කාලත්‍රයේ සැරි සැරීම


අතීතය මිය ගොසිනි. අනාගතය තවම ඉපදී නැත. එහෙයින් ජීවත්විය යුත්තේ වර්ථමානය තුළ ය.  මේ අප අසා පුරුදු කතාවකි.

ජීවිතයේ වටිනාම මොහොත මේ මොහොත බවට විවාදයක් නැත. එහෙත් මේ මොහොත ඕපපාතික ද?

නැත. එය එළෙඹෙන්නේ අප අතීතයේ කළ ක්‍රියාකාරකම් ඔස්සේ ය. ඒ අතීතය නොමැති වන්නට මේ මොහොත බොහෝ සෙයින් වෙනස් එකක් වන්නට ඉඩ තිබුනේ ය.

ඊට අමතරව මේ මොහොත අභියෝගාත්මක වූයේ නම් ඒ අතීතය නිසා ය. මේ මොහොත අප අසරණ බවට පත් කළ එකක් වූයේ නම් එහි ද මුල් සමහර විට ඇත්තේ අතීතයේ ය. වර්ථමානයට හිස කෙළින් තබා ගෙන මුහුණ දීමට හැකි වන්නේ නම් එසේ කිරීමට හයිය ඇති වූයේ ද එක්තරා දුරකටවත් අතීතයේ සිද්ධීන් පදනම්ව ය. එයින් ලද අභාෂයන් නිසා ය.

අප අද පවත්වන සියළු සබදකම්වල මුල් ඇත්තේ අපේ අතීතයේ ය. අපේ අනන්‍යතාවය ඇත්තේ එහි ය. මනෝ විද්‍යාඥ ෆ්‍රොයිඩ් කියන විදිහට අපේ ඊගෝ එක ගොඩ නැගුනේ එහි ය. අපේ කතාන්දරයේ මුල් පරිච්ඡේද ලියවුනේ එහි ය. ඒ ඊගෝ එක, අනන්‍යතාවය හා කතාව නොමැතිව මා අද මේ මොහොතේ පහළ වුනා නොවේ. ඒ නිසා අතීතය වැදගත් ය.

“මා ශාරීරිකව ඝාතනය කළාට කමක් නැහැ. එහෙත් මගේ චරිතය ඝාතනය කරන්නට එපා“ යැයි සමහරුන් කියන්නේ මේ කියන කතාව ඒ තරමට වැදගත් නිසා ය.

අනෙත් අතට වර්ථමානය අපේ අනාගතය සකස් කරන්නට අපට දී ඇති අවස්ථාවකි. එය භාවිතයට නොගත හොත් අනාගතයේදී එළඹෙන ඊනියා “මේ මොහොත“ දුක් කරදර ගොන්නක් කර පිට තබා ගෙන පැමිණෙන්නක් වීමට ඉඩ තිබේ. ඒ නිසා අතීතය පමණක් නොව අනාගතය ද නොසළකා වත්මන තුළ පමණක් ජීවත්වීම කරදර කැන්දන්නකි. හෙට නොපැමිණෙන්නේ නම් අද පමණක් අප ජීවත්වන්නේ නම් මේ මොහොත ගැන හිතුවහම ඇති ය.

මෙයින් කියන්නේ කුමක් ද අතීතය ගැන සිතා පසුතැවිලි වීමටත් අනාගතය ගැන සිතා ලතැවීමටත් වත්මන භාවිතා කළ යුතු බව ද? කිසිසේත් නැත.

අප මේ මොහොතේ ජීවත්විය යුතු ය. එසේ කරන විට අප පසු කළ අතීතයත් අපට පසුකරන්නට නියමිත අනාගතයත් ගැන අපේ ඇති සංවේදීත්වය අත නොහැරිය යුතු ය.

කොටින්ම කියනවා නම් කාලත්‍රයේම ජීවත්විය යුතු ය.

අපේ කතාවේ අප ලියන මේ වාක්‍යය අපේ අතීත කතාවට සම්බන්ධය. එය අපේ කතාවේ ඊළග වාක්‍යයට මග පෙන්වනු ඇත්තේ ය. එහෙත් මේ වාක්‍යය නිවැරදිව ලිවීමට නම් මේ මොහොතේ මේ වාක්‍ය ගැන සිහියෙන් එය ලිවිය යුතු ය. එසේ කළ යුතු වන්නේ එය අතීතයේ ලියූ වාක්‍ය සමග නිසි හුයකින් බැදුනේ ද යන්නත් අනාගතයේ ලියන්නට යන වාක්‍යයට අඩිතාලම නිසි ලෙස දැමුවේ ද යන්නත් ගැන සොයන අතරේ ය. විමසන අතරේ ය.

නැවතත් කිව යුතුව ඇත්තේ කාලත්‍රයේම ජීවත්විය යුතු බව ය. වරින්වර අතීතයටත් අනාගතයටත් ගොඩ වදිමින් වර්ථමානය තුළ මේ මොහොත තුළ ජීවත්විය යුතු බව ය.

අපට මෙන් කතාවක් නැති සතුන්ට මේ මොහොතේ ජීවත් වීම සෑහෙන්නේ ය. එහෙත් කතාවක් ගොතන මිනිසාට එසේ කිරීමේ හැකියාවක් නැත. අප අපේ කතාව හිතාමතා ගෙතුවත් නැතත් අප අකමැති වුවත් නැතත් අප ජීවත්ව සිටියොත් එය ලියවෙන්නේ ය. මම නම් මගේ කතාව ගැන තැකීමක් කරන්නේ නැතැයි කියන අයටත් ඒ කතාවෙන් මිදෙන්නට ඒ නිසා බැරි ය. අප නොලිව්වාට එය වටේට ඉන්නා අය අප වෙනුවෙන් ලියමින් ගොතමින් ඉන්නා බැවිනි. එය පොතක නොව ජනප්‍රවාදයේ පවතින එකක් වන බැවිනි.

ඒ කතාව අප වෙත කීර්තිය ද අවස්ථා ද සබදකම් ද තව බොහෝ දේ වටිනා දේ ද ගෙන දෙන බැවිනි. එපමණක් නොවේ. සමහර අවස්ථාවල ගල්මුල්ද ගුටිබැට ද ඇතුළු තවත් බොහෝ දේ ද ගෙන දිය හැකි බැවිනි. එයින් ගැලවීමක් නම් නැත්තේම ය.

අවසාන වශයෙනුත් කිව යුත්තේ ඒ නිසාම අපට කාලත්‍රයේම ජීවත් වීමට බල කෙරී ඇති බව ය. ජීවිතය අතීතය, වර්ථමානය හා අනාගතය යනුවෙන් කැබලි වලට කැඩීමට නොහැකි ප්‍රවාහයක් බව ය. නොනැවතී ගලා යෑමක් පමණක් එහි ඇති බව ය.

Advertisements