කළමනාකරණය සිංහලෙන් – කුලමල තියෙන්නෙ ගමේ විතර ද?


ආයතනවල ඉන්නේ අයියල අක්කලා නංගිලා මල්ලිලා පමණක් නොවේ. සමහරවිට කල්ලි කණ්ඩායම් ද ඒවායේ සුලබ ය. හරියට ගමේ තියෙන කුල ගොත් අනුව සැකසුනු සමාජ සබදතා මෙන් ය.

වමෙන් ගියත් අපි දකුනේ! මෙසේ ලියා තිබුනේ නම් ලොරියක ය. ඒත් මෙහෙම හණක්  නොගැහැව්වත් මෙහෙම ආඩම්බරයෙන් කියන අය ආයතන ඇතුළේ ඇත. දකුණේ විතර ද උතුරේ අයියලා ද හැසිරෙන්නේ වෙනම කුල ගෝත්‍රයක් වගේ ය. කල්ලි කණ්ඩායම් ගැහෙන්නේ පළාත අනුව පමණ ද?

නැත. ගිය පාසල අනුව ද ආයතනවල උදවිය කල්ලි ගැසෙති. එකම පාසැලෙන් සැළකිය යුතු පිරිසක් සිටියොත් මේ භේදය වරදින්නේ නැත.

ආගම ද ජාතිය ද කල්ලිවලට හොද පදනමකි.

සමහරවිට තමන්ගේ වෘත්තීය විශේෂඥතාවය ද මෙසේ රංචුවක් ලෙස එක් රැස්වීමට කියාපු පදනමකි. දොස්තරවරු වෙනම ය. හෙද හෙදියන් වෙනම ය. දොස්තරවරුන් අතර ද විදේශ උපාධිලැබුවෝ වෙනම ය. මෙරට උපාධි ලැබුවෝ වෙනම ය. මෙරට උපාධිලැබූවන් අතර ද උපාධිය හැදෑරූ සරසවිය පදනම් කරගෙන බෙදීම් ඇති කර ගත හැකි ය.

මේ කුල ගොත් නිසා තමන්ගේ එකා බලා ගැනීමත් අනෙකාට පොඩි පහේ කැපිල්ලක් දැමීමත් සිදු වේ. විධිමත් සංවිධානයේ අරමුණු පරාජය කරමින් වුව ද තමන්ගේ රංචුවේ ඕනෑ එපාකම් ඉටුකරගැනීමට ඒ අනුව බොහෝ කටයුතු සිදුවේ.

මතුපිටින් බැලුවහම නම් පෙනෙන්නේ තමන්ගේ එකා බලාගැනීමේ උත්තුංග කාර්යයට මේ අය අත ගසා ඇති සැටියෙකි. එහෙත් සැබෑ ලෙස කෙරෙන්නේ සුදුසුකම් නැති වුව ද තමන්ගේ එකාට ඉඩ හසර විවෘත කර ගැනීමත් ඔහු හෝ ඇය වෙනුවෙන් කරන පෙනී සිටීම තුළ වෙනත් කණ්ඩායම්වල දක්ෂයින් හා සුදුස්සන් කැපී කොන්වීමත් ය.

ආයතනයක් ඉදිරියට යන්නේ මෙවැනි කුලමලවලට ඇති ඉඩකඩ අහුරන්නට හැකි නායකත්වයක් ලැබෙතොත් ය. නැත්නම් විධිමත් ආයතනයේ පැවැත්ම පරිහානියට පත් කරමින් වැඩෙන පිළිලයන් බවට මේ කල්ලි පත්වනු ඇත්තේ ය.

පැරණි ගම් ලෙස ක්‍රියාත්මක වන බොහෝ ආයතන නූතන විධිමත් ආයතන බවට පෙරලීමේ වගකීම මේ නිසා ආයතන නායකත්වයට දරන්නට සිදු වේ. අවාසනාවකට එහෙම භූමිකාවක් තමන්ට ඇතැයි බොහෝ ආයතනවල නායකයින් දන්නේ නැත. තවත් සමහර වෙලාවට නායකයා ද මේ කියන අවිධිමත් කල්ලියක සමාජිකයෙක් බවට පත්ව කුණුගොඩට එක්වන තවත් කුණුපයක් බවට පත්වෙයි. එතකොට ආයතනයට දෙයියන්ගේම පිහිට ය!

Advertisements