ප්‍රශ්න ප්‍රශ්නයක් කර නොගැනීමේ කලාව


සමහරු ප්‍රශ්නවලට බිය ය. ප්‍රශ්නයක් ඇති වූ වහාම ඔවුන්ට විසඳුමක් ඕනෑ වෙයි. එසේ විසඳුමක් නැති කළ ඔවුන් ඊළගට සොයන්නේ එතැනින් පැන යාමට ය. ඒ අයට ඊළගට එන ප්‍රශ්නයට තම මනස යොමු කළ හැක්කේ මුල් ප්‍රශ්නය විසඳා අවසන් වූ විට ය. එසේ නැතිව එන එළඹෙන ඊළග මොහොතේ ප්‍රශ්නයක් ආවොත් ඔවුන් වැටෙන්නේ ලොකු අමාරුවක ය.

එවැනි චරිත ලක්ෂණ ඇති අයට කළමනාකරුවන් වීමට බැරි ය. ඊට ප්‍රතිපක්ෂව දක්ෂ කළමනාකරුවෝ හැම ප්‍රශ්නයක්ම අලුත් අවස්ථාවක් ලෙස ගනිති. ඔවුහු ප්‍රශ්න මගහරිනු වෙනුවට ප්‍රශ්න සොයා යන්නෝ ය.

නව ප්‍රශ්නයකට සිත යොමු කිරීමට එක් ප්‍රශ්නයක් අවසන් වන තුරු ඉන්නට ඔවුනට ඕනෑ නැත. ඊට ඔවුන්ගේ කැමැත්තක් ද නැත. නොවිසඳුනු ප්‍රශ්න සමග ජීවත්වන්නට ඔවුන්ට හැකි ය.

එයින් අදහස් වන්නේ ප්‍රශ්න විසඳීමට ඔවුන් කල් ගන්නා බව වත් ප්‍රශ්න විසඳීම ඔවුන් කාලයට බාර දෙන බව වත් නොවේ.

ප්‍රශ්න සමගාමීව විසඳන්නට ඔවුන්ට ගැටළුවක් නැති බව ය. ප්‍රශ්න ඔවුන්ට ප්‍රශ්න නොවන බව ය. වඩාත් නිවැරදිව කියන්නේ නම් ඔවුන් ප්‍රශ්න ප්‍රශ්නයක් කර ගන්නේ නැති බව ය.

ප්‍රශ්නයක් ඔවුන්ට හිරිහැරයක් නොව අභියෝගයකි. ප්‍රශ්නයක් ඉක්මණින් අවසන් කිරීමට නොව දක්ෂ ලෙස ජය ගැනීම ඔවුන්ගේ අභිප්‍රාය වෙයි. ඒ සඳහා මුහුණ දීමට ඔවුන් ලක ලෑස්ති වෙන අතර ඒ තුළ ඔවුන්ගේ උද්යෝගය ද වඩ වඩා ප්‍රකට වේ.

ප්‍රශ්නයක් ඉදිරියේ කැළඹෙන සෙසු අයට පරස්පරව ප්‍රශ්නයක් ඉදිරියේ විකසිත වන ඔවුන්ගේ ආත්මය බලා සිටින අන් අය තුළ ද සතුටක් හා ප්‍රසාදයක් ඇති කරයි.

එවන් අය සමග ජීවත් වීම පහසුවකි. විනෝදයකි. සැහැල්ලුවකි. එවැනි නායකයින් වටා අනුගාමිකයන් එකතු වන්නේ නිරායාසයෙනි.

ඔබ දක්ෂ කළමනාකරුවෙකු වීමට කැමති නම් ප්‍රශ්න ප්‍රශ්නයක් කර ගන්නේ නැතිව ජීවත්වීමේ කලාව ඔබ හොඳින් ප්‍රගුණ කළ යුතු ය.

Advertisements

තීරණ ගැනීමේදී අප වැටෙන බොරුවලවල්


වැඩි දෙනෙක් හිතන්නෙ එහෙමයි. ඒ කියන්නෙ ඒක හරි වෙන්නට ඕනෑ.

අප පුරුදුව ඇත්තේ එසේ සිතීමට ය. එසේ වුව ද වැඩි දෙනෙක් හිතන නිසා යමක් නිවැරදි වන්නේ නැත. අපට මොළයක් දී තිබෙන්නේ අපට හිතන්නට ය. වැඩි දෙනෙක් හිතන දේ දෙස බලා තීරණ ගන්නේ නම් එවැනි මොළයක් අපට ඇත්තේ කුමකට ද?

එයා ටිකක් මං වගේ. එයා හරි හොද කෙනෙක් වෙන්නට ඕනෑ.

අප අප වගේ අයට කැමති ය. එහෙත් ඔවුන් එක් විදිහකින් අපට සමාන වූ පලියට අන් සියලු විදිවලින් අපට සමාන යයි සිතීම වැරදි ය.

එයා කැමතියි තිස්ස අබේසේකරගෙ චිත්‍රපටි වලට. මාත් හරියට අගය කරන චිත්‍රපටි අධ්‍යක්ෂවරයෙක් තිස්ස අබේසේකර. එයා කියපු අනිත් අදහසුත් මං හිතන්නෙ ගොඩක් නිවැරදි යි.

කෙනෙකුගේ එක් අගය කිරීමක් නිවැරදි වූ පලියට ඔහු අගය කරන සියලු දේ යහපත් යැයි ගත හැකි ද? එසේ සිතන්නේ ඇයි දැයි ගැටළුවක් වුව ද අප සිතන්නේ එසේ ය.එක් අදහසක් නිවැරදි වීම මත අනිත් සියලු අදහස් නිවැරදි යැයි ගත නොහැකි ය. එක් ප්‍රශ්නයක දී නිවැරදි අස්ථානයක් ගන්නා අයෙක් තව ප්‍රශ්නයක දී ඉතාම දුර්වල අස්ථානයක් ගන්නට පුලුවන.

මං අහල තියෙන්නෙ වැඩිම අනුහස් තියෙන්නෙ කන්දෙ දේවාලෙ කියල. මං හිතන්නෙ ලංකාවෙ වැඩි දෙනෙක් එහෙම තමයි විශ්වාස කරනව ඇත්තේ.

මා අසා තිබෙන්නේ මට මුණ ගැහුණු අයගේ කතා ය. කන්දෙ විහාරය කියන්නේ හොර ගුහාවක් යැයි කියන අය ද සිටිති. ඒ බව මා ඇසුවේ පසු කාලෙක ය. එහෙත් ඒ වනවිටත් මා සිතා සිටියේ බොහෝ දෙනෙකු එසේ විශ්වාස කරන බව ය. මට මුණ ගැසෙන අය වැඩි දෙනෙක් කියූ පමණින් එය බහුතරයේ මතය යැයි මට නිගමනයකට එළඹීමට හැක්කේ කවර පදනමක් මත ද?

ඊයේ පෙරේදාත් මං දැක්ක මිනිහ රෑ වෙනකම් ඉන්නව. කැප වෙල වැඩ කරන මිනිහෙක්.

අපට වඩාත් මතක තිබෙන්නේ මෑතක සිදු වූ දේ ය. ඒ නිසාම අප ගන්නා තීන්දු සියලු තොරතුරු මත නොව මෑත තොරතුරු මත පදකම් වේ. එය යථාර්තයම නොවිය හැකි ය.

මිනිහ හත හමාරට ඉස්සෙල්ල ඔෆිස් එකේ. කලට වෙලාවට වැඩ කරන මිනිහෙක්.

අපට සන්දර්භය විමසන්නට අමතක වේ. සමහර විට ඔහු හත හමාර වන විට කාර්යාලයේ පෙනී සිටින්නේ දරුවා පසාලට ඇරලීමෙන් පසු කරන්නට යමක් නැති නිසා ය.

මේ නිසා අප ගත් තීරණ දෙස අපටම විචාරාත්මකව බැලිය හැකි නම් හොද ය. නැතහොත් වෙන්නේ හරි යැයි හිතාගෙන වැරදි තීරණ ගැනීම ය. අමාරුවේ වැටීම ය.

පලා යාම නිවට කමකි. එතකොට කලු ගලක ඔලුව හප්පා ගැනීම?


නායකයෙකුට තම වෘත්තීය ජීවිතයේ මුහුණ දිය යුතු එක් දුෂ්කරතාවයක් වන්නේ පහසුවෙන් ජය ගත නොහැකි අභියෝග හමුවේ කළ යුත්තේ කුමක් ද යන ප්‍රශ්නයට උත්තර සෙවීම ය.

ජය ගත නොහැකි අභියෝගයක් නැතැයි කීව ද සමහර අභියෝග ජය ගැනීමට දරණ පරිශ්‍රමය එයින් ලබන ප්‍රතිඵලය දෙස බලන විට තේරුමක් නැතැයි හැගේ. කන්දක් විලිලා කෙන්දක් වැදීමේ තේරුමක් නැත.

ඒ නිසා පහසුවෙන් ජය ගත නොහැකි අභියෝගයක් යන්නෙන් අදහස් කළේ ප්‍රතිඵලවලට වඩා ලොකු පරිශ්‍රමයක් අවශ්‍ය අභියෝගයන් ගැන ය.

එවැනි අභියෝගයන් හමුවේ ඒවා මග හැර යෑමට නායකයෙකුට අයිතියක් නැත් ද?

ඔහුට ඇති විකල්පය කලුගලක ඔලුව ගසා ගැනීම නම් මග හැර යෑම හෝ සමහර විට පලා යාම ඊට වඩා උචිත ය. තවත් දිනක සටන් කිරීමට ඔහු ජීවිතය ඉතිරි කර ගත යුතු බැවිනි.

නායකයෙකු යනු අභියෝග ඉදිරියේ නොසෙල්වෙන කෙනෙකු යැයි යන සම්ප්‍රදායික මතය නිකම් පුරාජේරු කීමට හොද ය. එහෙත් නායකයෙකුගේ සැබෑ වත එයින් හෙලි නොවේ.

සටන් කිරීම තරමට පසුබැසීමට ද නායකයෙකු උගත යුත්තේ ය.

එක සටන් බිමක සටන දුෂ්කර වූ කල සටන් බිම මාරු කිරීමට ඔහු උපාය ශීලි විය යුතු ය.

එක් ආයතනයක තවදුරටත් ඉදිරියට යා නොහැකි යයි හැගේ නම් ඒ මත්තේ නැහීමේ තේරුමක් නැත. ඔහුට ඉන් ඉවත්වන්නට ධෛර්යය තිබිය යුතු ය. එහෙත් එසේ කළ යුතු වන්නේ ඒ සදහා ඇති සියලු ප්‍රවේශ මාර්ග පරීක්ෂා කිරීමෙන් පසු පමණකි.

නව ස්ථානය කලින් ස්ථානයට වඩා විවෘත ඉඩ හසර ඇති එකක් විය යුතු ය. එවැනි එකක් තිබියදී පැරණි තැන එක තැන කරකැවීම තේරුමක් නැති වැඩකි.

ස්ථාන මාරුව අමාරු එකකි. නායකයෙකු තමන් නායකත්වය දුන් තැනකට ඇති ඇලීම එසේ මාරුව අමාරු වීමට එක් හේතුවකි. නව ස්ථානය පිළිබද ඇති අවිනිෂ්චිතතාවය දෙවැනි හේතුව ය. තම සගයින් අනුගාමිකයින් අතරමං කළේය යන පසුතැවිල්ල අනික ය. අභියෝග හමුවේ පරාජයට පත් වූවා ය යන්න ද මනසට ඇති කරන ධනාත්මක ඉතිරියක් නොවීම ඉතිරි හේතුව ය.

එසේ බැලූ විට මාරුවද අභියෝගයකි. එක් අභියෝගයක් වෙනුවට අනිත් අභියෝගය තෝරාගැනීම කි. එය අභියෝග හමුවේ පලා යෑමක් නොවන්නේ ඒ නිසා ය. ඔලුව ගලේ හප්පා ගැනීම වෙනුවට වෙනත් වඩා ඵලදායී අභියෝගයක් තෝරා ගැනීම ගැන නායකයෙකුට දොස් කිව නොහැකි ය.