුදාගැනීම අමාරු ය. මේ කර්තෘ දෙපළ අත ගසා ඇත්තේ ඒ අමාරු කාර්යයට ය.

මේ කටයුත්තේ දී ඔවුන් ප්‍රවාහනය, ජලය, විදුලිය, අධ්‍යාපනය සහ තොරතුරු තාක්ෂණය යන ක්ෂේත්‍ර පහක් සිය විමසුම සදහා තෝරා ගෙන තිබේ. සමහර අවස්ථාවල එක් විසදුමක් වෙනුවට සළකා බැලිය හැකි විකල්ප ගණනාවක් ඉදිරිපත් කිරීමට ඔවුන් උත්සහ දරා තිබේ. යෝජිත වෙනස්කම් නිසා අපහසුතාවයට පත්වෙන අය සම්බන්ධයෙන් ද සහනයන් දීමේ අවශ්‍යතාවය ඔවුන් අවධාරණය කර ඇති අතර ඒ සදහා යෝජනා ද ගෙනැවිත් තිබේ.

සමහර යෝජනාවල ප්‍රායෝගිකත්වය ගැන ගැටළු තිබිය හැකි ය. එහෙත් ඒ හැම එකක්ම අපේ ඇස් අරවන්නට අපට අලුතින් සිතන්නට උදව් කර තිබේ.

පහුගිය දිනෙක ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ 106 වෙනි වාර්ෂික සැසි වාරය පැවැත්විණි. එහි ආරාධිත දේශකයා වූයේ මහාචාර්ය අමල් කුමාරගේ ය. ඔහු සිය කතාවෙන් කියා සිටියේ අපි සැළසුම් කරන දෑ ක්‍රියාත්මක නොකරන බවත් ක්‍රියාත්මක කරන දෑ සැළසුම් නොකරන බවත් ය. ඒ සමගම ඔහු කීවේ ඉංජිනේරුවන්ගේ වගකීම විය යුත්තේ ප්‍රතිලාභයක් නොලැබෙන පුද්ගල ප්‍රතිරූප පුම්බන විශාල ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමට තම දායකත්වය සැපයීම නොව ජනතාවට ඍජු ප්‍රතිලාභ ලැබෙන බවට සහතික විය හැකි ආයෝජන සැළසුම් කොට ක්‍රියාත්මක කිරීම බව ය. ඔහුගේ කතාව අසා සිටි මට එවෙලේ මතකයට නැගුනේ අපට ගැලපෙන ආර්ථික ක්‍රමවේද නැමැති අද අපේ විමසුමට බදුන්වන මේ පොත ය. ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවන් විසින් විශේෂයෙන් මේ පොත කිවයුතුව ඇතැයි ඒ නිසාම මම සිතමි. ප්‍රවාහනය, ජලය, විදුලිය, අධ්‍යාපනය හා තොරතුරු තාක්ෂණය යන මේ පොතේ සදහන් විෂය කරුණු අතරින් අධ්‍යාපනය හැරුණු කොට ඉතිරි ක්ෂේත්‍ර හතරම ඔවුන්ගේ විෂය පථයට කෙළින්ම අදාළ බැවිනි. මේ පොත ක්ෂෙත්‍ර පහක් විමසුමට ලක් කර තිබුන ද පොතින් විමසුමට ලක් කර නැති ක්ෂෙත්‍ර සම්බන්ධයෙන් විමසුමට පිවිසුමක් ද එයින් ලබා දෙයි. ඒ නිසා වෙනත් වෘත්තිකයන්ට ද මේ පොතින් එලියක් ලද හැකි ය.

මෙය කියවිය යුතු පොතක් පමණක් නොවේ. සංවාදයට ද බදුන් විය යුතු පොතකි. ඒ මේ පොතේ බොහෝ නිර්දේශ නිවැරදි දිසාවක් උදෙසා මගපෙන්වන්නේ වුව ද සමහර නිර්දේශ ඒ අයුරින්ම භාවිතා කළ නොහැකි බැවින් පමණක් නොවේ. මේ මග ඔස්සේ අලුතින් හිතන්නට හා පොතේ නැති විකල්ප නිර්මාණය කරගන්නට ඉන් අපට මං පෙත් ද විවර කර දෙන බැවිනි.

මේ උත්සහය එක්කෝ අවධානය නොලැබ නැතිනම් සෝපාහසයෙන් ඉවත දැමීමට ලක්වීමෙන් අවසන් වන්නට ඉඩ තිබේ. අතීතයේ විවිධ ක්ෂෙත්‍රවල කරන ලද මෙවැනි මැදිහත්වීම්වලට සිදු වූයේ ද එයයි. බොහෝ දේ කිසියම් ලේබලයක් අලවා සැළකිල්ලටවත් නොගෙන ඉවත දමන ලද්දේ ය. කිහිපයක් නිර්දය විවේචනයට ලක්ව කුණු කූඩයට ඇද දමන ලද්දේ ය. මේ පොත සම්බන්ධයෙන් ද එසේ කටයුතු සිදු වුවහොත් එය ‍රටේ අවාසනාවකි. එසේ නොවනු ඇතැයි අපි පතමු.

අතීත අවතාරවලින් මෙහෙයවන කළමනාකරුවන්


මියගිය පැරණි අතීතය අදට වඩා හොද යැයි සිතන කළමනාකරුවෝ ඒ අතීත ශ්‍රී විභූතිය නැවත සිය ආයතන තුළට ගෙන ඒම මගින් වඩා සාධනීය ප්‍රතිඵල අයත් කර ගත හැකි යයි සිතති. ඒ සදහා ඒ පැරණි ක්‍රියාමාර්ගම – ඉවත් කළ පැරණි පිළිවෙත්ම- නැවතත් පණ ගන්වනු සමහර ආයතනවල දී දැකිය හැකි ය.

උදාහරණයක් ලෙස මුද්දර හරහා රජයට ආදායම් එකතු කළ කාලයක් තිබිණි. එයින් ඇතිවන අකාර්යක්ෂමතාවය ද අපහසුව ද සළකා එය ඉවත්කරන්නට පසු කලෙක රජය තීරණය කළේ ය. එහෙත් ඒ අත්හැර දමන ලද පිළිවෙත නැවතත් ගෙනෙන ලද්දේ ය.

මේ යටතේ රු 5 ක මුද්දරයක් ඇලවූ ලියුමක් මට මහජන පුස්තකාලයෙන් ලැබිණි. එයින් කියා තිබුනේ මා විසින් බාර දෙන පොත්වලට ගෙවීම් කටයුතු එකලසක් කරනු පිණිස මහජන පුස්තකාලයට පැමිණ රු 5 ක මුද්දරයක් උඩ අත්සන තබා යා යුතු බව ය. ඒ ලියුම සදහා රු 5 මුද්දරයට අමතරව ලියුම් කවරයක් ඒ 4 කඩදාසියක් යොදා ගෙන තිබුන අතර ලියුම ටයිප් කර අදාළ ලේඛනවල සටහන් කිරීමට අමතර වෙහෙසක් කාලයක් ගෙන තිබුනේ ය. ලියුම් බෙදන කාර්යාලවලට වැඩි වැඩක් ද එයින් ලැබෙන්නට ඇත.

මේ සදහා මට ද පිරිවැයක් ඇත්තේ ය. මගේ රාජකාරියේ හැටියට මට මේ සදහා බස් රථයක යා නොහැකි ය. එහෙත් මට මුදලක් ලැබෙන නිසා මෝටර් රථයට මා වැය කළ පෙට්‍රල් ප්‍රමාණය සාධාරණ යයි මොහොතකට සිතුවත් ඒ සදහා රටට වියදම් කරන්නට වෙන විදේශ විනිමය හා පරිසරයට වෙන හානිය ගණන් බැලිය යුතු ය.

හැම ආයතනයක්ම සිතන්නේ අපට කළ යුතුව ඇත්තේ ඒ ආයතනයට සම්බන්ධ වැඩ පමණක්ය කියා ය. ඒ නිසා දරුවාගේ පාසලේ සිට සබදකම් පවත්වන හැම ආයතනයක්ම අපගෙන් බොහෝ රාජකාරි බලාපොරොත්තු වේ. මේ සියල්ලට නිවාඩු දමන්නට ගියොත් නිවාඩු ඉම්පෝට් කරන්නට සිදුවේ. ඒ නිසා දැන් මේ වැඩේට යායුත්තේ කාර්යාලයේ වෙලාවෙන් කොටසක් හොරා ගෙන ය. එවිට සිදුවන්නේ මා මුණ ගැසීමට එන බොහෝ දෙනෙකු රස්තියාදු වීම ය.

රු 5 ක් ආණ්ඩුවට ලබා ගැනීමට ගන්නා වෙහෙස මහන්සිය හා ඉන් ඇතිකරන නාස්තිය ගැන හිතන විට මේ පැරණි පිළිවෙත නැවත හදුන්වාදුන් අයගේ මොළය පරීක්ෂා කළ යුතු යැයි නොසිතේ ද? පසු කලෙක මේ මුද්දර වැඩ පිළිවෙලට නැවත සංශෝධනයක් ගෙනෙන ලද්දේ වුව ද එය මුලුමනින් ඉවත් කර නැත.

එක් කලෙක වලංගු වූ දෑ ඊළග වකවානුවේද ඒ ආකාරයටම වලංගු වේ යැයි සිතීම නිසා ආයතන අර්බුදයන්ට ගිය විට ඒ තේරුම් ගැනීමට සමහර විට පමා වූවා වැඩි වන්නට පුලුවන.

ඒ වනවිට මියගිය අවතාර ලෙස නැවත පනගන්වනු ලැබූ පිළිවෙත් හා ක්‍රියාමාර්ග ජීවත්වන මිනිසුන්ට වින කැට හමාර ය.

අතීතය යනු වෙනත් සන්දර්භයකි. වත්මන සන්දර්භය හමුවේ ඒ පැරණි පිළිවෙත්ම අනුගමනය කරන්නට යෑමෙන් අතීතයේ ලබාගත් ප්‍රතිඵලයම ලැබෙන්නේ අතිශය කලාතුරකිනි. එය පරිගණක හා අන්තර්ජාලවලින් සමන්විත ලෝකයට දිසාපාමොක් ඇදුරෙකු හදුන්වා දෙන්නට හදන උත්සහය සේ ය.

තීරණ ගැනීමේ ස්ථාන අරක් ගෙන සිටින කළමනාකරුවන් මේ බව වටහා ගන්නේ නම් රටේ පමණක් නොව ආයතනවල ද ඵලදායකත්වය බොහෝ සෙයින් වැඩි කළ හැක්කේ ය.

ප්‍රශ්නයකට උත්තර තමා දන්නා අතීතයෙන් සෙවීම පහසු ය. එහෙත් එයින් ලැබෙන උත්තරය උත්තරයක් නොවන්නට ඉඩ තිබේ. ඒ වෙනුවට අලුත් ප්‍රශ්න ගණනාවක් එයින් ඇති කරනු ඇත්තේ ය. කළමනාකරුවන්ට පරිකල්පන ශක්තියක් තිබිය යුතු යැයි කියන්නේ ඒ නිසා ය. බොහෝ විධිමත් අධ්‍යාපන ආයතන තමන් ගොඩනගන සිසුන්ගේ මනස තුළ එහෙව් එකක් හදන්නට කිසිදු උත්සහයක් ගන්නේ නැත. ඒ නිසාම පරිකල්පන ශක්තිය සහිත කළමනාකරුවන් විධිමත් අධ්‍යාපන සහතික ලාභීන් අතරින් සොයා ගැනීම අමාරු ය.